ජාත්‍යන්තර භෞතචිකිත්සක දිනය නිමිත්තෙන් , මාධ්‍ය හමුවක් මීගමුවේදී

0
560

 

එළඹෙන සැප්තැම්බර් 08 වැනි දිනට යෙදෙන ” ජාත්‍යන්තර භෞතචිකිත්සක දිනය” ( World Physiotherapy Day) නිමිත්තෙන් පවත්වනු ලැබූ මාධ්‍ය හමුවක් ඊයේ දින ( 25/08/2025 ) දහවල් මීගමුව, පෝරුතොට පිහිටි ” සොලෝ කැෆේ ඇන්ඩ් රෙස්ටුරන්ට් ” හී දී පැවැත්විණි. මෙය සංවිධානය කර තිබුණේ ” ශ්‍රී ලංකා විශේෂ සායනික භෞතචිකිත්සකවේදීන්ගේ සංගමය ” මූලිකත්වයෙනි.
“” සෞඛ්‍ය සම්පන්නව ,නිරෝගිව වැඩිහිටි වයසට එළැඹීමේදී, ⁣භෞතචිකිත්සකවේදීන්ගේ කාර්යභාරය හා නිවැරදිව දෛනික ක්‍රියාකාරකම් පැවැත්වීම, වැටීමේ සහ දුර්වලතා ඇතිවීම් අවම කිරීම, හා වැළකීම, වයසට යාමේදී රෝගී ඇඳක් මත ගෙවන ජීවිතය වළක්වන්නේ කෙසේ ද ( The role of physiotherapy and physical activity in healthy ageing, with a focused look at preventing frailty and falls).”” යන තේමාවන් මේ වසරේ පවත්වනු ලබන ජාත්‍යන්තර භෞතචිකිත්සක දිනයේ නිල තේමාවන් බවට පත්වී තිබේ..

මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා විශේෂ සායනික භෞතචිකිත්සකවේදීන්ගේ සංගමයේ සභාපති ස්නායු රෝග පිළිබඳව විශේෂ සායනික භෞතචිකිත්සකවේදී මිතුන් සේනාරත්න මහතා සඳහන් කළේ භෞතචිකිත්සකවේදීන් යනු ස්නායු රෝග මාංශ පේශී, අස්ථි රෝග, ස්වශන රෝග , හෘද රෝග, ළමා රෝග, ක්‍රීඩා අනතුරු, දැඩි සත්කාර ඒකක වල පශ්චාත් ශල්‍යකර්ම, සහ ගර්භණී සමයේදී ඇතිවන සංකූලතාවයන්ට ලක් වූ රෝගීන්ව පරීක්ෂාකරමින් ඇගැයීමකට ලක් කොට රෝග නිර්ණය හා අදාළ භෞතික වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්නා වූ විශේෂඥ වෘත්තියවේදීන් පිරිසක් බවයි. එමෙන්ම භෞතචිකිත්සකවේදීන් රෝග වළක්වා ගැනීමට සහ දිගුකාලීන රෝගී තත්වයන් මනා ලෙස කළමනාකරණය කිරීමට අවශ්‍ය භෞතික ප්‍රතිකාර සහ වෛද්‍ය උපදෙස් ලබා දෙමින් ජනතාවට නිරෝගී දිවිපෙවෙතක් ගත කිරීමට උපකාර කරනු ලබයි.

WhatsApp Image 2025 08 26 at 23.53.33 e357bf2a
එලෙසම ඔහු සඳහන් කරන පරිදි ශ්‍රී ලංකාවේ භෞතචිකිත්සකවේදය ආරම්භ වන්නේ 1957 වසරේදීය. පසුව එය ප්‍රථම උපාධි පාඨමාලාවන් දක්වා වර්ධනය වී පේරාදෙණිය විශ්වවිද්‍යාලය .සහ කොළඹ වෛද්‍ය පීඨයන් හි මෙම උපාධි පාඨමාලාවන් පැවැත්වෙන අතර ශ්‍රී ලංකාවේ මේ වන විට රාජ්‍ය සෞඛ්‍යය සේවය තුළ භෞතචිකිත්සකවේදීන් 700 ක් පමණ සහ තවත් 300 ත් 500 ත් අතර ප්‍රමාණයක් පෞද්ගලික රෝහල් අංශයේත් මේ වන විට සේවය කරති. ඒ අනුව ජාත්‍යන්තර භෞතචිකිත්සක දිනය ලොව පුරා විසිරී පැතිරී සිටින එවන් වූ භෞතචිකිත්සකවේදීන් විසින් ලොව පුරා වෙසෙන සමස්ත ජනතාව වෙත සිදු කරනු ලබන එම කැපී පෙනෙන කාර්යයභාරය සහ මෙම විශේෂ සායනික චිකිත්සකවේදය තුළින් නිරෝගී ජන දිවියට සිදු කරනු ලබන යහපත් වූ බලපෑම ජාත්‍යන්තර වශයෙන් වාර්ෂිකව සමරනු ලබයි. ඒ නිසාම සෑම වසරකම සැප්තැම්බර් 08 වැනි දින එම විශේෂිත දිනය සමරනු ලබන්නේ වර්ෂ 1951 දී ලෝක භෞතචිකිත්සක සංවිධානය ( World Physiotherapy Confederation ) පිහිටුවීම ද සනිටුහන් කරමිනි. . එහෙයින් ලොව වෙසෙන සෑම මිනිසෙකුටම, ප්‍රශස්ත සෞඛ්‍ය තත්වයක් සහ ජීවන තත්වයක් ලබාගැනීම සඳහා භෞතචිකිත්සවේදය අත්‍යවශ්‍ය බව ලෝකයට පසක් කර දීම ද අරමුණ කරගෙන සෑම වසරකම සැප්තැම්බර් 08 වෙනි දිනට යෙදෙන මෙම ජාත්‍යන්තර භෞතචිකිත්සක දිනය සමරනු ලබන බව විශේෂඥ භෞතචිකිත්සකවේදී මිතුන් සේනාරත්න මහතා මෙම මාධ්‍ය හමුවේදී විශේෂයෙන් අවධාරණය කළේය.

