Monday, February 20, 2017
Breaking News
You are here: Home » Negombo Heritage » මුතුරාජවෙල

මුතුරාජවෙල

soba4මීට දශක ගණනාවකට පෙර මිනිස්‌ ඇසට නොගැසුණු මිනිස්‌ පහසක්‌ නොලද මිනිස්‌ කටහඬක්‌ නොඇසුණු හුදෙකලා මහ වනය අද ලක්‌ පොළොවෙන් බොහෝදුරට මැකී ගොස්‌ හමාරය. දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රමවලට අවශ්‍ය ජලය රඳවා ගැනීම සඳහාත් අප ආශ්වාස කරන වාතය පිරිසිදු කිරීම සඳහාත් රටේ සෞන්දර්ය රැක ගැනීම සඳහාත් විශේෂයෙන් මානසික සහනය ලබාගැනීම සඳහාත් රටේ තැන තැන ඇති කුඩා කුඩා වනාන්තර යම් මෙහෙවරක්‌ සලසන නමුත් ඒ බොහොමයක්‌ද මිනිසුන්ගේ පීඩාකාරී හස්‌ථයට නතුවී හමාරය. එවැනි පසුබිමක්‌ තුළ අප මේ සිදුකරන සංචාරය ඇතැමෙකුට සිහිඑලවා ගත නොහැකි වන්නට පිළිවන් වී නමුත් මුතුරාජවෙල අභය භූමියේ සොබා සොඳුරු විඳින්නට ඔබටත් අප ආරාධනා කරනුයේ එමගින් අප සිත්තුළ ඇතිකර ගන්නා යහපත් ආකල්පයන් මෙරට සොබා උරුමයන්ගේ හෙට දවස වෙනුවෙන් ඔබගේ සිතුවිලි මෙහෙයවනු ඇතැයිද දැඩිව අපේක්‍ෂා කරමිනි.

අගනුවරට ඉතා තදාසන්නව පිහිටා ඇති බෙල්ලන්විල, අත්තිඩිය මෙන්ම මුතුරාජවෙල අභය භූමිය සම්බන්ධයෙන් පසුගිය කාලසීමාවන් පුරාවට අපට අසන්නට ලැබුණේ සතුටුදායක පුවත් නම් නොවේ. නමුත් එවැනි තත්ත්වයකදී වුව තවදුරටත් මුතුරාජවෙල අභය භූමිය අපගේ ඇස්‌පනාපිටම දිග හරින සොබාදහමේ මනරම් දසුන් දකින නෙතඟින් කඳුළැලි වැගිරෙන්නේ සොබාදහමේ නොහික්‌මුණු පුත්‍රයාගේ සැහැසිකම් අප්‍රමාණව එල්ල වද්දීත් සොබා දහම් අම්මා තමන්ට හැකි උපරිමයෙන් තම ඇකයේ රැඳුණු සෙසු දරු දැරියන්ට ආදරය හා රැකවරණය ලබාදෙන්නී නොවේදැයි සිතෙන විටය.

1938 දී එළිදක්‌වන ලද වන සත්ත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂක ආඥපනත යටතේ අභය භූමියක්‌ ලෙස ප්‍රකාශයට පත් කෙරෙන මුතුරාජවෙල මෙරට මානව ක්‍රියාකාරකම් හේතුවෙන් වැඩිම තර්ජනයකට ලක්‌වූ වනජීවී රක්‍ෂිත අතරින් එකක්‌ ලෙස හැඳින්විය හැකිය. නමුත් එහි වටිනාකම් හඳුනාගත් අතළොස්‌සක්‌ හෝ පරිසර හිතවාදීන් හේතුවෙන් අපට අදටත් යම්තරමකින් හෝ මුතුරාජවෙල අභය භූමියේ සුන්දරත්වය අත්විඳින්ටත් එහි වෙසෙන සුවහසක්‌ වන වාසීන්ට සැනසුම් සුසුම් හෙළන්නටත් හැකියාව ලැබී ඇත.

