Saturday, October 21, 2017
Breaking News
You are here: Home » Interviews » ව්‍යවස්ථාව වෙනස් කළොත් 56 සිට වැරැදි නිවැරැදි කරගන්න පුළුවන් – ප්‍රවීණ රංගවේදී ලූෂන් බුලත්සිංහල

ව්‍යවස්ථාව වෙනස් කළොත් 56 සිට වැරැදි නිවැරැදි කරගන්න පුළුවන් – ප්‍රවීණ රංගවේදී ලූෂන් බුලත්සිංහල

ජනවාරි 08 කොටස්කරුවෙක් විදියට ඇත්තටම ජනවාරි 08 සිහිනයක් වුණාද? එහෙමත් නැත්නම් යථාර්ථයක් වුණාද?

ජනවාරි 08 මට නම් සිහිනයක් නෙවෙයි. යථාර්ථයක්. මට කොහොමත් ඒ වෙනස සිහිනයක් වෙන්නෙ නැහැ. මොකද අපි ආරම්භ කරපු දෙයින් අපට අවශ්‍ය තැනට එන්නට හැකියාව ලැබුණා. එතැනින් එහාට වැඩ ටික කරගෙන යන එක අපි ඒ වගකීම බාර දුන්න අයගෙ ක්‍රියාවක් මිස අපේ ක්‍රියාවක් නෙවෙයි. මේ කටයුත්ත ඉදිරියට කරගෙන යන්නට අපි කිසියම් පිරිසකට බාරකාරකමක් දුන්නා. ඒ බාර කරපු අය ඒ කටයුත්ත කරගෙන යන එකයි තියෙන්නෙ. අපි දැන් ඒ අය මොකද කරන්නෙ කියලා බලාගෙන ඉන්නවා.

■ ජනතා බලාපොරොත්තු ඉටු කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව අවංකව උනන්දුයි කියලා ඔබ හිතනවද?ආණ්ඩුවේ අවංකකම ගැන නම් සහතිකයක් දෙන්න මම ඒ තරමටම කැමැති නැහැ. මම දකින්නෙ මේක ඓතිහාසික අවස්ථාවක් කියන එක. අද යම්කිසි කඩාවැටීමක්, බලාපොරොත්තු සුන් වීමක්, අපේක්ෂාභංගත්වයක් තියෙනවා නම් ඒ 1948 ඉඳන් අද දක්වා මේ රට පාලනය කරපු අය නිසයි. නමුත් අද ආණ්ඩුවක් හදලා තියෙන්නෙ එදා ඉඳන් මේ රට පාලනය කරපු කණ්ඩායම් දෙක එකතු වෙලා. වැරැද්දක් සිද්ධ වුණා නම් හෝ හොඳක් සිද්ධ වුණා නම් මේ ගත වුණු අවුරුදු 69 තුළ ඒ වගකීම වැටෙන්නෙ ඔය දෙගොල්ලන්ට. හැබැයි දැන්, ඒ අය අතින් වැරැද්දක් වුණා නම්, දෙගොල්ලන්ටම එකතු වෙලා රටේ ජනතාව වෙනුවෙන් ඒ වැරැද්ද හදන්න අවස්ථාවක් අද ලැබිලා තියෙනවා. මින් පෙර ඉතිහාසයේ කවරදාකවත්  එවැනි අවස්ථාවක් ලැබුණෙ නැහැ, මේ වගේ එකට එකතු වෙලා තමන්ගෙ වැරැදි හදාගන්න. අපි බලාපොරොත්තු වුණේ, මේ දොගොල්ල එකතු වෙලා, මින් පෙර සිද්ධ වුණු වැරැදි හදාගෙන රටේ අනාගතය ගැන හිතන එක. මොකද ඉතිහාසය පුරාම ඒ අය අතින් ඒ වගකීම හරියට ඉටු නොවුණු නිසානෙ, අද අපේ රට මෙවැනි තැනක ඉන්නෙ. මම දකින විදියට මූලික වශයෙන් ඔවුන්ට සිද්ධ වුණු වැරැද්ද වෙන්නෙ, මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට තිබුණු අයිතිවාසිකම, තිබුණු හිමිකම අපේ  වර්තමාන ව්‍යවස්ථාව උපයෝගී කරගෙන විනාශ කර තිබීම. 1994 පටන් දේශපාලනයට පිවිසුණු බොහෝ දෙනා, ඒ හැම අවස්ථාවකම ජනතාවට පොරොන්දු දුන්නා ආණ්ඩුක්‍රමය වෙනස් කරනවයි කියල. ඒ කියන්නේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන බවට. නමුත් ඒක වුණේ නැහැ. මහින්ද රාජපක්ෂ 2015 දී විතරයි ඒ පොරොන්දුව නොදුන්නෙ. අනිත් හැම අවස්ථාවකදීම ඔහුත් මේ පොරොන්දුව දුන්නා. නමුත් එයත් ඒක කළේ නැහැ. ඉතින් ඒ නිසා තමයි මේ දෙගොල්ලන්ටම එකතු වෙලා මේක කරන්න කියලා 2015 ජනවාරි 08 මේ වගකීම බාර දුන්නෙ. එදා තනි තනියෙන් කරන්න ගිහින් වැරදුණා. දැන් දෙගොල්ල එකතු වෙලාවත් කරන්න කියන එක. නමුත් අපට එක ප්‍රශ්නයක් තියෙනවා. දැන්  මෙච්චර කාලයක් මේ පොරොන්දුව දීලා ආණ්ඩු පිහිටවපු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 94 ඉඳලා ආව අයම, විධායක ජනාධිපති ක්‍රමය නැති කරන්න ඕනේ නැහැ, බලය බෙදන්න ඕනේ නැහැ කියලා කියනවා නම්, කන්කෙඳිරි ගානවා නම්. මේ අය අවංකද නැද්ද කියන එක මතු වෙනවා. මේ අයට හැම වතාවකම ජනතාව බලය දුන්නෙ, ඒ පොරොන්දු ඉටු කරපල්ලා කියලා. අද දෙමළ ජනතාවත් ඒ අයගෙ උපරිම සහයෝගය මේ වෙනුවෙන් ලබා දෙනවා. එවැනි මොහොතක ඒ දේ නොකර ඉන්නවා නම් අවංකවම කොතැනද කියන ප්‍රශ්නය මතු වෙනවා.

