චෞර ධනපති කණ්ඩායමක්, ආපහු නුගේගොඩ දේශපාලන වේදිකාවක් ගහන තැනට පත් කළේ කව්ද ?

0
489

මේ රටේ වැඩකරන මිනිස්සු මිලියන ගණන් පාරට බැහැලා දේශපාලනිකව පරාද කරලා දුන්න දූෂිත, ජාතිවාදී, බලලෝභී, පසුගාමී සහ චෞර ධනපති කණ්ඩායමක්, ආපහු නුගේගොඩ දේශපාලන වේදිකාවක් ගහන තැනට පත් කළේ කාගේ නිසරු දේශපාලනයද?

උං ගොඩනැගෙනකල් බලා ඉදලා- දැන් උන් එන පාරෙ තණකොල එල්ලන එක මම කියන්නේ දේශපාලනිකව ලැජ්ජා වෙන්න ඕනෙ කාරණයක්.

මේ රැළියෙ සංවිධාන කටයුතුවල ටිරාන් අලස් ඉන්නවා. වීසා ගනුදෙනු ඇතුළු කියක් කාරණාවලට චෝදනා තියෙන කෙනෙක්ද? මේ රැළිය පිටිපස්සේ තව කී දෙනෙක් ඉන්නවද?

මේ රාජපක්ෂලාගේ සෙනග විදියට පාරට බහින්නට මිනිහෙක් බය වෙන තැනට සදාචාරාත්මක පරාජයක් රාජපක්ෂලාට ඇති කරලා ඉවරවෙලයි- ජාතික ජන බලවේගයට මැතිවරණ ව්‍යාපාරය කරන්නට පොළොව ජනතාව හදලා දුන්නේ. ඒව කරපු උං තාම නඩු කකා උසාවි යනවා.

ජාතික ජන බලවේගය සහ නායක අනුර කුමාර ගත්ත වෙහෙස ගැනත්- ඒ දේශපාලන වෙනස්කම පසුපස තිබුණු මහන්සිය ගැනත් අවංකවම ගරු කරනවා. හැබැයි- ඒ වෙනස කරන්නට ලෙහෙසි ක්‍රීඩා පිටියක් හදලා දුන්නේ අරගලය බව අමතක කරන්න හොද නෑ.

ඒ කාලයේ සල්ලිවලටවත් මිනිස්සු ආවේ නෑ. එන්න බය වුණා. ගමේ ගෙදරක මිනිහෙක් ඔහොම එකකට ගියොත්, ගමෙන්ම කොන් වෙන තැනකට දේශපාලනය තල්ලු වුණා.

ඒ ඔක්කොම කරලා බලය අරන් අවුරුද්දක් යද්දී මේ රැලිය සිද්ධවෙන තැනට දියාරු ගොජබි පාලනයක් අරන් ගියාට පස්සේ දැන් මේ මොනවද දොඩවන්නේ?

ජාතිවාදයට ඔලුව උස්සන්න දුන්නේ කොහොමද? ඒක පරාද නොකරන්නේ ඇයි? අමාරුයි- සංකිර්ණයි- එකපාර බෑ කියන්න නම් පුලුවන්. ඒවා තමයි හැමදාම කියපු කතා. දැන් නම් බබෙක් හදන කාලයත් පහුවෙලා හැබැයි.

උංව පරාද කරපු එක ස්ථීර කරන්නට නම් කළ යුතුව තිබුණේ උංගේ මතවාද, අදහස්, පැවැත්ම, යාන්ත්‍රණ සියල්ල දුර්වල වෙන විදියට නව මතවාදී අධිකාරයක් ස්ථාපිත කිරීම නෙවෙයිද?

ජාතිවාදයටයි, පසුගාමීත්වයටයි යටවෙච්ච කිසිදු නිර්භීත ප්‍රතිපත්තිමය තීන්දුවක් ගන්නට කොන්දක් නොමැතිව ‘අපි බෝට්ටුව හොල්ලන්නෑ‘ කිය කියා තමන්ගේ දේශපාලන නියාලුකම ගැන ආඩම්බර වෙච්ච පාලනයක් දැන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ?

සාමාන්‍ය ජනතාවගේ අසහනය දිගින් දිගටම වැඩිවෙද්දී ඒ ගැන කිසිවක් නොකර ඉදලා දැන් පාරෙ තණකොල එල්ලන්නේ ඇයි? ඒ වෙනුවට ව්‍යාපාරිකයන්ගෙයි- ජාත්‍යන්තර මූල්‍ය සංවිධානවලයි- ණය හිමියන්ගෙයි වුවමනා ඉටු කරමින් ඉන්නේ ඇයි?

තණකොල එල්ලුවාට වැඩක් නෑ. උං එන්නේ උඹලා හදපු පාරේ. නැත්නම් මෙයාලට සෙනඟ ගේන්න බස් එකක්වත් ලැබුන්නෑ.

අයවැයේ වියදම්වලින් භාගයක් ණය හිමියන්ගෙ පොකැට් පුරවන්න. භාණ්ඩාගාරය පිරී ඉතිරිලාලු. ඒ සාමාන්‍ය ජනතාවට බදු පිට බදු ගහලා.

ඒ ඔක්කොම කරලා ඉවරවෙලා- පරාද කරලා ඉවර දේශපාලන ප්‍රභූ කල්ලියකට බල ලෝභයෙන් මත්වෙලා පාරට බහින්න ඉඩකඩ හදලා දීලා- දැන් මෙතැන අඩන්නෙ මොකටද?

