Monday, December 11, 2017
Breaking News
You are here: Home » Interviews » අලු‍ත් ව්‍යවස්ථාවට මූලික යුතුකම් පරිච්ඡේදයක් ? -ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම

අලු‍ත් ව්‍යවස්ථාවට මූලික යුතුකම් පරිච්ඡේදයක් ? -ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම

 අත පය වකුටු කරගෙන නිදා සිටි ගැමුණු කුමාරයා තම මවට ඒ ගැන හේතු පැහැදිලි කළේ “තමන්ට දෑත දෙපය දිග හැරීමට නොහැක්කේ උතුරෙන් හැඩි දෙමළු සහ දකුණෙන් ගොළු මුහුද නිසා”‍ ය කියමින් බව වංශ කතාකරු කියයි. වර්තමාන ශ්‍රී ලංකාවද පිරී ඉතිරී ඇත්තේ අයිතිවාසිකම් ඉල්ලා කරන අරගලවලිනි. සයිටම් අහෝසි කර නිදහස් අධ්‍යාපනය රැකගනිමු යැයි වහසි බෙණෙමින් සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ වීදි ආක්‍රමණය කරති. පෞද්ගලික අධ්‍යාපනයට ඉඩ දී අධ්‍යාපනයේ නිදහස සුරකින්නයි තව පිරිසක් අධිකරණයට යති. යුද්ධය අවසන්ව වසර අටක් ගත වීත් තම ගම් බිම්වලට යා නොහැකි වුණු ජනතාව මෙන්ම යුද්ධයෙන් දරුවන් අතුරුදන්වූ මා පියන්ද උතුරේ උද්ඝෝෂණයකය. මළවුන් සැමරීමේ අයිතිවාසිකම දකුණට ලැබෙන මුත් උතුරට අහිමිද යන ප්‍රශ්නයද නැගෙනු පෙනේ. සටන් වදින සෑම කෙනෙකුම පාහේ කියන්නේ “යහපාලනය”‍ ගෙන එන්නට තමන් ඡන්දය දුන් බවයි. ඒකාධිපති ගමන නවතා ප්‍රජාතන්ත්‍රවාදය වෙත යාම ආරම්භ කොට මාස 30ක් ගත වූ නමුත් අයිතිවාසිකම් උදෙසා වන අරගලයන්හි නිමක් ඇතැයි නොපෙනෙයි. තම අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නය මෙතෙක් විසඳී නැතුවද, අයිතිවාසිකම් උදෙසා වන සටන කරගෙන යාම උදෙසා අවකාශයක් විවෘත වී ඇති බව තත්ත්වය පිළිබඳ මැදහත් සිතින් විමසන්නකුට පෙනී යන කරුණකි. වෙනත් වචනයකින් කිවහොත් තවදුරටත් අත පය හකුළුවා ගෙන සිටීම අවශ්‍ය නැත.

ප්‍රජාතන්ත්‍රීය සමාජයක අයිතිවාසිකම් භුක්ති විඳිය හැක්කේ අන් අයගේ අයිතිවාසිකම් සහ නන් වැදෑරුම් නිදහස ආරක්ෂා කෙරෙන ප්‍රමාණයට පමණකි. එහෙයින් අයිතිවාසිකම් ගැන කතා කරන විට “යුතුකම්”‍ පිළිබඳවද කතා කිරීම අවශ්‍ය වෙයි. දරදඬු පාලනයකට එරෙහිව සටන් කරන පුරවැසි සමාජයක් අයිතිවාසිකම් ගැන පමණක් සවිඥානික වීම ස්වභාවික වුවත්, සාපේක්ෂ ප්‍රජාතාන්ත්‍රික වටපිටාවකදී පුරවැසි සමාජය යුතුකම් පිළිබඳ උනන්දු නොවුණහොත් අයිතිවාසිකම්වල දිගු කාලීන පැවැත්මට එය අහිතකර වීමට පුළුවන් වන්නේ ජන සමාජය තුළ අයිතිවාසිකම් නොඉවසන ප්‍රවණතාවයක් ඇති විය හැකි බැවිනි.

