Thursday, April 26, 2018
Breaking News
You are here: Home » Interviews » නළුකමට පෙම්බැඳි නිහඬ රංගධරයා

නළුකමට පෙම්බැඳි නිහඬ රංගධරයා

ragive2newමීගමුව,  දළුපත, පිංකොවත්තේ,  ක්‍රීඩාංගන  මාවතේ  ක්‍රීඩාංගනය  අසල සිට  මීටර් 100  පමණ  ගිය  තැනදී  ,  හමුවන  දෙවන නිවසත් සිත් ඇදබැඳ තබාගන්නා එහි     සුන්දර වටපිටාවේදී  අපේ  කථාබහට  ලක්වන නිහඬ  කලාකරුවා  හමුවෙයි.
ඔහු  නමින්  රජිව්  ආනන්දය.
එහි  සෑම තැනම  ගස්වල  මල්  පිපී  තිබින. එක්කොනක  කුඩා  උණ  පඳුරකි. තැනින්තැන  විවිධ  පැලෑටි  වර්ග  තිබින.
වේවැල්  වර්ගයේ  ලොකු  පඳුරක්   අසල  සිමෙන්තියෙන්  නිර්මාණය කරන  ලද  බංකුවකි.   ඒ  වටේ  පුටු  කිහිපයක්   තිබින.  වටින්  පිටින්  ඇසෙන  කුරුළු  නාදයට  සවන්  දෙමින්  රජිව්  සමග  කථාබහක   යෙදීමට   හැකිවීම   කාලෙකින්  වේදිකා  නාට්‍යක්   බැලීමට   සමාන  වූවක්  සේ  හැඟින. ඔහුගෙන්  ඇසීමට බොහෝ  ප්‍රශ්ණ  තිබින.  නමුත්  පටන්  ගතයුත්තේ   කොතනින්දැයි   තීරණය  කිරීමට  අපහසුය.  මන්ද  ඔහුගේ  ජීවිතය   විවිධ  මුතු, මැනික්  වැනි වටිනා දේවල්  වලින්  පිරුණු   බඳුනකට  සමානය.  කෙසේ  හෝ  අපි  මෙම  කථාබහට   මුල  පිරුවේ මෙසේය.

කලා  ක්ෂේත්‍රයට  එන්නට  පෙර  ඔබේ  ජීවිතයේ   තොරතුරු  ?

3 වන පන්තියට වෙනකම්  මම ඉගෙන ගත්තෙ  දළුවකොටුව   ඉස්කෝලෙ.
ජී. ජේ. ඇන්තනි  කියල  දක්ෂ  ගුරුවරයෙක්  හිටිය. පංතියේදි   ඔහු   ළමයින්ට   සිංදුවක්   කියන්න  කිව්ව.  කව්රුත්  නැගිට්ටෙ  නෑ.  මම  නැගිටල  සිංදුවක්  කිව්ව.
ඒ  ජෝතිපාල  මහත්තයගෙ  ‘වයන්න  සිතාරෙ’ කියන  සිංදුව.  ඊලඟට  සර්  ඇහුව  ‘උඩගු  ලියන්  ගොතා  බඳින’ සිංදුව   කිව්වෙ  කව්ද  කියල.  මම දැනගෙන   හිටියෙ  ගෝකුල  කියන  නම  විතරයි.  මම ඒ  නම  කිව්ව.  සර්  ඒ  සිංදුව පදෙන්  පදේ  විස්තර  කළා. මට  එදා   හිතුන  කලාව  කියන්නෙ  මාර  එකක්  කියල.   ඒ  මගෙ  ජීවිතේ  හැරවුම්   ලක්ෂය  කියලයි   මම  හිතන්නෙ.