එලෙසම ඔහු මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ, සෞඛ්‍ය යහපැවැත්ම, පුනරුත්ථාපනය සහ සියලු වයස් කාණ්ඩ වලට අයත් පුද්ගලයින්ට ඇතිවන චලන ආබාධ ජයගැනීමටත්, වේදනාවන්ගෙන් තොර ක්‍රියාශීලි ජීවිතයක් ගත කිරීමට උපකාර කිරීමත් මෙම සායනික භෞතචිකිත්සකවේදයේ ප්‍රධානතම අරමුණක් වී ඇති බවයි.

තවද සැප්තැම්බර් 08 දිනට යෙදෙන මෙම ජාත්‍යන්තර භෞතචිකිත්සක දිනයට සමගාමීව මෙරට ජනතාවට නොමිලේ රෝග පරීක්ෂා කිරීම්, ඇගයීම් කිරීම් සහ රෝග නිර්ණය මත අදාළ භෞතික වෛද්‍ය ප්‍රතිකාර මෙන්ම උපදෙස් ලබා දීමේ වැඩසටහන්ද එලෙසම අනතුරු වැළැක්වීම විශේෂයෙන්ම කොන්දේ වේදනාව,සන්ධි ආශ්‍රිත වේදනාව හා ඒ ආශ්‍රිතව ඇතිවන සංකූලතා මෙන්ම ක්‍රීඩා අනතුරු සහ මිනිස් සිරුරේ නිදන් ගත වේදනාවන් සමනය කිරීමත් එවැනි තත්ත්වයන් කළමනාකරණය කිරීමත් පිළිබඳ සායනික දේශන හා සැසිවාර පැවැත්මද මෙම දිනයට සමගාමීව පැවැත්වේ . එමෙන්ම විවිධ දැනුවත් කිරීමේ වැඩසටහන්, පා ගමන්, සහ පාසල් ළමුන් සහ ප්‍රජාව මූලික කරගත් ශාරිරික සහ මානසික ක්‍රියාකාරකම් රැසක් පැවැත්වමේ වැදගත්කම පිළිබඳව පාසල් ළමුන් සහ ප්‍රජා කණ්ඩායම් දැනුවත් කිරීමද මෙම දිනයට සමගාමීව මෙරට තුළ පැවැත්වීමට, ශ්‍රී ලංකා විශේෂ සායනික භෞතචිකිත්සකවේදීන්ගේ සංගමය ” මේ වන විටත් කටයුතු සංවිධානය කර ඇති බවද එම සංගමයේ සභාපති,විශේෂ සායනික භෞතචිකිත්සකවේදී මිතුන් සේනාරත්න මහතා මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත්. අනාවරණය කළේය.

මෙම විශේෂිත මාධ්‍ය හමුව සඳහා ශ්‍රී ලංකා විශේෂ සායනික භෞතචිකිත්සකවේදීන්ගේ සංගමයේ ලේකම්, සහ මීගමුව මහා රෝහලේ ස්නායු රෝග පිළිබඳව විශේෂ සායනික භෞතචිකිත්සකවේදී අමින්ද්‍රා ප්‍රනාන්දු මහත්මියද එලෙසම එම සංගමයේ භාණ්ඩාගාරිකා සහ රාගම විශේෂිත පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ප්‍රජා සෞඛ්‍ය හා පුනරුත්ථාපනය පිළිබඳව විශේෂඥ සායනික භෞතචිකිත්සකවේදී තමාලි නාවින්න මහත්මියද සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here