( 4.30 pm ) මීගමුව මහ නගර සභාව විසින් වාර්ෂිකව ටෙන්ඩර් පටිපාටිය යටතේ බදු දෙනු ලබන කාමච්චෝඩේ පොළ භූමිය සම්බන්ධයෙන් වෙළඳුන් සහ පාරිභෝගිකයන් දැඩි අතෘප්තිය පළ කර සිටී. මෙවර පොළ සඳහා වන ටෙන්ඩර්පත නිකුත් කිරීම මෑතකදී සිදු කර ඇති අතර, එහිදී පැරණි ටෙන්ඩර්කරු විසින්ම යළිත් වරක් ටෙන්ඩරය හිමිකරගෙන තිබේ.
සතියේ දින දෙකක් වන බදාදා සහ ඉරිදා යන දිනවල ක්‍රියාත්මක වන මෙම පොළ වෙත දිවයිනේ විවිධ ප්‍රදේශවලින් විශාල වෙළඳුන් ප්‍රමාණයක් මෙන්ම, තම දෛනික අවශ්‍යතා සහ ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් මෙරට බොහෝ ගැනුම්කරුවන් විශාල පිරිසක් පැමිණෙති.
කෙසේ වෙතත්, කලක පටන් පවතින නිරාකරණය නොවූ බරපතලම ගැටළුව වී ඇත්තේ පොළ වෙත පැමිණෙන කිසිදු අයෙකු සඳහා කිසිදු මූලික පහසුකමක් නොමැති වීමයි.
පොළට පැමිණෙන වෙළඳුන් පෙන්වා දෙන්නේ ප්‍රමාණවත් හා විධිමත් වැසිකිලි සහ කැසිකිලි පහසුකම් පවා නොමැති වීම හේතුවෙන් තමන් දැඩි අසීරුතාවකට හා අපහසුතාවකට මුහුණ දී සිටින බවයි.
මීට අමතරව, මෙහි පැමිණෙන වෙළඳුන්ගෙන් පොළබදුකරු විසින් ඇතැම් විට අය කරනු ලබන මිල ගණන් සහ බදු මුදල් අතිශයින්ම අසාධාරණ මට්ටමක පවතින බවද ඔවුහු වැඩිදුරටත් චෝදනා කරති.
මෙතරම් විශාල ආදායමක් උපයාදෙන මෙම ප්‍රසිද්ධ වෙළඳපොළේ මූලික මිනිස් අවශ්‍යතා හෝ නොසලකා හැරීම සම්බන්ධයෙන් අදාළ වගකිවයුතු අංශවල දැඩි අවධානය යොමු වී නැතැයි වෙළඳුන් මෙන්ම පාරිභෝගිකයෝද චෝදනා නගති.
කරවල අලෙවි කිරිම පැමිණි අයෙකු අප අමතා වරක් ප්‍රකාශ කර තිබුනේ කිසියම් ප්‍රශ්ණයක් ගැන පොළ බදුකරු සමඟින් කථා කළ අවස්ථාවේදි ඔහු තර්ජනය කළ බවත් යළිත් කරවල විකිණීම පැමිණිමට ඉඩ දෙන්නේ නැතැයිද කියා තිබුන බවත්ය.
මේ ගැන හිටපු නගරාධිපතිවරයාටද පැමිණිළි කර සිටියද ඵලක් නොවු බවද කළකිරිමෙන් යුතුව පවසා සිටියේය.
එබැවින්, මීගමුව මහ නගර සභාව ඇතුළු බලධාරීන් වහාම මැදිහත් වී කාමච්චෝඩේ පොළ භූමියේ මූලික පහසුකම් නංවාලීමට සහ අයථා ලෙස මුදල් අය කිරීම් පාලනය කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස සියලු පාර්ශ්ව ඉල්සා සිටිති.



















