Saturday, October 21, 2017
Breaking News
You are here: Home » Interviews » සුද්දිට අගෞරව කරන්න එපා’ අබසිරිගේ කතාව තනිකරම යාන් එකක්-ප්‍රසන්න ජයකොඩි

සුද්දිට අගෞරව කරන්න එපා’ අබසිරිගේ කතාව තනිකරම යාන් එකක්-ප්‍රසන්න ජයකොඩි

28 film

ලංකාව විටෙක හරි අමුතු දේශයකි. ඇත්තෙන්ම අපි ලිංගිකත්වය ගැන කතා නොකරන තරම්ය. එය ගැන අධ්‍යාපනය ලබන්නේ නැති තරම්ය. මේ තත්ත්වය හොඳින්ම අපට වැටහෙන්නේ ලාංකේය සමාජය ලිංගිකත්වය ගැන කතා කරන්නට අහුමුළුම තෝර ගැනීමට මාන බලන නිසාය. විටෙක එය අඳුරක් ද විය හැකිය. ලිංගිකත්වය ගැන අධ්‍යාපනයක් ලැබීමට බාල පරම්පරාවට අවස්ථා 2 ක් ලැබේ. එකක් නම් පාසල් විෂය මාලාවේ සෞඛ්‍ය අධ්‍යයනය විෂයයි. අනෙක නම් විද්‍යාව විෂයයි. මේ විෂය මාලාවන් සැකසීමට රජය සම්පත් රැස්කර බදු මුදල් වියදම් කොට පොත් අච්චු ගසති. යමෙකු වැස්සකට හෝ පාසල් ගොස් ඇත්නම් ඒ පොත්වල පාඩම් වලට සිදු වන්නේ කුමක්දැයි ප්‍රඥාවෙන් වටහා ගත හැක. විද්‍යාවට අනුව හිස් කබලේ සිට යටි පතුල දක්වා ශරීර කුඩුවේ ඉන්ද්‍රියන් එකතු වූ පද්ධති රැසක් බිහි කර ඇත්තේ ස්වභාව දහමෙනි. අධ්‍යාපනයේදිත් වෛද්‍ය කර්මවලදීත් ඉතාම උනන්දුවෙන් පද්ධති ගැන කතා කරන සමාජයක් ප්‍රජනන පද්ධතියට ලබා දෙන්නේ පහත් ලන්සුවකි. පාසලේ කළු ලෑල්ලේ අනන්තවත් ඉන්ද්‍රියන් ඇඳ විස්තර කර දුන්න ද ප්‍රජනන ඉන්ද්‍රියන් ඇඳෙන්නේ වැසිකිළි බිත්තියේය. විශ්ව ධර්මය ඇතුළත වර්ගයා බෝවීම අතිශය සාමාන්‍ය තත්ත්වයක් තුළ ලංකාව නම් දූපතට මෙය ඉන්ද්‍රජාලයක් වන්නේ මන්ද. මිනිසුන්ගේ ආශාවන් ආදරයත් මාතෘත්වය යනාදින්ට ප්‍රජනනය ඉවහල් වේ නම් එය ලංකාව තුළ විද්‍යාවක් නොවන්නේ කෙසේද? බහිස්ස්‍රාවන් දෙව් ලෝ සැප, ඒ කෙළවර ප්‍රජනනය යන ත්‍රිත්වයටම කර ගහන එකී පද්ධතිය ගැන මිනිසුන් අධ්‍යාපනය නොලැබිය යුත්තේ ඇයි? ප්‍රශ්න වැලකි. අපට ගත හැකි සරල නිගමනයක් නම් ඇසට පෙනෙන ඉන්ද්‍රියයක් මුළු මහත් සමාජයක් ලෙඩ කර ඇති බවකි. කලාව විසින් මෙකී ලෙඩ වීම ප්‍රස්තුත කරගතහොත් කලාවට සුපුරුදු වාරණය ඊට ද එල්ල විය හැකිය. කලකට පෙර අශෝක හඳගමගේ ‘අක්ෂරය’ චිත්‍රපටයට ඒ ඉරණම අත් විය. නමුත් ප්‍රසන්න ජයකොඩි එකිී තේමාව සම්බන්ධයෙන් ලිහිල් පිළිවෙතක් අනුගමනය කොට ඇත. 28 ඔහුගේ ඒ නිර්මාණයයි. මේ කතාබහ දිවෙන්නේ ඔහුට අනුව මේ ලෙඩවීම විග්‍රහ වීම හරහායි.

