ත්‍රිකුණාමල ගැටලුව ගැන ඔබ නොදන්න කතාව.

0
638

 

👉 මේ වෙලාවේ ගොඩක් දෙනෙක් දන්න කතාව තමයි,

// ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ආරම්භ වූ ප්‍රථම දහම් පාසල වන මිහිඳුපුර මහින්දවංශ ගුණානුස්මරණ දහම් පාසල් ගොඩනැගිල්ලට මුල් ගල් තැබීම 2025.11.16 වන ඉරු දින පෙරවරු 09.09 ට යෙදුණු සුභ මොහොතින් ත්‍රිකුණාමල ප්‍රදේශයේ ගෞරවනීය මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් සිදුකෙරුණා..//

// පසුව එදිනම (16) රාත්‍රියේදී එම ස්ථානයේ බුදු පිළිමයක් තැන්පත් කිරීමට උත්සාහ කළ අවස්ථාවේ පොලිසිය සහ ජනතාව අතර නොසන්සුන්කාරී තත්ත්වයක් හට ගත් අතර අවසානයේ දී පොලිසියම් එහි තැන්පත් කළ බුදු පිළිමය වරාය පොලිසිය වෙත රැගෙන ගොස් තිබෙනවා…//

// ඊයේ රාත්‍රියේදී සිදුවූ කලබලය අතරතුර බළන්ගොඩ කස්සප හිමි සහ ත්‍රිකුණාමලයේ කළ්‍යාණවංසතිස්ස හිමියන් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පසුව අද(17) දහවල් 01 ට පමණ එම පිළිමය එම ස්ථානයටම නැවතත් වැඩම කරන ලදී…//

ඊළඟට බොහෝ දෙනෙකු කියන්නෙ නැති සත්‍ය කරුණු කිහිපයක් (Facts) තියෙනවා

01. 1951 වර්ෂයේ සිට මෙම ස්ථානයේ දී විහාරස්ථානයක් තිබූ බවට සාක්ෂි සහ ලියකියවිලි තිබෙනවා.

02. මෙම ස්ථානයේ දී තිබූ විහාරස්ථානය ආරක්ෂක හේතුන් නිසා ටිකක් ඇතුලෙ තියෙන හමුදා කඳවුර අසලට අරන් ගිහින් තියෙනවා.

03. අතීතයේ තිබූ මෙම දහම් පාසලේ ඉගෙන ගත් දරුවන් අදටත් ත්‍රිකුණාමලේ ඉන්නවා.

04. සුනාමි ව්‍යසනයෙන් පසු එම ස්ථානයේ තිබූ ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබෙන තත්වයක් උඩ එම ප්‍රදේශය සම්පූර්ණයෙන්ම වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කර තිබෙනවා.

05. ඉන්පසු 2014 වර්ෂයේදී ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයට මහින්ද රාජපක්ෂ එවකට ජනාධිපතිවරයා විසින් පර්චස් 40ක ඉඩමක් ‘පූජා භූමි ඔප්පුවක්’ මගින් මෙම ඉඩම ලබා දී තිබෙනවා.

06. ඉඩමේ අයිතිය පන්සලට තිබුනට සංරක්ෂණය කරන්නේ – වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින්. පන්සල විසින් එම ඉඩම වට කරලා ආරක්ෂාවට දැලක් දාලා තියෙනවා.

07. අද බුදු පිළිමය තැන්පත් කරපු තැනට අඩි පහක් වම් පැත්තෙ විශාල බෝ ගහක් සහ තවත් බුදුපිළිමයක් තියෙනවා. එම ස්ථානයේ කිසිදු බුදු පිළිමයක් නෑ කියන කතාව බොරුවක්. ඒ අවට පන්සල් දෙකකුත් තියෙනවා. ඒ පන්සල් දෙකටම බාරව ඉන්නේ ත්‍රිකුණාමලයේ කළ්‍යාණවංසතිස්ස හාමුදුරුවෝ.

🛑 මෙතන ප්‍රශ්නයට හේතුව ඇත්තටම දහම් පාසල නෙමෙයි. පන්සලට අයිති පර්චස් හතළිහක ඉඩමේ තියෙන කඩය (Photo 03, 04 – The Land)

“එක්සත් ජාතික පක්ෂයේ ත්‍රිකුණාමලය කොට්ඨාශ සංවිධායිකා දීපානි ලියනගේ මහත්මියගේ දුව සහ බෑනා කරගෙන යන මෙම වෙළඳසැලට විරුද්ධව ‘අනවසරයෙන් ඉඩම් අත්පත් කර ගැනීම’ කියන චෝදනාව යටතේ පොලිස් පැමිණිල්ලක්ද තිබූ බවත් පසුව එය ඉල්ලා අස්කර ගත් බවත් ගම්වාසින් පැවසුවා. ඇයට තිබූ චෝදනාව එවක ආණ්ඩුකාරවරයා වූ සෙන්තිල් තොණ්ඩමන් සමඟ එක්ව ඉඩම් ටික අල්ලා ගැනීමයි…”

// කොහොම හරි ඒ කඩේ පවත්වාගෙන ගිය L Thilak Perera මහත්මයා අපට හමු වුණා. ඔහු මෙසේ පැවසුවා.