■ ඇත්තටම මේ ආණ්ඩුවට වැරදුණේ කොතනද?Lusan Bulathsinhalaමේ ආණ්ඩුවට වැරදුණේ නැහැ. මේක වැරදීමක් නෙවෙයි. නමුත් මීට කලින් මෙහෙම දේශපාලන සංස්කෘතියකට අපි ගිහිල්ලා නැහැ. මේ කරන්නෙ  දේශපාලන අලුත් සංස්කෘතියක් අත්හදා බැලීමක්. කවදාවත් මම දන්න ඉතිහාසයේ විරුද්ධවාදී කණ්ඩායම් දෙක එකට එක්ව ආණ්ඩුවක ඉඳලා නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන වෙන පක්ෂ එක්ක එකතු වෙලා ආණ්ඩු පිහිටුවලා තියෙනවා. යූඑන්පීයත් සමහර අවස්ථාවල දී වෙන වෙන කණ්ඩායම් එක්ක එකතු වෙලා ආණ්ඩු කරලා තියෙනවා. නමුත් සදාකාලිකව විරුද්ධ පක්ෂ දෙකක හිටපු දෙගොල්ලො එක තැනකට ආව පළමු වතාව මේක. ඉතින් මේක දේශපාලනමය වශයෙන් ගත්තොත් අලුත් සංස්කෘතියක්. ඉතින් එවැනි සංස්කෘතික තලයක ඉරියට යද්දී පොඩි පොඩි ගැටුම් එන්න පුළුවන්. මුළු ඉතිහාසයම පෙන්නලා තියෙන්නෙ, මේ දෙගොල්ලම හොඳ මිනිස්සු නෙවෙයි කියලා. දෙගොල්ලම හොඳ වුණා නම් අපේ රට මේ තත්ත්වයට වැටෙන්නෙ නෑනෙ. ඉතින් මේ දෙගොල්ලම පරීක්ෂාවට ලක් කරන අවස්ථාව මෙය විය යුතුයි. මේ රටේ ජනතාව, මේ  දෙගොල්ලන්වම පරීක්ෂාවට ලක් කරලා සිහි බුද්ධියෙන්, සිහිකල්පනාවෙන් වැඩ කරන එකයි කරන්න ඕනේ.