ඇත්තටම ඔය ටිරාන් අලස්ලාගේ වේදිකාවට පාර හැදෙනකල් බලා හිටපු පාලනයක්- දැන් ඒ පාරෙ තණකොල එල්ලුවාට වැඩක් නෑ.

ඒ මදිවාට මේ පහළ ෆොටෝ එක දාපු ජාතියේ හෘදය සාක්ෂිය දරාගන්න බැරි අය මොකද කරන්නේ? මේ අයට දරාගන්න බෑ දැන් හෘදය සාක්ෂිය. එයාලගෙ පපුවෙ තියෙන ලොකු බරක් තියෙනවා. එයාලාට ඕනෑ දේශපාලනය ධ්‍රැවීකරණය කරලා එක්කෝ අපේ පැත්තේ නැත්නම් තොපි ද්‍රෝහීන් කියන රාජපක්ෂ පන්නයේ සීමා ඉර අදින්න.

ඒ සීමා ඉර දැන් තියෙන්නේ තොපි පෙරටුගාමී. තොපි ද්‍රෝහීන්. තොපි ඉන්න ඕනෑ නුගේගොඩ වේදිකාවේ. තොපි එතැනට නොගියාට ආත්මයෙන් තොපි එතැන තමයි වගේ ලයින්වල.

අපි කියන්නේ තොපි දෙගොල්ලත් අනේ මන්දා.

පිරිසිදු දකුණයි! දූෂිත දකුණයි!

තොපි දෙගොල්ලම අයවැයවල් ලියල තියෙන හැටියට. පාර්ලිමේන්තුවේ අයවැය විවාදවල දෙගොල්ල කතා කරන හැටියට, මිනිස්සුන්ට පික්පොකට් ගහන හැටියට ඇත්තටම නුගේගොඩ වේදිකාවට ඔය කට්ටිය එකට නැග්ගත් මොකට පුදුම වෙන්නද?

අමතර කරුණක් කිවොත්- මම මෙතැන පැහැදිලි කරලා වැඩක් නෑ මම පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයෙක් නෙවෙයි- මම සමාජවාදී ජනතා සංසදයේ සාමාජිකයෙක් කියලා.

මුං ඔක්කොම කොච්චර කළත් උංගේ පහසුවට සහ උංගේ අවබෝධ කරගැනීමේ මට්ටම මත මාව පෙරෙට්ටා කරලා තියන නිසා මට දැන් එච්චරම අදාලත් නෑ.

මම පෙරටුගාමී පක්ෂයේ නෙවෙයි කියලා කියන්න එකම හේතුව එයාලා කරන දේට මට වගකියන්නත්- මම කරන දේට එයාලාට වගකියන්නත් බැරි නිසයි. ඒ වගේම පෙරටුගාමී නොවන තව ඊට වඩා කුඩා දේශපාලන කණ්ඩායමුත් ඉන්න නිසයි. ඒ ඔක්කොටම වඩා ඒ කණ්ඩායම්වලිනුත් පරිබාහිර මගේ ස්වාධීනත්වයකුත් තියෙන නිසයි.

ආ තව පැත්තකට පොඩ්ඩක් හැරෙමු. මා ගැන කියද්දී..

මේ ආණ්ඩුව ගැන ධනාත්මක දේවල් මං දිගටම කිව්වා. ඒ පැහැදිලිව අර දූෂිත- ප්‍රභූ පාලක පැළැන්තිය පරාජය කරන්න ඕනෑ කියලා කියන කතාන්දරය මමත් බාරගන්න නිසා. දිර්ඝකාලිනව අපි කරන සටන් වගෙම- දැන් සිද්ධවෙන සටනකදී අපට යම්කිසි අදහසක් කියන්න අවශ්‍ය නිසා. ඒ නිසා ඔය හැම තැනකදීම ආණ්ඩුව කරන දේවල් ගැන ධනාත්මක චිත්‍රයක් මා පෙන්වන බව ඇත්ත.

ඒත් අද වෙද්දී මෙයාලා ගමන් කරමින් ඉන්නේ මොන විකාර තැනකටද? මෙයාලා 2015න් පස්සේ රනිල්ලාගේ යහපාලනය කළා වාගේම ජාතිවාදී ප්‍රතිගාමීන්ට සෙල්ලම් කරන්නටත් ඉඩ තබා- එය යලි නැගිටීමේ භයානකකම පෙන්ව පෙන්වා අනෙක් සියලු දේශපාලනයන් මර්දනය කර දමමින් සිටිනවා නොවෙයිද?

ඔය දූෂිතයන් ගොඩගැසූ ධනය- ඔවුන් අයුතු ලෙස ඉපැයූ වත්කම්- ඔවුන් කර ඇති අපරාධ- ඔවුන් කර ඇති දූෂණ වංචා සහ අවභාවිතයන් ගැන හරි තීන්දු ගනිමින් තිබෙන්නේ නම් ඔය දේශපාලන වේදිකාව ගොඩනැගෙන්නේත් නෑ.

ඒ වගේම- මේ නුගේගොඩට පැමිණීමට සදාචාර වටිනාකමක් ජනතාව අතර නැගෙන්නේ නෑ, ගොවියාගේ- ධීවරයාගේ- කම්කරුවාගේ සහ අනෙක් වැඩකරන මිනිස්සුන්ගේ සැබෑ ප්‍රශ්න ආමන්ත්‍රණය කළා නම්.

උංට පාර හදලා දෙපැත්තේ තණකොල එල්ලනවා වෙනුවට ඊළගට ඔය තණකොල කන්න සිද්ධවේවි…!

තරිඳු උඩුවරගෙදර 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here