Saturday, June 24, 2017
Breaking News
You are here: Home » Interviews » කොල්ලන්ට ඉඩ නොදී සිනමාව හදන්න බෑ – ප්‍රවීණ රංගවේදී අමරසිරි කලංසූරිය

කොල්ලන්ට ඉඩ නොදී සිනමාව හදන්න බෑ – ප්‍රවීණ රංගවේදී අමරසිරි කලංසූරිය

ප්‍රවීණ රංගවේදී අමරසිරි කලංසූරිය

අපට සිනමාව ගැන විශාල ගෞරවයක් තිබුණා. ඒවගේම අප තුළ විශාල කැපවීමක් තිබුණා. අපේ රංගනය ඔපවත් වෙන්න අපි විඳපු කටුක ජීවන අත්දැකීම් බොහෝදුරට ඉවහල් වුණා . අපේ පෞර්ෂය ගොඩනගා ගන්න. අද වගේ ඒ කාලේ රංගනය ඉගෙන ගන්න තැනක් තිබුණේ නෑ. අපි ඉගෙන ගත්තේ ජීවන අත්දැකීම් තුළින් මිසක් සීත කාමරවල ඉඳගෙන නෙවෙයි.

* වියපත් සිනමා රංගධරයෙක් විදියට වත්මන් සිනමාව ගැන මොකද හිතන්නේ?

සිංහල සිනමාව වර්තමානයේ පත්ව ඇති තත්ත්වයගැන මම හරිම කණගාටුවෙනවා. ජේ. ආර්. ජයවර්ධන මහත්තයා චිත්‍රපටි සංස්ථාවේ සභාපතීත්වය, ඩී. බී. නිහාල්සිංහ මහත්තයගෙන් අරගෙන. ඇන්ටන් වික්‍රමසිංහට භාරදෙන කොට සිනමාව මිලියන හැත්තෑ දෙකක ආදායමක් ලබමින් තිබුණා. අද වෙද්දි ඒක මිලියන හතරට බැහැලා. මං ළගදී පත්තරේක දැක්කා මෙත්තසේන කියලා මහත්තයෙක් මේ පිළිබඳව වත්මන් සභාපතිවරයාගෙන් විමසූ විට ඔහු කියල තිබුණා අපි තාම ආව විතරයිනේ කියලා. ඒ වගේම ඉන්දියානු චිත්‍රපට රිංගවන්න හදන එක ගැනත් ඔහු ප්‍රශ්න කරලා තිබුණා.

ඇත්තටම ඕවා නෙවෙයි සිනමාව ගොඩගන්න නම් කළ යුත්තේ. අලුතින් හිතන පතන, අලුත් දේවල් කරන්න ආසාවෙන් ඉන්න දක්ෂ තරුණ පරම්පරාවක් සිනමාව ඇතුළට ඇවිත් තිබෙනවා. ඒ අයට මූල්‍යමය පහසුකම් ලබාදී නිර්මාණ කරණයට අතහිතදීමයි. ඩී. බී නිහාල්සිංහ මහත්තයා එහෙම කළා. ධර්මසේන පතිරාජ මහත්තයලා හැදුණේ ඒ විදියට.

* ඔබ ඉන්දියානු චිත්‍රපට ගැන කතාකළා. අපි දකිනවා වර්තමානයේ ඉන්දියානු නිළියන් ගෙනල්ලා චිත්‍රපට හදනවා. ඇයි මේ. අපට නිළියො නැද්ද?

ඔබ ඔය ප්‍රශ්නය මතුකළ එක හොඳයි. පාරතොටේ යනකොට මම දකිනවා නොයෙකුත් තරාතිරම්වල තරුණ තරුණියෝ. කොච්චර ලස්සන ද මේ මිනිස්සු, හොඳ චරිතවලට යොදාගන්න පුලුවන් මිනිස්සු. නමුත් කවුරුවත් උත්සාහ කරන්නේ නැහැ එහෙම හොයාගෙන ඒ අයට තැනක් දෙන්න. රජකාලේ ඉන්දියාවෙන් ගෑනු ගෙනාවා වගේ සිනමාවටත් ඉන්දියාවෙන් ගෑනු ගේන්න පටන් අරන්. මම මේ පුද්ගලිකව කාට හරි අපහාස කරනවා නෙමෙයි. මම විවේචනය කරන්නේ මේ ප්‍රවනතාවය. ඇයි අපට හොඳ නිළියෝ නැද්ද? එහෙම නැත්නම් ඒක කාගේ වැරැද්දක්ද? අපට හොඳ නළු නිළි පරම්පරාවක් හදන්න බැරිද?