■ ඇත්තටම සහයෝගිතා දේශපාලනයේ දී ජනපති සහ අගමැති අතර සහසම්බන්ධතාව හරිම වැදගත්. ඒක අද නියම අර්ථයෙන් ක්‍රියාත්මක වන බව පේනවද?

මම දන්න තරමට ඒ දෙන්නා අතර ප්‍රශ්නයක් නැහැ. මම ඒ අයව සමීපව ඇසුරු කරන්නෙ නැහැ. මගේ මිතුරන් ඒ අයට සමීපව ඉන්නවා. ඒ ලැබෙන ආරංචිවලට අනුව ඒ දෙන්නා දීපු පොරොන්දු ඉෂ්ට කරගෙන ඉදිරියට යන්න පුළුවන් තරම් උත්සාහ දරනවා. අපි දන්නවා මේ රටේ මේ පොරොන්දුව ඉෂ්ට කරන්න තියෙන අමාරුව.

මොකද අද හුඟක් අය කලකිරිලා ඉන්නෙ. මේ ආණ්ඩුව එනකොට, හොරු අල්ලනවා, මිනීමරපු අය හෙළිදරව් කරනවා ආදී වශයෙන් පොරොන්දු ගණනාවක් දුන්නා. අද හුඟක් අය කලකිරිලා ඉන්නෙ ඒවා හෙළිදරව් කරගන්න බැරිව ළතැවෙන එකටනෙ. ඒක මම දකින්නෙ, මේ හැම හොරකමක්ම, මිනීමැරුමක්ම කරපු අය රැකෙන්නෙ මේ ව්‍යවස්ථාවේ ආශිර්වාදයෙන්. මේ හොරකම් කරපු අය, මිනීමරපු අය හෙළිදරව් කරන්න පුළුවන් එකම විදිය මේ ව්‍යවස්ථාව වෙනස් කරන එක. මේ ව්‍යවස්ථාව වෙනස් නොකර මේ කිසිවක් කරන්න බැහැ. අද අපි දන්නවා අධිකරණය නිදහස් නැහැ. විවිධ බලපෑම්වලින්  තීන්දු තීරණ දෙන අය අද අධිකරණයේ ඉන්නවා කියන එක මුළු ජනතාවම දන්නවා. අධිකරණය තීන්දු දෙන්නෙ එක්කෙනෙකුට එක විදියට. තව කෙනෙකුට තව විදියට. කිසිම විටෙක සමානාත්මතාව, නීතියේ අධිපතිභාවය ක්‍රියාත්මක වෙන්නෙ නැහැ. ඒක වෙලා තියෙන්නෙ මේ ව්‍යවස්ථාවෙම තියෙන ජරහන්ත භාවය නිසයි. අද අපේ ව්‍යවස්ථාව තුළ ජනාධිපති කෙනෙක් ඉන්නවා නීතියට ඉහළින්. අද ව්‍යවස්ථාව තුළ ජනතාවගෙ මූලික අයිතිවාසිකම් එකක්වත් ආරක්ෂා වෙන්නෙ නැහැ. අඩු ගානේ ජීවත් වීමේ මූලික අයිතියවත් මේ ව්‍යවස්ථාවෙන් තහවුරු කරලා නැහැ. අද පොලීසිය, අධිකරණය හැමදේම දේශපාලන බලපෑමට යටත් වෙලා. ඒ හැමදේම සිද්ධ වෙන්නෙ ව්‍යවස්ථාව නිසා. මේ හොරකම්, මැරකම්වලට සම්බන්ධ කිසි කෙනෙක් මේ අවස්ථාවෙ ව්‍යවස්ථාව වෙනස් කරනවට මුළු හදවතින් කැමැති නැහැ. ඉතින් කරගන්න දෙයක් නැතිව මේකට කැමැති වුණොත් මිසක හදවතින් කැමැති වෙන්නෙ නැහැ. මේ ආණ්ඩුවට තියෙන ලොකුම වගකීම වෙන්නෙ, මිනිස්සුන්ව මේ තැනට ඇදලා දමපු, ලංකාවෙ ප්‍රජාතන්ත්‍රවාදයට මේ තරම් අවදානමක් අරන් දීපු මේ ව්‍යවස්ථාව වෙනස් කරන එක. තවදුරටත් මේ රටේ ජාතිවාදය, ආගම්වාදය අරන් එන පිරිස්වලට දේශපාලන බලය ලබා දිය යුතු නැති තැනට එන්න නම් මේ ව්‍යවස්ථාව වෙනස් වෙන්න ඕනේ.