ජාතික රූපවාහිනිය ඔස්සේ ජුනි 07 වන බදාදා උදෑසන සජීව ලෙස විකාශය වූ “ආයුබෝවන් සුබ දවසක්”‍ වැඩසටහනට සහභාගි වූ ආචාර්ය දීපිකා උඩගම මහත්මිය සමග අයිතිවාසිකම් සහ යුතුකම් පිළිබඳව කළ කතා බහක සංස්කරණය කළ සටහනක් මෙවර “සමබිම ඉරිදා සංග්‍රහය”‍ ඔබ වෙත ගෙන එයි. ආචාර්ය දීපික උඩගම මහත්මිය ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ සභාපතිනිය වන්නීය. ජාතික රූපවාහිනිය වෙනුවෙන් සංවාදය මෙහෙයවූයේ නීතිඥ සුදර්ශන ගුණවර්ධනය.

මානව හිමිකම් කොමිසන් සභාවේ සභාපතිනිය හැටියට ඔබ  මානව හිමිකම් සහ ලංකාව දකින්නේ කෙහොමද?

රටක මානව හිමිකම් මුල් බැහැ ගැනීමේදී අදියරය ගණනාවක්  පසු කරගෙන යනවා. දේශපාලන වශයෙන් විශාල ආධිපත්‍යයක් ඇති රටවල අයිතිවාසිකම් සම්බන්ධයෙන් විශාල උනන්දුවක් තිබෙනවා.  ශ්‍රී ලංකාවේ දශක කිහිපයක් පුරා රාජ්‍ය බලයේ ආධිපත්‍ය බොහොම ප්‍රබල විදිහට තිබුණා. අවුරුදු 40ක පමණ කාලයක් හදිසි නීතිය පැවතුනා. දකුණේ කැරළි දෙකක් සහ උතුරේ අවුරුදු විසි හයක් දිග්ගැස්සුණු උග්‍ර යුද්ධයක් පැවතුනා. රටේ ජනතාව මේ තත්ත්වයන්ට ගොදුරුව මිය ගියා. මෙවැනි තත්ත්වයන් යටතේ අපේ ජීවිතවලට අපේ නිදහසට තර්ජන එල්ල වෙනවා. මේ ආකාරයට රාජ්‍යයේ ආධිපත්‍යය ප්‍රබලව තිබියදී අප අයිතිවාසිකම් පිළිබඳ සාකච්ඡා කිරීම සාමාන්‍ය දෙයක්.

නමුත් මේ තත්ත්වයන් ඉක්මවා ගිහින් ප්‍රජාතන්ත්‍රීයකරණය වෙතට යොමුවෙන විට ප්‍රජාතන්ත්‍රීය සමාජයක් ඇති කර ගැනීමට නම් තවදුරටත් අයිතිවාසිකම් පිළිබඳ කතා කිරීම පමණක් ප්‍රමාණවත් නැති බව අපිට තේරෙනවා. තමන්ගේ අයිතිවාසිකම් කැඩෙන විට අපි ඒ පිළිබඳ තැවෙනවා. ඊට ප්‍රතිකර්ම සොයනවා. නමුත් සෙසු සමාජයේ අයිතිවාසිකම් කැඩෙන විට අප ඒ දෙස ‘අපිට මොකද?’ කියන හැඟීමෙන්. එහෙත් පරිණත ප්‍රජාතන්ත්‍රීය පසුබිමක නම් අපේ අදහස් මිට වඩා දියුණු මට්ටමක තිබිය යුතුයි. මෙයින් පෙන්නුම් කරන්නේ අයිතිවාසිකම් කියන සංකල්පය පූර්ණ වශයෙන් අපේ හිත්වල පැලපැදියම් වෙලා නැති බවයි.

ප්‍රජාතන්ත්‍රීය සමාජයක ජීවත්වන පුරවැසියෙකු ලෙස මට අයිතිවාසිකම් තිබෙන නමුත් මගේ අයිතිවාසිකම් සුරක්ෂිත වෙන්නේ සමාජය හොඳ තත්ත්වයකට පත්වුවහොත් පමණයි. ඒ හොඳ තත්ත්වයේදී අනිත් පිරිස්වලත් අයිතිවාසිකම් ආරක්ෂා විය යුතුයි. ඔවුන් ඉන්නේ බියෙන් හෝ අනාරක්ෂිත බවකින් නම් වෙනත් වැරදි ක්‍රියාමාර්ගයන් වෙතට එම පිරිස් යොමු වීමේ ඉඩකඩත් වැඩි වෙනවා. රටක ආර්ථීක තත්ත්වය කඩා වැටෙන විට ප්‍රචණ්ඩත්වය, හොරකම වැඩිවෙනවා. ඒනිසා අපි කවුරුත් අපිට ජීවත් විය හැකි ආකාරයේ හොඳ සමාජ තත්ත්වයක් ඇති කරගත යුතුයි.

