ගරු ෂෙරාඩ් ජයවර්ධන පියතුමාව ත්‍රස්ත මර්ධන පොලීසියෙන් ප්‍රශ්න කිරීම හෙළා දකිමු!!

0
294

ගරු ෂෙරාඩ් ජයවර්ධන පියතුමාව ත්‍රස්ත මර්ධන පොලීසියෙන් ප්‍රශ්න කිරීම හෙළා දකිමු!! එතුමාට අත නොතබනු!!
===================================
අද, 23/01/26, ශ්‍රී ලංකාවේ ත්‍රස්ත මර්ධන පොලීසිය (Sri Lanka’s counter-terror police – CTID) ගරු ෂෙරාඩ් ජයවර්ධන පියතුමාව මීගමුව පොලීසියට කැදවා පැය හතරක් තිස්සේ දීර්ඝ ප්‍රශ්ණ කිරීමට ලක්කර තිබේ. එසේ ප්‍රශ්න කිරීමකට ලක් කර ඇත්තේ අන් කිසිවකට නොව උතුරු – නැගෙනහිර යුද්ධයේදී මියගිය හා වින්දිත භාවයට පත් ජනයා සැමරීමට පසුගිය වසරේ (2025) මැයි මාසයේ පැවැති අනුස්මරණ උත්සවයකට එතුමා සහභාගීවීම සම්බන්ධයෙනි.

ගරු ෂෙරාඩ් ජයවර්ධන පියතුමා යනු මීගමුවේ ප්‍රකට පියතුමෙකු පමණක් නොව සමාජ සාධාරණත්වය වෙනුවෙන් නිරතරයෙන් නැගී සිටි පියතුමෙකි. එවකට සිටි ජූඩ් ලාල් පියතුමා බිහිකළ කණ්ඩායමේ ඉදිරිපෙළ පියතුමෙකු වූ එතුමා පූජක දිවියේ හිදිමින්ම කිතුණු ඉගැන්වීම් පදනම් කරගනිමින් දිගින් දිගටම ‘පීඩිතයා’ වෙනුවෙන් පෙනී සිටින්නේය. යුද්ධයෙන් ද, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් වින්දිතයන් වූ ජනයා වෙනුවෙන් ද, සකල විධ මර්ධනකාරී අණපනත්වලට එරෙහිව ද, නැගී සිටි පියතුමෙක් ලෙස ගරු ෂෙරාඩ් ජයවර්ධන පියතුමා ප්‍රකටව සිටි.

මීට වසර කිහිපයක පෙර ගරු ෂෙරාඩ් ජයවර්ධන පියතුමා රාජපක්ෂ පාලනය විසින් දියත් කරමින් සිටි අධ්‍යාපනය මිල්ටරීකරණය කිරීමත්, මර්ධනකාරී ලෙස නිරෝධන නීති භාවිතා කිරීමටත්, විරෝධතා දක්වන්නන් අත්අඩංගුවට ගැනීමටත්, රටේ දේපොල විකුණමින් එම ආණ්ඩුව ගෙන ගිය මර්ධනකාරී පාලනය දැඩි ලෙස විවේචනය කරමින්, ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා, වෛද්‍ය ගරු වික‍්‍රම ෆොන්සේකා පියතුමා ඇතුලු පියවරු සහ කතෝලික ගිහි ක‍්‍රියාකාරීන් රැසක් සහභාගි වූ මාධ්‍ය හමුවක එකට පෙනී සිටියා අපට මතකය.

එහෙත් ගරු ෂෙරාඩ් ජයවර්ධන පියතුමා, ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා මෙන්, එතුමා සමග එකල එකට පූජකවරුන් ලෙස කටයුතු කළ හිටපු පියතුමෙක් වූ අජිත් හැඩ්ලි ලා මෙන් මාලිමාවේ වේදිකාවට ගොඩවූයේ නැත. ගරු ෂෙරාඩ් ජයවර්ධන පියතුමා එලෙස මාලිමා රජයේ කොටසක්කාරයෙකු වූයේ නැත. එසේ වුයේ නම් ඇතැම්විට මේ ආකාරයට පැය ගණන් පොලිස් ස්ථානවල ප්‍රශ්ණ කිරීමට ලක්නොවිමට ඉඩ තිබුණි. එතුමා සමග එකට පූජක දිවියේ ජුඩ් ලාල් (හිටපු) ස්වාමි සමග උරෙන් උරගැටී කටයුතු කල අජිත් හැඩ්ලිලා මාලිමා ආණ්ඩුවේ ජාතික සභාවල සිටින විට ගරු ෂෙරාඩ් ජයවර්ධන පියතුමා මෙසේ පොලිසි ගානේ රස්තියාදුවීමට සිදුවිම අතීශයින්ම කනගාටුදායකය.

ඒ කෙසේ වුවද, ගරු ෂෙරාඩ් ජයවර්ධන පියතුමාව ශ්‍රී ලංකාවේ ත්‍රස්ත මර්ධන පොලීසිය (Sri Lanka’s counter-terror police – CTID) විසින් ප්‍රශ්න කරමින් මේ කරන්නට උත්සහ කරන්නේ එතුමාට කොටි ලේබලය ඇලවීමට ද? එසේ කතෝලික පියතුමාන්ලා හබා යමින්, ඔවුන්ව ත්‍රස්ත මර්ධන අණපනත් ඔස්සේ ලේබල් කරමින්, පාස්කු ඉරිදා ප්‍රහාරයට යුක්තිය ඉල්ලමින් සිටින ශ්‍රී ලංකාවේ කතෝලික සභාව නිහඩ කිරීමට මේ ආණ්ඩුවට හා මේ ආණ්ඩුව යටතේ ද ඉතා හොදින් ක්‍රියාත්මක වෙන ශ්‍රී ලංකාවේ මර්ධනකාරි රාජ්‍ය යන්ත්‍රයට කිසියම් උවමනාවක් තිබේද?

අපි ඒ සම්බන්ධයෙන් අවධියෙන් සිටිමු!!

 

ගරු ෂෙරාඩ් ජයවර්ධන පියතුමාඅත නොතබනු!!

Christian Collective for Justice
Connect with us #CCJ🙏❤️🙏
Ccollective4justice@gmail.com

(උපුටා ගැනීමකි – https://www.facebook.com/share/p/1C19TyvmsQ/)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here