ප්‍රසන්න, ඔබ ගත්තේ තරමක් අභියෝගාත්මක සංකල්පයක්?

මේ සංකල්පය මට ආගන්තුක නැහැ. 90 දශකයේ මම වේදිකාවට රචනා කළා පිටපතක්. ඒ පිටපතේ කතාවට මූලික වශයෙන්ම යෙදුණේ මේ ලිංගිකත්වය සැඟවීම තුළ වන ඛේදවාචකය. මගේ අතින් පිටපත ලියැවුණා එය නාට්‍යයක් හැටියට එළියට ආවේ නැහැ. නමුත් ඒ සංකල්පයම තමා මම චිත්‍රපටයට ගත්තේ ටිකක් වෙනස් විදියකට. මට මේ සංකල්පය චිත්‍රපටයකට ගේන්න අබසිරි කියන පුද්ගල චරිතය හේතු වුණා. මම කිව්වේ චිත්‍රපටයේ තිබෙන අබසිරිගේ චර්යා රටාව. සිසිර තඩිකාර කියලා ඉන්නවා නාට්‍යකරුවෙක්. ඔහුගේ ගම් පළාත තමා මාතලේ. අබසිරි මාමා කියන්නේ ඔහුගේ ගමේ ඉන්න චරිතයක්. අබසිරි මාමා වටේ ගෙතුන කතා මාලාවක්ම තියෙනවා. හරියට අපි කතා කරන ‘ඇම්ඩා’ කතා මාලාව වගේ එකක්. මේ කතාව අපිට කියන්නේ සිසිර තඩිකාර. දවසක් අබසිරි මාමා තමන්ගේ නැන්දම්මාගේ මිනිය තවත් දෙදෙනෙක් එක්ක ලෑන්ඩ්මාස්ටර් එකක පටවගෙන ගමට එනවා. එන ගමනේදී ඔවුන් මත්පැන් පානය කරනවා. ඊට පස්සේ ඔවුන්ට මෙලෝ සිහියක් නැති වෙනවා. ඒ අස්සේ බැඳන් ආපු මිනී පෙට්ටිය වට්ට ගන්නවා කුඹුරකට. මිනිය යන්තං පිහලා ආයෙත් පෙට්ටියට දාගෙන ඔවුන් යනවා ගමට. අබසිරිගේ මේ යාන් එක තමා මම අබසිරි හැටියට 28 න් ගේන්නේ. මේකේ සමස්ත ඛේදවාචකය කියන්නේ නම් සුද්දි. නමුත් මගේ අබසිරි වෙනස්.

සුද්දිගේ චරිතය සමස්ත නාටකීය දර්ශනයෙන් ව්‍යුක්තයි?

ඔව්. සුද්දි කියන්නේ හතර වටෙන් හිරවුණු චරිතයක්. එය මතයි ඇය ඇගේ ඛේදවාචකය දිග හරින්නේ. ඇය ගම, පවුල කියන සාධකවලින් වගේම ආගමෙන් නීතියෙන් කියන සාධකවලිනුත් කොටු වෙලා. ඇය කියන දේ වඩාත් හොඳට ගෝචර වෙන්න සරල දෙබස් තමා උපයෝගීකර ගත්තේ.

සුද්දිගේ චරිතය හරිම රේඛීයයි. ඇයට කිසිම බාධාවක් නැහැ තමන්ගේ කතාව කියන්න?

