Tuesday, May 23, 2017
Breaking News
You are here: Home » Interviews » ලංකාව එක් දිනක ලැබූ ජාත්‍යන්තර ජයග්‍රහණ දෙකක් ?

ලංකාව එක් දිනක ලැබූ ජාත්‍යන්තර ජයග්‍රහණ දෙකක් ?

 managala 4
2017 මාර්තු මාසයේ 23 වෙනි දින ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන දිනයක් බව විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
ඒ සිද්ධීන් දෙකක් හේතුවෙන් බව ඔහු කියා සිටියි.
”එක පැත්තකින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අවුරුදු 43කට පස්සෙ, රුසියාවෙන් කරපු නිල ආරාධනාවකට අනුව එතුමාව ඉතාමත් ඉහළින් රුසියාවෙ දි පිළිගත්තා. රජ කෙනෙකුට වගේ එතුමාට සැලකුව. ඒක එක්තරා සංකේතයක්.
එදාම සිදුවෙච්ච අනිත් කාරණේ තමයි මොස්කව්වල එහෙම පිළිගැනීමක් අපේ රටට ලැබෙනකොට ජිනීවාවල ලංකාව වෙනුවෙන් රටවල් 47ක සහය ලැබුණා. එදා රාජපක්ෂ කාලේ අපේ සහයට හිටියේ රටවල් 12යි. දැන් සියලු රටවල් අපේ පැත්තේ හිටගෙන. කළු රට, සුදු කළා කියන්න ඊට වඩා සාක්ෂි අවශ්‍ය වෙන්නේ නැහැ.
 අද ලංකාව ගැන ලෝකයේ රටවල් අතර විශ්වාසයක්, ආදරයක්, බලාපොරොත්තුවක් තියෙනව. දේදුනු විප්ලවය එයට එක හේතුවක්” යයි ඔහු එබව පවසා ඇත්තේ ‘සත්හඬ’ පුවත්පත සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමිනි.
‘සත්හඬ’ පුවත්පතේ ”ඔබට සතුටුයිද දැන් ?” විශේෂාංගය එක්වූ විදේශ ඇමතිවරයාගේ සාකච්ජාව පහත පළවේ.
”දේදුනු විප්ලවයට මුළු ලොවේම අවධානය යොමු වෙලා”
ජනවාරි 08 සිදුවූ ආණ්ඩු පෙරළියෙන් පසු පිහිටවූ පාලන තන්ත්‍රයට සම්බන්ධ වී සිටින දේශපාලඥයන් හා රාජ්‍ය නිලධාරීන් එම කාලය තුළ කළ කී දෑ පිළිබඳ විමසා බලන සංවාදාත්මක ලිපිපෙළක ආරම්භයයි මේ. අද අප සාකච්ඡාවට සම්බන්ධ කරගත්තේ ජනවාරි 08 පෙරළිය වෙනුවෙන් පෙරටුගාමී කාර්යයක් සිදුකළ විදේශ ඇමැති මංගල සමරවීර මහතායි.
■ ඇමතිතුමා ජනවාරි 08 සිදු වුණු පෙරළිය, එහෙමත් නැත්නම් දේදුනු විප්ලවය ගැන දැන් මොකද හිතෙන්නෙ?
ඇත්ත වශයෙන්ම අදත් මම ඒ ගැන සතුටු වෙනවා. මොකද මේ රට ඒ වෙනකොට ගිය මාර්ගය බොහෝ දෙනා නොසිතූ මොහොතක වෙනස් කරන්න පුළුවන් වුණා. අපි ඊට වසර දෙක තුනකට ඉස්සර දුටුවා අරාබි වසන්තය කියලා ලංකාව වගේම චෞර පාලකයන් හිටපු ටියුනීසියාවෙ ඊජිප්තුවේ ලිබියාවෙ ඔය වගේ රටවල ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ඇති කරන්නට තුවක්කු අතට ගන්නට සිදු වුණු අන්දම.
නමුත් ලංකාවෙ අපි උතුර, දකුණ, නැගෙනහිර, මධ්‍යම සිටින ශ්‍රී ලාංකිකයන් එකතු කරලා අවිහිංසාවෙන් කරපු දැවැන්ත විප්ලවයක්. අද මං දන්නවා හාර්වඩ් විශ්ව විද්‍යාලයේ පවා, ලංකාවේ සිදු වුණු මේ දේදුනු විප්ලවය ගැන ලියන්න පටන් අරගෙන තියෙනවා. ඒක ලෝකයට දැනගත යුතු කතාවක්. ලෝකයට ලොකු ආදර්ශයක්.
■ මේ සඳහා එදා ඔබේ දායකත්වය ලැබුණෙ කොහොමද?mangala 3
ඇත්ත වශයෙන්ම මමත් මට පුළුවන් මට්ටමින් දායක වුණා. 2007 මහින්ද රාජපක්ෂ ආණ්ඩුවෙන් වෙන් වුණු දවසෙ ඉඳලා අපි ඒ මෘග ඒකාධිපති පාලනය වෙනස් කිරීමට සිහින දැක්කා. සැලසුම් හැදුවා. නමුත් අවසානයේ දී ඒ සියලු සැලසුම් ක්‍රියාත්මක කරන්න ලැබුණෙ, 2014 අන්තිමේ දි මෛත්‍රීපාල සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්තුමාගෙ පැමිණීමත් එක්ක.