ඒ වගේම අපේ මැතිවරණ ක්‍රමය වෙනස් වෙන්න ඕනේ. ඒවා තමයි ආණ්ඩුවට තියෙන මූලික වගකීම් වෙන්නෙ.

■ අගෝස්තු 21 වෙද්දී පක්ෂ දෙකේ ගිවිසුම් කාලය අවසන්. ඔබ හිතන්නෙ ඔවුන් වෙන් විය යුතුද? තවදුරටත් එක්ව සිටිය යුතුද?

මම නම් හිතන්නෙ වෙන් වීමෙන් කවදාවත් මේ ප්‍රශ්නයේ විසඳීමකට එන්න බැහැ. ඒකෙන් වෙන්නෙ තවදුරටත් මිනිස්සුන්ව මුළා කරන්නට මේ අයට හැකි වෙන එක විතරයි. ජනතාව පැහැදිලිවම බලාගෙන ඉන්න ඕනේ, මේ දෙගොල්ල කරපු වැරැදි මේ දෙගොල්ල ලවාම නිවැරැදි කරගන්න. ජනතාව මේ ව්‍යවස්ථාව අයින් කරන ලෙස බලකර සිටින්න ඕනේ. ජනවාරි 08 වනදා අපේ සිහිනය ඒක. අපි මේ ආණ්ඩුවෙන් වෙන කිසි දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ. 72 ඉඳන් අපි දැක්කා මේ රටට මේ හෙණපතේ පාත් වුණේ කොහොමද කියලා. ඒ සෝල්බරි ව්‍යවස්ථාවේ තිබුණු ප්‍රජාතන්ත්‍රවාදී සියලු ගති ලක්ෂණ 72 ව්‍යවස්ථාවෙන් මුලින්ම නැති කළා. 78 ව්‍යවස්ථාවෙන් ඒක උපරිමයට ගෙනල්ලා, මේ මහා ඒකාධිපති යුගයේ සෙවණැල්ල යටට අරගෙන ආවා. ඇත්තටම ලංකාව කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය නැති රටක්. නමුත් මේක ජනතාව දන්නෙ නැහැ. ඒකයි හැමෝම පළාත් පාලන ඡන්ද තියන්න කියලා කෑ ගහන්නෙ. මේ ඡන්ද ක්‍රමය තුළ දූෂිත බලය ලබා ගැනීම පමණයි මේ අයගෙ අරමුණ. කොහෙත්ම ඡන්ද තියෙන එක ප්‍රජාතන්ත්‍රවාදය නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න නම් අපේ අධිකරණය, නීතිය, පොලීසිය, මේ හැම දෙයක්ම පැරැණි ස්වාධීනතාවයෙන් යුතුව ජනතාවට සේවය කරන්න පුළුවන් ආයතන බවට පත් වෙන්න ඕනේ.

■ උතුරේ ප්‍රශ්න ගැන මේ ආණ්ඩුවත් උනන්දුවක් දක්වන්නෙ නැහැ වගේද පේන්නෙ?