ඒ කාරණයත් මම කලින් කියපු එකට සම්බන්ධයි. ඇය කියන කතාව චිත්‍රපටය බලන කෙනාට අනුරූපව ආදේශ කරගන්න පුළුවන්. ඒ දේට සුද්දි කියලා නිශ්චිත, විශේෂිත චරිතයක් අවශ්‍ය නැහැ. සුද්දි පොදු නොවුණාට කාරණය පොදුයි. මොකද ප්‍රේක්ෂකාගාරයයි චිත්‍රපටයයි අතර හොඳ සංවාදයක් ඒකාත්මික වීමක් අවශ්‍යයයි. එහෙම කරන්න නම් චිත්‍රපටයයි පේ‍්‍රක්ෂකාගාරයයි අර තිබෙන දුරස්ථභාවය අවම කරන්න ඕනෑ. ඒ දේට සරිලන විදිහට තමා සුද්දිත් සරල දෙබසුත් ආදේශ වෙන්නේ.

සුද්දිව පැත්තකින් තැබුවොත් ඔබ ගොඩනඟන කතාව ත්‍රිකෝණාකාරයි. චරිත ත්‍රිත්වයක් මතයි දිවෙන්නේ?

සමස්ත චිත්‍රපටයම ගත්තොත් ඒකේ බෙදීමක් තිබෙනවා. මතුපිටින් එක කතාවක් කියන අතරේ යටි පෙළක් ඛේදවාචික කතාවක් කියවෙනවා. මේ බෙදීම ඇතුළේ තමා මතුපිට කතාව කියන්න චරිත 3 ක් එන්නේ. මේකේ සංකීර්ණම කොටස කරන්නේ මහේන්ද්‍ර අබසිරි හරහා. මේ අයගේ කතාවලින් තේරුම් ගන්න පුළුවන් මිනිස්සු පෞරුෂ හදාගන්න කොච්චර වෑයම් කරනවද කියලා.

ඔබ කියන්න හදන දේත් එක්ක ප්‍රේක්ෂකයන් ලෙහෙසියෙන්ම සම්මුඛ වෙන්න පුළුවන් බව සැබෑවක්. චිත්‍රපටයෙන් පරිබාහිරව මේ ලිංගිකත්ව අර්බුදය ගැන ඔබේ අදහස මොකක්ද?

වැඩිය අවශ්‍ය නැහැ. මේ චිත්‍රපටය කාටවත් බලන්න එපා කියලා තහනමක් නැහැ. වර්ග කරලත් නැහැ. ඒත් මේක පොඩි ළමයින්ට හොඳ චිත්‍රපටයක් නෙවෙයි කියලා මතයක් යනවා. වැඩිහිටියන් වළක්වනවා. ඒත් එහෙම එකක් නැහැ. මම අහන්නේ ඇයි පොඩි ළමයින්ට මේ චිත්‍රපටය බලන්න බැරි. පාසලක කියලා දෙනවා පරාගනය ගැන. ඒක විද්‍යාත්මකයි. ශාකයක් කොහොමද තමන්ගේ වර්ගයා බෝ කර ගන්නේ කියලා ඒකෙත් තියෙනවා. පරාග නිකුත් කරන හැටි කියනවා. ඒක තවත් ශාකයක ඩිම්බ එක්ක සංසේචනය වෙන හැටි කියනවා. ඒකෙන් මල් සහ ඵල හටගන්න හැටි කියනවා. අධ්‍යාපනයට පුළුවන් නම් ශාකවල බෝවීම උගන්වන්න ඇයි බැරි මිනිස්සුන්ගේ බෝවීම ගැන විද්‍යාත්මකව කියන්න. විශ්වයේ පැවැත්ම තියෙන්නේ බෝවීම මත නම් ඇයි අපට බැරි මේ රිද්මය කියලා දෙන්න. ඒක කුණුහරුපයක් වෙන්නේ කොහොමද? ඒක කොහොමද හොරෙන් කතා කරන දෙයක් වෙන්නේ. මේවා ජාතියක් හැටියට තියෙන පෞරුෂ ප්‍රශ්නයක්. මේවා පුළුවන්තරම් හංගනවා මිසක් උගන්වලා දැනුම්වත් කරන්නේ නැහැ. මේ සමාජයේ ලිංගිකත්වය ප්‍රජනනය කියපු ගමන් මිනිස්සු බය වෙනවා. මිනිස්සුම තමා මේක කුණුහරුපයක් කරලා තියෙන්නේ. අඩුම ගානේ පෙම් යුවළක්වත් හරියට දැනුම්වත් වෙලා මේවා කතාබහ කරනවාද? නැහැනේ.

