Monday, December 18, 2017
Breaking News
You are here: Home » Articles » ඩෙංගු යුද්ධය දිනන්නේ කවුද… වෛරසයද? ශ්‍රී ලංකාවද?

ඩෙංගු යුද්ධය දිනන්නේ කවුද… වෛරසයද? ශ්‍රී ලංකාවද?

dengue-6

මදුරුවන් බෝවීම වැලැක්වීමෙන් පමණක් ඩෙංගු වසංගතය මර්ධනය කල නොහැකි බව වර්ෂ 25ක් තිස්සේ ගත් උත්සාහයෙන් සනාථ වී ඇත. එසේනම් ඩෙංගු වසංගතය පාලනය කිරීමට නම් ඩෙංගු රෝගීන් මදුරුවන් දෂ්ට කිරීමෙන් ප්‍රවේසම් කල යුතුයි. මෙය එතරම් අපහසු කාර්යයක් නොවේ.
සාමාන්‍යයෙන් අපි ඩෙංගු උවදුර විස්තර කරන්නේ සතියක, මසකට, හෝ වර්ෂයකට වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව මගිනුයි. උදාහරණයක් නම් වර්ෂ 2016 දී ශ්‍රී ලංකාවේ ඩෙංගු රෝගීන් ගණන 54,000කි.  මෙයින් අදහස් කරන්නේ ඒ වර්ෂයේදී අලුත් ඩෙංගු රෝගීන් 54,000ක් වාර්තා වුන බවයි. නමුත් මේ අංකය එක වැදගත්  කාරණාවක් පිලිබිඹු කරන්නේ නැත. එනම්, 2016 දී එක අවස්ථාවකදී නැතිනම් එක දිනයකදී ලංකාවේ පුද්ගලයන් කීදෙනෙකුට ඩෙංගු වෛරසය වැළඳී තිබුනාද යන්නයි.
එක වර්ෂයකදී හෝ එක දිනයකදී  පුද්ගලයන්  කී දෙනෙක් තුල ඩෙංගු වෛරසය තිබුණාද යන්න ගණනය කිරීමට පෙර අපි වෛරසයේ ස්වභාවය සලකා බලමු.
සාමාන්‍යයෙන් පොදු අදහස නම් වෛරසයක් නම් ඉතා කුඩා, ඇහැට නොපෙනෙන, සිවුමැලි සත්ත්ව විශේෂයක් යනුයි. නමුත් වෛරස, විශේෂයෙන් රෝග පතුරුවන වෛරස, වෙනත් ආකාරයකින්ද සැලකිය හැකියි. එක වෛරස අංශුවක් ගත් කල සිවුමැලිසේ සැලකුවත්, සමූහයක්සේ ගත්කල, උදාහරණයක් වශයෙන් එක මොහොතක නැත්නම් එක දිනයක ශ්‍රී ලංකාවේ “ජීවත්වෙන” ඩෙංගු වෛරස ගත්කල, ඌ ඉතාමත්ම භයානකය. ඉහත සදහන් අයුරු, ශ්‍රී ලංකාවේ එක මොහොතක සිටින සියලුම ඩෙංගු වෛරස එක ජීවියෙක් ලෙස අර්ථකතනය කල හැකියි. මෙය එතරම් අපුර්ව දෙයක් නොවේ. මීමැස්සන්, වේයන් යන සතුන්ගේ ප්‍රජාව එක සත්ත්වයෙක් ලෙස සැලකිය යුතු බවට සංකල්පයක් ඇත. එලෙසම එක රටක හෝ එක ප්‍රදේශයක (මුළු ලෝකයේම වුවත්) සියලුම ඩෙංගු වෛරස එකතුව ගෙන, එක ඩෙංගු ජීවියෙක් ලෙස සැලකිය හැක. මීමැස්සන්ට හෝ වේයන්ට වඩා  ඩෙංගු වෛරසයේ ඇති වෙනස නම්, වෛරස ප්‍රජාවේ සාමාජිකයෝ එකිනෙකාට සෑහෙන දුරින් (වෙන වෙන පුද්ගලයන් තුල) සිටීමයි. මේ වෙනස නිසා ප්‍රශ්නයක් ඇත්නම්, ඒ අපේ මානසික දුර්වලකමක් පමණි. එසේනම්, 1962 දී ලංකාව ආක්‍රමණය කල අද්භූත සත්ත්වයෙක් ලෙස ඩෙංගු වෛරසය සැලකිය හැක.
වෛරසයේ තවත් ලක්ෂණයක් නම් උගේ ඇති එයටම ආවේනික හපන්කමයි. වෛරසය මොලයක් පමණකින් සමන්විතවේ. ඌට ඇඟක්, පෙනහැල්ලක්, බඩක් වැනි දෙයක් නැත. ඌ වෙනත් ජීවීන්ගේ සෛල වල පරිවෘත්තිය ක්‍රියාවලිය ප්‍රයෝජනයට ගෙන ජිවත් වෙයි. වෙනත් ජීවීන් මේ ක්‍රියාවලියට විරුද්ධවී, වෛරසය සමග කරන සටනෙන් වෛරසය බොහෝ විට මරණයට පත්වෙයි. නමුත්, සටනින් වෛරසය දිනුවහොත් රෝගියා මියයයි. මෙම ක්‍රියාවන් දෙකෙන් එකක් (ඩෙංගු නම්) සතියක් තුලදී සිදුවෙයි. දෙකෙන් කුමක් සිදුවූවත්, සතියකින් වෛරසය නැසී යයි. එම නිසා වෛරසය සතියකට පෙර වෙන පුද්ගලයෙක් සොයා ගත යුතුයි.  මෙම ක්‍රියාව නොයෙක් ආකාරයට සිදුවෙයි. ඉන්ෆ්ලුඑන්සා වැනි රෝගියෙක් නම් කැස්ස සහ කිඹිහුම් ඇතිවූ අවස්ථාවේදී වෛරසය වෙන ශරීරයකට ඇතුල්වෙයි. ඩෙංගු වෛරසය මදුරුවෙක් මගින් වෙන පුද්ගලයෙක් කරා යයි.