ඩී. බි. ධනපාල මහත්තයාලා වගේ මාධ්‍යවේදීන් මේ රටේ බිහිවෙන්න ඕන. මේවා විවේචනය කරලා නිවැරදි තැනකට සිනමාව ගේන්න ඒ අයටත් වගකීමක් තිබෙනවා.

ඔබ ඒ තරම් විශාල ශරීරයක් ඇති අයෙක් නොවුණත්, ඔබේ සිනමා පෞරෂය අති දැවැන්තයි. නමුත් වර්තමානයේ නළුවන්ගේ ශරීරය විශාල වුණාට පෞරෂය අතින් ඉතාම පහළ යි.

අපට සිනමාව ගැන විශාල ගෞරවයක් තිබුණා. ඒවගේම අප තුළ විශාල කැපවීමක් තිබුණා. අපේ රංගනය ඔපවත් වෙන්න අපි විඳපු කටුක ජීවන අත්දැකීම් බොහෝදුරට ඉවහල් වුණා . අපේ පෞර්ෂය ගොඩනගා ගන්න. අද වගේ ඒ කාලේ රංගනය ඉගෙන ගන්න තැනක් තිබුණේ නෑ. අපි ඉගෙන ගත්තේ ජීවන අත්දැකීම් තුළින් මිසක් සීත කාමරවල ඉඳගෙන නෙවෙයි.

අද තියෙන ගැටලුව තමයි, ඇතැම් අය රංගනයට එන්නේ, ප්‍රතිරූප ගොඩනගාගන්න. මුදල් හොයන්න. කොටින්ම ඔවුන්ගෙ අරමුණ හොඳ රංගන ශිල්පියෙක්. ශිල්පිනියක් වීමට වඩා වෙනත් දෙයක්.

එහෙම කැපකිරීම් කරන රංගනය වෙනුවෙන් වෙහෙසන තරුණ පිරිසක් ඉන්නවා. හැබැයි ඒ අයට පහසුකම් නැහැ. ඉතාමත් අමාරුවෙන් කරන චිත්‍රපටිය, පෙන්න ගන්න විදියක් නෑ. මං දැක්කා හොඳ චිත්‍රපටයක පුනර්රූපණයක්, ‘මෝටර් බයිසිකල්’ කියලා. මෙම චිත්‍රපටයේ රංගනයේ යෙදෙන තරුණ දරුවෝ හොඳින් ඒ කාර්ය කරනවා. ඔවුන් තුළ සිනමාවට අදාළ ජවය තිබෙනවා. නමුත් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා ගන්න මුදල් නෑ. ඒනිසා ඔවුන් ගැන සොයා බලා ඔවුන්ට උදව් කළ යුතු වෙනවා.මමත් දුක් ගැහැට අතොරක් නැතිව විඳපු කෙනෙක්. මගේ රංගන පෞර්ෂය ගොඩනගා ගන්න ඒ ලබපු අත්දැකීම් හුඟක් ඉවහල් වුණා.

* 71 තරුණ නැඟිටීම සිදුවෙද්දී ඔබ හිටියේ හමුදා සේවයේ. ඔබ නිර්ධන පන්තිය වෙනුවෙන් පෙනී ඉදිමින්, ධනපති පන්තිය ආරක්ෂා කළා නේද?

