Tuesday, May 22, 2018
Breaking News
You are here: Home » Interviews » ජිම්නාස්ටික් වලින් වැඩ පෙන්වූ බොන්සායි කලාකරුවා…

ජිම්නාස්ටික් වලින් වැඩ පෙන්වූ බොන්සායි කලාකරුවා…

නන්දන වීරසිංහ මහතා

 (10.45am)
ඔහු තාක්ෂණ වේදය පිළිබඳ
කතිකාචාර්‍යවරයෙකි.  ජිම්නාස්ටික් ක්‍රීඩාවේ උපදේශකවරයෙකි.
ශ්‍රී ලංකා බොන්සායි සංගමයේ සාමාජිකයෙකි. ඔහු පරිසරයට ඇළුම් කරන අතර කැටයම් කළාව කෙරෙහිද යොමුවූ කලාකරුවෙකි. දසත පැතිරුණු දැනුමක් ඇති ඔහු නමින් නන්දන වීරසිංහය.
අපි ඔහු හමුවූයේ බොන්සායි කලාව තුළින් ඔහුගේ ගමන් මඟ පිළිබව දැනගැනීමේ අදහසිනි.
නමුත් වීරසිංහ මහතා ප්‍රධාන වශයෙන් යොමුවී තිබුනේ ජිම්නාස්ටික් ක්‍රීඩාවටය. එබැවින් ඒ සම්බන්ධයෙන් අවධානයක් දෙමින්  ඔහුගේ කථාව ආරම්භ කළේ මෙසේය.

ඔබේ මුල් කාලීන විස්තර ……

මගේ උපන්ගම දැවමොට්ටාව. මට හිටියෙ එක සහෝදරියක් විතරයි. තාත්ත ගුරුවරයෙක්. නම ඌගු සිල්වා වීරසිංහ. අම්ම චාලට් වීරසිංහ . එයා රැකියාවක් කළේ නෑ. අපේ අම්ම අවුරුදු 104 ක් ජීවත් වුණා. මම උසස් පෙළ කරල ඉවරවෙනකොට තාත්ත මියගියා. මට එතනකාට අවුරුදු 17යි. අපේ තාත්ත හොඳ කැටයම් ශිල්පියෙක්. එයා ලීකැටයම් සහ කොහු වලින් පොල්කටු වලින් කෝප්ප, පීරිසි, මාල, කරාබු, බිත්ති සැරසිලි වැනි විවිධ වර්ගයේ නිර්මාණ කළා. තාත්ත මියගිය වෙලාවේ ගෙදරට ආපු එක එක්කෙනා ඒ නිර්මාණ අරගෙන ගියා. අපිටත් ඒව ගැන අවධානයක් දෙන්න වෙලාවක් නෙවෙයිනෙ. මේ වෙනකොට ඒව එකක්වත් නෑ. තාත්තගෙන් වෙන්න ඇති මටත් ඒ කැටයම් නිර්මාණය සඳහා හැකියාව ලැබුනෙ. ඒවගේම තාත්ත සමාජ සේවකයෙක්, ගමේ සමසමාජ ව්‍යාපාරෙ මුල් ආරම්භකයා ඔහුයි. ගමට නොමිලේ කිරිදෙන මධ්‍යස්ථානයක්, ග්‍රාම සංවර්ධන සමීතියක්, තරුණයින්ට වොලිබෝල් ගහන්න ක්‍රීඩා පිටියක් ආදී වශයෙන් විවිධ වැඩකළා. හුක් ඒව එයාගෙ වියදමින් තමයි කළේ. ගමේ අය තාත්තට කිව්වෙ ලේකම් මහත්තය කියල. මට ඉන්නෙ එක පුතයි . එයා සේවය කරන්නේ ජෙට්වින් බ්ලූ හෝටලයේ.

අධ්‍යාපන කටයුතු කොහොමද?

උසස්පෙළ කරල අවසන් වුනාට පස්සෙ මහරගම ගුරුවිද්‍යාලෙට සම්බන්ධ වෙලා අවුරුදු 3ක පුහුණුවක් ලැබුව. ඊට පස්සෙ බණ්ඩාරවෙල කහගොල්ල මහ විද්‍යාලයේ ගුරු පත්වීමක් ලැබුණා.
ඒ තාක්ෂණික ගුරුවරයෙක් හැටියට. මොකද මම පුහුණුව ලබල තිබුනෙ තාක්ෂණික පැත්තෙන්. එහෙදි මම ළමයින්ව කැටයම් කලාව , ජිම්නාස්ටික් වගේ ද්වල් වලට හුරු කළා.

කොහොමද ජිම්නාස්ටික් ක්‍රීඩාවට යොමු  වුණේ  ?