උතුරේ ප්‍රශ්නය ගැන ආණ්ඩුව සැලකිල්ලක් දක්වන්නේ නැහැයි කියලා නම් මම හිතන්නෙ නැහැ. ජනවාරි 08න් පස්සෙ තමයි උතුරේ අය අපිත් එක්ක මේ තරම් සහයෝගයෙන් කටයුතු කරන තැනකට ආවේ. ඒක ආරක්ෂා කරගන්නා එක මේ ආණ්ඩුවෙ යුතුකමක්. යුතුකමකට වඩා ඒක වගකීමක්. ඒක කඩාකප්පල් කරන හෝ ඒකට එරෙහිව යන කිසිම දෙයක් දැනට නම් මේ ආණ්ඩුවෙන් සිද්ධ වෙලා නැහැ. නමුත් විරුද්ධ බලවේග දැනට ඇති වෙලා තියෙන සහයෝගිතාව කඩා බිඳ දමන්න උත්සාහ දරනවා. දෙමළ මිනිස්සුන්ව පසුගිය කාලයේ අවුරුදු තිහක යුද්ධයක පැටලෙව්වා. දැන් උත්සාහ දරන්නෙ මුස්ලිම් ජනතාව ඒ වගේ පටලන්න. ඒකෙන්ම මේ රටේ දේශපාලන බංකොලාත්භාවය තේරෙනවා. සුළු ජන කොට්ඨාසයක් තමන්ගෙ වෛරක්කාරයො බවට පෙන්නලා, මහ ජනතාව කියන සිංහල බෞද්ධයා කියන මිනිසුන්ව අවුළවනවා. මේක කරන්නෙ දේශපාලනයෙන්. මේක දේශපාලනයක් නෙවෙයි. අපරාධකාරී, ඝාතන ලක්ෂණයක්. ඒක අපි දන්නවා. එහෙම අනතුරක් තියෙනවා. බලය බලාපොරොත්තු වන අය හැම තිස්සෙම උත්සාහ දරන්නෙ ගිනි අවුළවන්න පුළුවන් තැනකින් ගිනි අවුළවලා ඒක කඩාකප්පල් කරලා බලය ලබා ගන්න. 56 ඉඳන් කරපු මේ අපරාධය වෙනස් කරන්න තියෙන මේ අවස්ථාව මඟ හැරගත යුතු නැහැ.

■ නැවත ඒකීය ව්‍යවස්ථාවක් සම්පාදනය කළහොත් බලය බෙදීමක් වෙන්නෙ නැහැ. ඒ ගැන ඔබ හිතන විදිය?

බලය බෙදීම කියන එකට ඒකීය කියන වචනය හරි වෙන වචනයක් හරි යොදන එක වැරැදියි. වචනයක් උඩ ව්‍යවස්ථාවක් ගැන අපට තීරණ ගන්න බැහැ. ව්‍යවස්ථාව කටයුතු කරන්නෙ දේශපාලන බලය බෙදාහදා ගන්න නම්, ඒකට ව්‍යවස්ථාව මඟින් කටයුතු කළ යුතුයි. ඒකට වචනයක් හරස් වෙන්න බැහැ. පසුගිය කාලයේ බොහෝ අය ෆෙඩරල් කියන වචනයට මිනිසුන්ව බය කළා. මොකද මේ රටේ දෙමළ පක්ෂයක් හැදුණා ෆෙඩරල් පක්ෂය කියලා. නමුත් ලෝකයේ ෆෙඩරල් කියන එක ආණ්ඩුවලට දාන නමක්. ආණ්ඩු හඳුන්වන නමක්. ඕස්ටේ්‍රලියාව, ඉන්දියාව ආදී රටවල් බොහොමයක් ෆෙඩරල් රාජ්‍ය. එහෙම එකකට අපේ රටේ ජාතිවාදීන් මිනිසුන්ව බය කරනවා. අනිත් පැත්තෙන් ඒකීය කියලා වචනයක් දාගෙන බෙදන්නෙ නැහැයි කියනවා. මේක බෙදන්න ඕනේ කමක් තියෙනවා නම් 13 වන ව්‍යවස්ථාවට අනුව දීපු පළාත් සභාවවත් හරියට ක්‍රියාත්මක නැහැනෙ. බලය බෙදීමක් හරියට කරලා නැහැ. නමුත් පළාත් සභාවක් තියෙනවා. ඒවායින් බඳු පනවනවා. වැඩ කරන අයට පඩි ගෙවනවා. මේක අපරාධයක්. මොකද පළාත් සභාවක් නඩත්තු කරනවා නම් ඒවායින් කෙරෙන්න ඕනේ වැඩ ටික කරන්න ඕනේ. සුළු ජන කොට්ඨාසයකට යමක් දෙන්න තියෙන ලෝබකමද මන්දා මේවයින් ප්‍රදර්ශනය කරන්නෙ. සිංහල බෞද්ධයා බෞද්ධයෙක් නම් හැමදේම අනුන් එක්ක බෙදා ගන්න ඕනේ. එහෙම දර්ශනයක් පාවිච්චි කරන රටක තව කෙනෙකුට යමක් දෙන්න අකැමැතියි කියලා, මිනිසුන්ව උසිගන්නනවා නම් ඒක ලොකු අපරාධයක්. ඒක අපේ ආගමට කරන නිග්‍රහයක්. අපේ හාමුදුරුගොල්ලන් ඒක කරනවා නම්, ඒක බුද්ධ දර්ශනයට කරන මොනතරම් නිග්‍රහයක්ද! බුද්ධ දර්ශනයේ මූලික හරය වන සාමයෙන් සමාදානයෙන් සමානාත්මතාවෙන් ජීවත් වෙන්න අපේ රටේ ඉඩක් නැහැ. ඒකෙන් තේරෙන්නෙ මේ රටේ බෞද්ධයෝ නැහැයි කියන එක.

