Tuesday, January 24, 2017
Breaking News
You are here: Home » Negombo Heritage » ‘කැරොල්, පසම්, කන්තාරු’ සොයා සුනිල් සමඟ මීගමු ගිය ගමනක්

‘කැරොල්, පසම්, කන්තාරු’ සොයා සුනිල් සමඟ මීගමු ගිය ගමනක්

මහාචාර්ය සුනිල් ආරියරත්න පසුගිය දිනෙක තමා ලියු ‘කැරොල්, පසම්, කන්තාරු’ නම්වූ ග්‍රන්ථයේ දෙවැනි මුද්‍රණයේ පිටපතක් මට එවා තිබිණි. එහි ‘අධ්‍යාශය සහ අනුමෝදනාව‘ නම්වූ කොටසේ එක් තැනක මෙසේ සඳහන් වෙයි.

“පසුකාලයකදී ක්‍රිස්තියානි සාහිත්‍යය පරිශීලනය කිරීමට උපන් ආශාව සමනය කරමින් විරල පොත්පත් සපයා දුන්නේ ද කිතු බැති ගී ශ්‍රවණය කිරීම සඳහා බොහෝ ඉඩ ප්‍රස්තා උදාකර දුන්නේ ද ප්‍රවීණ ලේඛකයකු වන සුනිල් මිහිඳුකුල මහතා ය.”

ඉහත සඳහන මෙම පොතේ පළමු මුද්‍රණයට ද ඇතුළත්ය.

කඩදාසි සුවඳත් සමඟ පොතේ අත් පිටු පෙරළාගෙන යන අතරවාරයේ මට අසූ ගණන්වල මුල් භාගයේදී පමණ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සමඟ ‘කැරොල් පසම් කන්තාරු සොයා’ මගේ උපන් ගමට – මීගමුවට ගිය ගමනත් පසුව මීගමු දූවේ ඓතිහාසික මහා පාස්කු නාට්‍ය සංදර්ශනය බැලීමට ගිය ගමනත් මා සිහියට නැඟිණි.

මුල් ගමනට සුනිලුත් මාත් සමඟ තවත් සුවිශේෂි දෙදෙනෙක් ද එක්ව සිටියහ. ඒ ප්‍රවීණ ගායන ශිල්පිනි නන්දා මාලිනි සහ දැනට ජීවතුන් අතර නැති ප්‍රවීණ සංගීතවේදී සේන වීරසේකරය.

කැරොල්, පසම්, කන්තාරු යනු එකිනෙකට වෙනස් ගායන විශේෂ තුනකි. ‘කැරොල්’ ගී යනු ක්‍රිස්තු උත්පත්තිය සමරමින් ගැයෙන ගීතය. ඒවා වැඩි වශයෙන්ම ගැයෙන්නේ නත්තල් සමයේදීය.

මීගමුව වැනි බහුතරය කතෝලිකයන් වෙසෙන ගමක – නගරයක කැරොල් ගී ප්‍රසංග ද එකලට පැවැත්වෙයි.

අපේ රටේ වැඩි වශයෙන්ම නත්තල් කැරොල් ගී ලියා ඇත්තේ මර්සලිනු ජයකොඩි ගරු පියනමය. ‘රෑ තරු බබළනවා, ‘සීනු හඬින් ලොව පිබිදෙනවා’, ‘බෙත්ලෙහෙමෙ අද රෑ උපන්නා’, ‘නිසසල ඒ මිහිරි රැයේ’ වැනි නත්තල් කැරොල් ඊට නිදසුන් සපයයි. මෙයින් ‘නිසසල ඒ මිහිරි රැයේ’ යනු සුප්‍රකට ‘සයිලන්ට් නයිට්’ කැරොල් ගීයේ තනුව අනුව රචනා වූවකි.

පසම් ගී වෙසෙස් ක්‍රිස්තු දුක්ප්‍රාප්තිය සමරන පාස්කු කාලයට (ඊට ‘කොරොස්ම’ කාලය යැයි ද කියනු ලැබේ) ගැයෙන්නකි. ජයකොඩි ගරු පියනම පසම් ගී රැසක් ද ලියා ඇත. උදා: ‘සඳපානේ පිපි වැටකෙයා මල සේ’ ‘රෑ මැද වෙලාවේ’, ‘යහනක සේ මා’, ‘කුරුසේ නැඟ අත් විහිදා’, ‘බෝ රුදුරු විඳ මල් උයනේ’, ‘වාදනවේ දුර වද බෙර නදිනා’, ‘සෙවණැලි මත ;සවණැලි මත’ මින් බොහෝමයක් මීගමු දූවේ ඓතිහාසික මහා පාස්කු නාට්‍ය සංදර්ශනයට ඇතුළත් පසම් ගී වෙයි.