ජිම්නාස්ටික් වලට යොමුවෙන්න හිතුනෙ මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලෙදි.
මිනුවන්ගොඩ නාලන්දා මහ විද්‍යාලෙ ඉගෙනගන්න කාලෙ අපිට හිටිය ගුරුවරයෙක් පැස්ටා පීරිස් කියල. එයා තමයි ජිම්නාස්ටික් පැත්තට අපිව යොමුකළේ. අපි එයාගෙන් පුහුණුව ලැබුවා.
ඒ කාලේ ටීම් එකක් තිබුණා. අපි ලංකාව පුරා ජිම්නාස්ටික් සංදර්ශන පැවැත්තුවා. එතනදි මට පුළුවන් වුනා සෑහෙන දුරට ජිම්නාස්ටික් කලාව ප්‍රගුණ කරන්න. මහරගම ගුරු අභ්‍යාස වද්‍යාලෙ ක්‍රීඩා අමාත්‍යංශයෙන් පත්කරපු ගුරුවරයෙක් හිටියා  විජේවීර කියල. මම ඒ පුහුණුව ලබන අතරවාරයේ  ක්‍රීඩා අමාත්‍යංශයෙන් පැවැත්වූ ජිම්නාස්ටික් ඩිප්ලෝමා පාඨමාලාවකට ඉදිරිපත් වෙල පුහුණුව ලබන්න හැකි වුණා.

ගුරු වෘත්තිය තුළ ඔබේ සේවය සහ විශේෂතා මොනවාද ?

බංඩාරවෙල කහගොල්ල මහ විද්‍යාලෙ තමයි මගෙ හොම කාලෙ කියල මං හිතන්නෙ ජිම්නාස්ටික් වලට.ඒවුනාට තාක්ෂණික ගුරුවරයෙක් හැටියට මම ලීකැටයම්, මූර්ති වගේ දේවල් වලින් ළමයි එකතු කරගෙන විවිධ ප්‍රදර්ශන පැවැත්තුව. පාසැල් හැරගිය අය එකතුකරගෙන විශේෂ පාඨමාලා පැවැත්තුවා. මේ වෙනකොට ජාතික පාසැල් වලට ජිම්නාස්ටික් ක්‍රීඩාව ඇතුලත් කරල තිබුන. පළමුවතාවට එහෙදි මම ජිම්නාස්ටික් කණ්ඩායමක් හැදුව. ඌවෙ ඒ කණ්ඩායම හුක් ජනප්‍රිය වුණා. 80 දශකයේදි මුල්වතාවට කහගොල්ල මහ විද්‍යාලය තමයි ජිම්නාස්ටික් සමස්ථ ලංකා තරවලින් දිනුවෙ.ඒ බාලිකා කණ්ඩායමක්. බාලක කණ්ඩායම අනුශූරතාව දිනුව. බාලිකා කණ්ඩායමේ හිටපු එක් ක්‍රීඩිකාවක් පසුකාලයකදී ඉතාමත් ජනප්‍රියත්වයට පත්වෙනව. ඒ වෙඩිතැබීමේ තරඟවලින්. ඇය මට මතක හැටියට 1990 දශකයේ පමණ ඔලිම්පික් ජිම්නාස්ටික් කණ්ඩායම නියෝජනය කරමින් එහි නායකත්වය අරගෙන කටයුතු කරනව. ඇය ජාතික පාසැල් තරඟ වලදි මගෙන් තමයි පුහුණුව ලැබුවේ  ඒවායේ  දි රන් පදක්කම් දිනුව ඇය තමයි පුෂ්පමාලා රාමනායක කියලා කියන්නෙ. ඉන්පස්සෙ මම මිනුවන්ගොඩ හොරම් පැල්ල මහ විද්‍යාලෙන් ,මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයට ගියා එහිදි හැදුව ජිම්නාස්ටික් කණ්ඩායම 1985 පිරිමි බාලක සූරතාවය දිනාගත්ත. මේ අතරවාරයේ  අධ්‍යාපන අමාත්‍යාංශය මගේ දක්ෂතාවය දැකලා ගම්පහ දිස්ත්‍රික් ජිම්නාස්ටික් තනතුර ලබාදුන්න. ඊට පස්සෙ ගම්පහ දිස්ත්‍රික්කයේ පාසැල් ගණනාවක , නිව්ස්ටඩ් බාලිකා විද්‍යාලය, කටුනායක මහ විද්‍යාලය, හොරම්පැල්ලමහ විද්‍යාලය, කදාන කනිෂ්ට විද්‍යාලය. මිනුවන්ගොඩ නාලන්දා මහ විද්‍යාලය වැනි පාසැල් වලට මාව අනුයුක්ත කළා දවස් 5කට පාසැල් 5කට පුහුණුව ලබාදෙන ලෙසට.

බ බොන්සායි කලාවට යොමුවුනේ කොහොමද ?