මුතුරාජවෙල සහ මීගමු කලපුව ආශ්‍රිත ජෛවමය උරුමයක්‌ සහ ඒවායේ සුරක්‍ෂිතභාවය තහවුරු කෙරෙන සමාජ ආර්ථික සංස්‌කෘතික පසුතලයක්‌ නිර්මාණය කර ගැනීම වෙනුවෙන් කැපවුණු පූර්ණ ප්‍රජා ක්‍රියාකාරී සංවිධානයක්‌ වන මුතුරාජවෙල හා මීගමු කලපුව සංවර්ධන පදනම හා එයට අනුබද්ධව ක්‍රියාත්මක වන ස්‌වෙච්ඡා ආයතනයක්‌ වන මුතුරාජවෙල පරිසර කේන්ද්‍රය අද වන විට මෙම රමණීය පරිසර දායාදය අනාගත පරපුරට උරුම කිරීමටත් ඒ වෙත ඇදී එන සංචාරකයන් හට ඉතා සාධාරණ හා වටිනා ආකාරයට පාරිසරික සංචාරක පහසුකම් සැපයීමටත් කැපවී සිටී. ඒ යටතේ දේශීය හා විදේශීය සංචාරකයන් හා පරිසරවේදීන් සඳහා මුතුරාජවෙල සහ මීගමු කලපුව ආශ්‍රිත බෝට්‌ටු චාරිකා සඳහා පහසුකම් සැපයීමත් එම පරිසර පද්ධතිය පිළිබඳ මඟපෙන්වීම් හා තොරතුරු සැපයීමටත් ඔවුහු කටයුතු කරති.

ශ්‍රී ලංකාවේ පමණක්‌ නොව මුළු ආසියානු කලාපයේම ඉතා වැදගත් ජෛව උරුමයන්ගෙන් සමන්විත තෙත් බිම් ප්‍රදේශයක්‌ ලෙස හඳුනාගත හැකි මුතුරාජවෙල අභය භූමිය ආශ්‍රිත තෙත් බිම් පරිසර පද්ධතිය ක්‍ෂීරපායීන්ගේ සිට කෘමි සතුන් දක්‌වා විහිදී පැතිරුණු ඉතා පෘථුල ජෛව විවිධත්වයකින් යුතු ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිසරික කලාපයකි. අප රටින් දැනට වාර්තා වී ඇති මුළු පෘෂ්ඨවංශීන්ගෙන් 35% ක්‌ පමණ මුතුරාජවෙල තෙත් බිමෙන් වාර්තා වී ඇත. එම විශේෂ වලින් 60% ක්‌ පමණ දේශීය වශයෙන් වැඳවී යැමේ තර්ජනයකට මුහුණදී තිබේ. එබැවින් දැනට එහි සිදුවෙන සියලු අනර්ථකාරී ක්‍රියා හා පාරිසරික හානි අප්‍රමාදව පිටු දැකිය යුතු බව අප පසුගිය කාලයේදී මෙම පිටුව මගින් පෙන්වා දුනිමු. (මුතුරාජවෙල වැනසී යන හැටි 2010 ජුනි 08 දිවයින සොබාසර) එම කරුණු කාරණා සලකා බැලීමේදී මුතුරාජවෙල පරිසර කේන්ද්‍රය මගින් මෙම අගනා උරුමයන් රැක ගැනීමට දරන උත්සාහය ප්‍රශංසනාත්මකය.

මුතුරාජවෙල තෙත් බිමේ සංචාරය කරන ඔබට මෙය දෙස්‌ විදෙස්‌ පක්‍ෂීන් රැසකගේ ලැගුම්පළක්‌ මන්ම ගොදුරු බිමක්‌ ලෙසද හඳුනා ගත හැකිය. සැබැවින්ම මුතුරාජවෙල තෙත් බිමේ වැඩිම විශේෂ විවිධත්වයක්‌ වාර්තා වන්නේ පක්‍ෂීන් සම්බන්ධයෙන් වන අතර ශ්‍රී ලංකාවේ වාර්තා වන තිහාරි පක්‍ෂි විශේෂ (සංක්‍රමණික) 215 න් 44 ක්‌ද නේවාසික පක්‍ෂි විශේෂ 231 න් 96 යක්‌ද මෙහි වාර්තාවෙයි. මෙම නේවාසික පක්‍ෂි විශේෂ අතරින්ද ආවේණික විශේෂයක්‌ වන ශ්‍රී ලංකා රත් නළල් කොට්‌ටෝරුවා මෙම තෙත් බිමෙහිදී දැක ගත හැකිය. එසේම කරවැල් කොකා – මල් පිළිහුඬුවා – ගෝමර පිළිහුඬුවා – නිල් කිතලා – මහ පිළිහුඬුවා – දියකාවුන් විශේෂ – බමුණු පිය උකුස්‌සා – කඩොල් කොකා වැනි පක්‍ෂීන් මෙහි සුලබය.