මානව අයිතිවාසිකම් යන සංකල්පය මානව වර්ගයා විසින් ඇති කර ගත් සංකල්පයක්. එය නුතන තත්ත්වයට එළැඹීමට විවිධ පරිච්ඡේද පසු කළා. ඒ අනුව අයිතිවාසිකම් සමඟ යන යුතුකම් මාලාවක්ද පවතිනවා. වඩාත් හොඳ පරිණත ප්‍රජාතන්ත්‍රවාදයක නම් මේ හැම පැතිකඩක් පිළිබඳවම අවධානය යොමු කර වඩාත් ප්‍රසන්න සමාජ වටපිටාවක් ඇති කර ගත යුතුයි. මෙයයි අපිට ඇති අභියෝගය.

ශ්‍රී ලංකාවේ මානව අයිතිවාසිකම් පිළිබඳ කතා කළොත් අපි තවමත් ඉන්නේ ආත්මාර්ථකාමී අවදියකයි. අපි හිතනවා ජීවත්වන පරිසරය පිරිසිදුව පැවතිය යුතුයි කියල. ඒ වෙනුවෙන් අපි කරන්නේ අපේ කුණු වෙන කෙනෙක් ළඟට දාන එකයි.  රාත්‍රියේ සුඛෝපභෝගි වාහානවලින් එන පිරිස් දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිසුන් ඉන්න ප්‍රදේශවලට තමන්ගේ කුණු කසල බැහැර කරන අයුරු අපි රූප රාමුවලින් දුටුවා. මෙයින් සිදුවෙන්නේ විශාල ගැටීමක්. මම වගේම අනිත් කෙනාත් හොඳින් සිටිය යුතු බව අපි තනි තනිව සිතිය යුතුයි. විශේෂයෙන්ම කසල කළමනාකරණයේදී ජනතාව දැනුවත් කරන්නට රජයට විශාල වගකීමක් තිබෙනවා. මේ සඳහා ජනතාව අතර විනයක් ඇති කළ යුතුයි. මෙහිදී පුරවැසියන්ටත් රජයටත් වගකීමත් තිබෙනවා. විශේෂයෙන්ම පුරවැසියන්ගේ සිතීමේ ක්‍රියාව සඳහා විනයක් ඇති කිරීමේ වගකීම සහ ඊට අවශ්‍ය තොරතුරු සම්පාදනය කිරීමේ වගකීම රජයට තිබෙනවා.

 “අපටත් වැසිකිලියක්”‍ නමින් කේ. ජයතිලක මහත්මයාගේ කෙටි කතාවක් තිබෙනවා. ඒ කතාවේ හැටියට මෙයින් අවුරුදු සියයකට වගේ එපිට ලංකාවේ බොහෝ නිවෙස්වලට වැසිකිලි තිබුණේ නැහැ. නමුත් වැසිකිලියක් හැදුවේ නැතිනම් මහජන සෞඛ්‍ය පරීක්ෂකරවරයා නඩුදානවා යැයි තිබූ බයට අකමැත්තෙන් වුණත් නිවෙස්වල වැසිකිලි හැදුනා. පරිසරය සහ අයිතිවාසිකම් සම්බන්ධ ප්‍රශ්නයේදී එය මුල සිටම සමාජයට ඉගැන්වුවහොත් වෙනසක් ඇති කර ගැනීමට පුළුවන් නේද?

