
මීට වසරකට පමණ පෙර එනම් 2024 අගෝස්තු මස 29 වැනි දින ජනතා අයිතියට පත්කරන ලද ” කටාන ප්‍රාදේශීය සභා නව ශ්‍රවණාගාරය” හෙවත් රංග ශාලාව නව වැඩපිළිවෙළක් යටතේ විශේෂයෙන්ම කටාන වාසී ජනතාව වෙත ලබාදීමට කටාන ප්‍රාදේශීය සභාව මේ වන විට තීරණය කර තිබේ.
පසුගිය රජය සමයේ , නිසි සැලසුම් සහගත වැඩපිළිවෙළක් නොමැතිව ගොඩනගන ලද මෙම රංග ශාලාව සඳහා එවකට රාජ්‍ය පරිපාලන ,සවදේශ කටයුතු,පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ “පුර නැගුම” ව්‍යාපෘතිය යටතේත් එලෙසම කටාන ප්‍රාදේශීය සභා අරමුදල් යටතේත් රුපියල් මිලියන 180 ක විශාල මුදලක් වැය කරමින් මෙම රංගශාලා ගොඩනැගිල්ල ඉදිකර තිබේ.
මීගමුව-දිවුලපිටිය ප්‍රධාන බස් මාර්ගයට යාබද, කටාන,දෙමංහන්දිය පිහිටි කටාන ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයට සමීපයේ ඇති ” වලිසිංහ හරිස්න්ද්‍ර ක්‍රිකට් ක්‍රීඩාංගනය” ට මායිම්ව මනරම් භූමියක මෙම රංග ශාලාව ඉදිකර තිබේ. ප්‍රදේශවාසීන් පවසන්නේ කෝටි ගණනක මහජන මුදල් වැය කරමින් ඉදිකළ මෙම රංගශාලාව විවෘත කර වසරක පමණ කාලයක් ඉකුත්ව ගියද මෙහි පවත්වා ඇත්තේ කුඩා උත්සව කිහිපයක් පමණක් බවයි. මේ නිසාම ප්‍රදේශවාසී බොහෝ දෙනකු පවසන්නේ මෙම රංග ශාලාව කෝටි ගණනින් මහජන මුදල් වැය කරමින් ඉදිකළ හම්බන්තොට, වරාය සහ හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව වැනි ” සුදු අලියෙක් ” බවයි.
දෙමහල් ගොඩනැගිල්ලක් ලෙස ඉදිකළ මෙම ශ්‍රවනාගාරය හෙවත් රංග ශාලා ගොඩනැගිල්ලේ පහත මාලයේ, වඩාත් ඉඩකඩ සහිතව අංගසම්පූර්ණ වේදිකාවක් සහ සුව පහසු ලෙස අසුන් ගත හැකි ආසන 232 මෙන්ම මෙහි පළමු මහලේ ද (බැල්කනිය) සුවපහසු ලෙස අසුන්ගත හැකි ආසන 247 කින් සමන්විත ය. එලෙසම මෙහි පහත මාලය සහ පළමු මහලය සම්පූර්ණයෙන්ම වායුසමනය කර ඇත. එලෙසම හදිසි විදුලි ඇනහිටීමකදී ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන වැඩි ධාරිතාවයකින් යුත් විදුලි ජනන යන්ත්‍රයක් (generator) ද මෙම රංග ශාලාව සතු වේ. එලෙසම මෙහි පහත මහල සහ පළමු මහල ආවරණය වන පරිදි සහ විශේෂයෙන්ම මෙහි වේදිකාව ඉලක්ක ගතවන ලෙස සකසන ලද නවීන විදුලි ආලෝක රටා පද්ධතියක්ද (lighting system) මෙහි නිර්මාණය කර ඇත. එලෙසම මෙම රංග ශාලාව සතුව තියුණු සහ පැහැදිලි ශබ්ද විකාශන පද්ධතියක් (sound system) ද ස්ථාපිත කර ඇත. මෙලෙස ගත් කල මෙම රංග ශාලාව ආසන 479 කින් සමන්විත වන මුළුමනින්ම වායු සමනය කළ, generator පහසුකම් , ද ඇති ඉතා හොඳ ලයිටින් සිස්ටම් එකක් සහ නවීන සවුන්ඩ් සිස්ටම් එකකින්ද සමන්විත වේ. ඒ නිසා ම එවැනි පහසුකම් තවත් අමතර මුදලක් දී පිටතින් රැගෙන ඒමට අවශ්‍ය නොවේ. එහෙයින් සංගීත ප්‍රසංගයක්, වේදිකා නාට්‍යයක්, රැස්වීමක්, වැඩමුළුවක්, විචිත්‍රාංග සහිතව සිදුකෙරෙන ඕනෑම උත්සවයක් සංවිධානය කරන්නෙකුට හෝ කණ්ඩායමකට මෙම රංග ශාලාව ඒ සඳහා තෝරා ගැනීමෙන් අමතර මුදලක් වැය නොවීම විශේෂ ලාභයක් සේ සැලකිය හැකිය,
මෙම රංග ශාලාව ඉදිකිරීමේ එක් පරමාර්ථයක් වී තිබුනේ සංගීත ප්‍රසංග වේදිකා නාට්‍ය වැනි කලා වැඩසටහන් පැවැත්වීම සඳහා මීගමු ප්‍රදේශයේ, ආවේ මරියා ශ්‍රවණාගාරය සහ මාරිස්ටෙල්ලා ගෘහස්ථ ශ්‍රවණාගාරය වැනි ස්ථාන වෙත ඇදෙන රසික රසිකාවියන් මෙන්ම එම වැඩසටහන් සංවිධානය කරන්නන් මීගමුව නගරය වෙත නොයවා ඔවුන් කටාන සීමාව තුළම රඳවා ගැනීමටය. එහෙත් මීගමුවේ ඇති ශ්‍රවණාගාර මෙන් මෙහි වැඩි ආසන සංඛ්‍යාවක් නොමැති නිසා, මහා පරිමාණයෙන් සංවිධානය වන සංගීත ප්‍රසංග මෙන්ම වේදිකා නාට්‍ය වැනි දේ මෙම කටාන රංග ශාලාව තුළ පැවැත්වීමට සංවිධායකයන් නොපෙළඹෙති. මේ නිසාම මෙම රංග ශාලාව යම් සාධාරණ මුදලක් අයකර කුඩා සහ මධ්‍යම ප්‍රමාණයෙන් සංවිධානය වන වැඩසටහන් සඳහා ලබාදීමට මේ වන විට බලයට පත්වී ඇති කටාන ප්‍රාදේශීය සභා පාලනය තීරණය කර ඇත.