අපේ   අම්ම  චිත්‍රපටි  පිස්සියක්.  මම  පොඩි  කාලෙ  අම්ම  තමයි  මාව  එක්කගෙන  යන්නෙ  චිත්‍රපටි  බලන්න. මට  ඕන වුනේ  නළුවෙක්  වෙන්නයි.
අපේ  අම්ම  තමයි  මට  උදව්  කළේ. ගමේ  ළමයි  කිහිපදෙනෙකුත්  එක්කගෙන
අපි  හැන්දෑවට   චිත්‍රපටි  බලන්න  යනවා. මම  8 පංතියෙ  ඉන්නකොට  මඩොල්දූව   චිත්‍රපටියට  ළමා  නළුවෙක්  ඉල්ලල  දැන්වීමක්  තිබුන.  ඒකට  ඉල්ලුම්  කළා, ඉන්ටවිව්ස්  වලට ගියා. පස්සෙ  මට  දුරකතනයෙන්   කතා කළා. අම්මයි  මමයි  කොග්ගලට  ගියා.  ළමයි  කිහිපදෙනෙක්   ඇවිල්ල  හිටිය.  මඩොල්දූව  චිත්‍රපටියෙ  උපාලි  ගිනිවැල්ල  කියන  ප්‍රධාන  චරිතෙට තමයි  ළමා  නළුවව  තෝරන්නෙ.  මුලින්  මාවයි  ඒකට  තෝරගෙන  තිබුනෙ. පස්සෙ   ඒඅය  කිව්ව  මේ  චරිතෙට  මම පොඩි  වැඩියි  කියලා.  ඒ  වගේම  අනික්   චරිත  වලට  ලොකු  වැඩියි  කියලා.
අම්ම  බොහොම  උත්සාහ  කළා.  මට  චරිතයක්   අරන්  දෙන්න. නමුත්  ගැලපෙන්නත්  එපායැ. ඒ  අවස්ථාව  නැතිවුනා. අම්මටත්  කණගාටුයි.  මටත් එහෙමයි.  ඒ ගොල්ලෝ  අම්මට  පොරොන්දු වුණා.  මට  කොහොම හරි   චරිතයක්    දෙනව  කියල. අපි  හිස්  අතින්ම  ආපහු  ආව.   ඕක  තමයි  මගෙ  පළමු  අත්දැකීම. මම  ගමේ  ළමයි  එක්ක  පොල්  කොටන්  වලින්  වේදිකාවක්  හදල  නාට්‍ය  කළා.
ඒ කාලෙ පොඩි  පොඩි නාට්‍ය  ලියල  අපි  රඟපෑවා .

 රජිව් සිය බිරිඳ සමග

රජිව් සිය බිරිඳ සමග

 ජීවිතේ  ඊලඟ   පියවර   කොහොමද?