නැහැ. ඔවුන් මා දිහා බැලුවේ වපර ඇහෙන්. මම හමුදාවේ ඉද්දි මාව අත්අඩංගුවට ගත්තා. මම කැරලිකරුවන්ට උදව් කරනවා කියලා. ඔබ අහපු නිසා මං මේක කියන්නේ. කවුරුවත් මේක මීට කලින් අහල නැති කතාවක්. ඇත්තටම අපිට සැළසුමක් තිබුණා. ඒ සඳහා සාකච්ඡාවට කිහිපයකුත් පැවැත්තුවා. අපට හමුදාව ඇතුළට ගිහින් අවි පුහුණුව ඒ ක්‍රියාකාරකම් ඉගෙන ගන්න ඕන වුණා. ඉතිං අපි ඇතුළට ආවා. අපේ අරමුණ වුණේ මේ රටේ ලොකු වෙනසක් ඇති කරන්න. ඒක අසාර්ථක වුණා. ඒක තමයි දේශපාලනය කියන්නේ. ඒක තමයි ජීවිතය කියන්නේ. අපි ඇතුළට ගියේ ඒකට මිසක් වෙන මඟුලකට නෙමෙයි.

* ඒ අත්දදැකීමක් මතක් කළොත්?

මට තාම මතකයි අපි මෙහෙයුමකට ගියා කුරුණෑගල. ගල්බාව දිහා. ඒ යද්දි පොඩි කොල්ලො දෙන්නෙක් ඉන්නවා බෝක්කුවක් උඩ.මේජර් මට කතා කරලා කිව්වා ගිහින් බලපන් උන් කවුද කියලා. මං ගිහින් ඇහුවා “මල්ලි මෙතන මොකද කරන්නේ?” “නිකං ඉන්නවා” ඒ එක්කම මේජර් මට කෑ ගහලා කියනවා “ඕකුං දෙන්නට වෙඩි තියලා ඉක්මනට වරෙන්” කියලා. මම කව්වා “සර් මේ පොඩි ළමයි මේ අයට කොහොමද වෙඩි තියන්නේ” කියලා. මම ට්‍රක් එකට ගියා විතරයි මගේ රයිෆල් එක උදුරගත්තා. මට රයිෆල් එක දික්කරලා ‘නැගපන්’ කිව්වා. දැන් මං ඔවුන්ගෙ අත්අඩංගුවේ. හැබැයි අර තරුණයෝ දෙන්නව බේරලා ඇරපු එක ගැන මට සතුටුයි . අපි ඉස්සරහට යද්දී වෙඩි සද්ද ඇහෙන්න ගත්ත. බෝම්බ පුපුරණ සද්ද. මේජර් මට කිව්වා කලං ගනින් ඉක්මනට තුවක්කුව කියලා. මොකද මම තමයි එතන හිටපු දක්ෂම සොල්දාදුවා. මං ගත්කටටම කිව්වා. මට ආයි තුවක්කු ඕන්නෑ. කරන දෙයක් ඕගොල්ලො කරගන්න කියලා.ගල්බාව ගල උඩට නගිද්දි අපේ දෙන්නෙක් මැරිලා හිටියා. දෙන්නෙකුට තුවාල වෙලා.

* දැන් ප්‍රදර්ශනය වන චිත්‍රපටිගැන සෑහීමකට පත්වෙනවාද?

මම පතීගේ චිත්‍රපටය බැලුවා. නමුත් ඒක පතීගේ මුල් සිනමා කෘති තරම් සාරවත් නැහැ කියලයි මට හිතෙන්නෙ. හඳගමගේ චිත්‍රපටයත් බලන්න කියලයි හිටියේ. ඒත් මේ චිත්‍රපටි ප්‍රදර්ශනය වෙද්දිම වගේ තවත් චිත්‍රපටයක් ආවා‍. ඒ නිසා පතිගේ චිත්‍රපටයත්, හඳගමගෙ චිත්‍රපටයත් ඉක්මනින් ගැලවුණා. මං අර කියපු චිත්‍රපටිය දැන් ආදායම් වාර්තා පසුකරමින් තිරගත වන බව වෙළෙඳ දැන්වීම් පලවෙනවා. නමුත් ඒක ප්‍රෝඩාවක්. මේ චිත්‍රපට නිර්මාණකරුවා හරිම ගුප්ත චරිතයක්. එයා හැම ආණ්ඩුවක්ම අල්ල ගන්නවා. කොයි ආණ්ඩුව ආවත් ඒකට හේත්තුවෙලා තමන්ගෙ වැඩේ කරගන්නවා. ඔහුට අවශ්‍ය මුදලුයි ප්‍රතිරූපයයි පමණයි. ඔහු සියලු දේ කරන්නේ ඒ වෙනුවෙන්.