■ ඇමැති මාරුව ඔබ දකින්නෙ කොහොමද?

ඒක නම් මම දකින්නෙ ඒ තරම් හොඳ ඇමැති මාරුවක් විදියට නෙවෙයි. ඒක ගැලවිජ්ජාවට කරපු වැඩක් වගේ. ඒ විතරක් නෙවෙයි. යම් යම් ආයතන ඇමැතිවරුන්ට බෙදලා දීලා තියෙන ආකාරය අනුව ඒවායේ කිසිම තර්කාන්විත බවක් නැහැ. මේ ආණ්ඩුව ලකුණු කපා ගන්න ඒවා වෙන්නෙ මෙන්න මේ වගේ වැඩවලින්. ඔන්න ඔතන දී මේවා කරන්නෙ අවංකවමද කියන ප්‍රශ්නය මතු වෙනවා.

තමන්ට නියමිත විෂය අතහැරලා, තමන්ට ඕනේ දේවල් ලබා ගන්න ඇමැති මාරුවලට ඉඩ තිබෙන රටක් හැටියටයි මම දකින්නෙ. මොකද ඇමැතිවරයෙක්ට තමන්ගේ අමාත්‍යාංශයෙන් තව තැනකට යද්දී, තමන්ට අවශ්‍ය දේවල් අරගෙන යන්න හැකියාවක් තියෙනවා නම්  එතැන ගැටලුවක්. ඒක එහෙම වෙන්න නරකයි. ඒකට හේතුව ජාතික ප්‍රතිපත්තියක් නැතිකම. යම් අමාත්‍යාංශයක කටයුතු සම්භාරය, ප්‍රතිපත්තියක කොටසක් විය යුතුයි. කිසිම අමාත්‍යාංශයකට ජාතික ප්‍රතිපත්තියක් නැහැ. ජනතාවත් එක්ක කටයුතු කරන බොහෝ දේවල්වල දී බොහෝ අමාත්‍යාංශවලට ප්‍රතිපත්තියක් නැහැ. එහෙම වුණා හම මොකද වෙන්නෙ, එක එක ඇමැතිවරු තමන්ගෙ ගෙවල් අත්හැරලා යද්දී තමන්ට ඕනේ බඩු මුට්ටුත් අරගෙන යනවා කියන තත්ත්වයට එනවා. ජාතික ප්‍රතිපත්තියක් නැති වුණාම, අමාත්‍යාංශවලට අදාළ ආයතනවලට ඒක බලපානවා. දැනට ලංකාවේ තියෙන ලොකුම දුබලකම තමයි කිසිම දෙයකට ජාතික ප්‍රතිපත්තියක් නැතිකම.

■ ආණ්ඩුව පිහිටුවීමට පෙර කලාකරුවන් සහ ජනපති අතර එකඟතා ලියවිල්ලක් හුවමාරු වුණා. ඒවා යථාර්ථයක් වුණාද?