■ හැබැයි ජනවාරි 08 වෙනිදා සිදු වුණු විප්ලවය එදා රාත්‍රියේදිම වෙනස් කරන්න හැදුවයි කියලා ඔබ එදා කිව්වා?
මම අදත් කියනවා, එදා රාත්‍රියේම වෙනස් කරන්න හැදුවා. ඇත්ත වශයෙන්ම ඡන්ද ප්‍රතිඵල එනකොට, අරලියගහ මන්දිරයේ මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ජී. එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම ආදීන් එකතු වෙලා කෙසේ හෝ ඡන්ද ප්‍රතිඵල නවත්වන්නෙ කොහොමද කියලා කතා කළා. තවත් අවාසි වෙන්න කලින් හමුදාව හෝ පාවිච්චි කරලා, ඡන්ද ගණන් කිරීම නවත්වලා, හදිසි නීතිය ප්‍රකාශයට පත්කරලා ඒ හරහා ප්‍රතිඵල බලහත්කාරයෙන් නිකුත් කිරීම ගැන සාකච්ඡා වුණා. ඒ වෙලාවෙ නීතිපතිවරයා ගෙන්වාගෙන තිබුණා. පොලිස්පතිවරයා ගෙන්වාගෙන තිබුණා. හමුදාපතිවරයා ගෙන්වාගෙන තිබුණා.
නමුත් අපේ රටේ වාසනාවට මේ හැම කෙනෙක්ම, විශේෂයෙන් පොලිස්පතිවරයත්, හමුදාපතිවරයත් අපි දන්න හැටියට මෙයට දැඩි ලෙස විරුද්ධ වෙලා තියෙනවා. කිසිසේත්ම ඒ සඳහා හමුදාවේ සහයෝගය ලබා දෙන්න බැහැයි කියලා තියෙනවා. ඒ නිසා තමයි අවසානයේ දී පරාජය බාරගන්නට තීන්දු කළේ.
■ හැබැයි ඔබ කියන ඔය චෝදනාව සම්බන්ධයෙන් ඔබ පැමිණිලි කළා. රාජපක්ෂලාගෙ හොරකම් මැරකම් ගැන කතා කළා. නමුත් මේ කිසි දෙයක් ගැන පැමිණිලි කරලා ඒ අයට දඬුවම් කරලා නැහැනේ?
තාම දඬුවම් කරලා නැහැ තමයි. ඒත් මං දන්නවා ජනවාරි 08 රාත්‍රියේ සිද්ධියට මූලික පරීක්ෂණ පැවැත්වුණා. මේ ළඟ දි සාගල රත්නායක මා මිත්‍ර ඇමතිතුමාට නැවත වතාවක් මේ වාර්තාව සොයලා බලලා කටයුතු කරමුයි කියලා යෝජනා කළා. එතුමා ඒ කටයුතු කරගෙන යනවයි කියල මට විශ්වාසයි. නමුත් අනිත් චෝදනා සම්බන්ධයෙන් නම් අනිවාර්යෙන් ඒ පරීක්ෂණ පැවැත්වෙනවා.
විශේෂයෙන් කරපු දූෂණ සම්බන්ධ චෝදනා, සොරකම් සම්බන්ධ චෝදනා, රජයේ තියෙන සම්පත් කොල්ලකෑම් සම්බන්ධ චෝදනා සම්බන්ධව පරීක්ෂණ පවත්වනවා විතරක් නෙවෙයි, මේ වෙනකොටත් ලංකාව තුළ නාමල් රාජපක්ෂට, යෝෂිත රාජපක්ෂට, බැසිල් රාජපක්ෂට, ගෝඨාභය රාජපක්ෂට වගේම කිට්ටුවෙන්ම හිටපු ඥාතීන්ට අයත් කෝටි ගණන් දේපළ හොයාගෙනත් තියෙනවා. ඒවා ගැන උසාවියට වාර්තා කරලත් තියෙනවා. ඒවට නඩු පවරලත් තියෙනවා.
රාජපක්ෂ පවුලේ බාලයා මට තාම මතකයි 2012 දි ලංකාදීප පත්තරයට කියලා තිබුණා අපට කියලා සතයක්වත් නෑ. අපට වාහනයක් නෑ, අපි පාවිච්චි කරන්නෙ නිල වාහන විතරයි, අපේ තාත්තට ගෙයක් කියල නෑ කියලා. වැඩි ඈතක නෙවෙයි මෙහෙම අඳෝනාවක් කිව්වේ 2012 දි. නමුත් එහෙම තිබුණු අයට මේ වෙනකොට ලංකාව තුළ විතරක් මම හිතන්නෙ රුපියල් බිලියන 2කට වඩා වත්කම් තියෙනවා. ඒවා ගැන උසාවියට වාර්තා කරලා තියෙනවා.
ඒ වගේම ගත්තොත් උදයංග වීරතුංග, රුසියාවෙ හිටපු මහින්දගෙ ඥාති සහෝදරයෙක්. එයාගෙ ලංකාවෙ තියෙන ගිණුම් විතරක් 17ක් අත්හිටුවල තියෙනවා. ඒ ගිණුම් 17ත් රුපියල් බිලියනයකට ආසන්න මුදලක් තියෙනවා.
