මෙන්න ඔබට සාදර ඇරයුමක්

0
237

2026 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සැප්තැම්බර් 25 වැනි සිකුරාදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ කෙරෙනවා. ඉතින්, මම ලියපු අලුත්ම ගවේෂණාත්මක කෘතිය, “පැරණි මත ගැන අලුත් දැනුමක්” කියන පොතත් ඒ ප්‍රදර්ශනය මුල් කරගෙනම එළිදැක්වෙනවා. ඒ දොරට වැඩුම තියෙන්නේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාව ඉදිරිපිට ඇති එළිමහන් පීඨිකාවේ. දවස, සැප්තැම්බර් 27 වැනි ඉරිදා. වෙලාව හරියටම පස්වරු 2.00ට.
මේ පොත මම අවුරුදු තිස් හතක කාලයක් ගවේෂණාත්මක මාධ්‍යකරණයේ යෙදී සිටියදී මට හමුවුණු මාතෘකා, එහෙමත් නැත්නම් මම ගවේෂණය කරපු විෂයන් අතරින් තෝරා ගත්තු කතා පුවත් මුල් කරගෙන ලියපු පොතක්. මේකේ විශේෂයෙන්ම ෂර්ලොක් හෝම්ස් ක්‍රමයට වැඩ පෙන්වන අපේ සාත්තර මෑණිවරු ගැන, ඒ වගේම තුවක්කුවේ බල බිඳින්න හෙනරාජ තෛලයට බැරිද? කියන එක ගැන, පරලොව සිට ආ තලගොයි පැටියෙක් ගැන, ආවේශය කියන්නේ ආරූඪයක්ද?, ගුප්ත බලයක්ද?, එහෙමත් නැත්නම් උමතුවක්ද? කියන එක ගැන, දිවුලපිටියේ ගල් ප්‍රේතයෙක් ගැන, ඇඳුමට ක්ෂණික ගුණ දෙන පත්තිනි දේවාල දෙහි ගැන, බෝම්බයකට හසුවෙලා මියගිය අපේ කාලයේ දියසේන කුමාරයා ගැන, ඒ වගේම ඉතාලි ක්‍රමයට හැදූ ගෙදරකට රිංගපු භූතයෙක් ගැන, මලයාලම් පොල්ගෙඩි ගුරුකම් ගැන වගේම මිනීවලින් එසවුණු අතක් ගැන වගේ මාතෘකා යටතේ පරිච්ඡේද 21ක්ම තියෙනවා.
එතකොට මේ දොරට වැඩීම මුල් කරගෙන, බලි බලි තොවිල්, ශාන්තිකර්මවලින් සෙතක් ලැබිය හැකිද? කියන මාතෘකාව මුල් කරගෙන පාර්ශ්ව දෙකකින් කෙටි දෙසුම් දෙකක් පැවැත්වෙනවා. ඉන් එක දෙසුමක් පවත්වන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු මානව විද්‍යා මහාචාර්ය, ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර. ඒ මානව විද්‍යාත්මක පැත්තෙන්. ඒ වගේම ඒ කාරණයම මනෝ වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් ගාල්ල ශ්‍රී ලංකා ජාතික රෝහලේ, ඒ කියන්නේ කරාපිටිය රෝහලේ ප්‍රධාන විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් විමසුමට ලක් කරනවා. බලි තොවිල්, ශාන්තිකර්ම මගින් සෙතක් ලැබිය හැකිද? කියන එක ගැන ඒ පාර්ශ්ව දෙකෙන් අදහස් දැක්වෙන හින්දා, ඒ ගැන ස්වාධීන නිගමනයකට එන්න ඔබටත් පුළුවන් වේවි.
ඒ වගේම මේ පොත පිළිගන්වන්න මම “පිදුම” සූදානම් කරලා තියෙන්නේ තමන් ලියපු පොත්පතින් මගේ ගවේෂණාත්මක මාධ්‍ය ජීවිතයට මූලික පිටුබලයක් ලබා දීපු, දැනට ජීවතුන් අතර නැති, මම ඉතා ගරු කරන පුද්ගලයෙකුගේ නමට. ඒ තමයි “මාරක කතා චක්‍රවර්තී” යන ජනතා අභිධානයෙන් පිදුම් ලැබූ ඩීමන් ආනන්ද සූරීන්. අද ඩීමන් ආනන්දයන් මේ ලෝකේ නැහැ. මීට වසර 19කට විතර කලින් එතුමා මෙලොවින් සදාහටම සමුගත්තා. නමුත් එතුමාගේ එකම දියණිය, වරුණි ෂර්මිලා ආනන්ද, තමන්ගේ පියා වෙනුවෙන් මම පුද කරපු මේ පොත පිළිගන්න එදාට ඒ පීඨිකාවට පිවිසෙනවා.
ඒ වගේම මේ වැඩසටහන මෙහෙයවන්නේ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨතමයෙකු වුණු, හිටපු කොළඹ, රත්නපුර, අම්පාර මහා දිසාපති සුනිල් කන්නන්ගර.
ඉතින්, මේ අවස්ථාවට සහභාගි වෙන ලෙස මම, මගේ සහෘද ඔබටත්, බොහොම ආදර ගෞරවයෙන් ආරාධනා කරනවා. විශේෂයෙන් මේ අවස්ථාවටම නොපැමිණියත්, මේ මාසේ 27 වැනි ඉරිදා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීමට සහ පොත් මිලදී ගැනීමට එන ඔබට එදා පස්වරු 2.00 සිට 3.00 දක්වා මේ සඳහා කාලය වෙන් කරන්න පුළුවන් නම්, ඒකත් මම ඉතාම අගය කරනවා. ඒ වගේම අපිට හරියටම පැයක කාලයක් තමයි මේ සඳහා වැය කරන්න හැකි වෙන්නේ. ඒ නිසා ඔබට මම නැවතත් ගෞරවයෙන් ආරාධනා කරනවා, හැකි නම් නියම වෙලාවටම ඇවිල්ලා මේ අවස්ථාවට එක්වෙලා, මගේ මේ ගමනට ශක්තියක්, ධෛර්යයක් වෙන්න කියලා.
“පැරණි මත ගැන අලුත් දැනුමක්” පොත රාජගිරියේ ග්‍රැෆික්කෙයා ප්‍රකාශනයක්.
මම.
තිලක් සේනාසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here