එසේම මෙහි වාර්තාවන නේවාසික පක්‍ෂි විශේෂ 96 න් 05 ක්‌ පමණ දේශීය වශයෙන් තර්ජනයට ලක්‌ව ඇත. මුතුරාජවෙල තෙත් බිම ආශ්‍රිතව සුලබව වාර්තා වන සංක්‍රමණික පක්‍ෂි විශේෂ අතර වගුරු උකුස්‌සා – අළුපිය තාඟුල් ළිහිනියා – නිල් පෙඳ බිඟුහරයා – දුඹුරු සබරිත්තා – දුටු වැහිළිහිනියා දැක්‌විය හැකි අතර ශ්‍රී ලංකාවේ ඉතා සීමිත ප්‍රදේශ කිහිපයක පමණක්‌ වාර්තා වී ඇති දුර්ලභ සංක්‍රමණිකයකු වන දම් පිළිහුඬුවාද මුතුරාජවෙල තෙත් බිමේ වාර්තා වී ඇති බව අප පසුගියදා මෙම ප්‍රදේශයේ සිදුකළ අධ්‍යයන චාරිකාවේදී මුතුරාජවෙල සංවර්ධන පදනමේ ලේකම් අමිල විතානගේ මහතා ප්‍රකාශ කළේය.

මුතුරාජවෙල වගුරුබිම ඉතා පොහොසත් ක්‍ෂීරපායි විවිධත්වයකටද උරුමකම් කියනු ලබන අතර විශාල ක්‍ෂීරපායින් වාර්තා නොවෙතත් කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ශ්‍රී ලංකාවේ චාර්තා වන ක්‍ෂීරපායි විශේෂ 90 න් 34 ක්‌ පමණද මෙම ප්‍රදේශයෙන් වාර්තා වේ. හඳුන් දිවියා – කොළ දිවියා – ඉත්තෑවා – රිලව් – මුගටියා – මී මින්නා – දිය බල්ලා – රත් උණහපුළුවා වැනි ක්‍ෂීරපායි විශේෂ මෙහි හඳුනාගත හැකි අතර මින් රත් උණහපුළුවා සහ රිලව් ලංකාවට ආවේණික වේ.

රිලව් හැර සෙසු ක්‍ෂීරපායින් සුලභව දැකීමට අවස්‌ථාවක්‌ නොලැබෙතත් උනහපුළුවා – හඳුන් දිවියා – කොළ දිවියා – දිය බල්ලා හා මී මින්නා වැනි දේශීය වශයෙන් තර්ජනයට ලක්‌වූ ක්‍ෂීරපායින් රැසකටද මෙම වගුරුබිම නිවහනක්‌ වීම සතුටට කරුණකි, ජපානයේ භ්‍යණ රූපවාහිනි ආයතනය හා මුතුරාජවෙල පරිසර කේන්ද්‍රය එක්‌ව සිදුකළ සමීක්‍ෂණයක්‌ හා කැමරා උගුල් භාවිතයෙන් සිදුකළ රූපවාහිනී වැඩසටහන නිරීක්‍ෂණය කිරීමෙන් අපට හඳුනාගත හැක්‌කේ මෙම ප්‍රදේශයේ ශ්‍රී ලංකාවේ දුර්ලභ මාංශ භක්‌ෂක ක්‍ෂීරපායියකු වන හඳුන් දිවියන්ගේ හොඳ ගහනයක්‌ පැතිරී ඇති බවය.

