කිසිඳු යෝජනාවක් සාකච්ඡාවට බඳුන් නොවූ ජුලි මස මහා සභා රැස්වීම

0
703

පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් මීගමුව මහ නගර සභාවට
අභිනවයෙන් තේරී පත්වූ නගරාධිපතිවරයා ඇතුළු පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රී මණ්ඩලයේ මංගල මහා සභා රැස්වීම පැවැත්වූයේ පසුගිය ජුනි මසයේදීය.

එදින නාගරික මන්ත්‍රී මණ්ඩලය හඳුනා ගැනීම, ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම් නියෝජනය කරමින් සභාව ඇමතීම සහ කාරක සභා පිහිටුවීම වැනි කාර්යභාරයන් සිදුවුණු අතර සාමාන්‍ය වශයෙන් මහ සභාවක දී සිදුවිය යුතු යෝජනා සාකච්ඡාවට ගැනීම්, යෝජනා සම්මත කර ගැනීම් ආදිය සිදු නොවුණි.

එ නිසාම ගෙවී යන ජුලි මාසයට අදාලව පවත්වන මහ සභා රැස්වීම දෙස මීගමු නගර සභා බල ප්‍රදේශයේ වෙසෙන බහුතරයක් ජනතාව දෑස් දල්වා බලා සිටියේ නගරයේ සහ ප්‍රදේශයේ පොදු ප්‍රශ්න පිළිබඳව සහ සාමාන්‍ය ජනතාවගේ බහුවිධ සුභ සාධන ප්‍රශ්න පිළිබඳව මෙම මාසික මහා සභා රැස්වීමේ සිට හෝ සාකච්ඡාවට ලක් වේයැයි යන බලාපොරොත්තු සහගත සිතුවිල්ලෙන් යුතුවය.

එහෙත් අද (08/07/2025) පෙරවරු 10.00 ආරම්භ කෙරුණු මීගමු මහා නගර සභාවේ ජුලි මාසයට අදාළ මාසික මහා සභා රැස්වීම පෙරවරු 11.00 වන්නටත් පෙරාතුවම එනම් පැයක පමණ කාලයක් ගතවීමටත් පෙරාතුවම අවසන් කර තිබුන අතර ඉන් අනතුරුව ඇරඹි කාරක සභා අවස්ථාව සවස්වන තුරුම පැවති බව වාර්තා විය.

මෙම මහා සභා රැස්වීමේදී නගරාධිපති, උපනගරාධිපති සහ ආණ්ඩු පක්ෂයේ හෝ විපක්ෂයේ නාගරික මන්ත්‍රීවරයෙක්වත් නගරයට බලපාන්නාවු සහ ජනතාවට බලපාන්නාවූ කිසිදු යෝජනාවක් මහ සභාව වෙත යොමු කර නොතිබීම විශේෂත්වයකි.

එහෙත් මීගමුව යනු තවමත් නොවිසඳුණු ප්‍රශ්න ගැටලු රැසක්ම ඇති නගරයකි. කැලි කසළ ප්‍රශ්නය, නගරය ආශ්‍රිතව සිදු කරන අනවසර ඉදිකිරීම් ප්‍රශ්නය සහ මීගමු මහ නගර සභාවට ආදායම් උපයා ගත හැකි ආර්ථික මර්මස්ථානවල ආදායම් මහා නගර සභාවට අහිමිවීම් ඇතුළු ප්‍රධාන මූලික ප්‍රශ්න ගණනාවකි. එලෙසම දැනට කාලයක සිටම මීගමුව මහ නගර සභා බල ප්‍රදේශය තුළ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග වල පවතින අනාරක්ෂිතභාවය නිසාම එදා මෙදා තුර මිනිස් ජීවිත ගණනාවක් අහිමි වී ගොස් තිබේ. එමෙන්ම ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමද මෑතක සිට මීගමු ප්‍රදේශය තුල පෙර නොවූ විරූ ලෙස වර්ධනය වෙමින් පවතී. මෙවැනි ප්‍රශ්න රාශියකින් හෙබි මීගමුව ප්‍රදේශය තුළ මසකට වරක් පැවැත්වෙන මහා සභා රැස්වීමකදී එම ප්‍රශ්නවලට පිළිතුරු සපයා ගන්නට එම ප්‍රශ්න යෝජනා ලෙස ඉදිරිපත් කිරීමට නගරාධිපතිවරයා ඇතුළු පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රීවරු උත්සුක නොවීම ඇත්තෙන්ම කණගාටුවට කරුණකි.

