ගුවන්යානා නඩත්තු වැඩසටහන් පිළිබඳ යුරෝපා-දකුණු ආසියානු ජාත්‍යන්තර වැඩමුළුවක්, මීගමුව පුරවරයේදී. …

0
244

 

:ශ්‍රී ලංකාව කලාපීය ගුවන් සේවා ක්ෂේත්‍රයේ නව කඩඉමක් සනිටුහන් කරමින්, ගුවන්යානා නඩත්තු වැඩසටහන් ක්‍රියාවලිය පිළිබඳ සුවිශේෂී සිව්දින වැඩමුළුවක සත්කාරකත්වය පසුගිය 08 දින (08/10/2026) සාර්ථකව නිම කළේය. යුරෝපා සංගම් – දකුණු ආසියානු ගුවන්සේවා හවුල්කාරිත්ව ව්‍යාපෘතිය (EU-South Asia Aviation Partnership Project – EU-SA APP) යටතේ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ (CAASL) සහයෝගයෙන් ඔක්තෝබර් 05 වැනිදා මීගමුව ,ඒත්තුකාල “ජෙට්වින් බ්ලූ ” හෝටලයේදී ආරම්භ වූ මෙම වැඩමුළුව, ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන්සේවා ක්ෂේත්‍රයේ දියුණුවට සහ කලාපීය කේන්ද්‍රස්ථානයක් ලෙස වර්ධනය වීමට ඇති හැකියාව තහවුරු කරන්නකි.

දකුණු ආසියානු කලාපයේ ප්‍රමුඛ පෙළේ ගුවන්සේවා නියාමන ආයතන, ගුවන්යානා මෙහෙයුම්කරුවන්, කර්මාන්ත නියෝජිතයන් සහ තාක්ෂණික විශේෂඥයන් 50 කට ආසන්න පිරිසකගේ සහභාගීත්වයෙන් පැවති මෙම වැඩමුළුවට බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මාලදිවයින, නේපාලය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 07 නියෝජනය කරමින් මේ සඳහා එම නියෝජිතයන් එක්ව සිටියහ. ගුවන්යානා නඩත්තු වැඩසටහනක (Aircraft Maintenance Programme – AMP) සමස්ත ක්‍රියාවලිය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාදීම මෙහි ප්‍රධාන අරමුණ වූ අතර, ගුවන්යානා නඩත්තු වැඩසටහන් සංවර්ධනය, අනුමත කිරීම, ක්‍රියාත්මක කිරීම, විශ්වසනීයත්වය අධීක්ෂණය, අඛණ්ඩ පරීක්ෂාව සහ ප්‍රශස්තකරණය ඇතුළු තාක්ෂණික අංශ රැසක් මෙහිදී සාකච්ඡා විය. Airbus Helicopters සහ Airbus Commercial Aircraft ආයතනවලින්ද වැඩමුළුව සඳහා තාක්ෂණික දායකත්වය ලැබීම විශේෂත්වයකි.

EU-SA APP මෙහෙයුම් කළමනාකරු පැට්‍රික් ෆර්මින් (Patrick Firmin) සහ ගුවන් යෝග්‍යතා විශේෂඥ අස්මීර් කෘහෝවික් (Asmir Kruhovic) ඇතුළු ප්‍රමුඛ පෙළේ තාක්ෂණික විශේෂඥයන් පිරිසක් සිව්දින සැසිවාර මෙහෙයවීමට එක්වීම මෙම වැඩමුළුවේ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීය. වැඩමුළුව සාර්ථකව අවසන් කිරීම සනිටුහන් කරමින් දේශීය හා විදේශීය සහභාගිවන්නන් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීමද සිදු කෙරුණු අතර, වරාය හා සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එක්විය. ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති ඕ. ආර්. රාජසිංහ, උප සභාපති ඉන්තාජ් කරීම්, අධ්‍යක්ෂ ජනරාල් හා ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල යන මහත්වරුන් සහ යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානී ගාලියා අගිශේවා (Galia Agisheva) මහත්මියද මෙම අවස්ථාවට සහභාගි වූහ.

මෙම වැඩමුළුව තුළින් කලාපීය සහයෝගීතාව, තාක්ෂණික දැනුම හුවමාරුව සහ අඛණ්ඩ ධාරිතා සංවර්ධනය තුළින් ගුවන්යානාවල ගුවන් යෝග්‍යතාව සහ නඩත්තු ප්‍රමිතීන් තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කෙරිණි. සහතිකපත්‍ර ප්‍රදානයෙන් පසු මෙම වැඩමුළුව ඇමතූ ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හා ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් දමින්ද රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ මෙවැනි කලාපීය තාක්ෂණික වැඩමුළුවක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීම තුළින් මෙරට සිවිල් ගුවන්සේවා ක්ෂේත්‍රයේ තාක්ෂණික ධාරිතාව වැඩිදියුණු කිරීමට මෙන්ම ගුවන්යානා නඩත්තු වැඩසටහන් අනුමත කිරීම සහ අධීක්ෂණය පිළිබඳ දේශීය නිලධාරීන්ගේ නිපුණතාවය, දැනුම සහ විශේෂඥතාව ඉහළ නැංවීමටද අවස්ථාව සැලසීම රටේ අනාගත දියුණුවට අතිශයින් වැදගත් වන බවයි

එලෙසම දකුණු ආසියානු සහ ජාත්‍යන්තර ගුවන්සේවා පාර්ශ්වකරුවන් අතර සහයෝගීතාව වර්ධනය කරමින් ජාත්‍යන්තර ගුවන් යෝග්‍යතා සහ ගුවන්සේවා ආරක්ෂක ප්‍රමිතීන් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහාද මෙවැනි වැඩසටහන් අත්‍යවශ්‍ය වේ. ජාත්‍යන්තර තාක්ෂණික දැනුම සහ විශේෂඥතාව මෙරට ගුවන්සේවා ක්ෂේත්‍රයට ලබාගැනීම ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන්සේවා හැකියාවන් තවදුරටත් සංවර්ධනය කිරීමට ඉවහල් වන අතර, දිගුකාලීනව ශ්‍රී ලංකාව කලාපීය ගුවන්සේවා කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමේ ප්‍රයත්නයටද එය සුවිශේෂී දායකත්වයක් ලබාදෙනු ඇත. මෙම වැඩමුළුව, ශ්‍රී ලංකාව කලාපීය ගුවන් සේවා සිතියමේ ප්‍රමුඛ ස්ථානයක් කරා ගෙනයාමට ඇති හැකියාවට හොඳම සාක්ෂියක් සපයයි..

සටහන හා ඡායාරූප .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here