නැවතත් අපි  එක් දිනකදී ශ්‍රී ලංකාවාසීන් කොපමණක් තුලට වෛරසය ඇතුල්වී ඇත්දැයි සොයා ගැනීමට යමු. මේ කර්තව්‍යයට, වර්ෂය පුරා වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව ප්‍රයෝජනයට ගත හැක.  වර්ෂ 2016 දී වාර්තාවූ 54,000ක්වූ රෝගීන් දවස් 365 තුලදී දිනෙන් දිනට එක සමානවම වාර්තා වූවායයි අපිට උපකල්පනය කල හැකියි. එසේනම්, දිනකට 54,000/365, නැතහොත් රෝගීන් 148ක් වාර්තා වී ඇත. එසේනම් 2016 දී සෑමවිටම ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 148ක් තුල ඩෙංගු වෛරසය තිබිණි. මෙහිදී තවත් එක කරුණක් සැලකිල්ලට ගත යුතුයි. ඩෙංගු රෝගය වැළදුණු පුද්ගලයෙක් තුල වෛරසය දින 7ක් පවතී. එසේනම් අලුත් රෝගියාට අමතරව ඊට පෙර දින 6යේදී රෝගය වැළඳුනු පුද්ගලයින් තුලද වෛරසය තවමත් ඇත. ඒ අනුව, 2016 දී සැම දිනකම පුද්ගලයින් (54,000 / 365 x 7) = 1,036ක් තුල වෛරසය තිබිණ.
මේ ආකාරයට වර්ෂයක් වර්ෂයක් පාසා ශ්‍රී ලංකාවේ ඩෙංගු උවදුර ව්‍යාප්ත වූ ආකාරය දැක්විය හැකිය. පහත දැක්වෙන්නේ වර්ෂ කීපයක දත්තයි.
Spread_of_Dengue_in_Sri_lanka_over_the_years
පහත දැක්වෙන රූප සටහනෙන් දැක්වීමට වෑයම් කර ඇත්තේ ඩෙංගු නැමැති අද්භූත සත්ත්වයා ලංකාව අල්ලාගත් සැටියි.
Growth_of_the_Number_of_Dengue_Patients_in_Sri_Lanka_from_1992
ඩෙංගු සත්ත්වයා නොසෙල්වී සිටින්නේ නැත. සෑම විටම ක්‍රමක්‍රමයෙන් පුද්ගලයන් කීප දෙනෙක් අතහැර වෙනත් පුද්ගලයන් කීපදෙනෙක් අල්ලා ගනියි. එපමණක් නොව, අල්ලා ගන්නා පුද්ගලයන් ප්‍රමාණය, අත්හල  පුද්ගලයන් ප්‍රමාණයට වැඩිවීම නිසා, සත්ත්වයා නිරතුරුවම දිනෙන් දින විශාල වෙයි. සෑම දින හතකින්ම ඩෙංගු සත්ත්වයා “අලුත්වෙයි”, නැතහොත් නැවත උපදියි.
පහත දක්වා ඇති සටහනෙන්ද එම අදහසම වෙනත් ආකාරයකින් දන්වා ඇත. මේ ආකාරයට වසංගතය දෙස බැලීමේ වටිනාකම නම්, අපිට ඩෙංගු මර්දනය කල හැකි ආකාරය පහසුවෙන් වටහා ගැනීමට පුලුවන්වීමයි. වර්ෂ 1992 දී මුළු ශ්‍රී ලංකාවේම එක අවස්ථාවක ඩෙංගු වෛරසය ශරීරගතවූ පුද්ගලයින් සිටියේ 13 ක් පමණි. එයින් අදහස් කරන්නේ එකම 13 දෙනාම නොව, දිනෙන් දිනට රෝගීන් සුවවත්ම, වෙනස් පුද්ගලයින් තුලට වෛරසය ඇතුල්වීමය. මෑත වර්ෂ ගැන සලකා බලනවිට, වර්ෂයෙන් වර්ෂයට වෛරසය ශරීරගතවූ පුද්ගලයන් සංඛ්‍යාව ක්‍රම ක්‍රමයෙන් වැඩිවී ඇත. ඩෙංගු වෛරසයට ජීවත්විය හැක්කේ මිනිසා සහ මදුරුවා තුල පමණක් බැවින්, වෛරසය මිනිසාගෙන් මිනිසාට “පැනීම” නතර වූදාට වසංගතය අනිවාර්යයෙන්ම නවතී.
Growth_of_Dengue_Animal_from_1992_to_2017
ඩෙංගු දත්ත දෙස මේ ආකාරයෙන් බලනවිට තවත් වැදගත් කරුණක් පැහැදිලිවේ. මදුරුවෙක් දෂ්ට කරනවිට ඌට ඩෙංගු රෝගියකු හටම දෂ්ට කිරීමට ඉඩ ඇති ප්‍රවනතාවය 1992 දී ඉතා අවම විය. නමුත් ඩෙංගු රෝගීන් වැඩිවෙත්ම ඒ ප්‍රවනතාවය ක්‍රමයෙන් ඉහලගොස් ඇත. 1992 දී මදුරුවන් දැනට වඩා සිටින්නට ඇතැයි සිතිය හැක. නමුත් රෝගීන් ප්‍රමාණය අඩු බැවින් වසංගතය ව්‍යාප්ත වූයේ නැත.
2000 වර්ෂය පමණ වකවානුවේ සිට වසංගත තත්ත්වයක් ඇතිවීමට මදුරුවන් මෙන්ම රෝගීන්ද ප්‍රමාණවත් විය. ඉන් ඉදිරියට රෝගීන් වැඩිවීම මදුරුවන් අඩුවීමට වඩා ඉහල වූ නිසා වසංගතය උග්‍ර විය.
පහත ඇති සටහනේ පෙනෙන අයුරු රෝගීන් ප්‍රමාණය ඉහල යාම වර්ෂ 2000 පමණ සිට තියුණු විය. 1992 දී රෝගීන් 13 දෙනෙක් මදුරුවන් දෂ්ට කිරීමෙන් ප්‍රවේසම් කලේ නම් ඉතිහාසය වෙනස් වන්නට ඉඩ තිබිණි.

