ජාත්‍යන්තර භෞතචිකිත්සක දිනය වෙනුවෙන් , මීගමුවේ,වැඩිහිටි ජනතාවට පණිවිඩයක්.

0
583

 

සැප්තැම්බර් 08 වෙනි දිනට යෙදෙන , ජාත්‍යන්තර භෞතචිකිත්සක දිනය ( international Physiotherapy Day) වෙනුවෙන් ශ්‍රී ලංකා විශේෂ සායනික භෞතචිකිත්සකවේදීන්ගේ සංගමයේ ලේකම් සහ මීගමුව දිස්ත්‍රික් මහා රෝහලේ විශේෂ සායනික භෞතිචිකිත්සවේදී අමින්ද්‍රා ප්‍රනාන්දු මහත්මිය විසින් මීගමුව සහ මීගමුව අවට සිටින වැඩිහිටි ජනතාව වෙත විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබේ. ඒ අනුව මෙවර ජාත්‍යන්තර භෞතචිකිත්සක දිනයේ තේමාව බවට පත්ව ඇත්තේ
“” සෞඛ්‍ය සම්පන්නව ,නිරෝගිව වැඩිහිටි වයසට එළැඹීමේදී ⁣භෞතචිකිත්සකවේදීන්ගේ කාර්යභාරය හා නිවැරදිව දෛනික ක්‍රියාකාරකම් පැවැත්වීම, වැටීමේ සහ දුර්වලතා ඇතිවීම් අවම කිරීම, හා වැළකීම, වයසට යාමේදී රෝගී ඇඳක් මත ගෙවන ජීවිතය වළක්වගන්නේ
කෙසේ ද ?

