අවදානමට, පෙර සූදානමක්. ….

0
82

 

මේ වන විට සක්‍රීය වී ඇති නිරතදිග මෝසම් වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වුවහොත් ගම්පහ දිස්ත්‍රික්කයට ඇතිවිය හැකි ගංවතුර පීඩාව අවම කර ගැනීම සඳහාත්, එම ගංවතුර පීඩා තත්ත්වය කළමනාකරණය කර ගැනීම සඳහාත්, විශේෂ සාකච්ඡාවක් පසුගියදා ගම්පහ දී පවත්වන ලදී.

ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටුවේ හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති වන කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ සහ ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතාගේ
ප්‍රධානත්වයෙන් මෙම විශේෂ රැස්වීම ඊයේ දිනයේ (28/05/2025) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.IMG 20250528 WA00781

මෙම විශේෂිත රැස්වීම සඳහා සහභාගි වූ කාලගුණ විද්‍යාඥ මලිත් ප්‍රනාන්දු මහතා මෙහිදී පෙන්වා දී ඇත්තේ ඉදිරි වර්ෂා කාලයේදී සිදුවිය හැකි බලපෑම පිළිබඳවයි. එවැනි බලපෑම් සහගත වාතාවරණයකදී ඒ සඳහා නිසි ලෙස මුහුණ දීමට මේ වන විට ගෙන ඇති පියවර පිළිබඳවත්, මෙහිදී ඇතිවන ගැටලු හා ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද එමෙන්ම මෙවැනි ආපදා තත්ත්වයකදී ගස් කඩන් වැටීම් ආදී තත්වයන් සඳහා ගත හැකි කඩිනම් පියවර සම්බන්ධයෙන්ද මෙම රැස්වීමේදී ඉතා පුළුල් ලෙස සාකච්ඡා කර ඇත. එමෙන්ම මෙවැනි තත්ත්වයක් තුළ ඊට මැදිහත් වන පොලිසිය, ත්‍රිවිධ හමුදාව සහ අදාළ ආයතනවල පූර්ණ සූදානම් පිළිබඳ ද මෙහිදී වැඩි වශයෙන් අවධානයට ලක් කොට තිබේ.
එලෙසම මෙහිදී දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා පෙන්වා දී ඇත්තේ ඌරුවල් ඔය, අත්තනගලු ඔය, දී ඇලි ඔය ප්‍රධාන කොට ගෙන ඒවායේ ජලය ගලායාමට අවහිර වී ඇති බාධක ඉවත් කිරීම, ඇල පාර දෙපස පිරිසිදු කිරීම හා ගැඹුරු කිරීම ආදී කටයුතු දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ ඒකකය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව , ඉඩම් සංවර්ධන සංස්ථාව, සහ පළාත් පාලන සංවර්ධන අධිකාරිය සම්බන්ධීකරණය කරමින් පසුගිය මාස කිහිපයක සිටම එම කටයුතු සිදු කරමින් පැවැති බවයි . ඒ අනුව මුතුරාජවෙලට ඇති ජල මාර්ගවල බාධක ඉවත් කිරීමත්, කෑගල්ල දිස්ත්‍රික්කයෙන් මීරිගම- අත්තනගල්ල හරහාත් අධික වර්ෂාපතනයක් හේතු කරගෙන එකතු වන වැසි ජලය මීගමු කලපුව හරහා කඩිනමින්ම මහ මුහුදට එක් කිරීමක් මගින් ගම්පහ දිස්ත්‍රික්කයට ඉදිරි කාලයේදී ඇතිවිය හැකි දැඩි වර්ෂා කාලසීමාවේදී සිදුවිය හැකි බලවත් හානිය අවම කිරීමට පියවර ගෙන ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.
මෙම රැස්වීම සඳහා සහභාගි වූ නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා පැවසුවේ ගම්පහ දිස්ත්‍රික්කයට ගංවතුර තත්ත්වයකදී සිදුවිය හැකි හානිය අවම කර ගැනීම සඳහා ගත් මූලික පියවරයන් තවදුරටත් වේගවත් කිරීමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරන බවයි. එමෙන්ම ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබුනේ වැසි ජලය නිසි ලෙස ගලායාමට බාධාවක් වී ඇති අනවසර ඉදිකිරීම් ඉදිරි කාලයේදී සිදු නොවන ආකාරයට කටයුතු කරන බවයි.

ඊයේ පැවති මෙම රැස්වීම සඳහා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ගම්පහ දිස්ත්‍රික් අතිරේක ලේකම්වරයා, එලෙසම ගම්පහ දිස්ත්‍රික්කයේ ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා, ප්‍රාදේශීය ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here