ඊඩිස් මදුරුවන්ගේ බෝවීම වැලැක්වීම තවත් අවම කිරීමට නොහැකි තත්වයකට දැන් අපි එළඔ ඇත. මීට හේතුව නම් පහසුවෙන් අයින් කළහැකි මදුරුවන් බෝවෙන ස්ථාන අපි ඉවත්කර හමාරවීමයි. ඉතිරිව ඇත්තේ ගස්බෙන, පොළොව යට, වහල උඩ වැනි පහසුවෙන් ලඟාවීමට නොහැකි ස්ථාන පමණි. කෙසේ වෙතත් මදුරුවන් බෝවීම වැලැක්වීමෙන් පමණක් ඩෙංගු වසංගතය මර්ධනය කල නොහැකි බව වර්ෂ 25ක් තිස්සේ ගත් උත්සාහයෙන් සනාථ වී ඇත.

Total_Dengue_cases_by_Year_1992_2017
එසේනම්, ඩෙංගු වසංගතය පාලනය කිරීමට නම් ඩෙංගු රෝගීන් මදුරුවන් දෂ්ට කිරීමෙන් ප්‍රවේසම් කල යුතුයි. මෙය එතරම් අපහසු කාර්යයක් නොවේ. මේ වර්ෂයේ, එනම් 2017, සාමාන්‍යයෙන් එක මොහොතක මුළු දිවයිනේම ඩෙංගු රෝගීන් 3,000 පමණ සිටියි. එපමණක් නොව එයින් සැහෙන ප්‍රමාණයක් රෝහල් වල නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටියි. දැනට අවවාද කර ඇත්තේ උණෙන් පෙළෙන්නන්ට ඩෙංගු වලට රුධිරය පරීක්ෂා කරන ලෙසයි. එසේනම් රෝහල්ගත නොවුනත් ඩෙංගු රෝගයෙන් පෙලෙන්නන් අපිට හඳුනා ගත හැකියි. එසේනම් කල යුත්තේ හඳුනාගත් ඩෙංගු රෝගීන් මදුරුවන්ගෙන් ප්‍රවේසම් කිරීම පමණි. අවශ්‍යව ඇත්තේ අවබෝධාත්මක නායකත්වයයි.

ලාල් ජයසිංහ
[email protected]
http://eradicatedengue.blogspot.com/

Save

Save

Save

Save

Save

Save

Comments

comments