Monday, December 11, 2017
Breaking News
You are here: Home » Interviews » ” මාර්ගඋපදේශකයෙකු කියන්නේ තමන්ගේ රට ගැන ලෝකයට කියන නිල නොලත් තානාපති කෙනෙක්”

” මාර්ගඋපදේශකයෙකු කියන්නේ තමන්ගේ රට ගැන ලෝකයට කියන නිල නොලත් තානාපති කෙනෙක්”

වෘත්තිමය වශයෙන් ජාතික මාර්ගඋපෙදේශකයෙකු ලෙස  වසර ගණනවාක සිට සංචාරක ක්ෂේත්‍රයට සිය දායකත්වය ලබාදෙමින් සිටින  සුගීශ්වර දිසානායක මහතා  සමග මීපුර වෙබ් අඩවිය විසින් කරන ලද කතාබහක් පහත පළවේ.sugeeshwara6


සාකච්ඡා සටහන/ කුමාරිප්‍රනාන්දු


ඔබේ ජීවන පරිසරය ගැන යමක් කියන්න ?
මගේ ගම හෝමාගම. මම මූලික අධ්යාපනය ලැබුවේ නුගේගොඩ හයිලන්ඩ් විද්‍යාලයෙන්. පසුව උසස් අධ්යාපනය සදහා මම කොළඹ ආනන්ද විද්යාලයට ගියා. පසුව මම විවාහ වුණේ මහවැව ප්රදේශයෙන්. දැන්  මම පදංචියත් මහවැව. මෙ වනවිට එයිට්කන්  ස්පෙන්ස් සංචාරක ආයතනයේ ජාතික මාර්ගෝපදේශකයෙක් ලෙස සේවය කරනවා.
සංචාරක මාර්ග උපදේශනයට ප්‍රවිශ්ඨ වුණේ කොහොමද ?
මුලින්ම මම රැකියාවක් ලෙස කළේ ෆිනෑන්ස් සමාගමක නියෝජිතවරයෙක් ලෙස සේවය කිරීම. ඒ කාලේ මට කාර් දෙකක් තිබුණා. ඒ කියන්නේ 1988 අග භාගයේදී පමණ. ලාන්සර් බොක්ස් කාර් එකක්. මට කෙනෙක් කිව්වා ඔච්චර හොද කාරෙකක් තියාගෙන ඉන්න එකේ ටුවරිසම් කෙරුවා නම් හොදයි කියලා.  පස්සේ මම මීගමුවේ ‘ටොපෑස්’ හෝටලය ලග ඒ කාරෙක තියාගෙන උන්නා. ඒ කාලේ ඒ හරියේ හිටියා ස්විඩන් ජාතික මහත්මයෙක්. මගෙන් ඇවිත් ඇහුවා, ඔයාගේ කාරෙකත් හොදයි ඔයා කැමතිද ටුවර් එකක් යන්ඩ කියලා.
ගයිඞ් කෙනෙක් දෙන්නම් කිව්වා. පස්සෙ මම කැමති වුණා. මගේ පළමු ටුවර් එක ගියේ ජර්මන් මහත්මයෙක් ඇතුළු, තවත් හත්දෙනෙක් එක්ක. ඒ කාලේ ඉතින් දැන් වගේ දුරකතනත් අපේ අතේ නෑ. නමුත් කෙහොම හරි ඒගමනින් පටන් අරන් ටුවර් 7ක් පමණ ගියා.

ඒ ගිය ගමන් වලදි මමත් ඒකණ්ඩායම සමග සීගිරි ගල නගිනවා. ඔවුන් සමඟ මම හැම තැනම යනවා. යන ගමන් අර ගයිඞ් මහත්තුරු කියන ඔක්කෝම අහගෙන ඉන්නවා. වෙන රියදුරන් නම් වාහනේට වෙලා ඉන්නවානේ. නමුත් මම ඔවුන් කියන දේ අහගෙන ඉන්නවා. ඉතින් ඒ විදිහට ටුවරිසම් ගැන උනන්දුවක් මට ඇති වුණා. පස්සේ මගේ කාරෙක දීලා වෑන් එකකට මාරු වුණා.sugeeshwara4

ටුවර් එකක් යද්දී ඒ කාලේ වියදම එහෙම කොහොමද ?