බොහෝ දුරට ඒවා යථාර්ථයක් බවට පත් වුණේ නැහැ. තොරතුරු පතන ඇතුළු දින සියය වැඩසටහන යටතේ කෙරෙන වැඩ කොටසක් කෙරුණා. තවම අපි බලාපොරොත්තු වුණු දේවල් කෙරුණෙ නැහැ. නමුත් අපි තවම ඒ බලාපොරොත්තු අත්හැරලා නැහැ. මේ ආණ්ඩුව දිගට මේ වැඬේ කරගෙන යන්න ඕනේ. අපි අපේ බලාපොරොත්තු අත්හරින්නෙ නැහැ. අපි ආණ්ඩුවේ වගකිවයුතු අය දිහා බලාගෙන ඉන්නවා කියන එක අපි කියනවා.

■ වර්තමාන ජනාධිපති හිටපු ජනාධිපති වගේ කලාකරුවන් සමඟ සමීප නැද්ද?

මට නම් එහෙම දෙයක් දැනෙන්නෙ නැහැ. හිටපු ජනාධිපතිතුමා කලාකරුවො කිහිප දෙනෙක් එක්ක සමීපව කටයුතු කළා. මම දන්න තරමට සමස්ත කලාව එක්ක සම්බන්ධ වෙලා හිටියෙ නැහැ. නමුත් වත්මන් ජනාධිපති ඒ වගේ ස්වල්ප දෙනෙක් එක්ක කටයුතු කරනවා මම දැකලා නැහැ. බොහෝ වෙලාවට හැම දෙනාම කැඳවලා කතා කරන, කටයුතු කරන බවද පේනවා. ඒ හින්දා මේ ජනාධිපති කලාකරුවන්ට වඩා සංවේදියි කියලා අපි හිතනවා. මොකද දැනට නම් එතුමා පෞද්ගලිකව කලාකරුවො දිහා බලන්නෙ නැහැ. පුළුවන් තරම් පොදුවේ කලා ක්ෂේත්‍රයේ ප්‍රශ්නවලට උත්තර සොයන්න උත්සාහ දරන බව පේනවා. අද තියෙන ලොකුම ප්‍රශ්නය කලාකරුවා කියන මිනිසා සාමූහිකව ඒ සඳහා එකමුතු නොවන එක. ඒක අපේ රටේ තියෙන ලොකු ප්‍රශ්නයක්. කලාකරුවා කියන්නෙ කවුද, මොකක්ද තියෙන අනන්‍යතාව, ඇයි ඒ අයට අපි කලාකරුවො කියන්නෙ. කියන සම්මුතියක් මොකක්වත් නැහැ. මොකක් හරි කරපු කෙනෙක්ට කලාකරුවා කියනවා. ඒ සඳහා කලාකරුවො එකතු වෙලා සම්මුතියෙන් තමන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් එකමුතු වී වැඩ කරන්න පුරුදු වෙන්න ඕනේ. අවාසනාවට ලංකාවේ ජාති, ආගම්, කුලභේද වගේම කලාකරුවො අතරත් විවිධ භේද තියෙනවා. විවිධ  විශ්වාස තියෙනවා. තමන් කුමක් සඳහාද මේ කලාව අරමුණු කොට ගන්නෙ කියන එකවත් කලාකරුවො කියන අය දන්නෙ නැහැ.

බොහෝ දෙනෙකුට තියෙන්නෙ තමන්ගේ ස්වයං වින්දනය හෝ ස්වයං අවශ්‍යතා වෙනුවෙන් තමන්ගේ කලාව පාවිච්චි කිරීමේ අභිරුචියක් විතරයි. එහෙම නැතිව තමන් කරන කලාවෙන් පොදුවේ සමාජයට රටට යහපතක්, සෙතක් වෙනවා දකින්න උවමනාවෙන් කරන දෙයක් නෙවෙයි. අඩු ගානේ රටට සමාජයට නොවෙයි තමන්ගේ සහෝදර කලාකරුවන්ට, කලාකාරියන්ට යහපතක් වෙන දෙයක් කරන්නවත් මේ මිනිසුන්ගෙ එකමුතුවක් නැහැ. මුලින් මම කීව ජාතික ප්‍රශ්නයේ එක සංකේතයක් විදියට මේ භේද බින්න වූ කලාකරුවෝ පෙන්නන්න පුළුවන්. මේක නොදියුණුකමේ ලක්ෂණයක්. අපි තවමත් අර වැඩවසම් චින්තනයෙන් එහාට ගියෙ නැති ධනවාදයවත්, සමාජවාදයවත් හරියට අත්විඳලා නැති මේ හුදු වැඩවසම් ක්‍රමයෙම කොපි ටිකක්. ඒක තමයි අපට එකමුතුව වැඩ කරන්න හුරුකමක් නැත්තෙ.

