ඇමෙරිකානු F-15 යානයේ සිටි නියමුවා බේරා ගැනීම !

0
62

ඉරානය පහරදී බිම හෙළන ලදැයි සැලකෙන ඇමෙරිකානු F-15 යානයේ සිටි සිය දෙවැනි නියමුවා බේරා ගැනීම ගැන දැන් ගොඩක් කතා කියවෙනවා.

මං දැක්කා බොහෝ දෙනෙක් කියනවා ඇමෙරිකාවට ඒ වෙනුවෙන් විශාල වන්දියක් ගෙවන්න වුනා, ඒ කියන්නේ විශාල අලාභයක් කරගෙනයි මේ ගළවා ගැනීම කරන්න වුනේ කියලා.

මෙය අමෙරිකාවේ පසුබෑමක් පරාජයක් හැටියටත් කියලා තිබුණා.

මගේ නම් අදහස ඇමරිකාව සතුරාගේ භූමියට වැටුනු තම නියමුවන් දෙදෙනා කවර හෝ හානියක්, අලාභයක් දරාගෙන බේරා ගැනීම ඔවුන්ගේ පමණක් නොවෙයි අප කාගෙත් ජයග්‍රහණයක් කියලා.

මෙය එසේ නොවුනි නම් මැදපෙරදිග යුද්ධය තවත් සිතාගත නොහැකි අදියරකට ළඟා වනවා නොඅනුමානයි.

අද වන විට පාකිස්ථානයේ මැදිහත්වීමෙන් තාවකාලිකව හෝ සටන් විරාමයකට (Temporary Ceasfire) යන්න සූදානමක් ඇතිව තිබෙනවා. සමහර විට ඇමෙරිකානු නියමුවා ඉරාන භාරයට පත්වුනා නම් මෙය නොවන්න පවා තිබුණා.

ඉරානයේදී ඇමරිකානු ගුවන් නියමුවන් දෙදෙනා ඔවුන් විසින්ම මුදාගැනීම පැති කිහිපයකින් විග්‍රහ කළ හැකි දෙයක්.

උදාහරණයකට හමාස් කැරැලිකරුවන් ඊශ්‍රායලයට පැනලා එල්ල කළ ඔක්තෝබර් 07 ප්‍රහාරය ගැන හිතන්න.

එතනදි හමාස් ත්‍රස්තවාදීන් අල්ලාගත් ප්‍රාණ ඇපකරුවන් මුදාගැනීමට කරන යුද්ධය අදත් නිමාවෙලා නැහැ.

මේ නියමුවන් සම්බන්ධයෙන් ඇමෙරිකාවත් ඉරානයත් එවැනි ආකාර යුද පසුබිමකට නොගියත් සිදුවිය හැකි හානි සහ ඇති විය හැකි අස්ථාවරභාවයන් ගැන හිතා ගන්න අමාරුයි.

ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් බේරා ගැනීම උදෙසා කෙරෙන දරුණු ප්‍රහාර නිසා පලස්තීනයේ ගාසා තීරයේ ජීවිත 70 දහසකට වැඩි පිරිසක් මේ දන විට බිළිගෙන හමාරයි. ගාසා තීරය සුන්බුන් ගොඩක් විතරයි දැන්.

ඉරානය මේ නියමුවන් දෙදෙනා තම ග්‍රහණයට ගත්තේ නම් කුමක් වෙන්න පුළුවන්ද? ඒ වගේම ඇමෙරිකාව කුමක් කරනු ඇතිද?

මෙතෙන්දි කේවල් කිරීම් සිදුවිය හැකියි. ඇමෙරිකානු ගොඩබිම් ප්‍රහාර ඇරඹිය හැකියි. ගුවන් ප්‍රහාර වැඩිවිය හැකියි. නොනවතින යුද්ධයක් සහතික වනු ඇති. නොසිතන තරම් හානි විය හැකියි.

කොහොම නමුත් වත්මන් මැදපෙරදිග යුද්ධයේ මේ සිදුවීම තවත් ඓතිහාසික අවස්ථාවක්. ඇයි එහෙම වෙන්නේ?

පහුගිය 3 වැනි දා තමයි ඇමෙරිකානු F-15 යුද ගුවන් යානයක් ඉරාන ගල්ෆ් බොක්කේ උතුරු ප්‍රදේශය ආසන්න ගොඩබිමට කඩා වැටෙන්නේ.