ශ්‍රී ලංකාවේ උරග විශේෂ 176 ක්‌ පමණ වාර්තා වන අතර ඉන් විශේෂ 39 ක්‌ මුතුරාජවෙල තෙත් බිම ආශ්‍රිතව වාර්තා වේ. ඉන් විශේෂ 23 ක්‌ සර්පයන් වන අතරම සිව්පා උරගයන් විශේෂ 16 ක්‌ද මෙම වගුරු බිම නිවහන කොටගෙන දිවිගෙවන අතර ඉන් විශේෂ 08 ක්‌ ශ්‍රී ලංකාවට අවේණිකය. ශ්‍රී ලංකාවේ වාර්තාවන විශාලතම සිව්පා උරගයා වන ගැට කිඹුලා මෙන්ම කබරගොයාද මෙම ප්‍රදේශයේ ඉතා හොඳ ව්‍යාප්තියක්‌ පෙන්නුම් කරන බව කිව හැකිය. ඔබ මුතුරාජවෙල තෙත් බිමේ සංචාරය කළහොත් නිතැතින්ම ශ්‍රී ලංකාවේ විශාලතම උරගයා දැකීමේ භාග්‍ය ඔබට උදාවනු නොඅනුමාන වන අතරම මුතුරාජවෙල පරිසර කේන්ද්‍රයේ මාර්ගෝප දේශකය=න් හා බෝට්‌ටු පදවන්නන් ඉතා සජීවී හා ආරක්‍ෂාකාරී ලෙස ඔබට එම ගැට කිඹුලන් දැකීමේ ත්‍රාසජනක අත්දැකීම උරුම කර දෙනු ඇත. අප මෙහි සිදුකළ ක්‍ෂේත්‍ර අධ්‍යයනයේදීද විවිධ වයස්‌ ප්‍රමාණයන්ගේ කිඹුලන් කිහිපකෙනෙකු එක්‌ දිනක්‌ ඇතුළතදී දැකගැනීමට ලැබුණු අතර මිනිසුන් විසින්ද නිරන්තරයෙන්ම ජීවිත හානි සිදුකරද්දීම මුතුරාජවෙල අභය භූමිය ගැට කිඹුලන්ට ප්‍රශස්‌ථ උභය ස්‌ථානයක්‌ ලෙස ක්‍රියාකරන බව උපකල්පනය කළ හැකිය.

එසේම ශ්‍රී ලංකාවේ සුලබව හමුවන සර්ප විශේෂ රැසක්‌ මෙන්ම ඉතා දුර්ලභ හා අවේණික කඩොල් දියබරියා – පුල්ලි දත් කැටියා හා දිය පොළඟා වැනි උරගයන්ටද මුතුරාජවෙල නිවහන වන අතර රෙදි නයා වැනි දුර්ලභ සර්ප විශේෂද නොයෙක්‌ අවස්‌ථාවල මුතුරාජවෙල වගුරු බිමෙන් වාර්තා වී ඇත. තවද මිරිදිය මෙන්ම කිවුල්දියද සහිත මෙම තෙත් බිමේ සහ කලපුවේ විද්‍යාත්මකව හඳුනාගත් මත්ස්‍ය විශේෂ 46 ක්‌ වාර්තා වන අතර විශේෂ 05 කට අයත් මෙරටට ආවේණික මසුන්ද ඒ අතර වේ. මෙහි වෙසෙන කිවුල් දිය මසුන්ද වන අතර සමහරෙක්‌ ප්‍රජනනය සඳහා මුහුදට සංක්‍රමණය වේ. (දුනු ස්‍රොaතගාමී) සමහර මත්ස්‍ය විශේෂ බිත්තර දැමීම හෝ තම ළාබාල අවධිය ගත කිරීම සඳහා මුහුදේ සිට කලපුවේ කඩොලාන පරිසරයට සංක්‍රමණය වීමේ (ප්‍රති ස්‍රොaතගාමී) හැසිරීම් රටා දක්‌වනු ලබයි. අප මුතුරාජවෙල වගුරු බිම ඔස්‌සේ ගමන් කරනවිට යාන්ත්‍රික බෝට්‌ටුවේ කම්පනය හේතුවෙන් අපගේ මඟ දෙපසින් ජලතරංග මතින් ඉහළ පනිනු ලබන කුඩා වෙල්ලියා මසුන් ජලතලය මත වාර කිහිපයක්‌ පැන යමින් බෝට්‌ටු ගමන් කරන මාර්ගයෙන් ඉවතට පැමිණීම චමත්කාර ජනක දසුනකි. එසේම කලපුව ආශ්‍රිතව දිවි ගෙවන ජෙලි ෆිෂ් මසුන් නැරැඹීමට හැකිවීමද මුතුරාජවෙල සංචාරයකදී හිමිවන නවමූ අත්දැකීමකි. ඇතැම් Jeකකහ Fසිය විශේෂ ඉතා විෂ සහිත නමුත් මුතුරාජවෙල කලපුව ආශ්‍රිතව දිවිගෙවන මෙම ජෙලි ෆිෂ් – ජල්ලියන් දෑතින් හැසිරවීමේ හැකියාවද සංචාරකයන්ට හිමිවේ. එසේම මුතුරාජවෙල වගුරු බිමෙහි සිදු කෙරෙන පාරම්පරික මසුන් මැරීමේ ක්‍රමද සංචාරකයන්ට මෙන්ම පාසල් සිසුන්ටද මහත්වූ අධ්‍යාපන වටිනාකමක්‌ ලබාදේ.