ඔව්, අනිවාර්යයෙන්ම අපේ සිත් සතන්වලට මේ අදහස් එන්න අවශ්‍යයි. කවුරු හරි මගේ දණ හිසට ගැහුවොත් මම නොසිතාම  දණ හිස ඉවතට ගන්නවා. ඒ වගේ මෙවැනි අවස්ථාවලදී එයට ප්‍රතිචාර ක්ෂණිකව ඇතිවන ආකාරයට අපේ සිත්සතන් වෙනස්ව තිබිය යුතුයි. එය විශාල ක්‍රියාවලියක් ඔස්සේ සිදුවන්නක්. අපිට අවශ්‍ය වෙන්නේ රටක ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් ආරක්ෂා කරන්න නම් ඒ සඳහා හොඳ පුරවැසියෝ හදන්න අවශ්‍යයි. කෙසේවුවත් අද ලංකාවේ අධ්‍යාපන ක්‍රමය යන්නේ විභාග කේන්ද්‍රීයවයි. ශිෂ්‍යත්වයෙන් පටන්ගත්තම අද දරුවන්ට තිබෙන්නේ පන්ති යන්නයි. මේ පන්තිවලින් හොඳ පුරවැසියන් බිහිවෙනවද? මේ වගේ හැලහැප්පීම් වලට බඳුන්වූ සමාජයක, දේශපාලන වශයෙන් දිර්ඝ කාලයක් අස්ථාවරව පැවති රටක මේ ක්‍රියාවලිය පහසු දෙයක් නෙවෙයි. එය පළමු ශ්‍රේණියටත් පෙර ඇරඹිය යුතු ක්‍රියාවලියක්. ළදරු පාසල්වල සිට විවිධ ක්‍රියාකාරකම් තුළින් මේ අදහස් දරුවා තුළ ඇති කළ හැකියි. එසේ නොමැතිව මිනිසුන් කෘත්‍රිම ආකාරයෙන් හිතන්නේ  “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ නීතිවල මගේ අයිතිවාසිකම් තිබෙනවා; මගේ අයිතිවාසිකම කැඩුණොත් මම මානව හිමිකම් කොමිසමට හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා”‍ වැනි පටු පරාසයක නම් හොඳ සමාජයක් හදා ගැනීම දුෂ්කරයි.

 මට හිතෙනවා යටත් විජිතයක් වශයෙන් අවුරුදු පන්සියයක් ඉදීමත් අපි තවම ආත්මාර්ථකාමී අවදියක සිටීමට  හේතුවුණාද කියල. මොකද නිදහස ලබද්දී අපිට හිමි වුණ ආයතන ව්‍යුහය අපට පෙන්නේ පිටින් දුන්නා වගේ. වෙනත් බොහෝ රටවල් අරගල කර ලබාගත් දේ අපට හරියට නිකන් දුන්නා වගේ.