ට්‍රිප් එකක් ගියාම කිලෝමිටර් එකකට ඒ කාලේ රැ 10ක් වගේ තමයි ලැබෙන්නේ. ඒ වගේම අපේ සේවය අගේ කරලා යම් මුදලක් ලැබෙනවාලාන්සර් බොක්ස් එකෙන් පස්සේ  මම ගත්තේ  ඩුවෙල්එ සී වෑන් එකක්. නොම්මරය  61639  හයිරූට් කැරවෑන් එකක්. ඒ කාලේ හැටියට ෆිනෑන්ස් එකක් තිබුණා. අපිට ඒ කාලේ ඒක එතරම් දැනුනෙත් නෑ. මොකද රටේ හොද මුදල් සංසරණයක් තිබුණා. පස්සේ මම ලක්ෂරී බස් එකක් ගත්තා. ඒකෙන් මම මේ රස්සාවේ ගොඩාක් ඉස්සරහට ගියා.

සංචාරක ක්ෂේත්‍රයේ ඉදිරියට ආපු හැටි ?
1992 දී මම සංචාරක මාර්ග උපදේශක වෘත්තිය පිළිබද පාඨමාලාවක් හැදෑරුවා. මාර්ග උපදේශක වෘත්තිය වර්ග තිබෙනවා කීපයක්. ඒරියා ගයිඞ්, ෂෝෆර් ගයිඞ්, සයිඞ් ගයිඞ් , නැෂනල් ගයිඞ් ආදී ලෙස. මම මුලින්ම ජෙට්වින් සංචාරක ආයතනයේ සේවය කළා. එතනදී මට උදව් කළා කර්නල් සමරසිංහ කියලා කෙනෙක් එයා මාව දැම්මා එයිට්කන් ස්පෙන්ස් එකේ හයර් වලට. එහෙම ඉද්දි මට තේරැණා. එයිට්කන් ස්පෙන්ස් එකට එන විදේශිකයින්ගේ වෙනසක් තියෙනවා කියලා. ඉතින් මම දිගටම ඒ ආයතනයේ රැදුනා.


su

සංචාරක මාර්ග උපදේශකයෙක්ගේ වගකිම කුමක්ද?
මම මේ වනවිට ජාතික මාර්ගඋපදේශන කතිකාචාර්ය  කියන තනතුර තමයි දරන්නේඅපගේ මාර්ගෝපදේශක වෘත්තිය මේ මට්ටමට ආවහම අපට තිබෙන කාර්යභාරය වැඩියි. මේ වන විට ලංකාවේ මාර්ගෝඋපදේශකයින් ඉන්නවා1750ක්.
මේ අතරින් වෘත්තියේ යෙදෙන්නේ
1200ක් පමණයි. වෘත්තීය මාර්ග උපදේශකයෙකුට තියෙන්ඩ ඕනා මූලික සුදුසුකම් වලට උසස්පෙළ අවම සුදුසුකම ලෙසත් උපාධිය මූලික සුදුසුකම ලෙසත් සැලකෙනවා. එයට අමතරව සංචාරක අමාත්‍යාංශය විසින් පවත්වන මාර්ගෝපදේශනය පිළිබඳ මූලික  ඩිප්ලෝමා හදාරන්නට අවශ්‍යයයි.
අපි නිල නොලත් තානාපතිවරු වගේ තමයි
. එහෙම කෙනෙක්ට අපේ රට ගැන හොද අවබෝධයක් තියෙන්ඩ ඕනා. ඒ රටවල් දෙකක මිනිසුන්ව යාවෙන පාලම හදන්නේ අපි තමයි. සමහරක් වෙලාවට අපෙන් වෙන වැරදි නිසා ඒ මිනිසුන්ට මේ රට එපා වෙන්ඩත් පුලූවන් කැමති වෙලා තව එවන්ඩත් පුලූවන්. අපිට කියන්ඩ බෑ කිසි දෙයක් ගැන අපි දන්නේ නෑ කියලා. අපිට විශාල වපසරියක් හම්භ වෙනවා ආවරණය කරන්ඩ.
මාර්ගඋපදේශකයෙකුට රටේ පාරසරික අවබෝධය හොදින් තියෙන්නට ඕනා. උදාහරණයක් ගත්තොත් මොකක් හරි ගහක් පෙන්වලා ඇහුවොත් ඒ මොකක්ද කියලා අඩුම ගානේ.. ඒ ගහේ නම සිංහලෙන් හරි කියන්ඩ අපි දැනගෙන ඉන්ඩ ඕනා.

