ප්‍රවෘත්ති නිවේදනය මාධ්‍ය නිදහසට එරෙහි සියලු තර්ජන වහාම නවත්වන්න!

0
294

ප්‍රවෘත්ති නිවේදනය
මාධ්‍ය නිදහසට එරෙහි සියලු තර්ජන වහාම නවත්වන්න!

‘අරුණ’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ CID යට කැඳවීම දැඩි ලෙස හෙළා දකිමු.
වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය (Professional Web Journalists’ Association – PWJA) ලෙස අප, ‘අරුණ’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) හමුවේ පෙනී සිටින ලෙස ලැබුණු කැඳවීම සහ නොවැම්බර් 22 දින පුවත්පත් කාර්යාලයට පැමිණ ප්‍රකාශයක් ලබා ගැනීමට උත්සාහ කිරීම දැඩි ලෙස හෙළා දකිමු.

පුවත්පතේ පළ වූ ‘ග්‍රාම නිලධාරී සහතිකය මදි පොලිස් වාර්තා ගන්න මහජන කමිටු ප්‍රධානීන්ගේ අනුමැතිය ඕනෑ’ යන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් රට තුළත් පාර්ලිමේන්තුව තුළත් දැඩි කතාබහට ලක් වූ තත්ත්වයක් තුළ මෙම ක්‍රියාමාර්ග ගැනීම ප්‍රජාතන්ත්‍රවාදී මාධ්‍ය නිදහසට එල්ල කරන ලද සෘජු ප්‍රහාරයක් ලෙස අප සලකමු.

තවද පාර්ලිමේන්තුව තුළ මහජන ආරක්ෂක අමාත්‍යවරයා විසින් පුවත්පතේ කතුවරයා වරප්‍රසාද කමිටුවට කැඳවන බවට තර්ජනය කිරීම සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ‘විකෘති පුවත්’ පිළිබඳ ප්‍රකාශ නිකුත් කිරීම මාධ්‍යවේදීන් මත දේශපාලන බලපෑම් ඇති කිරීමට දරන උත්සාහයන් ලෙස අප දකිමු. මෙම ප්‍රවෘත්තියේ සත්‍යතාවය විපක්ෂ නායකවරයා ඇතුළු මන්ත්‍රීවරුන් විසින් මෙන්ම අනෙකුත් මාධ්‍ය ආයතන විසින්ද තහවුරු කර තිබියදී මෙම ක්‍රියාමාර්ග ගැනීම වහාම නැවැත්විය යුතු බව අපගේ අදහසයි.

එසේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායමක් පුවත්පත් කාර්යාලයට පැමිණීම යනු විමර්ශනයකට වඩා, සමස්ත මාධ්‍ය ක්ෂේත්‍රය බිය ගැන්වීමක් බව පැහැදිලිය. මෙවැනි ක්‍රියාමාර්ග මගින් ස්වාධීන වාර්තාකරණයට බාධා වන අතර, ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය අහිමි වන බව අවධාරණය කල යුතුය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙනුවට සහකාර පොලිස් අධිකාරීවරයෙකු විසින් මෙම දැනුම්දීම කර තිබීම සම්බන්ධයෙන් ද අප සංගමයේ අවධානය යොමු වී ඇති අතර ම එතුලින් මාධ්‍යවේදියෙකුගේ වෘත්තීය ගෞරවය කඩවීමක් සිදුව ඇති බවත් අප තවදුරටත් අවධාරණය කරමු.

එසේම වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අප, අදාළ බලධාරීන්ගෙන් වහාම ඉල්ලා සිටින්නේ, ‘අරුණ’ පුවත්පතේ ප්‍රධාන කර්තෘ මහින්ද ඉලේපෙරුම මහතාට එරෙහිව කරන ලද මෙම අසාධාරණ කැඳවීම සහ බලපෑම් වහාම ඉවත් කරගන්නා ලෙසයි. මාධ්‍යවේදීන්ට බියකින් තොරව තම වෘත්තීය කටයුතු කරගෙන යාමට ඉඩ සලසා දෙන ලෙසත්, මෙම නින්දිත ක්‍රියාවන්වලට එරෙහිව එකතුවන ලෙසත් අපි සියලු මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටිමු.

IMG 20251125 WA0002

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here