මම හිතන්නේ ඒ කතාව නිවැරදියි. එය අතිශයින්ම වැදගත්. සියවස් ගණනක් යටත් විජිතයක් වශයෙන් ඉඳලා එයින් නිදහස ලැබීම විශාල පරිවර්තනයක්.  මේ පරිවර්තන අවදියේදී නිදහස පතා කළ සටන රටවල්වල දේශපාලන ව්‍යුහය තීරණය කිරීමට අතිශයින්ම වැදගත්. ඉන්දියාවේ නිදහස් අරගලය බටහිර අධිරාජ්‍යවාදීන් පළවා හරින්න කළ සටනක් පමණක්ම නෙවෙයි. සමාජය විශාල පරිණාමයකට ලක් කරන්න ඒ නායකයන් කටයුතු කළා. ඉන්දීය කිවියර රවින්ද්‍රනාත් තාගෝර් කිව්වේ සුද්දා පළවා හරින්න කියන දේ පමණක් නෙවෙයි. එතුමා කිව්වේ අපි හොඳ සමාජ ක්‍රමයක් හදන්න ඕන කියන එකයි. ඔහුගේ නිර්මාණවල දෙවියන් වහන්සේ නිරන්තරයෙන් හිටියා. ඒ තුළ තිබුණේ ස්වභාව ධර්මයේ නීතිය. ඔහු ඒ හරහා උත්සාහ කළේ එවන් සමාජයක් සකස් කර ගත යුතුය යන අදහස් ගෙන ඒමටයි. නිදහස සම්බන්ධයෙන් ඔහු තුළ තිබුණා වූ දැක්ම සහ අදහස් ප්‍රකට කළ ගීතාංජලී කාව්‍ය එකතුව ගත් විට එවැනි අදහස් ලෝකයේ වෙන කොහෙන් වත් හමු නොවන තරම්. නිදහස යනු පරිපූර්ණ මනුෂ්‍යයෙක් බිහිකිරීමට හේතුවන නිදහසක් විය යුතුයි. විය යුත්තේ එසේ නොමැතිව රටේ එක ජන කොටසක් පළවා හැරලා තව ආධිපත්‍ය තිබෙන කොටසක් ගෙන්වන එක නෙවෙයි. ඇත්ත වශයෙන්ම විප්ලවය කියන්නේ  එයටයි. ලේ හැලීමෙන් පමණක් නෙවෙයි විප්ලව ඇති වෙන්නේ. චින්තනමය වශයෙන් අදහස් තුළින් ඇති කළ විප්ලවයක් වශයෙනුයි මම එය දකින්නේ. නමුත් ශ්‍රී ලංකාවේ එවැනි ප්‍රබුද්ධ මට්ටමින් ඇති වුණ නිදහසක් නෙවෙයි තිබුණේ. ඒ ප්‍රබුද්ධ ස්වභාවය අපේ දේශපාලනය තුළ පවා නැහැ. ශ්‍රී ලංකාවේ චින්තනමය වශයෙන් එවැනි පෙරළියක් ඇතිවී තිබෙනවාද කියල ඉතිහාසය පිරික්සා බැලු‍වත් මම දන්න තරමට හමුවෙන්නේ නැහැ. ලංකාවේ නිදහස පතා සටන් කළ නායකයන්ව හැඳින්වුයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවාදීන් වශයෙන්. ඔවුන් කල්පනා කළේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇති කරගෙන අධිරාජ්‍යවාදීන් ගෙන ගිය වැඩපිළිවෙළ ඒ අයුරින්ම තමන් විසින් කරගෙන යෑමයි.  1931 ඩොනමෝර් ප්‍රතිසංස්කරණය යටතේ සර්වජන ඡන්ද බලය ලබා දෙන විට ඒ. ඊ. ගුණසිංහ මහත්මයා සහ ඉතා සුළු පිරිසක් හැරෙන්නට වෙන කිසිදු දේශීය නායකයෙක් එයට කැමති වුණේ නැහැ. එහිදී කාන්තාවන්ට ඡන්ද බලය ලබා දීමට විරුද්ධ වීම වැනි දේ සිදුවුණා. අපට ඡන්ද බලය හිමිවෙන්නේ අධිරාජ්‍යවාදීන්ගේ කැමැත්ත මතයි. අපේ නායකයන් එයට බොහෝ පිටුපසින් හිටියේ. ඒ ඇතිවූ දුර්වලතාවය අදටත් තිබෙනවා. අපිට නිවැරදි අඩිතාලමක් දාගන්න නොහැකි වී තිබෙනවා. ප්‍රගතීශීලි හෙවත් මානව නිදහස, මානව ගරුත්වය සහිත  රාජ්‍ය ක්‍රමයක් ගොඩනඟා ගන්න අපට නොහැකි වී තිබෙනවා.

 අද වන විට අපි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම පිළිබඳ සාකච්ඡාවකට ඇවිත් තිබෙනවා. මේ ව්‍යවස්ථාව සහ අයිතිවාසිකම් අතර තිබෙන සම්බන්ධය යුතුකම්වලට කොහොමද බලපාන්නේ?

ගාන්ධි සහ අම්බෙඞ්කාර් අතර විශාල විවාදයක් තිබියදී පවා රටේ ප්‍රථම අධිකරණ ඇමැතිවරයා වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට අදාළ කමිටුවේ සභාපතිවරයා වුණේ අම්බෙඞ්කාර් මැතිතුමා. අපේ සංස්කෘතික අංග දිහා බලලා අපි අයිතිවාසිකම් පිළිබඳ පරිච්ජේදයක් ඇතුළත් කළ යුතු නැහැ යුතුකම් පරිච්ජේදයක් ඇතුළත් කරමු කියල එම කමිටුවේදී එක යෝජනාවක් ඉදිරිපත් වුණා.  (Chapter Of Duties) “කුලය නිසා පීඩාවට පත් මගේ ජනතාව සම්බන්ධයෙන් චිරාත්කාලයක් තිබුණේ, ඉහළ කුලවල අයට පෙනෙන්න යන්න එපා, ඔවුන්ව ස්පර්ශ කරන්න එපා ආදී වශයෙන් පැවරණු යුතුකම් පිළිබඳ කතාවක් පමණයි; ඒ නිසා යුතුකම් පිළිබඳව පමණක් කිව්වොත් එය පීඩීත ජනතාවට විශාල ප්‍රශ්නයක් වෙනවා. එහෙත් ඉහළ මට්ටමේ සිටින වරප්‍රසාදලාභී පිරිස නිරායාසයෙන් සිය අයිතිවාසිකම් භුක්ති විදිනවා.”‍ එහිදී අම්බෙඞ්කාර් මැතිතුමා කිව්වා. අවසානයේ ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අයිතිවාසිකම් පිළිබඳ පරිච්ජේදයක් ඇතුළත් වුණා.