( The role of physiotherapy and physical activity in healthy ageing, with a focused look at preventing frailty and falls).””
යන තේමාවන්ය.
මෙම විශේෂිත පණිවිඩය තුළින් අමින්ද්‍රා ප්‍රනාන්දු මහත්මිය පවසන්නේ අවුරුදු 60 ට වැඩි වැඩිහිටියන්ගේ ක්‍රියාශීලි භාවය සමාජය වැඩියෙන්ම අගය කරන බවයි. එලෙසම භෞතචිකිත්සාව විවිධාකාරයෙන් වැඩිහිටියන්ගේ ක්‍රියාශීලී භාවයට බලපානු ලබන බවද ඇය පවසයි.එලෙසම ඇය පෙන්වා දෙන්නේ එවැනි වැඩිහිටියන්ගේ ක්‍රියාශීලි භාවයට අවශ්‍ය ව්‍යායාම් මාලාවක් ඉදිරිපත් කිරීමට භෞතචිකිත්සකවේදියෙකුගේ නිර්දේශ කිරීම ඉතාම වැදගත් වන බවයි.
භෞතචිකිත්සවේදී අමින්ද්‍රා ප්‍රනාන්දු මහත්මිය මෙහිදී වැඩිදුරටත් වැඩිහිටි සැමගෙන් ඉල්ලා සිටින්නේ හැකි සෑම අවස්ථාවකම සුළු ව්‍යායාම වල හෝ නිරත වන අතරම පුටුවක අසුන් ගැනීම හැකිතාක් අවම කරන ලෙසයි. විශේෂයෙන් රූපවාහිනී නරඹන විට වැඩිහිටි පුද්ගලයෙක් අඩුම තරමින් 10 සැරයක්වත් පුටුවෙන් නැගිට සුළු වශයෙන් ඇවිදිමින් නැවත අසුන් ගැනීම හිතකර බවයි ඇය පවසන්නේ.
මේ අනුව ඇය මෙහිදී පෙන්වා දෙන්නේ සාමාන්‍ය වැඩිහිටියෙකු මධ්‍යම ත්‍රීවෘතාවය සහිත ව්‍යායාම ( එදිනෙදා වැඩි මහන්සියකින් තොරව සිදු කළ හැකි සුළු කාර්යයන්) දිනකට අඩුම තරමේ විනාඩි 30 බැගින්, සතියකට දින 05 ක් හෙවත් සතියකට මිනිත්තු 150 ත් 300 ත් අතර කාලයක් අවම වශයෙන් මෙම ව්‍යායාම වල නිරතවීම සුදුසු බවයි. මධ්‍යම ත්‍රීවෘතාවය සහිත ව්‍යායාම ලෙස අමින්ද්‍රා ප්‍රනාන්දු මහත්මිය පවසන්නේ කාටත් එදිනෙදා ලෙහෙසියෙන් පහසුවෙන් කළ හැකි කටයුතුය. ඇවිදීම, සාමාන්‍ය වේගයකින් ඇවිදීම, ගෙවතු අලංකරණ කටයුතු වල නිරත වීම, කුඩා දරුවන් සමග සෙල්ලම් කිරීම වැනි එදිනෙදා ලෙහෙසියෙන් සිදු කළ හැකි කාර්යයන් , මධ්‍යම ත්‍රීවෘතාවය සහිත ව්‍යායාම ලෙස හඳුන්වා දිය හැකිය.
එලෙසම ඇය පෙන්වා දෙන තවත් කරුණක් වන්නේ සමහර වැඩිහිටියන්ට අධි ත්‍රීවෘතාවයේ ව්‍යායාම වලද යෙදීමට හැකි බවයි. එලෙස අධි ත්‍රීවෘතාවයේ ව්‍යායාමවල යෙදෙන වැඩිහිටියෙකු දිනකට මිනිත්තු 15 බැගින් සතියකට දින 05 ක් එනම් සතියකට මිනිත්තු 75 ත් 100 ත් අතර කාලයක් ,අවම වශයෙන් එම ව්‍යායාම වල නිරත විය යුතුයි. ඒ අනුව කාය වර්ධන මධ්‍යස්ථානයක ඇති ට්‍රෙඩිමිල් ( Treadmill ) එකක දිවීම, වේගයෙන් දිවීම, වේගයෙන් යම් ක්‍රීඩාවක නිරතවීම,වේගයෙන් බයිසිකල් පැදීම, ආදී ව්‍යායාම අධි ත්‍රීවෘතාවයේ ව්‍යායාම ලෙස හැඳින්විය හැකිය . එමෙන්ම අමින්ද්‍රා ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කරන පරිදි වැඩිහිටියෙකුට සිදුකළ යුත්තේ මධ්‍යම ත්‍රීවෘතාවයේ ව්‍යායාම ද නොවැසේනම් අධි ත්‍රීවෘතාවයේ ව්‍යායාම ද තීරණය කළ යුත්තේ භෞතචිකිත්සකවරයෙක් මුණගැසීමෙන් පසුවයි. ඒ අනුව කිසියම් වැඩිහිටියෙකුගේ හෘද ස්පන්ධන වේගය මත එය තීරණය කරනු ලබයි.
මෙහිදී තවත් විශේෂ මතක් කිරීමක් කරන, භෞතිචිකිත්සවේදී අමින්ද්‍රා ප්‍රනාන්දු මහත්මිය පවසන්නේ සෑම වැඩිහිටියෙකුම මාංශ පේශීන් ඇදෙන සුළු ව්‍යායාම වල ( streching exercise ) නිරත විය යුතු බවයි.දිනකට මිනිත්තු 02 ක් පමණ ශරීරයේ සෑම මාංශ පේශියකටම ඇදීමේ ව්‍යායාම කළ යුතුයි. ශරීරයේ සෑම මාංශපේෂයකටම එලෙස ඇදීමේ ව්‍යායාම වර්ග කිහිපයක්ම ඇති අතර ඒ පිළිබඳව දැනුවත් වීමටත් භෞතචිකිත්සකවේදි සහය සහ නිර්දේශය අවශ්‍ය බව ඇය අවධාරණය කරයි.