මේවා හොයන්නෙ නැහැයි කියන එක අසාධාරණයි. නමුත් යහපාලනය කියන්නෙ අධිකරණයට වුණත් අපට අයථා ලෙස බලපෑම් කරන්න බෑ. අධිකරණය කටයුතු කරන්නෙ ඒ අයගෙ වෙලාව අනුව. මං මේ කතා කළේ දැනට හොයල තියෙන දේවලින් අල්ප මාත්‍රයක් විතරයි.
අනිත් පැත්තෙන් රාජපක්ෂලාගෙ ඇඟිලි සලකුණු අද රටවල් රාශියක හොයාගෙන තියෙනවා. එංගලන්තෙ තියෙනවා. ඩුබායි නගරයේ තියෙනවා. සිංගප්පූරුවෙ තියෙනවා. හොංකොංවල තියෙනව. යුක්‍රේන්වල තියෙනව.
මේ වගේ ලෝකය පුරාම එක පරීක්ෂණයක් කරනකොට පොලීසියට සිද්ධ වෙනවා රටවල් හතර පහකට යන්න. ඒ රටවල් එක්ක කටයුතු කරන්න ගිවිසුම් ඇති කරගන්න වෙනවා. මේවත් එක්ක අවුරුදු කීපයක් කල් යයි. මේ රටේ නඩු පවරන්න පුළුවන් තත්ත්වයකට සියල්ල ගෙන එන්න ටික කාලයක් ගත වෙයි.
■ බැසිල් රාජපක්ෂගේ කියන ගම්පහ නිවස සොයාගත්තා. කාගෙද කින්ද මන්ද ඔප්පු හිමිකරුවෙකුත් ඉන්නවා. උසාවියටත් ගියා. ඒකට දඬුවම් නෑ නේද?
උසාවියෙන් කියල තිබුණෙ ඒක අත්පත්කර ගැනීමට නීති ප්‍රතිපාදන නැද්ද මොකක්ද කියලා. මං නීතිඥයෙක් නොවන නිසා ඒ ගැන මං මුකුත් කියන්න කැමති නෑ. මේ සමහර දේවල අයිතිකාරයො නෑ. අපට උනත් ගිහින් අයිති කරගන්න පුළුවන්. කෝටි ගණන් තියෙනව කවුරුත් අයිතිවාසිකම් කියන්නෙ නෑ. නීතියේ අඩුපාඩු තුළින් මේ අය පොඩි පොඩි වාසි ලැබුවත් අවසානයේ ඒ දේවල් රජයට හිමි වෙනවා.
■ ඔබතුමාගෙ ආණ්ඩුවටත් ඔදච එැබ කියලා දූෂණ චෝදනා දහයක් ෆයිල් කරලා තියෙනවා. ඒවා ගැන හොයන්නෙ නැද්ද?Mangala pic
හොයනවා. මොකද මේ රාජපක්ෂ සමයේ හිටපු ඒ හොර තක්කඩි කල්ලියේ එකම ගැලවීම තමයි ඔවුන් හොරකම් නොකළයි කියන එක නෙවෙයි, “අපිත් හොරු තමයි මුනුත් හොරු” කියලා අපේ තියෙන වලංගුභාවය අඩු කරන්න චෝදනා කරන එක. මේ කියන විදියට මේ අය හොරු නම් ඒ අයට කිසිම සැකයකින් තොරව පරීක්ෂණ පවත්වන්න ජනාධිපතිවරයා කටයුතු කරනවා.
 මෙතන දි මම තව එකක් මතක් කරනවා. මට තවම මතකයි ඡන්දෙටත් ඉස්සෙල්ලා එජාපය තීන්දු කළේ ඒ වංචා දූෂණ හොයන ආයතන ජවිපෙට බාර දෙන්න ඕන කියලා. අපි මේ ආණ්ඩුවක් හදන්න හිතෙන කාලයේ අනුර දිසානායක මන්ත්‍රීතුමා එක්ක ඒ සම්බන්ධව කතා කළ අන්දම මට මතකයි.
අපේ ආණ්ඩුවත් හොරකම් කරන්නම බලාගෙන ආව නම්, අපටත් තිබ්බා අර විදියටම මේව වහගෙන අපේම ඇමැතිවරයෙක් පත් කරගෙන, නිලධාරීන් බය කරගෙන, තර්ජනය කරගෙන පරණ විදියටම යන්න. අපට ඕන වුණේ ඒක වෙනස් කරන්න.
■ මට මතකයි ඡන්ද කාලෙ කළා Balck book  කියලා, රජයේ දූෂිත නිලධාරීන් සම්බන්ධයෙන් ලිස්ට් එකක් හැදුවා. ඒ හිටපු නිලධාරීන් අදත් මේ රටේ ඉහළ නිලධාරීන් නේද?
ඒ පොත මගේ අතින් නැති වුණාද කොහෙද. හම්බවුණොත් ගෙනත් දෙන්න.
■ මේ ආණ්ඩුව දිනලා තිබ්බ දින සියය වැඩ සටහන ගැන ඔබතුමාට මොකද හිතෙන්නෙ?
දින සියය ඉතාමත්ම සාර්ථකයි. ඒ දින සියයේ දී අපි කළ යුතු හැම දෙයක්ම වගේ කළා. එක පැත්තකින් ජනාධිපතිතුමා තමන්ගේ විධායක බලතල තුනෙන් දෙකේ බලයෙන් වෙනස් කරගන්න පුළුවන් හැමදෙයක්ම වගේ එතුමා කළා.
