රජය විසින් ධීවරයන් වෙත ලබා දීමට යන ඉන්ධන සහනාධාරය පිළිබඳව පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළේය.
ඒ පිළිබඳව මීගමුව,ප්‍රදේශයේ වෙසෙන බොහෝ ධීවරයන් මේ වනතුරු නිසි ලෙස දැනුවත් ව නොමැති අතර එම ඉන්ධන සහනාධාරය ලැබෙන ආකාරය, කාලවකවානුව සහ ධීවර සහනාධාරය ලබා ගැනීමට කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව බොහෝ දෙනෙකුට නිසි වැටහීමක් නොමැති බව සඳහන් කළ හැකිය. විශේෂයෙන්ම මෙම සහනාධාර වැඩසටහන සඳහා සෘජුව ක්‍රියකාරී වන රජයේ ආයතනය වන දිස්ත්‍රික් ධීවර කාර්යාලවල නිලධාරීන්ටද රජය විසින් මේ පිළිබඳව මේ වන විටත් නිසි ලෙස දැනුවත් කිරීමක් සිදු කර නොමැති බව වාර්තා වේ. කෙසේ වෙතත් රජය විසින් ධීවර ජනතාව වෙත කුමන හෝ ඉන්ධන සහනාධාරයක් ලබාදීමට මුල පිරීම පිළිබඳව ධීවරයන් බහුතරයක් සිය සතුට පළ කලහ.
නිව්ටන් තමෙල් මහතා- හිටපු සභාපති මීගමුව-වැල්ලවීදිය ශාන්ත පීතර ග්‍රාමීය ධීවර සංවිධානය.
“”දැනට රජය විසින් ධීවරයන් වෙත ලබා දී ඇති ඉන්ධන සහනාධාරය පිළිබඳව යම් ආකාරයකින් සෑහීමකට පත්වීමට පුළුවන්. ඉන්ධන අර්බුදයක් සහ ආර්ථික ප්‍රශ්න ගණනාවක් රට තුළ මතුවෙලා තියෙන අවස්ථාවක රජය විසින් ධීවරයන් වෙත ලබා දුන් මේ සහනාධාරය ගැන ධීවරයන් හැටියට සතුටුයි. නමුත් තවම මෙය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන එක ගැන අපි දැනුවත් නැහැ.ධීවර සමිති මට්ටමින් මෙම සහනාධාරය ක්‍රියාත්මක වෙනවා කියන එක දැනගන්න ලැබුණා. කොහොම වුණත් ධීවරයන් වෙනුවෙන් යම් සහනාධාර වැඩපිලිවෙලක් ක්‍රියාත්මක වීම පිළිබඳව අපි සතුටු වෙනවා “.
රොඩ්නි ප්‍රනාන්දු මහතා – හිටපු සභාපති
මීගමුව,වැල්ලවීදිය , ඒකාබද්ධ ධීවර සංවිධානය.
” ඇත්තෙන්ම රජය මේ වාගේ ආර්ථික ප්‍රශ්න ගනනාවකට මුහුණ දීලා තියෙන අවස්ථාවක ධීවරයන් වෙනුවෙන් ඉන්ධන සහනාධාරයක් ලබා දීමට කටයුතු කිරීම ගැන ඇත්තෙන්ම අපි සතුටු වෙනවා. නමුත් මෙය කවදා ද ආරම්භ වන්නේ, ඒ වගේම මෙම ඉන්ධන සහනාධාරයේ වටිනාකම සහ එය ලබා දෙන ක්‍රමවේදය ගැන අපිට තවමත් නිසි දැනුවත් කිරීමක් කරලා නැහැ.. කොහොම වුනත් රජය විසින් කොයි ආකාරයක හෝ ඉන්ධන සහනාධාරයක් ලබාදීම පිළිබඳව අපි ඇත්තෙන්ම සතුටු වෙනවා”.