  මම  හරිස්චන්ද්‍ර  විද්‍යාලෙ  ඉගෙනගන්න  කාලෙ  දහම් පාසැලටත්  ආශාවෙන්  යනව. අපිට  දහම් පාසැලේ  උගන්නපු  ගුරුවරයෙක්  තමයි  සිසිල් ආනන්ද  කියන්නෙ. ඔහු  අශෝක  පුවත  කියල   නාට්‍යක්  හැදුව.  ඒකෙ  අශෝක  රජුට   රපෑවෙ  මම.  එක  අවස්ථාවක  සයිමන්  නවගත්තේගම  මහත්තය   මට කිව්ව පුතා  රපාන  එක  ඉගෙන ගන්න   ඕන දෙයක්   කියල.  ඒක  මගෙ  ජීවතේට  තදින්   කා වැදුණා. හරිශ්චන්ද්‍ර  විද්‍යාෙලදි  මාව  තෝරගත්තෙ  විද්‍යාව  කරන්න.  නමුත්  මගේ  කැමැත්ත  තිබුනෙ  කලා අංශයටයි. අන්තිමේදි  මම ඉගෙන ගත්තෙ  විද්‍යාෙවන්.  නමුත්  ජීවිතේ  හැරුනෙ  සම්පූර්ණයෙන්ම  අනික්  පැත්තටයි. පස්සෙ  කාලෙදි  මට  හමුවන  ශ්‍රේෂ්ඨ  පුද්ගලය  සලමන්  ෆොන්සේකා  මහත්තය.  රඟපෑමේ විද්‍යාව  මම    ඉගෙනගන්නෙ  එතුමාගෙන්.  ඊට පස්සෙ  ධම්මජාගොඩ  මහත්තය  සකලජන  නාට්‍ය අධ්‍යක්ෂණයකළා.  ඒකට  මමත්  සම්බන්ධ  වුණා.  මේ කාලෙ  තමයි  මම  දැනුම  බෙදාගන්න  කියල  කණ්ඩායමක්   හදන්නෙ.      ප්‍රියංකර  රත්නායක, කුමාර  තිරිමාදුර,  විජිත  සිරිමල්,  නයනා  හෙට්ටි  ආරච්චි,  උපාලි  මුනසිංහ,  ප්‍රනීත්  දුනුවිල ,ග්‍රේෂන්  සිරන්ත,ප්‍රීති මල්ලිකා යන  මේ  කට්ටියට  නම දැම්මෙ  අපේම  කට්ටිය  කියල.  පස්සෙ  සුනන්ද  මහේන්ද්‍ර  මහත්තය  කිව්ව  මේ  නම ගැලපෙන්නෙ  නෑ කියල. පස්සෙ  ‘රිද්ම  රංචුව’  කියන   නම  දැම්ම. නාට්‍ය   කේෂේත්‍රයේ   පර්යේෂණ  කරමින්   කෙටි නාට්‍ය  20  ගනනාවක්  කළා.’ කාලෝ  අයංතේ,  අළුත්  කඩේ,  පටකම්බාය,  ඇස්,  කන්‍යාවියගේ  කථාව ‘ ඉන්  කිහිපයක්.  කන්‍යාවියගේ  කථාව   1986  සරසවි  සම්මාන  උළෙලේදී   සම්මාන  11ක්  ලබාගත්තා.  සුනන්ද  මහේන්ද්‍ර  මහත්තය  පරිවර්තනය   කළ  ‘ බරණිය’    නාට්‍ය  අධ්‍යක්ෂණය  කරල  නිර්දේශිත   නාමයන්   අතරට ( හොදම  නළුවා,  හොදම  සහාය   නළුවා,හොදම   අධ්‍යක්ෂණය,)  එන්නට  හැකි වුණා. මට ඒ වෙලාවෙ  තර කරන්න වුනේ  සෝමලතා  සුභසිංහ,  ධර්මසිරි  බන්ඩාරනායක  වගේ  නාට්‍ය  කේෂේත්‍රයේ   දැවැන්තයින්   එක්කයි.

   අද වනවිට  වේදිකා  නාට්‍ය, හා  චිත්‍රපට නැරඹීමේ   පෙළඹුම   සම්බන්ධව  විවේචනයක් තිඛෙනවා.  නිර්මාණකරුවෙකුට මේ යථාර්තය අභියෝගයක්  නොවේද?

මේක  හොඳින්  විමසා  බැලිය  යුතු  ප්‍රශ්ණයක්.  සියළු  පද්ධතීන්ගෙ  කඩාවැටීමක්  තමයි  තියෙන්නෙ.  නළුවා  කරන්නෙ  පෙනීසිටීමක්  විතරයි. ඉතා  බාල සහ  සරල  මට්ටමේ  තමයි  පවතින්නෙ. බුද්ධිය  බාල්දුවෙලා,  වින්දනය  පහලට  වැටිල  60, 70 දශක  වල තිබුණු   ප්‍රමිතිය,  ගුනාත්මකභාවය  අද  නෑ.  නමුත්  ජාතික  තරුණ සේවා  සභාව  හරහා  තරුණ  පරම්පරාවෙ   යම්  උත්සාහයන්  තියෙනව.
අද  තරුණ   පරම්පරාවෙ  උත්සාහයන්  තිබෙන  නමුත්  රාජ්‍ය  අනුග්‍රහයක්  නෑ. මිනිස්සු  යකාපෙට්ටියට (පුංචි  පෙට්ටියට)  හුරුවෙල. ඒවයේ  උත්තම කලාවක්  නිර්මාණය  කරන්න   ඉඩක් තියෙනවද? කියන ප්‍රශ්ණය  තියෙනවා.  වේදිකාව  කියන්නෙ  උසස්  කලාවක්.  මේ සඳ
හා  මිනිස්සු  ඉන්න  ඕන. මිනිස්සු  නැතිව  වේදිකා  නාට්‍යක්   නෑ. අර කියපු  තත්වයන්  මිනිස්සු  වේදිකා  නාට්‍ය  වලින්  ඈත්වෙන්න   හේතු  වෙනව.