රාජපක්ෂ සමයේ දී කිරිපැකට් එකටත් බදු ගහපු කාලේ නාමල් රාජපක්ෂලට ලැම්බොගිනි ලංකාවට ගේන්න දීපු යුගයක් තිබුණා. නමුත් අත්‍යවශ්‍ය ආහාර විශාල ප්‍රමාණයක අද වන විට අපි බදු අයින් කරල තියෙන්නෙ. එදාට වඩා ඒ ආහාරවල මූලික මුදල අදටත් අඩුයි.
දශකයකටත් වැඩි කාලයක් බොරුවට පොරොන්දු දීපු ඒත් පඩිපතට එකතු නොවුණු රජයේ සේවක පඩිය අපි දහදාහකින්ම වැඩි කළා. ඇත්තවශයෙන්ම දින සියයේ වැඩසටහන ගැන අපට සන්තෝෂ වෙන්න පුළුවන්.
  
■ ඔබතුමාට හිතෙන්නෙ නැද්ද මේ දින සියයේ වැඩසටහනට යන්නෙ නැතුව, ජනවාරි 10 විතර ආණ්ඩුව විසුරුවල මැතිවරණයකට ගියා නම් මීට වඩා ප්‍රබල විදිහට මේ ගමන යන්න තිබුණ කියල?
දේශපාලනයෙ දි විතරක් නෙවෙයි ජීවිතයෙ දි ගත්තු සමහර තීන්දු ගැන ආපසු හැරිල බලනකොට මේ විදිහට කළා නම් මීට වඩා හොඳයි නේද කියල හිතෙනව. නමුත් ඒ වෙලාවෙ අපි ඒ තීන්දු ගත්තා. ඒ තීන්දු අනුව ක්‍රියාත්මක වුණා. ඒ තීන්දු අනුව දැන් අපි ඉදිරියට යන්න ඕන. ඇත්තටම ඔබතුමා නගන තර්කයේ යම් යථාර්ථයක් තියෙන්න පුළුවන්.
■ දින සියයේ කාලයේ ඔබ ලංකාවේ විදේශ ඇමති. ඒ කාලේ ඔබ මාතර පෝස්ටර් ගැහුවෙ කළු රට සුදු කළ මංගල කියල. ඇත්තටම ඔබ කළු රට සුදු කළාද?
ඇත්ත වශයෙන්ම කළු රට සුදු කළ තරම හොඳටම තේරුණේ 2017 මාර්තු මාසයේ 23 වෙනිදා. මං හිතන්නේ ඒ දවස ලංකාවෙ රාජ්‍ය තාන්ත්‍රික ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන දවසක්. මොකද සිද්ධි දෙකක් උඩ. එක පැත්තකින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අවුරුදු 43කට පස්සෙ, රුසියාවෙන් කරපු නිල ආරාධනාවකට අනුව එතුමාව ඉතාමත් ඉහළින් රුසියාවෙ දි පිළිගත්තා. රජ කෙනෙකුට වගේ එතුමාට සැලකුව. ඒක එක්තරා සංකේතයක්.
එදාම සිදුවෙච්ච අනිත් කාරණේ තමයි මොස්කව්වල එහෙම පිළිගැනීමක් අපේ රටට ලැබෙනකොට ජිනීවාවල ලංකාව වෙනුවෙන් රටවල් 47ක සහය ලැබුණා. එදා රාජපක්ෂ කාලේ අපේ සහයට හිටියේ රටවල් 12යි. දැන් සියලු රටවල් අපේ පැත්තේ හිටගෙන. කළු රට, සුදු කළා කියන්න ඊට වඩා සාක්ෂි අවශ්‍ය වෙන්නේ නැහැ.
 අද ලංකාව ගැන ලෝකයේ රටවල් අතර විශ්වාසයක්, ආදරයක්, බලාපොරොත්තුවක් තියෙනව. දේදුනු විප්ලවය එයට එක හේතුවක්. අනෙක රට ගැන හිතල මේ රටේ හැමදාම හතුරන් වශයෙන් හිටපු පැති දෙක එකතු වීම තවත් එකක්.
ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් රනිල් වික්‍රමසිංහ මැතිතුමත් ගෙන යන ඒ ප්‍රතිපත්තිමය විප්ලවය තුළ විශාල දෙයක් තියෙන නිසා තමා අද ලෝකය තුළ මහා ගෞරවයක් තියෙන්නෙ. දේදුනු විප්ලවය ලංකාව තුළ නොවුණ නම් අද මේ වගේ පිළිගැනීමක් ලැබෙන්නෙ නෑ.
■ ඔබ ඔය කියන විදිහට ජනවාරි 08 වෙනිදා දේදුනු විප්ලවය වුණේ නැත්නම් ඒ මාර්තුවේ දී ලංකාවට මොනව වෙයිද?