එසේම උදෑසන හිරු රශ්මිය පතිත වීමත් සමගම සක්‍රීය වන සමනලුන් බත් කුරන් වැනි අපෘෂ්ඨවංශී ජීවි විශේෂ රැසකටද මෙම වගුරු බිම අපූරු තෝතැන්නකි. නමුත් මෙම ප්‍රදේශයේ අපෘෂ්ඨවංශී ජීවීන් ගැන විධිමත් පරීක්‍ෂණ කෙරී නොමැති නිසා දන්නා තොරතුරු ප්‍රමාණයද ඉතා අල්පය. එසේ වුවත් මුතුරාජවෙල තෙත් බිමෙන් කුල 08 කට අයත් සමනල විශේෂ 72 ක්‌ පමණ වාර්තා වී ඇත. ඉන් විශේෂ 06 ක්‌ පමණ ලංකාවට අවේණිකය. ත්‍රිම්සන් රෝස්‌ – කොමන් රෝස්‌ – කොමන් වොරිවන් – බ්ලූ ග්ලැසිටයිගර – ටේල් රවැනි වර්ණවත් සමනල විශේෂ මෙහි සුලබ වන අතර මුළු ලොවෙන්ම මෙරටට පමණක්‌ සීමාවූ ලාර්ඩක්‌ බ්ලූ – ඩාර්ක්‌ ග්‍රාස්‌ බ්ලූ – ටයිනි ග්‍රාප් බ්ලූ – ස්‌ටි්‍රප්ඩ් ඇල්බඩ්රොස්‌ – ලාර්බැන්ඩඩ් ස්‌විජට්‌ හා ඩාර්ක්‌ ෆාම් ඩාර්ට්‌ යන සමනල විශේෂද මුතුරාජවෙල සංචාරයකදී ඔබට දැක ගත හැකිය.

ලවන සහිත ජලය හා දිනපතා වෙනස්‌ වන කලපු ජලයේ වඩදිය බාදිය මට්‌ටම ආදී සොබාදහමේ තර්ජනයට සාර්ථකව මුහුණ දෙමින් ස්‌ථාපනය වූ කඩොලාන ශාක ප්‍රජාව අධ්‍යයනය කිරීම සඳහාද මුතුරාජවෙල අපූරු තෝතැන්නක්‌ බව කිව යුතුමය. කයිරු මුල් – කුරු මුල් – වායුධර මුල් දෑ සුවිශේෂී දුනුවරථනයන් ගෙන් හෙබි මහ කඩොල් – මල් කඩොල් – කිරල – කාරන් කොකු – ගිං පොල් ආදී කඩොලාන ශාක කුලයේ ශාක රැසක්‌ ඉතා හොඳින් මුතුරාජවෙල වගුරු බිම පුරා පැතිරී ඇති අතර ඒ මත කැදලි තනන පක්‍ෂීන්ගේ දසුන මනහරය, ගල්ලැහැ පන් ශාකවල ලපටි කොටස්‌ මුවින් ගෙන ඉගිල යන විල් කුකුළන් (කිතලා) මුතුරාජවෙල පරිසර පද්ධතියට චමත්කාරය ගෙන එමින් නඟන දසුන පරිසර ලෝලියෙකුගේ හිත තුළ සදානුස්‌මරණීය මතකයක්‌ ඉතිරි කරනු නම් නොඅනුමානය.