‘කන්තාරු ගී’ පල්ලියේ පූජාව අවස්ථාවේදී වරින්වර ගැයෙන්නකි. අපේ රටේ ජනපි‍්‍රයම කන්තාරු ගීවල කර්තෘත්වය හිමිවන්නේ ද ජයකොඩි පියනමටය. ‘රොනට වඩින බිඟු ඔබයි’, ‘ඔබ සෝබන අත් විහිදා’, ‘නෙළුම් පිපීලා පෙති විසිරීලා’, ‘දෙපා ළඟ තබාලා’, ‘ජේසු රජාණෙනි ඔබ වටලා’, වැනි ගී ඊට දෙස් දෙයි.

අප මුලින්ම ගියේ මීගමු දූවටය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එක් කලෙකදී එය දූපතකි. දැනට ඇති පාලම ඉදිවන්ට පෙර එය ගොඩබිමෙන් සපුරා වෙන්වී තිබිණි. දූවේ ක්‍රිස්ටි ප්‍රනාන්දුගේ නිවෙසේ ගීතිකා කණ්ඩායමක් ගී ගැයිමට සූදානම් කර තිබිණි. අවුරුදු ගණනාවක් තිස්සේ දූව පාස්කු නාට්‍යයේ ක්‍රිස්තු චරිතය රඟපෑවේ ක්‍රිස්ටි ප්‍රනාන්දු ය.

සුවිශද ගායන කෞශල්‍යයකින් හෙබියා වූ හෙලන් ප්‍රනාන්දු ඔහුගේ ආදරණීය බිරිය වූවාය. පාස්කු නාට්‍යයේ නිෂ්පාදක ක්ලෙමන්ට් ප්‍රනාන්දු, එහි පොතේ ගුරු ලෙස රඟපෑ සුනිල් අබිලිනු, ජුදාස්ගේ චරිතය ජීවමාන කළ නිමල් කුරේරා ලේඛකයකු හා ඡායාරූප ශිල්පියකු වන බර්නාඩ් ශ්‍රී කාන්ත ද සෙසු අය අතර සිටි බව මට මතකය.

හෙලන් ප්‍රනාන්දු පසම් ගීයක් ගායනා කළාය. ඒ ගී හඬ කළපුව පැත්තෙන් හමා ආ වියළි සුළඟත් සමඟ අප සවනට වැදී ගියේය.

සඳ පහනේ පිපි වැටකෙය මල සේ
සුවඳ දිදි තිබිලා
සඳපහනේ පිපි මානෙල් මල සේ
රුවට රුවේ තිබිලා
සඳපහනේ කිරි මුහුද වගේ
හෝ සුදට සුදේ තිබිලා
ජේසු අනේ මේ කිමද වුණේ
ඔබෙ මුහුණ ලෙයින් වැසිලා

සුනිල් ගීතය පටිගත කර ගනි. නන්දා මාලිනිය බෙහෙවින් මුසපත් වී ඇගේ ගායනයට සවන් යොමා සිටී. ඇගේ එම ගායනය නන්දාගේ මහත් පැසසුමට ලක්වූ බව ද මෙහිලා කිව යුතුය.

“ඕක දූව පාස්කු නාට්‍යයේ එන ෆාදර් ජයකොඩිගේ පසමක්. ඒකේ විශේෂත්වය තමයි එය පාස්කුවෙ එන එකම ඒකල ගායනය වීම.”

වමේ සිට මහාචාර්ය සුනිල් ආරියරත්න, ඇන්ටන් මිහිඳුකුල, සුනිල් මිහිඳුකුල, සේන වීරසේකර, ක්ලෙමන්ට් ප්‍රනාන්දු, නන්දා මාලිනි,

ඡායාරූපය – බර්නාඩ් ශ්‍රී කාන්ත

ක්ලෙමන්ට් ප්‍රනාන්දු කියයි. ක්ලෙමන්ට් කතෝලික නාට්‍ය කලාව ගැන සුවිශද දැනුමක් ඇත්තෙකි. ඔහු මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ගෝලයෙකි. ඔහු කාලයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ සිංහල නාට්‍ය අනුමණ්ඩල සභාපතිවරයා වශයෙන් ද කටයුතු කළේය. පාස්කු නාට්‍යයට නව අර්ථකථනයක් දුන් ‘කටු ඔටුන්න’ ක්ලෙමන්ට්ගේ වේදිකා නාට්‍ය නිර්මාණයකි.

