Tuesday, May 22, 2018
Breaking News
You are here: Home » Interviews » සූරිය මලට නව පනක් දුන් ‘ සරත් ‘

සූරිය මලට නව පනක් දුන් ‘ සරත් ‘

මීගමු නගරය විශේෂිතවූ නගරයකි. මන්ද විවිධවූ  පුද්ගලයින්  මේ නගරයේ ජීවත්වන අතර ඔවුන්ගේ සමාජමය හැසිරීම්, ඇවතුම්, පැවතුම් විවිධ ස්වරූප යෙන් යුක්තය. මේ තත්වය මත විවිධ සමාජ ක්‍රියාකාරකයින්, බුද්ධිමතුන්, කලාකරුවන්, සමාජ මෙහෙවරක් ඉටුකල දේශපාලනඥයින් යනාදී විවිධ චරිත හඳුනා  හැක. මෙවැනි චරිත අතර එක්පුද්ගලයෙක් සමග ආගිය තොරතුරු කතාකිරීමට යොමුවූයේ මීගමු ඉතිහාසයේ එක් පැත්තක් ඔහුගෙන්ද නිරූපනය වන බැවිනි. ඔහු නමින් සරත් මීපුර නොහොත් සරත් සර්ය. කොළඹ පාරේ , තෙල්වත්ත හන්දියට ආසන්නයේ සංකීර්ණ පරිසරයක වුවද මේ නිවස ඇත්තේ ගස් කොලන් වලින් හෙබි සුන්දර පරිසරයකය. ගුරුවෘතියේ යෙදී සිටියද ගුරුසේවයට වඩා සමාජ දේශපාලන ක්ෂේත්‍රයට ඔහුගෙන් වැඩි දායකත්වයක් තිබූ බව අපගේ අවබෝධයයි. පහත පළවන්නේ මේ වන වටි 81 වන වියෙහි පසුවන සරත් මහතා සමග සිදුකළ සාකච්ඡාවකි.


සාකච්ඡා සටහන – සැම්සන් ඥානසිරි

ඡායාරූපය - සැම්සන් ඥානසිරි

සරත් මීපුර මහතා -2018 /මැයි/10

ඔබේ පවුල් පරිසරය කෙහොමද?

අපේ තාත්ත ගොවිතැන් කළේ. ඉඩම් අක්කර 7ක්8ක් තිබුනා ඒනිසා ඉඩම්හිමි වැවිලි කාරයෙක් කියලත් කියන්න පුළුවන්. පොල් වගාව තමයි කළේ. තාත්ත මනුවෙල් පොන්සේකා. බෝලවලානෙ තමයි ජීවත්   වුණේ. අම්ම සීදූවෙ. නම ඇග්නස් වික්‍රමසිංහ. මට සහෝදරවරු දෙදෙනෙක් හිටියා. එක්කෙනෙක් මියගියා. අනෙක් කෙනාත් ඉඩම් ව්‍යාපාරය තමයි කරන්නෙ. මැරුණු කෙනා පුහුණු  ගණිත ගුරුවරයෙක්.