නමුත් මේ අයිතිවාසිකම් කියන දේ අසීමිතව අපට හිමිවෙන්නේ නැහැ. ඉතාම සීමිත අයිතිවාසිකම් ප්‍රමාණයක් පමණයි පූර්ණ අයිතිවාසිකම් වශයෙන් පිළි අරන් තිබෙන්නේ. නිදසුනක් ලෙස වධහිංසාවෙන් මිදීමට තිබෙන අයිතිය, වහල්භාවයෙන් මිදීමට තිබෙන අයිතිය පූර්ණ අයිතියක්. මෙවැනි ස්වල්පයක් වූ අයිතිවාසිකම් හැර අනෙක් සියල්ලට සීමාවන් පනවා තිබෙන්නේ යුතුකම් ඉෂ්ට කළ යුතු නිසා. මට අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් තිබුණා වුනත් එය අසීමිත අයිතියක් නොවෙයි. මම යමෙකුට නිග්‍රහ කළොත් අපහාස කළොත් එයට දඬුවම් ලැබීමට මට සිදුවෙනවා. ඒ ආකාරයට හැම අයිතිවාසිකමක් සමඟ යුතුකම් කොටසකුත් බැඳී තිබෙනවා.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රබුද්ධ මට්ටමින් අයිතිවාසිකම් එකතු කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වශයෙන් මම දකින්නේ නැහැ. එහෙත් එය අපේ ගමනේ එක් සන්ධිස්ථානයක්. මොකද අයිතිවාසිකම් පිළිබඳ පරිච්ජේදයක් ඇතුළත් කර අයිතිය කැඩුණු විට එයට ප්‍රතිකර්මයක් ඒ තුළින් ලබා දෙනවා. එහෙත් අපිට අමතක වෙන අපි කතා නොකරන දෙයක් තමයි රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ මූලධර්ම. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වැනි පරිච්ජේදයේ 28 වැනි ව්‍යවස්ථාවේ අපේ මූලික යුතුකම් කවරේදැයි දක්වා තිබෙනවා. මම හිතන අන්දමට මෙය අයිතිවාසිකම් පරිච්ජේදයටම ඇතුළත් කළා නම් මෙහි වටිනකම වැඩියි.

මෙහි තිබෙන ආකාරයට අපි ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට හෙවත් රටේ නීතියට ගරු කළ යුතුයි. ඒ මෙන්ම රටේ එකමුතුභාවය තවදුරටත් ප්‍රවර්ධනය කළ යුතුයි. ඒ අනුව වෛරී දේශපාලනය තුළ සිදුවෙන්නේ අපි මෙම යුතුකම බිඳ දැමීමක්. ඒ වගේම අප තෝරා ගත් වෘත්තියේ හොඳින් නියැළීම කළ යුතු බව මෙහි දැක්වෙනවා. මෙය ලංකාවට අතිශයින්ම වැදගත් දෙයක්. රාජ්‍ය අංශයේ වැඩකටයුතු සිදු වීම ප්‍රමාණවත් නැහැ කියන දේ හැමදෙනාම කතා කරන දෙයක්. ලංකාවේ මහජන දේපල ආරක්ෂා කිරීමත්, මහජන දේපල අවභාවිත කිරීමෙන් වැළකීමත් අපේ යුතුකමක් වශයෙන් දක්වා තිබෙනවා. මේ තුළින් දුෂණය අවම කිරීම අපේක්ෂා කරනවා. ඒ වගේම අන් අයගේ අයිතිවාසිකම් සහ නිදහස ආරක්ෂා කිරීමටත් ස්වභාව ධර්මයා ආරක්ෂා කිරීමටත් අපට යුතුකමක් තිබෙනවා.