 චිත්‍රපටි  කලාව  ගැන…..

මම  වේදිකාව  ගැන ගොඩක්  දේ  කියනවනෙ.  නමුත්  සිනමාව  කියන්නෙ  අති ප්‍රබල  මාධ්‍යක්.  මම ‘මාතා’  කියල පැයක  පමණ  කෙටි  චිත්‍රපටියකුත්   කළා. ප්‍රසන්න විතානගේ මහත්තයගෙ  අනන්ත  රාත්‍රිය  චිත්‍රපටියෙ  සහාය රචකයා  ලෙස සහ  සහාය  අධ්‍යක්ෂක  ලෙස  කටයුතු  කළා. එවැනි  අය  සමග සම්බන්ධවෙලා  කටයුතු කරන්න ලැබීමත්,  ඉන්  ලැබූ   අත්දැකීම්  ප්‍රමාණයත්  හරි  වැදගත්.
මගෙ  ආශාවක්  තියෙනව  කවදහරි  හොඳ  චිත්‍රපටියක්  නිර්මාණය  කරන්න

  රංගනය  පිළිබඳව   ඔබේ  නිර්වචනය  කොහොමද?

 ඕක  තමයි  වැදගත්ම  ප්‍රශ්නය.  මම  මුලින්ම  සඳහන්  කළේ  පොඩිකාලෙ  ඉදලම  මට  තිබුනෙ  නළුවෙක්වීමේ  ආශාවයි.  මේ  සහා  සයිමන් ,  සලමන්  පොන්සේකා,  ධම්මජාගොඩ,  වැනි පතාක  යෝධයින්ගෙ  මගපෙන්වීම  ලැබුන.   නාට්‍ය  වැඩමුළු  පවත්වමින්  දැනුම  බෙදාදෙන්නත්,  මගේ  දැණුම  තවත්  වර්ධනය  කරගන්නත්  මෙම ආභාෂය  බලපෑව.  රංගනය  කියන්නෙ  අනෙකාගේ  ආත්මයේ  ස්වභාවය තමා තුලට  උරාගැනීමේ  කලාවයි. එසේ  උරා  ගන්නවා  සේම  නැවත  සමාජයට  මුදාහැරිය  යුතුයි. මේ  සහා  සතත අභ්‍යාසයේ  යෙදිය  යුතුයි.මෙහිදී  මගේ  සිත ඇද බැද  ගත් චරිතයක්  ලෙස  ටෝනි රණසිංහ  මහත්තය   හඳන්වන්න  පුළුවන්. ජෝ අබේවික්‍රම, ගාමිණි  පොන්සේකා යන  දැවැන්තයො  තමන්ගෙ  රංග  ප්‍රතිභාව  ගොඩනගා  ගත්තෙ  සතත අභ්‍යාසයේ  යෙදීමෙන්  අධ්‍යනයෙන්.  නළුවෙකුට  හොරෙක්, මිනීමරුවෙක්,  වෛද්‍යවරයෙක්, තිරිසනෙක්  වුවත් යන  ඕනෑම  කෙනෙක්  විය හැකියි. රපෑම  මනස  සහ ශරීරයේ  ඒකාග්‍රතාවය  මත  සිදුවිය යුතු  ක්‍රියාවක්.