* පසුගිය ආණ්ඩුවකාලේ ඔබටත් වාහන තුනක් දුන්නා කියලා රාවයක් පැතිරුණා. මොකක් ද ඒ කතාව?

ඔව්. මහින්ද මහත්තයා මට කාරෙකක් ගන්න සල්ලි ගන්න කියලා ලියුමක් දුන්නා. මම ඒ ලියවිලිත් අරගෙන බැංකුවට ගියාම, ඒ අය මං දිහා බලලා ‘කලං මහත්තයා ඔහොම පොඩ්ඩක් වාඩි වෙන්කො” කියලා. ඒ මනුස්සයා කියනවා “අපිට හරිම කණගාටුයි මහත්තයා”මේගැන කිසිම දැනුම් දීමක් හෝ අනුමත කිරීමක් නැහැ.ඒ නිසා ඔබ තුමාට මුදල් ලබා දෙන්න විදියක් නැහැ” “ඔබ වගේ අයටත් මෙහෙම සලකනවානම්” අපිට කොහොම සලකයිද කියලා හිතාගන්න පුලුවන් කියලා. ඔය විදියට අවස්ථා තුනකදී මට ලියුම් හම්බවුණා. එකක් හම්බවුණේ රාජ්‍ය සිනමා උළෙලෙදි . මේ ඔක්කොම බොරුවට දීපු ඒවා.

පස්සේ මං පරණ කාර්එක දීලා අලුත් හයිබ්‍රිඩ් කාරෙකක් ගත්තා. ඊට පස්සේ හැමෝම අහන්න ගත්තා. ‘මේ අර මහින්ද මහත්තයා දීපු කාරෙක නේද’ කියලා. මොකද එහෙම මුදල් ප්‍රතිපාදන දුන්නා කියලා පත්තරවලත් ගිහින් තිබුණා. පස්සේ මං කළේ මේ ප්‍රශ්නෙට උත්තර දිදි ඉන්න බැරි නිසා ගත්ත ගාණටත් ලක්ෂ දෙකක් අඩුවෙන් වාහනේ විකුණල දැම්මා. ඒ ලියකියවිලි මංගාව තාමත්ත තියෙනවා. අවශ්‍යනම් ඕනම අයෙකුට පෙන්නන්න පුළුවන්.

* ඔබට ලැබුණ හොඳම සම්මානය මොකක්ද? ‍

ලේකඛ හා විචාර සම්මානය.

* ඔබට ලැබෙනවනම් ඔබ වඩාත් අගේ කරන සම්මානය?

සිනමාවේ නිර්ධන පන්තිය නියෝජනය කිරීම වෙනුවෙන් ලැබෙන සම්මානය. මොකද මම අදටත් ඒ පන්තියට ආදරෙයි. මට පුළුවන් හැම මොහොතකම මම ඔවනුන්ට උදව් කරනවා. මේ රටේ ආණ්ඩු මතක තියා ගන්න ඕන ඒ අය හොබවන බලය. ඔවුන්ට ලබා දුන්නේ මේ නිර්ධන පන්තියේ මිනිසුන් කියන එක. ඒ නිසා ඔවුන් වෙනුවෙන් ඉටුකිරීමට ඔවුන්ට යුතුකමක් තියෙනවා. ඒක කවුරු හරි පැහැර හරිනවානම් ඔවුන් මනුෂ්‍යත්වයට උචිත නැහැ.

 

 

කේ.ඩී. රසික(http://www.dinamina.lk)

Comments

comments