අපි අයිතිවාසිකම් පිළිබඳ බොහෝ සෙයින් කතා කළේ දේශපාලන ආධිපත්‍යයෙන් මිදෙන්නයි. දැන් අපි අයිතිවාසිකම් පිළිබඳ සාකච්ඡාවට මේ යුතුකම් කියන කොටසත් ඇතුළත් කළ යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පුරවැසියන්ගේ යුතුකම්
Civic Duties තිබෙනවා. බදු ගෙවීම, ඡන්ද දැමීම, සමාජය පිළිබඳ විපරම්කාරීව ඉඳිමින් පොදු ප්‍රශ්නවලට මැදිහත් වීම, අන්‍යයන්ට ගරු කිරීම, ප්‍රචණ්ඩත්වය භාවිත නොකර සමාජයේ ජීවත් වීම යන දේ ඊට ඇතුළත්. බොහෝ රටවල්වල කුඩා කාලයේ සිට දරුවන්ට මේ පුරවැසි යුතුකම් පිළිබඳ ඉගැන්වීම කරනවා. ලංකාවේත් මේ යුතුකම් යන සංකල්පය, අයිතිවාසිකම් යන සංකල්පය හා සමානව ප්‍රබල ලෙස මතු කරගෙන මේ දෙක තුලනය කර ගැනීම පිළිබඳ සාකච්ඡා කිරීම ඉතාම වැදගත්.

 දැන් අදහස් ප්‍රකාශ කරන්න නිදහස තිබෙනවා ඒ නිසා හැමදාම මිනිස්සු පාරේ කියල මතයක් තිබෙනවා.

පාරට යන්න අයිතියක් තිබෙනවා. රජය දරදඬු නීති ගෙනත් එයට ඉඩ ඇහිරිය යුතුයි කියන මතය මානව හිමිකම් කොමිසන් සභාව ලෙස අපි කිසිසේත් අනුමත් කරන්නේ නැහැ. නමුත්  අපි පාරට එන්න ඕන පුරවැසියන් ලෙසයි. අප විසින් අප තුළ විනයක් ඇති කර ගත යුතුයි. අප අපේ නිදහස භුක්ති විදින කොට  එය තුලනාත්මකව එය භුක්ති විදින්නේ කොහොමද යන්න පිළිබඳ අදහසක් අපිට තිබිය යුතුයි. අයිතිවාසිකම් පැත්තෙන් පමණක් හිතල අනිත් අයට මොනව වුනත් කමක් නැහැ වගේ අදහසක හිටියොත් සිදුවෙන්නේ අයිතිවාසිකම් පිළිබඳ අදහසත් සමාජයේ දියාරුවී යෑම පමණයි. උද්ඝෝෂණ නොකිරීම නෙවෙයි මෙයින් අදහස් කරන්නේ. පුරවැසි යුතුකම් සමඟ මෙය තුලනය කරගන්නේ කොහොමද යන කාරණය මෙහිදී සැලකිල්ලට ගැනීම අවශ්‍යයි.

ප්‍රජාතන්ත්‍රවාදයක තිබෙන වැදගත් ලක්ෂණයක් වන්නේ පුරවැසියන්ට ප්‍රශ්න තිබෙන විට ඒවා හඬගා කියන්න අවස්ථාව තිබීමයි. මෙහි තිබෙන ප්‍රශ්නය එවැන්නක් අන්‍යයන් පිළිබඳවත් හිතලා තුලනය කරගන්නේ කොහොමද කියන දේ. මෙයයි අපිට තිබෙන අභියෝගය. ඒ සඳහා පරිණත බව අවශ්‍යයි. එය නීති රීතිවලින් පමණක් ඇති වෙන්නේ නැහැ. නීති රීතිවලින් එය සිදුකළ හැක්කේ යම් ප්‍රමාණයකට පමණයි. එය අපේ අභ්‍යන්තරය තුළින් මතුව එන්නක් විය යුතුයි. ස්වයං විනයක් ඇතිකර ගැනීමයි පුරවැසියන් ලෙස අප කළ යුත්තේ.

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අපිට තිබෙනව බව අපි හැමෝම දන්නවා. ඒ අයිතියට කවුරු හරි අත තැබුවොත් අප එයට එරෙහි වෙනවා. නමුත් අපි අදහස් ප්‍රකාශ කළ යුත්තේ ප්‍රජාතන්ත්‍රීය සමාජයක පැවතිය යුතු යුතුකමත් රකිමින් අන්‍යන්ට හානියක් නොවෙන්නත්, අන්‍යයන්ට අපහාස නොවෙන්නත්, ජාතීන් අතර ආගම් අතර වෛරයක් ඇති නොවෙන්නත් යන බව බොහෝ දෙනා දන්නේ නැහැ.