ඔබේ වෘත්තීය කටයුතු ගැන කථාකළොත්

මම පුහුණු ගුරුවරයෙක් වගේම නෝනත් මහරගම ගුරුවිද්‍යාලෙ පුහුණුව ලැබුව ගුරුවරියක්.
අපි ඒකාලෙ සියළුම විෂයන් කළා. සිංහල, සාහිත්‍ය ප්‍රධාන විෂයන්. නමුත්  ගණිතය, ඉතිහාසය වගේ විෂයනුත් ඉගැන්නුවා. මම පාසැල් ගණනාවක සේවය කළා. පළමු පත්වීම ලැබුවෙ මතුගම ශාන්ත මරියා විදුහලට ඊලගට නුවරඑළියෙ ආගරපතන විද්‍යාෙලට ගියා. මේ මාරුවීම් දේශපාලනය කිරීමේ ප්‍රතිඵල. 1965 දි එ. ජා. . ය බලයට ආ වෙලාවෙ තමයි මට ආගරපතනට යන්න සිද්ධවුනේ. 1970 දි නැවත කුරණ ශාන්ත ආනා විදුහලට පත්වීම ලැබුනත් ගියෙ නෑ. පසුව මීගමුව ශා. පීතර මහ විද්‍යාලයට පත්වීම හදාගත්තා. 1975 ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලනසේවයේ විභාගයෙන් සමත්වුනා. ඒ අනුව උසස්වීමක් මත නැවත හලාවත, නිකවැරටිය ආසනේ කිරිල්ල මධ්‍ය මහ විද්‍යාෙලට ගියා. එහෙ හැතැප්ම 4 ½ පයින් යන්න ඕනෙ. ඊට පස්සෙ නිකවැරටිය තුඹුල්ල මහවිද්‍යාෙලටත්, එතනින් කොච්චිකඩේ මහවිද්‍යාෙලට ත් ගියා. 77 හුලංදාව මහවිද්‍යාෙලට දැම්මත් මම ගියෙ නෑ. මම ඉල්ලුවෙ ශ්‍රේණියට අනුව පත්වීම දෙන්න කියලයි. ඉන් පස්සෙ මාදම්පෙ මධ්‍යමහා විද්‍යාෙල නියෝජ්‍ය විදුහල්පති ලෙස කටයුතු කළා.1978දි රත්නපුරේ නුගදන්ඩ මහ විද්‍යාලයෙත්, පසුව 1985දි මිනුවන්ගොඩ බාදුරාගොඩ ම.වි. ත් , දිවුලපිටිය මධ්‍යමහා විද්‍යාෙලත් වැඩකළා. අවසානෙට හිටියෙ දිවුලපිටිය මහ විද්‍යාෙලයි. 1990 විශ්‍රාම ගියා.

ඔබ සම්බන්ධවූ සාහිත්‍ය සහ සමාජ කටයුතු මොනවද?

ඒකාලෙ අපිට කවි , සාහිත්‍ය ගැන ලොකු උනන්දුවක් තිබුනා. ඒඅනුව මීපුර සාහිත්‍ය සමාජය හදාගෙන ඒකෙ විවිධ කටයුතු කළා. මීගමුව, කටාන යන සෑම තැනකම පිරිස් මේ සාහිත්‍ය සමායට බැදිල වැඩකළා.1962 කුරණ ශාන්ත ආනා විදුහලේදි ‘රිකිලි’ කියල ළමා සගරාවක් කළා. නමුත් කරන්න පුළුවන් උනේ එක කලාපයයි. ඉන් පස්සෙ සමසමාජ පක්ෂෙ තරුණ සම්මේලනය මුල්කරගෙන ‘සූරියමල්’ කියල සඟරාවක් කළා.අමරසිරි කියල මුද්‍රණාලයක් අයිති මහත්තයෙක් අපිට උදව් කළා.

ගුරුවෘත්තියේ ඉන්නකම් මම ගුරු සංගම්වල වැඩ කළා. ජාතික ගුරු සංගමයේ මීගමු ශාඛාවෙ සභාපති ලෙස කටයුතු කළා.සමසමාජ පක්ෂයෙන් එක්සත් ගුරුසංගමය හැදුවට පස්සෙ දිගටම වැඩකළේ ඒ ගුරු සංගමයෙ.වැඩ තහනම්කළ කාලෙ ජාඇල නන්දා සිනමාශාලාවෙ අධිපති සිරිල් සිල්වා ළමයින්ට උගන්වන්න තැනක් හදල දුන්න.ගුරුවරු කීප දෙනෙක් එකතුවෙල උදේ සවස රෑ විවිධ විෂයන් ඉගැන්නුව. ජාඇල උසස් අධ්‍යාපන ආයතනය තමයි ඒකෙ නම. 1966/67 ඒ ආයතනයෙ තමයි අපේ තරුණ සමීති, පක්ෂ රැස්වීම් පැවැත්වුවේ.

ඔබ කොහොමද දේශපාලන කටයුතු වලට සම්බන්ධ වෙන්නෙ?..