අපි හිතමු අපි දකිනවා කොස් ගහක්, ඒක ‘’ ඉට්ස් අ ජැක් ෆුට්’’ කියන්ඩත් ඒකෙන් ලැබෙන පල පුයෝජන මොනාද, ඒකෙන් හදන කෑම, මේක කපන්ඩ තහනම් කියලා කියන්ඩ හැකියාව තියෙන්ඩ ඕනා. අපි හිතමු පාෂාණයක් දැක්කා කියලා ඒකට කියන්නේ ග්‍රැනයිඩ් කියලා කියන්ඩ අපට හැකියාව තියෙන්ඩ ඕනා.

දැන් එයාර්පෝට් එකේ ඉදලා Arrival  එකක් කරනවානේ. එයාර් පෝට් එකෙන් ගත්ත ගමන් අපි ඒ අයට කියා දෙන්ඩ ඕනා කරුණු ටිකක් තියෙනවා. ඒ නිසා තමයි ගයිඞ් කෙනෙක්ව පුහුණු කරන්නේ. ලංකාවේ උෂ්ණත්වය, වෙලාව, අද දේශගුණික තත්වය , අපේ භු විෂමතාවය අනුව අප අක්ෂාංශ, දේශාංෂ ගැන මෙකේ ට්‍රොපිකල් කන්ට්‍රි එකක්. එවර්ග්‍රීන් ෆරොසට් එකක්. ඒ වගේම සෞන්දර්ය පිළිබදව ප්‍රධාන සියල්ල ගැන මුලික විස්තරයක් කරනවා.

ෂෝෆර් ගයිඞ් කෙනෙක්ගේ රැකියාව කුමනාකාර ද?
ෂෝෆර් ගයිඞ් කෙනෙක් කියන්නේ වාහනය එළවන ගමන් ගයිඞ් කරන කෙනෙකුට.
මම 1992 ඉදන්  2000 වෙනකම්ම ෂෝෆර් ගයිඩ් කෙනෙක්. ෂෝෆර් ගයිඩ් කෙනෙකුට තමන්ගේ වාහනයේ එක්කන් යන්ඩ අවසර ලැබෙන්නේ සංචාරකයින් හත්දෙනාටයි. ඔහු වගකීම් දෙකක් තිබෙන පුද්ගලයෙක්. වාහනය පදවන ගමන් සියලු තොරතුරු තමන් සමග සිටින සංචාරකයින්ට පැවසිය යුතුයි. බොහෝ ෂෝෆර් ගයිඩ් ලා ඉන්නවා ඒ අය එක් විෂයක්  සම්න්බන්ධයෙන් හොද දැනුමක්ලඅත්දැකීමක් තිබෙන අය. උදාහරණයක් ගත්තොත් ලංකාවේ කුරුල්ලන් ගැන හොද දැනුමක් තිබෙන අය ඉන්නවා. ඒ වගේම කදු නැගීම, ඉතිහාසය සහ සංස්කෘතිය, පාරසරික පැත්ත මේ වගේ එක  විෂයන් ගැන නිපුන වූ අය ඉන්නවා. සංචාරක මාර්ග උපදේශකයෙක් කියන්නේ.  අපේ රට ගැන හොද අවබෝධයක් තියෙන්ඩ  ඕනා. අපිට කියන්ඩ බෑ අපි දන්නේ නෑ  කියලා.