දේදුනු විප්ලවය ලංකාවේ සිද්ධ නොවුණ නම් විශාල ප්‍රශ්නයක් වෙනව. ලෝකය තුළ ලංකාව තිබුණු අවදානම් තත්ත්වය තේරුම් ගන්න ඕන ඒ වෙලාවෙ ජාත්‍යන්තර වශයෙන් යුද අපරාධ පරීක්ෂණයක් කරන්න තීන්දු කරලයි තියෙන්නෙ. ඒකට පක්ෂව 43යි. විරුද්ධව හිටියෙ 12යි. එදා පටන් ගත්ත පරීක්ෂණය ජනවාරි මාසය වෙනකනුත් ගියා. මං ජිනීවාවලට ගියා. ඒ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රකාශනයත් අරගෙන. ඒකෙ කියනවා අපි දේශීය අධිකරණයක් පිහිටුවනවා කියලා.
අපි එතන දි කිව්වා මේ ජාත්‍යන්තර පරීක්ෂණය අපට පිළිගන්න බෑ, අපි ඊළඟ සැප්තැම්බර් වෙනකොට අපේ දේශීය අධිකරණයත් පිහිටුවීමේ සැලැස්ම පෙන්වන්නම් කියලා. ඒ නිසා මේ ජාත්‍යන්තර සැලැස්ම අයින් කරගන්න කියලා. ඒක අයින් කරගත්ත නිසා තමයි මේ තත්ත්වයෙන් අපි ඉන්නෙ.
ඒ යන මාර්ගයේ ගියා නම් ඒ වාර්තාව 2015 මාර්තු 03 වෙනිදා ජිනීවා නුවර සභාගත වෙනවා. ඒ සමඟම රටවල්වලට පුළුවන්කම තියෙනවා ලංකාවට ආර්ථික සම්බාධක පනවන්න. ඊළඟ පියවර වශයෙන් රටේ නායකයන්ට විදේශ ගමන් යාමේ තහංචි පනවනවා. එහෙම කළා නම් මහින්ද රාජපක්ෂටවත්, රාජපක්ෂ පවුලේ කාටවත් එක රටකටවත් යන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. මේ රට තුළ මහා ආර්ථික විනාශයක් ඇති වෙනවා.
ඇත්ත වශයෙන්ම ආණ්ඩුව වෙනස් වීම ගැන රාජපක්ෂලා සතුටු වෙන්න ඕනෑ. වෙනස් නොවුණ නම් මහා විනාශයකට මුහුණ දෙනවා.
 
■ ජනවාරි 08 දේදුනු විප්ලවයට සම්බන්ධ වුණු උතුරේ මිනිසුන්ගේ බලාපොරොත්තු වූ සහජීවනය හා සංවර්ධනය දීලා තියෙනවද?
ඔව්. අපි දීලා තියෙනව. හැබැයි මමත් පිළිගන්නවා ඒ ලබාදීපු ප්‍රමාණය ප්‍රමාණවත්ද. ඇත්ත වශයෙන්ම වසර ගණනාවක යුද්ධයකට මුහුණ දීලා, දෙපැත්තෙන්ම තැළිල, විශේෂයෙන්ම එල්ටීටීඊ සංවිධානයේ ඉතා කෲර පිළිවෙත නිසා තමන්ගේ දරුවන් ද සොල්දාදුවන් හැටියට යුද්ධෙට  දන් දීල, ඉතාමත්ම අසරණ තත්ත්වයකට පත් වෙලා තිබ්බ ජනතාවක්.
මධ්‍යස්ථ මතධාරියෙක් හැටියට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගැන ඔවුන් ලොකු විශ්වාසයක් තියල තියෙනවා. ඒ මැතිවරණයේදිත් ඔය අද කෑගහන දෙමළ අන්තවාදීන් එතුමාට විරුද්ධව වැඩ කළේ. නමුත් මධ්‍යස්ථ ජනතාව නියෝජනය කරන සම්බන්දන් මැතිතුමා ඇතුළු ටීඑන්ඒ සංවිධානය ඒ තත්ත්වය වෙනස් කරල ඒ සියලු දෙනාම අපේ ජනාධිපතිවරයා වෙනුවෙන් ඡන්දය ලබා දුන්නා.
නිදහස් ලංකාවෙ සිංහල අපේක්ෂකයෙකුට ලබා දුන් වැඩි ඡන්ද ප්‍රතිශතය තියෙන්නෙ 2015 දි. ඉතින් අපි ඒ මධ්‍යස්ථ ජනතාව පාවා නොදී ඒ ජනතා බලාපොරොත්තු සුන් නොකර ඒ අයටත් එක ශ්‍රී ලංකාවක් තුළ ජීවත් වෙන්නට පුළුවන් සමාජයක් ඇති කරන්න ඕන.
අන්න ඒ කටයුත්ත හෙමින් හෙමින් කළත් ඇත්ත වශයෙන්ම අපි කරල තියෙනව. අපි ආපු ගමන්ම හමුදාකරණය නැවැත්වුව. සිවිල් ආණ්ඩුකාරවරුන් පත්කළා. මේ වෙද්දි යාපනය විතරක් යුද්ධයේ කාලයේ පෞද්ගලික ඉඩම් ගත්ත ඒවයින් අක්කර 4000කට ආසන්න ප්‍රමාණයක් ජනතාවට යළි ලබා දීල තියෙනවා. තවත් අක්කර 5000කට ආසන්න ප්‍රමාණයක් ලබා දෙන්න තියෙනව.
අවුරුදු ගාණක් දුක් විඳපු මිනිස්සුන්ට මේ ලැබෙන දේවල් ඉක්මන් මදි ඇති. නමුත් අපි හෙමිහිට හෙමිහිට වුණත් විශාල වෙනසක් දැනටමත් ඒ ප්‍රදේශය තුළ.