මේ සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශව ඔබත් එක්ක සංවාදයකට ආවද චිත්‍රපටය බලලා?

හොඳ තැනකට ඔයා ආවේ. අද වෙනකම් කිසිම වගකිවයුතු පාර්ශවයක් මාත් එක්ක කතාබහ කරන්න ආවේ නැහැ.

ඔබ වගකිව යුතු පාර්ශ්ව කියන්නේ කා හටද?

විශේෂයෙන්ම ඔය පිරිස අධ්‍යාපනයට සම්බන්ධ තීරණ ගන්න අය විය යුතුයි. මේ වගේ ඛේදවාචකවලින් වැඩියෙන්ම බැට කන්නේ කාන්තාවන්. අඩුම ගානේ කාන්තාවන් ගැන කතා කරන එක සංවිධානයක්වත් එක රාජ්‍ය නොවන සංවිධානයක්වත් මේ ගැන විවෘතව කතා කරන්න ඇවිත් නැහැ. මටත් හිතන්න වන්නේ මේ අයත් ලිංගිකත්වය කුණුහරුපයක් කියලා දකින පෞරුෂ දුර්වල වෙච්ච අය හැටියට තමයි.

‘උදා වූ යෞවනය’ පොත ගැන ඔබ මොකද හිතන්නේ?

මොකක්ද ඒ පොත? මම ඒක ගැන දැනුවත් නැහැනේ.

කලකට පෙර අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කරපු පොතක්. පාසල් දරුවන්ගේ ලිංගික අධ්‍යාපනය වැඩි දියණු කිරීම සඳහා . . .

ඇත්තටම මම ඒ පොත ගැන දැනුම්වත් නැහැ. මොකද අපේ කාලේවත් එහෙම පොතක් තිබ්බේ නැහැ අපිට බලන්න.

මා හිතන විදිහට දැන් ඒ පොත භාවිතයේ නැහැ. අපිත් ඒ දවස්වල ඒ පොත හොරෙන් කියෙව්වේ. . .

වෙලා තියෙන දේ ඒකෙන්ම හිතාගන්න පුළුවන්නේ. ඒ වගේ දැනුමක් ගන්න පුළුවන් පොතක් ආණ්ඩුවෙන් ප්‍රකාශයට පත් කරලා මුදල් වියදම් කරලා. ඒත් ඒක භාවිත කරලා නැහැ පාසලේ. ඒකත් කුණුහරුපයක් වෙලා. සරලවම කියනවා නම් ආණ්ඩුව සල්ලි වියදම් කරලා කුණුහරුපයක් මුද්‍රණය කරලා. එහෙමනේ දැන් අපට හිතන්න වෙන්නේ. ලොකුම අර්බුදය කියන්නේ පාසලක වග කියන මුල් ගුරුවරු ඇතුළු ගුරුවරුන්ට කොන්දක් නැති වුණානේ මේ දේවල් උගන්වන්න. ඔවුන්ට මේ ගැන එක මේසයකට ඇවිත් සාකච්ඡා කරලා කරන්න පුළුවන් දේවල්. ඔවුන් ඒක කළේ නැහැ.