ඒ කාලේ ඉන්ටර්නෙට් තිබුණේ නෑනේ.අපේ රට ගැන සියලූම තොරතුරු දැනගෙන නෙමේනේ විදේශිකයෝ ලංකාවට ආවේ. දැන් හෝටල් පවා පවා බුක් කරන්නේ ඔන්ලයින් වලින්. ඒ ගැන මොකක්ද හිතෙන්නේ ?

ඒ කාලේ ආපු විදේශිකයෝ අපේ රට ගැන විශාල දෙයක් දන්නේ නෑ. එයාලට යම් කෙනෙක් මෙහෙ නරඹලා ගිහින් දෙන අදහස් වලින් තමයි ඔවුන් දෙයක්  දැනගන්නේඒ වගේම ඔවුන් ගෙනියන ඡායාරෑප ටික අනිත් අයට පෙන්වනවා.

ඒ කාලේ සන්නිවේදනය සිදුවුණේ ලියුම් හුවමාරැවෙන්. කොම්පැණියකට ලියුමක් හෝ ටෙලි ෆැක්ස් කියලා ක්‍රමයක් තිබුණා. ඒ මාර්ගයෙන් තමයි කටයුතු සිදුවුණේ. බොහෝ සමහර අය කලින් හිතාගෙන එන පින්තුරය නෙමේ ආවහම තියෙන්නේ.

අද කාලේ අන්තර්ජාලය හරහාල ගූගල් හරහා ලංකාව ගැන බලලා අපි හිතනවාට වඩා විශාල දැනුම් සම්භාරයක් විදේශිකයින් ලග තිබෙනවා. ඒත් දැන් අය විදේශිකයෝ එයාලා දන්නවා කියලා අඟවන්නේ නෑ. අපෙන් අහලා එයාලා දන්න දේ ඩබල් චෙක් කර ගන්නවා.

මම මේ ලඟදී තායිලන්ත ජාතිකයින් 26 දෙනෙකුගේ කණ්ඩායමක් සමග  ගියා සංචාරයක්. ඔවුන් සිංහල දෙමළ ප්‍රශ්නය ගැන ගොඩාක් ඇහුවා. ඒ වගේම ඒකට පාදක වුණ ප්‍රශ්න හටගන්න වුණ හේතු සියල්ල. ඔවුන් අන්තිමට කිව්වේ අපි ඒ ගැන තොරතුරු දන්නවා වුණත් ඒක මේ රටේදි තහවුරු කරගැනීමට ඔවුන්ට අවශ්‍ය වුණා කියන එක.sugeeshwara5

විදේශිකයෙකුට මුල්වරට අපේ රටට ආවහම දැනෙන ආගන්තුක හැගීම කොයි වගේද? එමෙන්ම එය නැතිකිරීමට ඔබේ වෘත්තිය තුළ හැකියාවක් තිබෙනවා ද?

මෙහාට ආපු ගමන් ටිකක් කරකවලා අතහැරියා වගේ තමයි. දවස් 3ක් විතර යද්දී අපි දැනගන්ඩ ඕනා අපේ කෑම සංග්‍රහ කරලා මෙන්ම සංස්කෘතියට හුරුකර ගන්ඩ. කොහොමත් අපි ජාතියක් ලෙස ආගන්තුක සත්කාර කිරීම් පැත්තෙන් ගොඩාක් ඉදිරියෙන්නේ ඉන්නේ. ඒ වගේම අනිත් අය එක්ක සිනහා වෙලා සුහදවීම අපේ රටේ පුරවැසියන් තුළ තිබෙනවා. ඉතින් ඒ අය වෙන රටවලට ගිහින් තියෙනවා නම් කියන්නේ අපේ රටේ කවුරුත් සිනාමුසු මුහුණින් ඉන්නවා කියලා.