වෛරී ප්‍රකාශ නීතියෙන් තහනම් කළ යුතු බව ජාත්‍යන්තර නීතියත්, දේශීය නීතියත් පිළිගන්නවා. නමුත් මේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ජාතික එක්සත්භාවය කියන දේ තිබෙනවා. ජාතීන් තුළ එක්සත්භාවය ඇති කිරීම අපේ යුතුකම. කෙනෙක් වෛරී දේශපාලනයේ යෙදෙනවා නම් වෛරී ප්‍රකාශ සිදුකරනවා නම් කියන්නේ එය යම් වර්ගයක යහපත වෙනුවෙන් කියල. නමුත් ප්‍රජාතන්ත්‍රීය සමාජයක අපි හැමෝටම එක හා සමානව ජීවත් වීමට අයිතිය තිබෙනවා.

 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදෙමින් පවතින වටපිටාවක මේ අදහස එයට ගෙනියන්නේ කෙහොමද?

ඉතාමත් පුළුල් මූලික අයිතිවාසිකම් පරිච්ජේදයක් ජනතාව විසින් ඉල්ලා තිබෙනවා. නමුත් මෙහි අයිතිවාසිකම් දක්වන ගමන්ම ඒ හා සමගාමීව යුතුකම් දැක්වීමත් අතිශයින්ම වැදගත්. එය අලු‍ත් ආකාරයේ ආකෘතියක් විය හැකියි. එනම් මූලික අයිතිවාසිකම් සහ මූලික යුතුකම් අඩංගු පරිච්ජේදයක් ඇතුළත් වීමයි. මෙයින් අදහස් කරන්නේ එක්කෝ අයිතිවාසිකම් එක්කෝ යුතුකම් කියන දේ නොවෙයි. අයිතිවාසිකම් සහ යුතුකම් යන දෙක එකකින් අනෙක නිශේධනය කිරීම වෙනුවට මේ දෙක අතර සහජීවනයක් පවත්වාගෙන යන්නේ කොහොමද යන්න මෙහි ඇතුළත් විය යුතුයි.

 මානව හිමිකම් කොමිසන් සභාවේ සභාපතිනිය වශයෙන් මේ රටේ මානව හිමිකම් ප්‍රශ්න සම්බන්ධයෙන් ඔබේ තිබෙන අත්දැකීම කුමනාකාරද?

තමන්ගේ අයිතිවාසිකම කඩවුණා කියල පැමිණිල්ලක් ගෙන එන අයට අන් අයගේ අයිතිවාසිකම් පිළිබඳව තියෙන දැනුවත්භාවය මොකක්ද? මම පැමිණිල්ලක් කළොත් රාජකාරීයේදී මගේ සමානාත්මතාවය කඩ කළා කියල මම රාජකාරී කිරීමේදී අන් අයගේ සමානාත්මතාවය පිළිබඳ කොයිතරම් සවි`ඥනිකද? ඇතැම් විට සමහරුන්ගේ පැමිණිල්ලේම තිබෙනවා තමන් කළ වැරැද්ද පිළිබඳ දක්වලා. නිදසුනක් ලෙස ඇතැම් අය පැමිණිලි කර තිබෙනවා තමන්ගේ රැකියාව අහිමි වුණේ ව්‍යාජ අධ්‍යාපන සහතිකයක් ඉදිරිපත් කිරිම නිසා කියල. නමුත් ඔහුට අනුව ඔහුගේ රැකියාව අහිමි කිරීම අසාධාරණයි. මෙය පුදුම සහගත තත්ත්වයක්. මිනිස්සු තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳ හිතන්නේ හරිම තාක්ෂණික ලෙසයි.  නීතියේ පොඩි පොඩි කෑලි අල්ලගෙන තාක්ෂණික පදනම මත කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරල අපට හොඳ සමාජයක් හදාගන්න බැහැ. මේ වචන අර්ථ නිරූපනය කළ යුත්තේ පොදු මහජන යහපත පිළිබඳ සලකා බැලීමෙන්.  නමුත් අයිතිවාසිකම් අපට අවශ්‍ය වෙන්නේ මිනිස්සු ලෙස හොඳින් ජීවත්වෙන්නයි.


උපුටාගැනීම – සමබිම වෙබ් අඩවිය

Comments

comments