ඇමෙරිකාව දියත් කළ ගලවා ගැනීමේ මෙහෙයුමෙන් පළමු නියමුවා ඉක්මනින් සොයා ගැනුනත් දෙවැන්නා බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දරන්න වුනා.

කොහොමද හොයා ගත්තේ? අදාළ නියමුවා ළඟ ඇති CSEL (Combat Survivor Evader Locator) නම් උපකරණය ක්‍රියාත්මක කිරීමත් සමග ඔහු ඉන්නා ඉසව්ව ඔවුන් මුලින්ම හඳුනා ගන්නවා.

මෙය ගලවා ගැනීමේ (search and rescue) කාර්යයේදී අදාළ නිලධාරියාගේ ස්ථානයට ළඟාවීම සඳහා යොදාගන්නා සංඥා යන්ත්‍රයක්.

මේ සිදුවීම කඳුකර, ජනාවාසවලින් තොර ප්‍රදේශයක සිදුවීම තමයි ඇමෙරිකාවේ වාසියට හේතුවක් වුනේ. මේ සංඥා යන්ත්‍ර සතුරාටද හඳුනාගත නොහැකි ලෙස නිර්මාණය කර තිබෙනවා.

මේ නිසා නිලධාරියා අඩි 7000 ක් උස කදුකර ප්‍රදේශයක ආරක්ෂිතව සැඟවී රැඳී සිටියා.

මේ උපකරණය, එනම් CSEL සිය කාර්යය ඉටු කළා. ඇමෙරිකාව නිලධාරියාගේ ස්ථානය දැනගත්තා.

එහෙත් මෙතැනදී ස්ථානය දැන සිටීම පමණක් ප්‍රමාණවත් නොවන අතරම ඔහු ගළවා ගැනීමට නම් ඔවුන් ඉතා සූක්ෂ්ම හා උපක්‍රමික විය යුතුවෙනවා.

මොකද ඔහු බේරා ගැනීම වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ගවලින් වුනත් සතුරාට ස්ථානය හෙළිදරව් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉරානයට නොදැනෙන්නයි වැඩේ කළ යුත්තේ.

නිදසුනක් ලෙස, හෙලිකොප්ටරයක් නිලධාරියා සිටි ස්ථානයට කෙළින්ම පියාසර කළ ද, ගොඩ බැසීම ආරක්ෂිත නොවන බව වැටහුණ හොත්, ඒ හෙලිකොප්ටරය දෙස බලාගෙන සිටින තම සතුරාට එම ස්ථානය හෙළිවෙන්න පුළුවන්. ඒ කියන්නේ ඉන් පසු, ඉරාන හමුදා ළඟා වන්නට ඉදිරිපත් වූ හොත්, දැවැන්ත අවදානමක් ඇතිවෙනවා.

මේ නිසා ඉරානය රවටා තබා ගැනීමේ ගැනීම සඳහා CIA උපක්‍රමික මෙහෙයුමක් දියත් කරනවා. ඒ අනුව සෙනසුරාදා දක්වා, ඇමෙරිකාව දෙයාකාරයක ක්‍රියාමාර්ග අනුගමනය කර තිබුණා.

පළමුව, නිලධාරියා සිටි ස්ථාන ආවරණය සඳහා සැබෑ ගුවන් ආරක්ෂාව (aircover) ලබාදුන්නා.

දෙවනුව, ඉරාන හමුදාව වෙනත් ස්ථානවලට යොමු කරවා රවටා ගැනීමේ සෙවීම් (diversionary searches) ක්‍රියාත්මක කර තිබුණා. ඒ කියන්නේ වෙනත් ප්‍රදේශවලටත් තම ගුවන් යානා පියාසර කරවීමට ඔවුන් වගබලාගත්තා.

ඒ අතරේ, CIA ඉරානය තුළ සිදු කළ තොරතුරු ව්‍යාපාරයක් හරහා, නිලධාරියා ගොඩබිමින් ගෙනයන බවට ව්‍යාජ තතු පතුරුවා ඉරාන හමුදාවට ලබා දී තිබුණා. ඒ ව්‍යාජ තතු ඔස්සේ ඉරාන හමුදාව මෙහෙයුම් කරන අතරතුර, ඇමෙරිකාව සිය ගලවා ගැනීමේ කාලය දිගු කර ගත්තා.

මෙහිදී A-10 Warthog ගුවන් යානා, ඉරාන IRGC (ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය) හමුදා ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ ප්‍රමුඛ කාර්යභාරය ඉටු කළ බව පෙනේ.