මම සමසමාජපක්ෂෙ එක්ක තමයි දේශපලන කටයුතු කළේ. ඒකාලෙ මීගමුවෙ Dr. හෙක්ටර්ට ඉලෙක්ෂන් එකේදි වැඩකළා. මේ අතර මගෙ වැඩ තහනම් කළා. පස්සෙ සේවයෙන් පහකළා. අපි උද්ගෝෂණය කළේ පුද්ගලික පාසැල් රජයට පවරාගන්න කියලයි. මම පත්තරයකුත් කළා. ඒකෙ නම “ විප්ලා, විප්ලවය කියන නම වෙනුවට වෙනසක් විදිහට මේ නමදැම්ම.අපි රැස්වීම් තිබ්බෙ අම්බලම්මුල්ල රජයේ පාසැලේ. බණ්ඩාරනායක මහත්තය මැරුනට පස්සෙ වම නැවත කැඩෙනව. මහජන එක්සත් පෙරමුණ කියන නම පිලිප් ගුනවර්ධන ගත්ත. Dr’හෙක්ටර් එක්ක ව. . ප්‍රනන්ද (සන්තියාගෝ ගුරුන්නාන්සෙ) , සිසිල්ද සිල්වා, නන්දා ද සිල්වා, අපි සමග වැඩකළා. ව ස ප්‍රනන්ද මහජන එක්සත්පෙරමුණේ වැඩකළේ. එයා කොළඹත් වැඩ කළා. අනික් දෙන්න කොමියුනිස්ට් පක්ෂෙ. අපි සමසමාජ තරුණ සමීති හැදුවා. මීපුර සමසමාජ පක්ෂ තරුණ සමීතිය වගේම තලාහේන පේරුවෙ සමසමාජ පක්ෂ සංවිධානයක් පිහටෙව්වා. තරුණ සහ කාන්තාසමීති පහිටෙව්වා. ඒවායෙ හිටිය හොද අය සමසමාජ පක්ෂ තරුණ සමීතියට ගත්තා. කුරණ, බෝලවලාන යන ප්‍රදේශවලත් තරුණ සමීති පහිටුවා ඒවායේ අවබෝධයක් ඇති අය සමසමාජ පක්ෂ තරුණ සමීතියට බවා ගත්තා.මම1970 වෙනකම් මේවයෙ වැඩකළා.

සරත් මීපුර

මීගමුව රජයේ සේවකයින්ගේ විශ්‍රාමික සංගමයේ 50 වන සංවත්සරය දින 2018

මීගමුව නගර සංවර්ධනය ගැන ඔබේ අදහස

මීගමුවෙ බදුගෙවන්නන්ගේ සංගමය තුළ විශාල වැඩකොටසක් කරන්න පුළුවන් වුනා. විවිධ ප්‍රශ්ණ සාකච්ඡා කළේ ඒහරහා තමයි. මීගමු වෙරළ කියන්නෙ දර්ශනීය තැනක්, අද ඒක එහෙම නෑ.
අද මීගමුවට වෙරළක් නෑ. වෙරළ අද විවිධ දේවල් සදහා පාවිච්චි කරනව.මාළු කැපීම, කරවල වේලීම ආදී වශයෙන්. ඒගැන කිසිකෙනෙක් බලන්නෙ නෑ . ඒකෙ ආදායමක් රජයට එන්නෙ නෑ. අපි ඒකාලෙ ලොකු අරගලයක් කළා ඔතන මාළු කපනවට විරුද්ධව. ඒකාලෙ ඉදල ම නිසි කළමණාකරණයක් තිබුනෙ නෑ. සමහරු ඇහුවෙ මිනිස්සු මෙතන හුලං බිබී ඉන්නවට වඩා නරකද අපි කීයක්හරි හම්බකර ගත්තහම කියල. මම ඇහුව හුලං බොනඑකේ තේරුම දන්නවද කියල. මම කිව්ව මිනිස්සු මෙතෙන්ට එන්නෙ ටිකක් හුස්ම අරගෙන නිදහසේ කාලය ගතකරන්න. ඒකට තමයි මේ වෙරළ තියෙන්න ඕනෙ. ඒවගෙම කුට්ටිදූව තානායම රැකගතයුතු තැනක්. ඒදවස්වල ග්‍රීන්පාක් එකේ රැස්වීම් තිබ්බ. අද කඩදාල ඒවට ඉඩක් නෑ. පාක් එකනම් යංතං ඉතුරුවෙල තියෙනව. අනික තමයි කාමච්චෝඩෙ මාළු කඩේ. ඒක ජරාවට ගිහිල්ල. ඒගැන බලන්න කව්රුත් නෑ. කලපුව විනාශවෙල, කාණු වල වතුර ගලාගෙන යන්නෙ නෑ. වතුර හිදෙන්නෙත් නෑ. මේව ගැන අපි එදා ඉදලම විසඳුමක් ඉල්ලුව. නමුත් තවමත් විසඳුමක් නෑ. මේව තමයි මීගමුවට තියෙන ප්‍රශ්ණ .