ඒ අනුව ඇය විසින් පෙන්වා දෙන්නේ වැඩිහිටි වයසේදීත් ක්‍රියාශීලී ලෙස නිරෝගිව සිටීමට අවශ්‍ය කරන ව්‍යායාම් මාලාව සකස් කර ගැනීමට සහ ඒ පිළිබඳව දැනුවත් වීමට හෞතචිකිත්සකවරයෙකුගේ නිර්දේශය සහාය සහ සේවය අත්‍යවශ්‍ය බවයි.
එහිදී ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ වෛද්‍යවරයෙකුගේ අනුමැතිය ඇතිව මීගමුව දිස්ත්‍රික් මහා රෝහලේ භෞතචිකිත්සක අංශයට පැමිණ ලියාපදිංචි වීමෙන් මෙම සේවාව මීගමුව හා මීගමුව අවට සියලු වැඩිහිටියන් වෙත කිසිදු ගෙවීමකින් තොරව නොමිලේ ලබාගත හැකි බවයි.

අද බොහෝ වැඩිහිටියන් වයස අවුරුදු 60 පමණ ඉක්මවන විට විවිධ වූ රෝගාබාධයන්ට ගොදුරු වීම සුලබව දැකිය හැක. ක්‍රියාශීලීව තම දෛනික වැඩ කටයුතු පවා සිදුකරගත නොහැකිව, ඇඳක හෝ රෝද පුටුවක තම ජීවිතයේ අවසාන කාලය ගෙවා දමන වැඩිහිටියන් අප සුලභව දැක ඇත. විවිධ රෝගාබාධයන්ට ගොදුරුව පෙර ලෙස ඇවිද ගැනීමට පවා නොහැකිව සිටින බොහෝ වැඩිහිටියන් ඉලක්ක කරගෙන අද වන විට විවිධ වු ප්‍රමිතියකින් තොර, සහ වගකීමක් පවා නොමැති බෙහෙත් ඖෂධ වෙළඳපොලේ සුලභව අලෙවි කෙරේ. සමහර එවැනි නිෂ්පාදන මහා පරිමාණයෙන් අලෙවි කරන අතර ඒ සඳහා මෙරට ප්‍රසිද්ධ නළු නිළියන් පවා යොදා ගනිමින් වැඩි වේලාවක් සහිත වෙළඳ දැන්වීම් පවා අද විවිධ රූපවාහිනි නාලිකා තුළ ප්‍රචාරය කෙරේ.විවිධ වූ ආකර්ෂණීය නම් වලින් හඳුන්වන මෙම ඖෂධ නිෂ්පාදන විශාල මුදලක් දී මිලදී ගෙන භාවිතා කළත් ඒවායින් කිසිදු ප්‍රතිඵලයක් නොමැති බවද අවසානයේ ප්‍රත්‍යක්ෂ වේ .
එලෙසම මෙවැනි ඔත්පල වී එක්තැන් වී සිටින වැඩිහිටියන් ඉලක්ක කර ගනිමින් බොහෝ මිත්‍යාදෘෂ්ටිකයන්ද තමන්ගේ මිථ්‍යා දෘෂ්ටික මතවාද සමාජය තුළ ප්‍රචලිත කරමින් පවතී. විවිධ වූ සුව මෙහෙයන්, විශ්ව ශක්ති , විස්ම කර්මයන් ලෙස නම් කරමින් එවැනි ගසා කෑමේ ව්‍යාපාර අද වන විට සමාජය තුළ සුලභව දැකිය හැකිය.
ඒනිසා මෙවැනි අවිද්‍යාත්මක සංකල්ප වලින් බැහැරව විද්‍යාත්මක ක්‍රමවේද අනුව රෝගාබාධවලට ලක් වූ, ඔත්පලව ,ඇවිදගැනීමට සහ තම කටයුතු සිදුකර ගැනීමට නොහැකිව සිටින වැඩිහිටි ජනතාවට පිළිසරණ වීමට ඇති, එලෙසම විශේෂඥ වෛද්‍යවරුන් පවා පිළිගන්නා නිරතුරු ඔබ වෙනුවෙන් සේවය කිරීමට සැදී පැහැදී සිටින මෙම භෞත චිකිත්සකවේදීන්ගේ සහාය කිසිදු අය කිරීමකින් තොරව නොමිලේ ලබාගන්නා ලෙස , ජනතාවට වග කියන මාධ්‍යයක් ලෙස අපද ඔබෙන් ඉල්ලා සිටිමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here