■ කලාව වෙනුවෙන් ආණ්ඩුව යමක් කරාවි කියලා හිතනවද?

කලාකරුවො තමන්ගෙ ක්ෂේත්‍රයන් සඳහා යමක් කරන්න යෝජනා කරනවද, ඉල්ලීම් ඉදිරිපත් කරනවද, එහෙම ඉල්ලීම් ඉදිරිපත් කරලා ඒ සඳහා කටයුතු කරනවද, ආණ්ඩුවකින් ඒ සඳහා කටයුතු කරගන්න පුළුවන්. කලාකාරයො කියන අය පැත්තකින් ඉඳගෙන බලාගෙන ඉඳලා, ආණ්ඩුව තමන්ගෙ ක්ෂේත්‍රයන්ට මොනවා හරි කරාවි කියලා හිතුවට ඒක නම් වෙන්නෙ නැහැ. මේ වගේ වැඩවසම් රාජ්‍යයන් තුළින් ආව ජන සමාජ තුළ කිසිම දවසක එවැනි දෙයක්  බලාපොරොත්තු වෙන්න බැහැ. අපේ කලාකරුවො අතරෙ කුල භේදය ඉතාම තදින් තියෙනවා. ඒවා තියාගෙන පොදුවේ කලා ක්ෂේත්‍රවලට යහපතක් වෙන්නෙ නැහැ. මේ අදහස් අත්හැරලා එකමුතුව එකාවන්ව තමන්ගෙ ක්ෂේත්‍රය වෙනුවෙන් ඉදිරිපත් වෙලා, ව්‍යාපෘති ඉදිරිපත් කරලා, යෝජනා කරලා, ඒවා ක්‍රියාත්මක කරගන්න බලපෑම් කරන තත්ත්වයට එන්න ඕනේ. කලාකරුවන්ගෙ නිර්මාණ පැත්තෙන් බුද්ධිමය දේපළ හිමිකම සම්බන්ධව මම ගොඩක් කැප වුණා. ඒක ලෝක කලාකරුවන්ට තියෙන අංක එකේ මානව හිමිකමක්. දකුණු ආසියා කලාපයේ මේ හිමිකම නැති එකම රට ලංකාව. මේකට හේතුව වෙන කිසිම දෙයක් නොවෙයි; 79 දී ලලිත් ඇතුලත්මුදලි මහත්තයා බුද්ධිමය දේපළ පනත ගෙනැවිත් දුන්නත් ඒකෙන් ප්‍රයෝජන ගන්නෙ නැතිව කටයුතු කිරීම. එයාලා කළේ බුද්ධිමය දේපළ අවභාවිතයට ගනිමින්, ඒකෙන් මුදල් උපයමින්, සියලු දෙනාට යහපතක් කරන්න ගෙන ආ දේ කරන්න ඉඩ නොදී හිර කරගෙන සිටීම. මොනදේ වුණත් කලාව වෙනුවෙන් යම් දෙයක් කරන්නට ජනාධිපතිතුමා කටයුතු කරනවා.  ඒත් අපි හිතන තරම් වේගයෙන් ඒ දේවල් වෙන්නෙ නැහැ. මොකද මේකෙන් සූරා කන ව්‍යාපාරික ප්‍රජාවක් ඉන්නවා. ඒ අය ලේසියෙන් බුද්ධිමය දේපළ කලාකරුවන් අතට පත්වෙන්න දෙන්නෙ නැහැ. මොකද කලාකරුවා බලවත් වෙන නිසා. නමුත් මේ වෙලාවෙ අපි බලාපොරොත්තු වෙනවා ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ පූර්ණ අනුග්‍රහය කලාකරුවන් දෙසට යොමු වෙයි කියලා.

(උපුටාගැනීම – http://sathhanda.lk
තමාරා පතිරණ,ඡායාරූප – ගිතේන්ද්‍ර ලියනගේ)

 

Comments

comments