අපිට මේ ඉඩම ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයෙන් ‘විහාරස්ථාන සුභසාධක වෙළඳසැල’ විදිහට කරගෙන යන්න බද්දට දුන්න. ඇත්තටම විහාරස්ථානයට ආදායම් මාර්ග මුකුත් නැති නිසා තමයි මේ ඉඩම අපිට බද්දට දෙන්නෙ. ඒ වෙලාවේ කිසිම බලපත්‍රයක් හෝ අවසරයක් තිබුණෙ නෑ. අපි දන්න එකම දේ 2014 මහින්ද රාජපක්ෂ දීපු ඔප්පුව විතරයි. අපි ව්‍යාපාරය පටන් ගන්න කණු එහෙම හිටෙව්වා.

එහෙම තියෙනකොට වෙරළ සංරක්‍ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව – CCD සහ නගර සභාව ඇවිල්ලා අනවසර ඉදිකිරීමක් කියලා මේක නවත්තනවා. ඊට පස්සේ වෙළඳසැලක් හදන්න නම් අවශ්‍ය ආයතන ටික කියල ‘මේ තැන් වලට ගිහිල්ල Permission අරන් එන්න’ කියලා කියනවා.

මුලින්ම නිවාස සංවර්ධන අධිකාරියට යනවා. එතනින් කියනවා ආයතන හයකින් Approval ගත්තම අපි Permission දෙන්නම් කියලා. ඒ අය කියපු ආයතන තමයි,
– බෞද්ධ කටයුතු අමාත්‍යංශය
– වෙරළ සංරක්ෂණ…
– සමුද්‍රිය පරිසර…
– පරිසර අධිකාරිය..
– නගර සභාව…
– මාර්ග සංවර්ධන අධිකරිය…

වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ විසින් පසුව ‘CCCRN/ADC/6578’ නමින් Permit එකක් දුන්නා.

ඒ අතරතුර 2024, L Thilak Perera මහත්මයාට විරුද්ධව නගර සභාව ‘අනවසර ඉදිකිරීමක් කරනවා’ කියලා නඩුවක් දානවා. සීමාව ඉක්මවා ඔහු එම වෙළඳසැල පවත්වාගෙන යාම තමයි හේතුව.
“එම නඩුව තවමත් අධිකරණයේ තිබෙනවා”

ඉන්පසු 2025. 07. 18 වැනිදා වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරන දෙපාර්තමේන්තුව මෙම වෙළඳසැලට 2023 දී ලබා දී තිබූ Permit එක Cancel කරනවා. ඒකට හේතුව ඔවුන් සීමාව ඉක්මවා ඉදිකිරීම් සිදු කර තිබීමයි. එම ලිපියේ වැඩිදුරටත් ‘වහාම මෙම ගොඩනැගිල්ලෙන් ඉවත්වන ලෙස’ සඳහන් කරලා තියෙනවා.

පසුව වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයා තමන්ට ඇති බලතල හරහා පොලිසියට මෙම වෙළඳසැල ඉවත් කර දෙන ලෙස නියෝගයක් නිකුත් කරනවා.

එම නියෝගයට අනුව ඉකුත් 04 වැනිදා පොලිසිය වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව – CCD සමඟ මෙම ඉදිකිරීම අයින් කරන්න ඇවිත් තියෙනවා. ඒ වෙලාවේ විහාරයේ පාර්ශවය සහ CCD එකඟතාවයකට ඇවිත් දින හතකින් එය ඉවත් කරනවා හෝ වෙනත් යම් ක්‍රියාමාර්ගයක් ගන්නා බවට වරාය පොලිසියේදී පොරොන්දු වී තිබෙනවා.

පසුව මොවුන් පොලිසියට ගොස් පැමිණිල්ලක් දානවා – ‘කලින් නගර සභාව Thilak Perera මහත්මයාට විරුද්ධව 2024 දී පවරන ලද අනවසර ඉදිකිරීමේ නඩුවට අදාළව සාක්ෂියක් ලෙස තිබෙන්නේ මෙම කඩය හේතුවෙන් එය ඉවත් කළ නොහැකි’ බව.

– එතකොට පොලිසිය කියලා තියෙනවා – ඒක අදාල නෑ.
– විහාරයේ පාර්ශවය – හරි එහෙනම් අපිට දවස් හතක් දෙන්න ඒ ඇතුළෙ අපි අධිකරණයට ගිහිල්ල නඩුවක් දාන්නම්.
– පොලිසිය – හරි වැඩ කරන දවස් හතක් දෙන්නම්.