බදුගෙවන්නන්ගේ සංගමය විදිහට සිරිල් මහත්තය ( මයිකල් අප්පුහාමි) විශාල වැඩකොටසක් කළා. 1987 දි බදු වැඩිකිරීමට අදාලව තක්සේරු වටිනාකම වැඩිකිරීමට විරුද්ධව මෙම සංගමය ගත් පියවරයන් නිසා විශේෂයෙන් රේට්එක අඩුකිරීම මත බදු අඩුකරගැනීමට හැකි වුනා.


සරත් මීපුර මහතා පිළිබද පසු සටහනක්

සියළු දේ එක දිගට කතාකරගෙන ගිය සරත් සර් වයස
81ක්ව තිබියදී වුවත් ඔහු සොයාගෙන විවිධ අය නිවසට පැමිණෙන අතර ඒ සහාද නොපැකිලව කාලය දෙයි. තම ගමන් බිමන් සදහා යොදාගෙන තිබුනේ පාපැදියකි. පසුව යතුරුපැදියක් යොදාගත්තේ ශාරීරික අපහසුතා නිසා විය හැක.
දැනුත් විවිධ පොදු අවශ්‍යතා වලට ත්‍රිවිලයකින් හෝ ගොස් කටයුතු කරන්නේ සතුටිනි. මහ උජාරුවට ඇද පැළද සිටිඅවස්ථා නැතිතරම්ය. ඒවා සියල්ල සරලව පවත්වාගෙන යන අතර තමන්ගෙන් අසාසිටි දේ සදහා ඔහු දෙන්නේ කෙටි පිළිතුරුය.

වමේ ක්‍රියාකාරීව සිටි ඔහු 1960 ගණන්වල වම කැඩෙනවිටත්, මහජන එක්සත්පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය ඔහු වැඩකළ සමසමාජ පක්ෂය එකතුකර ගනිමින් එකමුතුවී වැඩකළා. ඔහුට අවශ්‍යව තිබුනේ වම එකතුකරන්නයි. ඒ සදහා මීගමුව පදනම්කරගෙන කල වැඩ සහ ඔහුගේ ක්‍රියාකළාපය මුළුමහත් වමටත් වමේ ක්‍රියාධරයන්ටත් ආදර්ශයක්. අද වම දිහා බැලුවිට එය වඩාත් තහවුරු වෙනව. වම වෙනුවෙන් වැඩකළ නිසා ගුරුවෘතියේ නිතර මාරුවීම්, වැඩතහනමට ලක්වීම් ආදියට මුහුණදුන්නා. ගුරු වෘත්තිය හරහා විවිධ හැලහැප්පීම් තුළින් ජීවිතය ගොඩනගා ගත් අතර දේශපාලන කටයුතු, සමාජ කටයුතු වගේම කවිය, සාහිත්‍ය වැනි අංශ කෙරෙහිද ඇල්මක් දැක්වූ ඔහු කුරණ ශාන්ත ආනා විදුහලේ සේවය කරමින් සිටියදී තම සටහන් පොතක මුල්පිටුවේ සටහන් කරනලද කවිපද 4ක් මෙසේ සටහන් කරමු.

කවියත් කලාවත් එකටෙක දගර වැටී

පුදුමයි ලෝකයම රසවත් කරන හැටී

කවියක් වගේ රසවත් ජීවිතය කෙටී

කවියට කලාවට යටකර දමනු වටී

ඔහු විසින් කරන ලද තවත් බොහෝ නිර්මාණ ඇති අතර සිටින නිදන කාමරය පවා පොත් පත් සහ සගරා වලින් පිරීඇත.. අවසාන වශයෙන් , ඉතා සරල දිවියක් ගෙවන සරත් මීපුර මහතාට ඉදිරියට තවතවත් සමාජමෙහෙවරෙහි යෙදෙන්නට අපි දීර්ඝායුෂ පතමු.

Save

Save

Save

Comments

comments