මුතුරාජවෙල පරිසර කේන්ද්‍රය මගින් සංචාරක පහසුකම් ලබාගන්නා ඔබට එම සංචාරක මධ්‍යස්‌ථානයේ සිට හැමිල්ටන් ඇළ ඔස්‌සේ මීගමු කලපුව දක්‌වා බෝට්‌ටු සංචාරයකට ඉඩ ප්‍රස්‌ථාව සැලසේ. ඉන්පසු මීගමු කලපුවේ හා දඬුගම් ඔය (අත්තනගළු ඔය) මෙම ප්‍රදේශයේදී ව්‍යවහාර වන්නේ මෙනමිනි” ඩෙල්ටාවේ සංචාරය කිරීමේ හැකියාව ලැබේ. දඬුගම් ඔය ඩෙල්ටාව ප්‍රදේශය කිඹුල් ගහනය සඳහා ප්‍රසිද්ධියක්‌ උසුලන අතරම අප ඉහත කී ජෛව උරුමයන්ද විසිර පැතිර ඇති සේම මිනිසාට ස්‌වාභාවිකව පරිසරය සමග පවත්වාගෙන යා හැකි මනා සබැඳියාව අධ්‍යයනය කිරීමටද අවකාශ සැලසේ. සාම්ප්‍රදායික ක්‍රමයට කඩොලාන තුරුඅතු කිහිපයක්‌ කපා කලපුවේ එක්‌තැනක ගොඩ ගසා එම අතු එක්‌ තැනක රැඳී පවතිනු වස්‌ ඉනි සිටුවා තබන “මව් අතු” මසුන් මැරීමේ ක්‍රමය උදාහරණයක්‌ ලෙස සලකමු. ඔබට එහිදී නිරීක්‍ෂණය කළ හැක්‌කේ එම ඉනිමත වසා සිටින නෙක ජලචර පක්‍ෂීන්ය. මිනිසා තමාගේ මත්ස්‍ය ආහාර අවශ්‍යතාව සපුරා ගන්නා අතර එමගින් සොබාදහමේ තවත් සාමාජික පිරිසක්‌ද යෑපේ. සොබාදහම යනු අපා දෙපා සිව්පා බහුපා ආදී අප සැවොම බැවින් අප ප්‍රවර්ධනය කළ යුත්තේ මෙම සබැඳියාව නොවේද?

ඔබත් මුතුරාජවෙල වගුරු බිම් පද්ධතියේ සොබා සොඳුරු තැන් දකින්නටත් අධ්‍යයනය කිරීමටත් කැමති නම් කොළඹ මීගමුව ප්‍රධාන මාර්ගයේ තුඩැල්ල මංසන්දියෙන් වමට හැරී පිටිපන හරහා මීගමුව දක්‌වා ධාවනය වන 273 බසයකින් හෝ වැලිකුටිය හන්දියට පැමිණ මීටර 300 ක්‌ දුර ගෙවීමෙන් මුතුරාජවෙල පරිසර කේන්ද්‍රය වෙත ඉතා පහසුවෙන් ළඟාවිය හැක. ඔබගේ පරිසර සංචාරය – ගවේෂණය සංවිධානය කර ගැනීම ජීවිතයේ රන් අකුරෙන් ලියෑවෙන අත්දැකීමක්‌ සේම මුතුරාජවෙල ජෛව උරුමයන්ගේ සංරක්‍ෂණයට දිගුවෙන නොමසුරු දායකත්වයක්‌ද වන බව කිව යුතුය.

විශේෂ ස්‌තූතිය මුතුරාජවෙල පරිසර කේන්ද්‍රයට හා මුතුරාජවෙල හා මීගමු කලපුව සංවර්ධන පදනමට.

සුපුන් ලහිරු පzකාශ්
ඡායාරූප – දුමිල විතානගේසම්පත් දෙහිගස්‌පිටිය

Comments

comments