හරියටම ඒ කියපු දවස් 07 ඉවර වුණේ ගිය සිකුරාදා. ඊළඟට එන වැඩ කරන දවස අද. එතකොට එතනට බුදුපිළිමයක් ආවේ ඊයේ, ඒ කියන්නේ 16 ඉරිදා.

⏩️ මේක ගැන එතන හිටපු උසස් පොලිස් නිලධාරියෙකුගෙන් ඇහුවා. එතකොට ඔහු මේක තවත් සරලව පැහැදිලි කරා.

“වෙරළ ආරක්ෂණ පනත යටතේ විවිධ සීමා තිබෙනවා. ඒ අනුව වෙළඳසැල් පවත්වාගෙන යාම සඳහා පුද්ගලයන්ට අවසර ලබාදීලා තියෙනවා. හැබැයි ඒ Agreement එකේම ‘මෙච්චර කාලයයි කරන්න පුලුවන්’ කියන එකත් කියලා තියෙනවා. ඒ කාලය ඉවර වුණාම Agreement එක එයා ආපහු Renue කරගන්න ඕන.

මධ්‍යම පරිසර අධිකාරිය, ප්‍රාදේශීය ලේකම්, UDA, UC ඇතුළු ආයතනවලින් වාර්තා ටිකත් ලබාගන්න ඕනෙ. හැබැයි ඒ වෙළඳ ආයතනයට දීපු වර්ග අඩි ප්‍රමාණයෙන් එහාට එයාලට යන්න බෑ. ඕක තමයි නීතිය.

මෙතන කඩේ තිබුණු ප්‍රශ්නය මේගොල්ලෝ ඒ දීලා තිබුණු වර්ග ප්‍රමාණයට වඩා එහා ගිහිල්ලා පොඩි පොඩි හට්ස් ගහලා කරගෙන ගිය. එතකොට CCD එකෙන් ඇවිල්ල ඒවා නැවැත්තුවා. ඒ ප්‍රශ්නය විසඳුනා.

ඊට පස්සේ ආයෙමත් Agreement එක Renue කරනකොට කලින් දීලා තිබුණු වර්ග අඩි 127, 400 ගානට ගියා. එතකොට ආයෙමත් ප්‍රශ්නයක් ආවා. ඊට පස්සේ මේගොල්ලන්ගේ Permit එක Cancel කරා. දින හතක් ඇතුළේ මේක අයින් කරන්න කියලා තහනම් නියෝගයක් ආවා.

පස්සේ පොලිසියට ඇවිල්ල කතා කරලා එකඟතාවයකට ආවා තව දින හතක් ඇතුළේ මේකට විසඳුමක් දෙන්නම් කියලා. ඒ දින හත ඉවර වුණේ ඉකුත් සිකුරාදා. ඒ අතර තමයි මේගොල්ලෝ මෙතන මේක හැදුවේ. ඒ වෙලාවේ වෙරළ සංරක්ෂණය අධිකාරිය ඇවිල්ල අපිට පැමිණිල්ලක් කරා මෙහෙම අනවසර ඉදිකිරීමක් හදල තියෙනව කියල.

වෙරළා සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරන දෙපාර්තමේන්තුව යටතේ තිබෙන ඕනෑම වෙරළකින්ම ආගමික ස්ථානයක් හෝ වෙනත් ඕනෑම ඉදිකිරීමක් කරනවානම් නිසි අනුමතිය ලබාගත යුතුයි. නමුත් මෙහිදී එවැනි කිසිදු අනුමැතියක් ලබාගෙන නෑ. ඒකයි ඒ අය කිව්වේ මේක අයින් කරන්න කියලා..”

භූමිය කියන්නේ මනුස්සයෙක්ට ඉතාමත්ම සංවේදී කාරණාවක්. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය කියන්නේ මෙවැනි ම් සම්බන්ධයෙන් වූ ගැටලු වලට ඉතාමත් ප්‍රසිද්ධ දිස්ත්‍රික්කයක්. පුරාවිද්‍යාව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්පත් කරගෙන තියෙන ඉඩම් දහස් ගණන් මේ දිස්ත්‍රික්කය පුරාවටම තියෙනවා. එවැනි මොහොතක තමයි මේ සිද්ධිය වෙන්නේ.

හැමෝම තමන්ට අවශ්‍ය කෑල්ල විතරක් අරගෙන දුවනවා. මාධ්‍ය වාර්තා කරන්නෙත් ‘හිට් වෙන කෑල්ල’ විතරයි. මේ ප්‍රශ්නය මෙතනින් ඉවර වෙන එකක් නෙමෙයි. ඇතැම් විට මේකම විශාල ප්‍රශ්නයක ආරම්භයක් වෙන්නත් පුළුවන් !!

– Shabeer Mohamed

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here