කවුද මේක කළේ? SEAL Team Six විශේෂ ගලවා ගැනීමේ හමුදා ඒකකය ඉරිදා අලුයම, නියමුවා බේරාගත්තා.

හෙලිකොප්ටර් සහ ගුවන් යානා සහයෝගයෙන් ස්ථානයට ළඟා වීමසිදුව තිබුණා. එහිදී ඇමෙරිකානු හමුදා ජීවිත හානි ශූන්‍යයි.

එහෙත් මේ මෙහෙයුමේ ඉතා සිත්ගන්නා හා ඓතිහාසික කොටස නම්, C-130 ගුවන් යානා කිහිපයක් ඉරාන භූමියේදි විනාශයට පත්වීම. එකී යානා ගොඩ බැස්වූ ස්ථානවලින් (airfield) ඇතැම් ඒවාට නැවත ගුවනට නැඟිය නොහැකි වුනා.

C-130 ගුවන් යානා 3 ක් ඉරානයට නොදෙන පිණිස පිපිරවීම සිදු කළ බව තමයි දැනට වාර්තා වන්නේ.

කොහොම නමුත් ඇමෙරිකාව මීට පෙරත් මේ ආකාර සාර්ථක බේරාගැනීම් සිදුකර තිබෙනවා.

2003 වසරේදී ඉරාකයේදී ඇමෙරිකානු හමුදා සාමාජිකාවක වූ ජෙසිකා ලින්ච් නසිරියා නගරයේදී සටන් අතරතුර සතුරන් විසින් අල්ලාගනු ලැබ තිබුණා. ඉරාක රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඇය, SEAL Team Six සහ Rangers සහයෝගයෙන් රාත්‍රී මෙහෙයුමකින් ගලවා ගැනුනා.

1995 දී බොස්නියාවේදීත් මෙවැනි අත්දැකීමක් ඇමෙරිකාවට තිබෙනවා. ඇමෙරිකානු F-16 නියමු කපිතාන් Scott O’Grady සර්බියානු හමුදා ප්‍රහාරයක් හේතුවෙන් බොස්නියාවට ඇදවැටුනු ගුවන් යානයේ සිටියා.

දින 6ක් තනිව කැලෑවේ සැඟවී, කෘමීන්, ශාක ආදිය ආහාරයට ගනිමින් රැඳී සිටි ඔහු, US Marines ගලවා ගැනීමේ හෙලිකොප්ටර් මෙහෙයුමකින් ආරක්ෂිතව නිදහස් කරගෙන තිබුණා.

ඒ වගේම ඇමෙරිකාව අසාර්ථක වුනු සහ ඛේදජනක සිදුවීම්ද තිබෙනවා.

1980 දී ඇමෙරිකාව ඉරානයේම ක්‍රියාත්මක කළ Operation Eagle Claw මීට හොඳම උදාහරණයක්.

1979දී ඇමෙරිකානු තානාපති කාර්යාලය අල්ලාගෙන ප්‍රාණ ඇපයටගත් 52ක් ගළවා ගැනීම වෙනුවෙන් එදා Jimmy Carter ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් තමයි මේ මෙහෙයුම ක්‍රියාත්මක වුනේ.

කාන්තාර ප්‍රදේශවල හෙලිකොප්ටර 3ක් යාන්ත්‍රික දෝෂ නිසා ක්‍රියා විරහිතව තිබුණා. ආපසු ගමනේදී C-130 සහ හෙලිකොප්ටරයක් ගැටී, ඇමෙරිකානු සෙබළුන් 8ක් ජීවිතක්ෂයට පත්වුණා.

කොහොම හරි වැඩේ අසාර්ථකත්වයකින් අවසන් වුනා. Carterට ජනාධිපතිවරණයද පරාජයට පත්ව දේශපාලන ප්‍රතිවිපාකයකටයි මුහුණ දෙන්න සිද්ධ වුනේ.

මෙවර තම නියමුවන් දෙදෙනා බේරා ගැනීමට නොහැකිවුනේ නම් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ඉරණමත් කවරක් වේදැයි කියන්න බැහැ. සමහර විට ඔහු අති භයානක සර්පයෙක් ලෙස හැසිරීමේ සම්භාවිතාවක් පවා තිබුණා.

මම නම් කියන්නේ මේ බේරාගැනීම සිදුවුනේ අපේ හොඳටයි.

|මහින්ද රුබසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here