මේ පිළිබඳව අදහස් දක්වන හිටපු නගරාධිපතිවරයෙකු හා හිටපු ජ්‍යෙෂ්ඨ නාගරික මන්ත්‍රීවරයෙක් වන ඇන්ටනී ජයවිර මහතා පවසන්නේ මෙවැනි තත්ත්වයක් මීගමුවේ සමස්ථ ජනතාවගේ පැත්තෙන් ගත් විට එය ඉතා අභාග්‍යසම්පන්න තත්ත්වයක් බවයි.

මේ වන විට මීගමුව මහා නගර සභාවට ඇති ආදායම් වලින් විශාල මුදලක් එනම් කෝටි ගණනක් නගර සභා සේවකයන්ගේ වේතන හා දීමනා වෙනුවෙන් ගෙවන්නට සිදුවීම නිසා නගරයේ ජනතාවට සුභ සාධනය සැලසීම වෙනුවෙන් වැය කළ යුතු මුදල් නගර සභාවට අහිමි වන බවත්, එම අහිමිවන මුදල් නව ආදායම් මාර්ග හරහා මහා නගර සභාව වෙත නැවත ලබාගත හැකි ක්‍රමවේද පිළිබඳව සාකච්ඡා කිරීමට නගරාධිපතිවරයා උත්සුක නොවීම පිළිබඳවද හිටපු නගරාධිපති ඇන්ටන් ජයවීර මහතාගේ අවධානයට ලක්වී තිබේ. ඔහු පවසන්නේ තවත් මාස කිහිපයකින් මීගමු මහා නගර සභාවේ අයවැය වාර්තාව ඉදිරිපත් කරන්නට නගරාධිපතිවරයාට සිදුවන අතර ඔහු දැන් සිටම මහ නගර සභාවට නව ආදායම් උත්පාදනය කර ගැනීම සඳහා යෝජනා ඉදිරිපත් කර සෙසු පක්ෂ විපක්ෂ නාගරික මන්ත්‍රීවරු සමග එම කරුණු කාරණා සාකච්ඡාවට ලක් කළ යුතු බවයි. එහෙත් එවැන්නක් ජූලි මාසයට අදාළ මාසික මහා සභා රැස්වීම පැවති අද දිනයේ සිදු නොවීම පිළිබඳව හිටපු නගරාධිපතිවරයාගේ දැඩි දෝෂ දර්ශනයට ලක් වී තිබේ.

එමෙන්ම ඔහු පවසන්නේ අද පැවති ජූලි මස මහා සභා රැස්වීමේදී ආණ්ඩු පක්ෂයට තිබී ඇත්තේ ප්‍රශ්න දෙකක් පමණක් බවයි. එනම් නගර සභාවේ ආරක්ෂක අංශය පිළිබඳ ප්‍රශ්නය සහ දකුණු පිටිපන මරණාධාර සමිති ගොඩනැගිල්ල පිළිබඳව වු ප්‍රශ්නයක් බවත්ය.

(මෙම ආරක්ෂක අංශ පිළිබද යෝජනාව පිටුපස තවත් සැලැස්මක් තිබිය හැකියැයි නම සදහන් කිරිමට අකමැති වු විපක්ෂයේ මන්ත්‍රිවරයෙකු මිපුර අමතා ප්‍රකාශ කර තිබුණි.)

හිටපු නගරාධිපති ඇන්ටන් ජයවීර මහතා ප්‍රශ්න කරන්නේ මෙවැනි ප්‍රශ්න මීගමු ජනතාවගේ දැවෙන ප්‍රශ්න ලෙස සැලකිය හැකි ද යන්නයි. එනිසා ඔහුවැඩිදුරටත් පෙන්වා දෙන්නේ මහා සභා රැස්වීමක් වෙනුවෙන් නාගරික මන්ත්‍රීවරුන්ට විශාල මුදලක් වැය වන බවත් එවන් තත්ත්වයකදී මහා සභා රැස්වීමකදී, ප්‍රදේශයේ ජනතාවට බලපාන්නාවු ප්‍රශ්න පිළිබඳව පුළුල් වශයෙන් සාකච්ඡා කර තීන්දු තීරණ ගත හැකි වාතාවරණයක් පවතින බවයි. එවැනි වාතාවරණයක් නිකරුණේ හිතා මතාම නොසලකා හැරීම අභාග්‍ය සම්පන්න තත්වයක් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here