යුරෝපෙන් අපේ රටට ආවොත් ඒ ගොල්ලෝ ආසයි ටිකක් සරලව අඇඳුම් ඇදගෙන ඉන්න. එයාලට රස්නය දැනෙනවා වැඩි නිසා. උදාහරණයකට මුහුදු වෙරළකට ගියොත් ඒ අය කැමතියි පුලූවන් තරම් අඩු ඇඳුම් ප්‍රමාණයකින් ඉන්ඩ. අපි දැනගන්ඩ ඕනා විදේශිකයන් හා ගනුදෙනුවක් කිරීමේදී අවශ්‍ය ආකාරයට අවශ්‍ය තැනදී අපේ ඇ ඳුම් පැළඳුම් සංස්කෘතිය ගැන දැනුවත් කරන්ඩ. විශේෂ ස්ථාන පිළිබඳව. උදාහරණයක් හැටියට ආගමික ස්ථාන වලදී යම් සීමාවන් තිබෙනවා ඇදුම් පිළිබදව හා හැසිරීම් පිළිබඳව. ඉතින් අපි එයාලට ඒ ගැන කලින්ම දැනුවත් කළ යුතුයි. හේතුව දෝෂාරෝපණය එල්ල වෙන්නේ බොහෝ විට විදේශිකයාට නෙමේ මාර්ග උපදේශකයාටයි. අපි ගයිඩින් කරනවා කියන්නේ ඒක තමයි. අපි ඔවුන්ට නියම තොරතුරු දීලා නැත්නම් ඒක වැරදි උපදේශන කිරීමක් වෙනවා. ගොඩාක් එන්නේ වැඩ කරන අය. අවිවේකී ජීවන රටාවක ඉදලා මානසික විවේකයකට හා ශාරීරික විවේකයකට තමයි එන්නේ. ඒවගේම ඔවුන් නිදහසට, හිරු එළියට හොඳට පීනන්ඩ සහ විවිධත්වයට කැමතියි. සමහරු ආවහම අහනවා උඹලගේ රටේ කෑම කන්නේ සැරට නේද? , අපි උදේටත් කට දැවිල්ලට කනවා නේද? කියලා. ඒවටත් කැමති අය ඉන්නවා.

විදේශිකයින් සංචාර සඳහා ලංකාවට එන ආකාරයේ විශේෂතා තිබෙනවාද?

විදේශිකයින් පවුල් පිටින් එන්නේ දෙසැම්බර් සහ අගෝස්තු වල. මොකද අගෝස්තු කියන්නේ යුරෝපයේ දිගූ නිවාඩුවක්.එමෙන්ම දෙසැම්බර් නත්තල්. සාමාන්‍යෙයන් ඔය අතරමැද දරුවන් එක්ක එනවා දකින්ඩ අමාරුයි.

ඔවුන් සංචාරය කරන ක්‍රම කීපයක් තිබෙනවා. එකක් තමයි ටුවර් එක බුක් කරලා පැමිණීම. උදා, දවස් 14ක් නම් දවස් 7ක් ටුවර් එක යනවා. එයාර් පොර්ට් එකෙන් බැස්සා කෙලින්ම ටුවර් එක ගියා. පස්සේ බීච් එකේ සුමානයක් විතර රෙස්ට් කළා. ආපසු ගියා. ඊට අමතරව බීච් එකටම එනවා සුමාන දෙකක්. එයා ඒ ඉන්න අතරෙදී පොඩි පොඩි ටුවර්  යනවා. අනිත් අය නිදහසේ සංචාරය  කරන අය. එයා එන්නේ කිසි දෙයක් දන්නේ නැතිව.එයාර්පෝර්ට් එකෙන් තමයි වාහනය හොයා ගන්නේ.

අනිත් වර්ගය තමයි කණ්ඩායම් පිටින් එන සංචාරකයින්. ඔවුන් ට්‍රැවල් ඒජන්සියකට ගිහිල්ලා ඔක්කොම සැලසුම් කරනවා. එයා දන්නවා එයාව එයාර් පෝට් එකේදී පිළිගන්ඩ කෙනෙක් ඉන්නවා, එයාව හෝටලයට ගිහින් දාන්ඩ කෙනෙක් ඉන්නවා, එයාට ගෙවීම් කරන්ඩ දෙයක් නෑ එයා ගෙවලා ඇවිත් තියෙන්නේ. මේ වර්ගයේ විදේශිකයින් තමයි දැනට ලංකාවට එන්නේ.