 මේ  සමාජය පිළිබඳව ඔඛේ දේශපාලන දැක්ම කුමක්ද 

 අද තියෙන්නෙ  ආත්මාර්තකාමී  සමාජයක්.  සමාජය  මීට  වඩා  යහපත් වෙන්න ඕන. යුක්තිසහගත  වෙන්න ඕන.විවිධ  මත  හරහා  මිනිසා  ඥාණනය  විය  යුතුයි. ආත්මාර්ථකාමීත්වය  නැති විය යුතුයි.  කලාකරුවා  කියන වචනයට  මම වැඩි  කැමැත්තක්  නෑ. අද  ඒක  උදරපෝෂණය  සදහා  වෙන්වුවක්. ප්‍රතිලාභයක්  ලැබෙනවනම්  තමයි  ඕනෑම  කටයුත්තක  යෙදෙන්නෙ.  කලාකරුවා  කියන වචනෙ  අදහසට  ගැලපෙන සේ  ජීවත්වූ  මිනිස්සු  හිටිය.  මහගමසේකර  එවැනි  කෙනෙක් . ඔහු  මැවූ  චරිතත්  එවැනි  ආදර්ශයක්  ලබාදුන්න. නමුත්  අපිට කුටුම්භ සංරක්ෂණයට  මුල්තැන  දෙන්න වෙලා. කලාව  තමන්ගෙ  වෘත්තිය  කරගන්න වෙල. මමත්  කැමතියි  යෝගී වරයෙක්  වගේ  ඉදගෙන,  ලැබෙන  කෑම ටිකක්  කාල ,  නිදහසේ  ඉදගෙන  ජීවිතේ  යහපත්  ලෙස  ගෙවා  දමන්න.  මේක  ඇතුලෙ එහෙම ඉඩක් නෑ.

  දරුවන්  4 දෙනෙකුගේ  පියෙකුවූ   රජිව්   තම  කුටුම්භයේ  ආදර්ශමත්  පියෙකි.
ඔහු  පොලේදී, කඩපිළේදී  අපට හමුවෙයි. වේදිකාවේ  කරන  රංගනය සේම  ගෘහ ජීවිතයේ රංගනයද  නිසි  ලෙස  සිදු කිරීමට  සමත්  ඔහු  තම  ජීවිතය  ගැන  තෘප්තිමත්ව  සිටියි.  එසේම ආදරණීය  බිරි
  දරුවන්ද  ඔහුගේ  ගමනට  විශාල  සහායක්  දක්වයි. පවුලේ  බිරි ඇතුළු  සියළු චරිත ඔහුගේ  නිහඬ  රංගනයේ  නිර්මාණයන්  සේ   පෙනෙන  අතර  මෙම  පරිසරයේ ගැඹුරු නිහඬ බව   බිඳින්නේ මෙහි  ඇති  තුරු ලතා වල  සැරිසරණ කුරුල්ලන්  පමණි. එමෙන්ම  වේදිකාව  තුළ, චිත්‍රපටිය තුළ අපි  ඔහුගේ  හඬ අසන්නෙමු,  රංගනය දකින්නෙමු.
ඔහු  වටිනා  සම්පතකි. තුනේ  පංතියේදි  ජී ජේ  ඇන්තනි  නම්   ගුරුවරයා  විසින්
   උඩගු  ලියන්  ගොතාබදින’   ගීතය  තුලින් කරන  ලද  විග්‍රහය  මත  කලාව  කොතරම්  අගනා  දෙයක්දැයි  හදුනාගත්  රජිව්   එදා  පංතිය  ඉදිරියේ  ‘වයන්න  සිතාරෙ’  ගීතය  ගයා  ඇරඹු කලා ජීවිතය  දිනෙක කලා  ලෝකයේ  ඔහු  නඟන  හඬ  නිහඬ මිනිසුන්  අවධි කරමින් දසත  පැතිරේවායි  අපි ප්‍රාර්ථනා  කරමු.

????????????????????????????????????

 සාකච්ඡා සටහන  සහ  ඡායා/  සැම්සන් ඥානසිරි

 

 

 

Comments

comments