■ හිටපු මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහත්මයගෙ පොතේ යුද අපරාධ සම්බන්ධ ප්‍රකාශ බලපාන්නෙ නැද්ද ජීනීවා ප්‍රශ්නයට?
ඇත්ත වශයෙන්ම කමල් ගුණරත්න කියන පුද්ගලයා මහා වීරයෙක් හැටියට කටයුතු කරන ගමන්ම තමන්ගෙ පොතෙන් එල්ටීටීඊ හිතවාදී පිරිස්වල යම් යම් චෝදනා සනාථ කරනවා. මම නම් ඒ පොත කියවන්න ගියේ නෑ. එක දවසක් අහම්බෙන් පිටුවක් දෙකක් පෙරළ පෙරළා ඉඳිද්දි දැකපු දෙයින් මං පුදුම වුණා. අහිංසක මිනිස්සුන්ගෙ ගෙවල් කඩපු හැටි, ගෙවල් ගිනි තියපු හැටි, මිනිස්සුන්ට ගහපු හැටි, මරපු හැටි කියනවා.
 අපි ලෝකෙ වටේ යනව ඔය කියපු දේවල් වුණේ නෑ, එහෙම දෙයක් වුණේ එක්කෙනෙක් දෙන්නෙක් නිසා කියලා. අපට ඉතාමත් විනයානුකූල ශක්තිමත් හමුදාවක් ඉන්නව කියල. නමුත් යුද්ධ කරපු පුද්ගලයම ඔවුන්ට කරපු චෝදනා සනාථ කරනවා. මේ පොතෙන් චැනල් 4 කරපු චිත්‍රපටයට වඩා හානියක් අපේ ලංකාවට කරල තියෙනව.
■ ඔබ ජිනීවාවලට ගිහින් යම් යම් පොරොන්දු දෙනවනෙ. මේ පොරොන්දු ඔබ කවද්ද ඉටු කරන්නෙ?
මං කවදාවත් පොරොන්දු දීල නෑ. අපි ජිනීවාවලට දුන්නෙ අපගේ මාර්ග සිතියම. මේක ජනතාව හොඳට පැහැදිලිව තේරුම් ගන්න ඕන. අපේ ආණ්ඩුව නොතිබුණා නම් අපට බලහත්කාරයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් හදවල මේ වෙනකොටත් ඒවායේ තියෙන අමිහිරි කටුක අත්දැකීම්වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා.
 අපට දැනුම නැති තැන්වල දි ජාත්‍යන්තර සහයත් අරගෙන මේ පරීක්ෂණ කටයුතු අපිම කරන්නම් කියන සිතියමක් තමයි අපි ජිනීවාවලට දීල තියෙන්නෙ. වරදකරුවන්ට දඬුවම් දෙන්නට රටක් වශයෙන් අපි තීන්දු කළා. ඒ තීන්දුවට ඒ සැලැස්මට අද රටවල් 47ක් අනුග්‍රහය දක්වල තියෙන්නෙ.
■ ඔබ මේකට අවුරුදු දෙකක් කල් ගන්නවා. හැබැයි 2019 දි ආයෙමත් මේ ප්‍රශ්නය මතු වෙනවා නේද?
අපි මේ එකක්වත් කරන්නෙ ජාත්‍යන්තරය සතුටු කරන්න නෙවෙයිනෙ. රටක් හැටියට රට තුළ සංහිඳියාවක් ඇති කරන්නට නම්  අපහසුතාවට පත් වූ සියලු දෙනාට මානසික සහන ලබා දෙන්න ඕන. ඒ වගේම මූල්‍යමය සහන ලබා දෙන්න ඕන. අන්න ඒවා ලබා දෙන්න තමයි අපි මේ සංහිඳියාවෙ ක්‍රියාවලිය ආරම්භ කරල තියෙන්නෙ. එහි මූලික කටයුතු දැනටමත් අපි කරල ඉවරයි.
■ ඔබේ විදේශ ප්‍රතිපත්තිය බොහෝවිට යුරෝපයත් එක්කනෙ තියෙන්නෙ. හැබැයි රටේ ආර්ථිකය දැන් හසුරුවන්නෙ චීනය. චීනය පිළිබඳව ඔබේ දැක්ම මොකක්ද?
ඇත්ත වශයෙන්ම අපේ විදේශ ප්‍රතිපත්තිය යුරෝපය එක්කවත් චීනය එක්කවත් රුසියාව එක්කවත් නොවේ. අපේ විදේශ ප්‍රතිපත්තිය ලෝකෙටම ඔප්පු වෙලා තියෙන්නෙ. ලෝකයත් සමඟ අපි ගනුදෙනු කරන්නෙ. අපේ ප්‍රතිපත්තිය වෙන්නෙ දර්ශනයක් එක්ක යනවට වඩා රටට උපරිම වාසි ලබා ගන්නෙ කොහොමද, අන්න ඒ වාසි ලබා ගැනීම තමයි අපේ විදේශ ප්‍රතිපත්තිය ඒ සඳහා ලෝකයේ හැමෝම එක්ක කටයුතු කරන්න ඕනෙ.