පරිසරයට වැඩියෙන් හානි කරන්නේ දේශීය අය ද විදේශීය අය ද ?

අපේ අය හරි කැමතියිනේ විනෝද ගමනක් යද්දි මග බැහැලා කෑම කන්ඩ. ඉතින් එහෙම කාලා ඉවර වෙලා අර ගෙනියන පොලීතින් ,කසල සේරම පාරට හරි කැලේට හරි විසීකරනවා. මේක වැඩියෙන්ම කරන්නේ ලංකාවේ අය තමයි.

අනිත් එක තමයි සත්තු බලන්ඩ යද්දී යන්ඩ ඕනා නිශ්ෂබ්දව. අපිත් එක්ක යන සංචාරකයින්ට අපි කියලා දෙනවා. හැසිරෙන්ඩ ඕනා විදිහ. ඒ අය ඒ නිසා සත්තු දැක්කහම කෑ ගහන්නේ නෑ. ඒ අපි කියලා තියෙන නිසා. මොකද අපි යන්නේ සත්තුන්ගේ ලෝකෙට. අපේ දේශිය සංචාරකයෝ බොහෝ වෙලාවට බයවෙලා කෑ ගහන අවස්ථා තිබෙනවා.

යාල වනෝද්‍යානය ඇතුළේ ඉන්නවා ‘‘ගැමුණු ‘‘ කියලා ඇතෙක්. ඒ අතාට දැන් අපේ දේශීකයන් කෑම දිලා පුරුදු වෙලා දැන් වාහන යන මගට මේ ඇතා එනවා. ඉතින් ඇවිත් වාහනේ අස්සට හොඩ වැල දාගන්නවා කෑම ගන්ඩ. එතකොට මෙයාගේ දළ දෙකත් වාහනේ ඇතුලේ වදිනවා. මේ ලගදි සංචාරකයෙක්ගේ බඩ කැපුනා මේ දළ දෙකට කැපිලා මැහුම් දාන්ඩ වුණා. සමහර රියදුරන් මේ ගැමුණු කියන ඇතාව දැක්කහම නවත්තනවා ,බයටත් එක්ක.

මේ විදිහට දෙන කෑම කාලා මෙයාගේ ආහාර ජීර්ණ රටාවත් දැන් වෙනස් වෙලා තියෙන්නේගඅපි ගිය වාහනේ රියදුරු මහත්තයා දවසක් මේ ඇතා ලගට ආවහම වාහනේ නවත්තන්නේ නැතිව පස්සට රිවර්ස් එකේ ගියාග ඒකත් භයානකයි. නමුත් එයාට කරන්ඩ දෙයක් නැති නිසා. ඒ නිසා සත්තු බලන්ඩ යනකොට අනවශ්‍ය පුරුදු ඇතිකරන්ඩ හොද නෑ.

මේ දිනවල සංචාරක ක්ෂේත්‍රෙය් දියුණුවක් තිබෙනවද ?

මේකාලයේ ගොඩාක් සංචාරකයින් එන්නේ චීනයෙන්. ලංකාවේ සංචාරක අමාත්‍යාංශය විසන් ඒ රටේ කරපු ප්‍රවර්ධන වැඩසටහන් වල ප්‍රතිපළ නිසා තමනයි චීන ජාතිකයින්ගේ පැමිණීම වැඩිවෙලා තියෙන්නේ. ඔවුන්ගේ පැමිණීමේ වැදගත්කම තියෙන්නේ අවුරුද්ද පුරාම මේ චීන රටේ සංචාරකයන් ලංකාවට පැමිණෙනවා. ඉදිරියේ දී මේ ප්‍රවනතාවය වෙනස් වෙන්ඩත් ඉඩ තිබෙනවා. නමුත් මේ කාලය පුරාම සංචාරක කර්මාන්තයට චීන සංචාරකයින්ගෙන් හොදයි.