සුනිල් අබිලිනු ‘කය දුෂ්කර ප්‍රාර්ථනාව‘ නම් වූ ගද්‍යමය පසම ගායනා කළේය. එය උච්ච ස්වරයෙන් ගැයිය යුත්තකි. ක්ලෙමන්ට් පෙන්වා දුන් පරිදි එය ජාකෝමේ ගොන්සාල්වේස් පියනමගේ ‘දේශනා නවයේ පසම් පොතට ඇතුළත් වන්නකි.

ක්‍රිස්ටි ප්‍රනාන්දුගේ නිවෙසින් දිවා ආහාරය ගත් අප ඊළඟට ගියේ මීගමු පිටිපනට ය. එහි ද මෙවන්ම ගීතිකා කණ්ඩායමක් මගේ ඥාති සොහොයුරු ප්‍රවීණ වීදි නාට්‍ය ශිල්පි ඇන්ටන් මිහිඳුකුල විසින් සූදානම් කරනු ලැබ තිබිණි.

අපේ දෙවැනි සංචාරය මීගමු දූවේ පාස්කු නාට්‍යය නැරඹීම සඳහාම වෙන්ව තිබිණි. ඊට නන්දා මාලිනිය සහ ප්‍රවීණ චිත්‍රපට කලා අධ්‍යක්ෂ හේමපාල ධර්මසේන ද එක් වූහ.

තමාගේ ‘කැරොල් පසම් කන්තාරු’ ග්‍රන්ථය ලිවීමට සුනිල්ට මේ සියලු අත්දැකීම් සප්‍රයෝජනවත් වූ ආකාරයක් පෙනී යයි. ‘මනමෙ’ වැනි නාටකවලට මූලාශ්‍ර වී ඇත්තේ ද කතෝලික ගීතිකා බව සුනිල් පසක් කරගත්තේ මේ අත්දැකීම් ඔස්සේය.

‘කැරොල් පසම් කන්තාරු’ පොතෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න අලුත් මත දෙකක් ඉදිරිපත් කරයි. පළමු මතය අපේ රටේ වෙසක් භක්ති ගී නිර්මාණය වූයේ නත්තල් කැරොල් පූර්වාදර්ශයට ගනිමින් ය යන්නයි. දෙවැනි මතය මළ ගෙවල්වල වෙස්සන්තර ජාතකය ගැයීම ක්‍රිස්තියානි ආගම ඔස්සේ (විශේෂයෙන් පසම් ගායනා ඔස්සේ) බෞද්ධ සිරිතට විරිතට එක්වූ අංගයක් ය යන්නයි. මේ මතිමතාන්තර කතෝලික සංස්කෘතික උරුමයක් ගැන කතා කරන අයගේ ආඩම්බරයට හේතු වනු නොඅනුමානය.

මහාචාර්ය ආරියරත්න වැනි බෞද්ධයකු කතෝලික සංස්කෘතිය අළලා විශේෂයෙන් කැරොල් පසම් කන්තාරු, බයිලා කපිරිඤ්ඤා, ජාකෝමේ ගොන්සාල්වේස් සාහිත්‍ය සේවාව ගැන පර්යේෂණාත්මක ග්‍රන්ථ රචනා කිරීමත් ‘ක්‍රිස්තු චරිතය’ සිනමාවට නැඟීමත් යන ‘පාප ක්‍රියා’ නිසා ඇතැම් අන්තවාදීන්ගේ පරිභවයට ලක්වූ වග පැහැදිලිය. එහිලා වූ දරුණුම ප්‍රහාරය වූයේ කොලට් සේනානායක විසින් රෝනියෝ කර බෙදා හරින ලද ‘සුනිල් ආරියරත්නට නොබෙල් තෑග්ග‘ නම්වූ පොත් පිංචයි. තමා එවැනි අගතිගාමි විවේචනවලින් දුර්මුඛ වූ බව මහාචාර්ය ආරියරත්න වරක් මා සමඟ කනගාටුවෙන් යුතුව කියා සිටියේය. එසේ නොවන්නට රුක්මණි දේවි ගැන, ජයකොඩි පියතුමා ගැන, සුනිල් සාන්ත ගැන ඔහු අතින් ලියැවෙන්ට තිබු හොඳම පොත් තුනක් නොලියැවී ගියේය. එහි පාඩුව මෙරට ශාස්ත්‍ර සමාජයටම නොවන්නේ ද?

Comments

comments