 කොටින්ම අපට බටහිර ලෝකය නැතිව බෑ. අපි ඒ අයව ආකර්ෂණය කරගන්න ඕන, ලංකාවට එන විදියට. අද චීනය බලවත් ආර්ථිකයක් ශීඝ්‍රයෙන් නැගීගෙන එන ආර්ථිකයක් තියෙන රටක්. ඒ නිසා අපි චීනයත් එක්කත් ඉතා ප්‍රබල සම්බන්ධකම් හදාගෙන, ඉන්දියාව කියන අපේ ප්‍රබලම අසල්වැසියා සමඟ සමීපව කටයුතු කරනවා. ඒ වාසිය එන්නෙ මේ රටේ ජනතාවට.
 
■ ලංකාවෙ අපේ විදේශ ප්‍රතිපත්තිය සකස් කරනකොට හයිබ්‍රිඩ් අධිකරණය කියන ප්‍රශ්නය එනවා. මෙතන දි අපට නීතිය කියන දේ තුළ තියෙන විශ්වාසනීයත්වය පිළිගන්නවා නම් ඇයි අපි රාජ්‍යයක් හැටියට හයිබ්‍රිඩ් අධිකරණයට බය වෙන්නෙ?mangala 2
හයිබ්‍රිඩ් අධිකරණය අපි බය විය යුතු දෙයක් නෙවෙයි. බොහෝ අවස්ථාවල අපි විදේශීය සහාය අපේ අධිකරණයට ලබාගෙන තියෙනවා. අපේ අධිකරණයේ අය ලෝකයේ අනෙකුත් තැන්වලට අපේ විශේෂඥ දැනුම ලබා දීලත් තියෙනව. ඔය කියන විදිහේ හානියක් නොවුනට දැනට පවතින නීතිය යටතේ විදේශ විනිසුරුවන් ලංකාවට ගෙන ඒමට නීතියෙන් යම් ප්‍රශ්නයක් තියෙනවා. විනිශ්චය කාරයෙක් එන්න ලංකාවෙ ව්‍යවස්ථාව අනුව දිවුරුම් දෙන්න ඕන. විදේශ විනිසුරුවරයෙකුට එවැනි දිවුරුම් දීමක් අපහසු වෙන්න පුළුවන්.
 මම දකින විදිහට අපි හයිබ්‍රිඩ් කියන වචනයේ එල්ලිලා ගියොත් අපට මේකෙ යථාර්ථය තේරුම් ගන්න බැරි වෙනවා. ලංකාවට රට තුළ නඩුවක් අහල විසඳාගන්න බැහැ කියල රට තුළත් ලෝකය තුළත් මතයක් ඇති කළේ පසුගිය අවුරුදු 10 තුළ මහින්ද රාජපක්ෂගෙ ක්‍රියාකලාපය නිසා. ශිරාණි බණ්ඩාරනායකව එළවාගත්තා. තමන්ගෙ හිතවත්කම් අනුව අග්‍රවිනිශ්චයකාරවරයෙකු පත්කර ගත්තා.
මේ තරම් විශ්වාසයක් තියෙන අධිකරණය ගැන තිබුණු විශ්වාසය නැත්තටම නැති කරපු නිසා තමයි ලෝකයම කියන්න ගත්තෙ, විශ්වසනීය බවක් ඇති කරන්න ස්වාධීන විනිසුරුවන් ගේන්න කියලා. මේ වෙනකොට අපට 100%ක් ඒ විශ්වසනීය බව ඇති කරගන්න බැරි වුණත් ඒ ගමන දැන් සාර්ථකව ඉදිරියට යනවා.
■ මෙතන දි චෝදනාවට ලක් වෙලා තියෙන හමුදා නිලධාරීන් ගත්තම මේ රාජ්‍ය නිලධාරීන් විකල්ප සංවිධානවල සටන්කරුවෝ වගේ නෙවෙයි, අපේ ව්‍යවස්ථාව තුළ නීතියට ගරු කළ යුතුයි. ඒ නීතියට විරුද්ධව යම් කෙනෙක් වැඩ කරල තියෙනව නම්?
යුනිෆෝම් එකක් ඇඳගත්තයි කියලවත්, සිවුරක් දාගත්තයි කියලවත්, ලෝගුවක් දාගත්තයි කියලවත්, මන්ත්‍රී සූට් එකක් ඇඳගත්තයි කියලවත් අපට ඕන විදියට නීතියෙන් පිටස්තරව කටයුතු කරන්න පුළුවන් කියල කියවෙන්නෙ නෑ. යහපාලනය කියන්නෙ නීතිය සැමට එක හා සමානව යොදවන්න ඕන.
 ඉතිහාසය පුරාම අපේ පාලකයන් හමුදාවේ කීර්තිනාමය රැකගත්තෙ, හමුදාවේ වැරැදි කරන  එක්කෙනා දෙන්නට දඬුවම් කරලා. පසුගිය යුද්ධ කාලේ කිහිපදෙනෙකුගේ ක්‍රියාකාරකම් නිසා ඉහළින් ආව නියෝග නිසා කරපු ක්‍රියාකාරකම්වලට අපට චෝදනා එනවා. අපට කරන්න තියෙන එකම දේ ඒවා අසත්‍යයි කියලා පරීක්ෂණ කරලා ඔප්පු කරන එක.
 
■ මේ අලුත් ව්‍යවස්ථාවක් හදන්න යෝජනා කරන එක ගැන මොකද හිතන්නෙ?