මේ අතරවාරයේ  නිල්වලා අධ්‍යාපන පීඨයෙ කතිකාචාර්ය තනතුරක් ලැබුන. ඒ තාක්ෂණ කේෂේත්‍රයේ . එහෙදි  තමයි බොන්සායි කලාවට යොමුවුනේ. ඒ සඳහා මට අවබෝධය දීල උනන්දු කළේ ජපන් යුවතියො දෙන්නෙක්. එක්කෙනෙක් කෙයිකෝ අනෙක් කෙනා හරිකෝ.
ඒ වගේම ශ්‍රී ලංකා බොන්සායි සංගමයේ පේමසිරි සහ ආරියසේන කියන මහත්තුරු මට ගොඩක් උදව්කළා. ගෙදරදි මේ කලාව දියුණු කරගන්න මගෙ බිරිගෙන් ලොකු සහායක් ලැබුණා.
ඇය විශාල වශයෙන් ගස් වවලා තිබුණා. ඇය වවපු ගස් තමයි මම ප්‍රයෝජනයට ගත්තෙ බොන්සායි ගොඩනැගීමට. ඒ අතරතුර මට අවස්ථාවක් ලැබෙනව. 2012 දි ශ්‍රී ලංකා බොන්සායි සංගමයට සම්බන්ධ වෙන්න.  2015 දි සමස්ථ ලංකා තරගාවලියක් තිබුන. ඒකෙ පළමු ස්ථානයත්, දෙවෙනි යන ස්ථානයත් යන දෙකම ලැබුණ. ඊට පස්සෙ 2016 දි නොයිසස් කියන තරගාවලියෙදි දෙවන ස්ථාන දෙකක් ලැබෙනව. ඒවගේම ගිය අවුරුද්දෙ මීගමුව මහ නගර සභාවෙ බොන්සායි සම්බන්ධව දවසක ප්‍රදර්ශණයක් තිබ්බ. ඒකෙන් ගොඩක් ජනප්‍රිය වුණා.

????????????????????????????????????

බොන්සායි කියන්නෙ කලාවක්ද දර්ශණයක්ද ?

එක පැත්තකින් දර්ශණයක් තවත් පැත්තකින් කලාවක්. දර්ශණය පැත්තට තියෙන්නෙ බෞද්ධ දර්ශණය. සියළුදේම ඇති වෙනව , නැතිවෙනව කියන එක. චීනයේ ආරාමවල හිටපු භික්ෂූන් වහන්සේල තමන්ගෙ පාත්තරවල ගහක් හිටවල ඒක භාවනා කරන්න යොදාගෙන තියෙනව. ඒ භාවනාවෙදි සළකල තියෙන්නෙ ගහ පැළවෙනව, හැදෙනව, පළ දරනව, වයසට යනව, දිරාපත්වෙනව කියන එක.

අනෙක් පැත්ත තමයි අපි බලාපොරොත්තු වෙනව පරිසරයේ විශාල ගහක ආකෘතියක් ඒ හා සමානව පාත්‍රයක හෝ කුඩා තැටියක හදල ඒක ගෙදර තියාගන්න. ඒ කියන්නෙ පරිසරය ගෙදරට ගේනව කියන එක. මේ අනුව මහ වනාන්තරයෙ තියෙන ස්වරූපයෙ ගස්කොලන් ටිකක් තමන්ගෙ ගෙදර සාලෙ නැත්නම් මිදුලෙ මේ බොන්සායි කලාවත් එක්ක හදා ගන්න පුළුවන්.

ඔබේ හැකියාව ප්‍රධාන වශයෙන් තුන් ආකාරයක් ගන්නවා. ඉන් ඔබ වඩාත් කැමති කුමකටද?

මම වඩාත් කැමති ජිම්නාස්ටික් ක්‍රීඩාවට. නමුත් දැන් මගෙ වයස 70ක්. ගිය අවුරුද්ද වෙනකම් මම ජිම්නාස්ටික් කළා. දැන් වයසත් එක්ක මේ ක්‍රීඩාවෙ යෙදෙන්න අපහසුයි. ඒනිසා මම දැන් වැඩි කැමැත්තක් දක්වන්නෙ බොන්සායි කලාවට.

නන්දන වීරසිංහය මහතා ඔහු ඉහත සාකච්ඡා කළ විෂයන් පමණක් නොව පරිසරය ගැන එහි ජීවත්වන සතා සීපාව ගැන අධ්‍යනය කරයි. ඒවා අරක්ෂා කළයුතුය යන අදහසින් ඒ පිළිබදව විවිධ කරුණු කාරණා සමාජයට හෙළිදරව් කරයි. ඔහුගෙන් ඉගෙන ගතයුතු දෑ බොහෝය. තම පියාගෙන් සහ මවගෙන් ලද මනුස්සකම් ඔහුගේ ජීවිතයටද අලෝකයක් වීඇත.
මෙවැනි මිනිසුන් මේ සමාජයට වැඩි වැඩියෙන් අවශ්‍යය. මන්ද අද සමාජය කුහක ගතිලක්ෂණ වලින් පිරි මිනිසුන්ගෙන් පිරී ඇති බැවිනි. ඒ නිසා තවදුරටත් සමාජ මෙහෙවරෙහි යෙදෙන්නට අපි ඔහුට දීර්ඝායුෂ මෙන්ම ශක්තිය සහ ධෛර්්‍ය   පතමු !

ලිපිනය – නො,14 ,රණවිරු නොඑල් ස්ටැන්ලි මාවත,මහහුණුපිටිය, මීගමුව.
දුරකථනය – 0718130191


????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????

????????????????????????????????????DSC_0047new

????????????????????????????????????

DSC_0079new


සටහන -සැම්සන් ඥානසිරි

Comments

comments