සංචාරක අමත්යාංශයේ ලංකාව සම්බන්ධයෙන් කරන ප්‍රවර්ධන වැඩසටහන් ප්‍රමාණවත්ද?

ඇත්තෙන්ම ප්‍රමාණවත් කියන්ඩ බැහැඅමාත්‍යාංශයේ වැඩපිළිවෙල දැනට වඩා විධිමත් මෙන්ම තවත් බොහෝ ක්ෂේත්‍ර වලට පුලුල් විය යුතුයි. ලෝකේ අපිව දන්නේ නැති රටවල් තිබෙනවා. ඇමරිකාව,දකුණු ඇමරිකානු රටවල් වලින් ලංකාවට එනවා අඩුයි.   ඒ වගේම බ්‍රසීලය. නවසීලන්තය, ඕස්ට්‍රේලියාව වගේ රටවල් වලට ලංකාව ගැන හදුන්වාදීමට අලුත් ක්‍රියා මාර්ග සොයා ගැනීමට සිදුවෙනවා. මේ වෙද්දී රුසියාවේ ඇති ආර්ථික අවපාතයක් සමග ඔවුන් ලංකාවට සංචාරය කිරිමේ පැහැදිලි අඩුවක් තිබෙනවා.

ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයට තව එකතුවිය යුතු දෙයක් තමයි අලුත් හෝටල්. මම දන්න විදිහට මුළු ලංකාව පුරාම තියෙන්නේ කාමර 26000ක් පමණයි. කලාප වශයෙන් ගත්තොත් යාපන අර්ධද්වීපයේ විදේශිකයින්ට හෝටල් අඩුයි. ජෙට්වින් හෝටලයක් එහි තිබෙනවා. යාපනය සංචාරක කර්මාන්තය පැත්තෙන් ගත්තොත් විශේෂ කලාපයක්. ඒ වගේ කලාපයක අලුත් හෝටල් හැදෙනවා නම් හොදයි. යාපනය සංචාරයටත් වඩාත් සුදුසුයි.මොකද එකම රටක වුවත් එහි තිබෙනේ වෙනස් සංස්කෘතියක්. ඒ වගේම ඔවුන්ගේ ආගමික වතාවත් ,චාරිත්‍ර,ආහාර පාන සියල්ල ‍ වෙනස්.

ඔබේ මට මගේ වෘත්තිය තුළ සතුටුදායක අවස්ථා ලෙස මට හමුවූ විශේෂ පුද්ගලයින් ගැන සදහන් කරන්ඩ පුලුවන් ?

මට හමුවුණා ටයිටැනික් චිත්‍රපටය සදහා ටයිටැනික් නැව යකඩින් හදපු පුද්ගලයා. එයා එක්ක ලංකාවේ සංචාරය කරන්ඩ ලැබුණා. ඒ වගේම හොලිවුඩ් නිළියක් ස්ටෙෆනි මාච් කියලා එයාගේ උපදේශකයා ලෙස දවස් කීපයක් ඇය සමග ගමන් කිරීමට අවස්ථාවක් ලැබුණා. ඒ වගේම 2015 දී ලංකාවට අවා රටවල් 32ක තානාපතිවරු කණ්ඩායමක්. ඔවුන් ලංකාව නියෝජනය නොකරන රටවල් වල තානාපතිවරුන්. ඔවුන් සමග සංහිදියා චාරිකාවක් යෑමට මට සංචාරක අමාත්‍යාංශයෙන් ආරාධනා කළා. මම ඔවුන් සමග යාපනයට ගියා. ඒක මට විශේෂ අත්දැකීමක්.

0-02-06-be9a1ac75916eff0a3aa4fd741ec47c71ffee1f9ca5b985147f41e1fefb2f748_full

සුගීහ්වර දිසානායක මහතා සිය බිරිද සහ දියණිය සමඟ

sugeeshwara7 suggeshwara 8 sugeeshwara9

 

 

 

 

Comments

comments