හොඳයි ඔබ චිත්‍රපටය පුරාවට පාවිච්චි කරන්නේ හස්තගත කැමරාව. මොකක්ද හේතුව?

ඇත්ත හැන්ඩි හෙල්ඩි විදිහට මේක ෂූට් කළේම කැමරාව නිශ්චලව තියලා රූපගත කරන්න බැරි නිසා. හේතුව තමා ප්‍රේක්ෂකයා කොහෙත්ම චිත්‍රපටයත් එක්ක සමීප වෙන්නේ නැහැ චිත්‍රපටය නිශ්චල නම්. ඒ නිසා ගොඩක් දර්ශන අපි හස්තගතව කළා.

අන්තර් ජාතික සම්මාන උලෙළවල්වල ‘28’ හොඳින් ඇගයුණා නේද?

ඔව්. චිත්‍රපටය හැදුණේ 2013 අවුරුද්දේ. 2014 වර්ෂයේ ඉඳන් අන්තර් ජාතික උළෙලවල් නියෝජනය කළා. ආසියා පැසිෆික් සිනමා උලෙලේදී 28 පිටපත වෙනුවෙන් මමත් හොඳම රංගනය වෙනුවෙන් මහේන්ද්‍රත් නිර්දේශ වුණා. ඒ අතරම තමා රොටර්ඩෑම් අන්තර්ජාතික සිනමා උලෙළේ හොඳම ආසියාතික චිත්‍රපටය සම්මාන දිනුවේ.

චිත්‍රපටයේ ප්‍රචාරණය වෙනුවෙන් වෙනසක් නැතිව අදත් මහේන්ද්‍රව මාකට් කරන්න පුළුවන්ද?

මෙහෙමයි, අද හැමෝම ලඟ හොඳ ෆෝන් තියෙනවනේ. එයාලා ගහන්නේ සෙල්ෆි. දැන් යන සංකල්පය තමා ‘ස්වයං වීරයෝ’ සංකල්පය. තමාගේ දේ තමාට ඕනෑ විදිහට තමන්ම සකසා ගන්නවා. කැමරාවෙන් එහෙම කාලෙක මහේන්ද්‍රට කොහොමද විශේෂ වටිනාකමක් එන්නේ. මම අදටත් විශ්වාස කරනවා අදටත් ජීවත් වන නළුවන්ගෙන් මහේන්ද්‍ර තමා හොඳම චරිතාංග නළුවා. නමුත් ඔහුගේ වටිනාකම ඔහුට ලැබෙන්නේ නැහැ.

සමස්ත චිත්‍රපටයේ ප්‍රචාරණය සාර්ථකද?

අපේ වියදම සීමිතයි. මොකද චිත්‍රපටයේ වියදම කවර් කරන්න ඒ වගේ දෙගුණයක් ශාලාවලින් හොයන්න ඕනෑ. ඒ නිසා අපි වියදම් සීමාසහිතවයි කරන්නේ චිත්‍රපටය පාඩු කරගන්න බැරි නිසා. මාධ්‍යයෙන් අපිට හොඳ සහයෝගයක් ලැබෙනවා. මේ වෙලාවේ. මේක කුණුහරුපයක් කියන සමාජයක් ඇතුළේ වැඩේ තව ටිකක් අපහසුයි. නිකං හරි ඔයා ‘ලිංගිකත්වය’ කියන වචනේ දාලා ඔය ලිපියේ හෙඩින් එක දාන්නකෝ, කවුරුවත් බලන්නේ නැහැ ඔයාගේ ඔය පිටුව. මම කලින් චිත්‍රපට දෙකටත් සෑහෙන්න ණය වුණා. ‘කර්ම’ චිත්‍රපටයේ ණය ඊයේ පෙරේදා වෙනකං ගෙව්වා. ඒ නිසා මේ වතාවේ පරිස්සමින් වැඩ කරනවා.

Save

Comments

comments