ව්‍යවස්ථාවක් ලබා දීම අපේ මැතිවරණයේ ප්‍රධාන පොරොන්දුවයි. ජනාධිපතිතුමාගෙ මැතිවරණ ප්‍රකාශනය සහ එතුමා මැතිවරණයට ඉදිරිපත් කිරීමේ ප්‍රධානතම අරමුණ වුණේ ලංකාවට අලුත් ව්‍යවස්ථාවක් ලබා දීලා, ඒකාධිපති විධායක ජනාධිපති ව්‍යවස්ථාව වෙනුවට පාර්ලිමේන්තුවට බලය පවරන, රටේ අනෙකුත් ජනතාව සමඟ බලය බෙදාගන්නා වූ නව ව්‍යවස්ථාවක් ගැන අපි කතා කළා. අපි වේදිකාවක් වේදිකාවක් ගාණේ වුණු ඒ පොරොන්දුව දැන් ලබා දෙන්නට අපි කටයුතු කරන්න ඕන.
■ රටේ ආර්ථික තත්ත්වය ගැන කිව්වොත් බඩු මිලේ අඩුවක් නෑනෙ?
රටේ ආර්ථික තත්ත්වය මනින්නේ බඩු මිලෙන් නෙවේ. අපි බඩු මිල අඩු කළේ ජනතාවට යම් සහනයක් දෙන්න. අවුරුදු දහයක් තිස්සේ පඩි වැඩි කරන්නෙ නැතිව පරිප්පු ටිකට සීනි ටිකට කිරිපිටි ටිකට බදු ගහන කාලේ අපි ඒ සහන දුන්නා. නමුත්  ඒකෙන් පමණක් රටක ආර්ථිකය ශක්තිමත් වෙන්නෙ නෑ.
ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරන්න නම් අපි අලුත් විදියට හිතන්න ඕන. 1977 දි ජේ. ආර්. ජයවර්ධන විවෘත ආර්ථිකය හඳුන්වා දීම තමයි ලංකාව ආර්ථිකයෙන් පැන්න පළමුවන පිම්ම. ඉන් ශීඝ්‍ර දියුණුවක් දැකගන්න පුළුවන් වුණා. නමුත් ඒ සමඟම අවාසනාවකට වගේ යුද්ධයක් පටන් ගත්තා. පස්සෙ අවුරුදු විසි ගාණක් යුද්ධයකට කොටු වුණා. රට දියුණු කරන්න තිබුණු සල්ලි අවි ආයුධවලට වෙන් කළා. ඒ බලාපොරොත්තු වුණු ආර්ථිකය අපට ලබා ගන්න බැරි වුණා.
මහින්ද රාජපක්ෂ ඇවිත් ඒ ඉතුරු වෙලා තිබුණු සල්ලි ටිකත් හූරගෙන කෑව. කොමිස් ගහන්න තියෙන ආසාවට මහා පරිමාණයෙන් ණය වුණා. මහා ණය උගුලක අහුවෙලා තියෙන වෙලාවකයි අපි ආවෙ.
ජේ.ආර්. ජයවර්ධනගෙන් පස්සෙ රට ගොඩනඟන්න දෙවන ආර්ථික පිම්ම පනින්නයි අපි මේ සූදානම් වෙන්නෙ. මේ වෙනස කරන්න නම් අපේ වගේ රටකට විදේශ ආයෝජන අවශ්‍යමයි. අපට තියෙන එකම විකල්පය ආයෝජකයන් මේ රටට ගෙන්නලා, විශාල කර්මාන්ත ඇති කරන එක. ඒක කරන්න නම් මේ රට තුළ තියෙන නීති රීතිවල විශාල වෙනසක් ඇති වෙන්න ඕන.
■ ඔබ මේතරම් හොඳ ආර්ථික විශ්ලේෂණයක් කළේ ඊලඟ කැබිනට් සංශෝධනයේ දී ඔබට මුදල් ඇමතිකම ලැබෙනවා කියන කතාව ඇත්ත නේද?
ඔබේ පත්තරය තමයි එහෙම කියන්නෙ. මම දන්නෙ නෑ.
■ 2020 මොකක් වෙයිද, රටේ නායකයා කවුරු වෙයිද?
ඒක අද කියන්න බෑ. නායකයො වෙන්න බලාගෙන ඉන්න අය ගොඩක් ඉන්නවා. 2020 තීරණාත්මක වර්ෂයක් නෙවෙයි. 2025න් පස්සෙ හිතන්න පටන් ගන්න. මොකද 2020දිත් ඉන්නෙ මෛත්‍රී – රනිල්.
■ පසුගිය අවුරුදු දෙක හමාර ගැන ඔබට සතුටුයිද දැන්?
වෙනස ගැන විශාල සතුටක් තියෙනව. නමුත් මීටත් වඩා වේගවත්ව යම් යම් දේවල් කරන්න තිබුණ කියල හිතෙනව. දේශපාලනය කියන්නෙ ඒකයි. අපි හිතන දෙයින් හැම දේම සිදු නොවුණත් තවමත් විශ්වාස කරනවා අපි යන්නෙ නිවැරැදි මාර්ගයේ කියලා.
සංවාදය – ශාන්ත බණ්ඩාර ජයවර්ධන
සටහන – තමාරා පතිරණ
(සත්හඩ පුවත්පතෙනි)

Comments

comments