මේ පිළිබඳව විශේෂ අනාවරණයක් සිදු කළේ පසුගිය දිනක මෙම රංග ශාලාව නිරීක්ෂණය සඳහා එහි ගිය කටාන ප්‍රාදේශීය සභාවේ උප සභාපති අජිත් ප්‍රියදර්ශන මහතා, ඇතුළු නලින් සමරදිවාකර මහතා සහ ඩිනල් ජීවන් යන සභිකවරු දෙදෙනා විසිනි.

එහිදී අදහස් දැක්වූ උප සභාපති අජිත් ප්‍රියදර්ශන මහතා සඳහන් කළේ කිසිදු නිසි වැඩපිළිවෙලක් නොමැතිව , විශාල මුදලක් වැය කර ගොඩනගන ලද මෙම ශ්‍රවණාගාරය හෙවත් රංග ශාලාව සාමාන්‍ය ජනතාවට ප්‍රයෝජනයට ගතහැකි ලෙස තම ප්‍රාදේශීය සභාව විසින් යම් විධිමත් වැඩපිළිවෙලක් සැලසුම් කර ඇති බවයි. ඒ අනුව ප්‍රදේශයේ පාසල්, ව්‍යාපාරික ස්ථාන සහ පෞද්ගලික මට්ටමෙන් සිදුකරන ළදරු පාසල් සහ වෙනත් අධ්‍යාපන ආයතනවල 500 ක් වැනි පිරිසක් සහභාගි කර ගනිමින් සිදුකරන වැඩසටහන් සඳහාද, එලෙසම 500 ක් වැනි ප්‍රේක්ෂක පිරිසක් සඳහා සංවිධානය කරන සංගීත ප්‍රසංග සහ වේදිකා නාට්‍ය සඳහාද මෙම රංගශාලාව සාධාරණ මුදලකට ලබාදීමට කටාන ප්‍රාදේශීය සභාව මේ වන විට කටයුතු යොදා තිබෙන බවද ඔහු ප්‍රකාශ කළේය. උප සභාපතිවරයා පවසන පරිදි මෙම ස්ථානය තෝරාගන්නා සංවිධායකයෙකුට ශබ්ද විකාශන යන්ත්‍ර සහ විශේෂයෙන්ම සංගීත ප්‍රසංග සඳහා භාවිතා වන විදුලි ආලෝක රටා පද්ධතියක් ආදී දේ පිටතින් ගෙන ඒමට අවශ්‍ය නොවේ. එලෙසම හදිසි විදුලි බිඳවැටීමකදී භාවිතා කළ හැකි ජෙනරේටරයක් මෙහි ඇති නිසා පිටතින් වෙනම මුදලක් වැයකරමින් රැගෙන ඒමට අවශ්‍ය නොවේ. මේ හේතු නිසාම සංවිධායකවරුන්ගේ කාලය ශ්‍රමය සහ අමතර මුදල් වැය නොවන අතරම මෙය ප්‍රාදේශීය සභාවට වැඩි ආදායමක් උපදවා ගත හැකි ස්ථානයක් ලෙසට පරිවර්තනය කිරීමට ඉදිරි කාලයේද කටයුතු කරන බවද උප සභාපතිවරයා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
නිස්කලංක පරිසරයක පිහිටි මෙම රංග ශාලාවට පැමිණෙන රථ වාහන හා යතුරුපැදි නවතා තැබීම සඳහා වැඩි ඉඩකඩ සහිත භූමි ප්‍රමාණයක් මෙම රංග ශාලා පරිශ්‍රය සතුව ඇත. .
ඒ නිසා අපි ඔබටද ආරාධනය කරන්නේ ඔබ විසින් සංවිධානය කරන රැස්වීම්, වැඩමුළු, විවිධ ප්‍රසංග, වේදිකා නාට්‍ය වැනි කලා අංගයන් මෙන්ම වෙනත් ආයතනික වැඩසටහන් සඳහාද මෙම ශ්‍රවණාගාරය හෙවත් කටාන නව රංග ශාලාව තෝරා ගන්නා ලෙසයි.
මෙම රංග ශාලාව සම්බන්ධ වැඩි විස්තර කටාන ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලයේ 031-2222575 යන දුරකතන අංකය අමතා ලබාගත හැකිය..












