කාර්ය මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීම් අනුව, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයෙන් අය කරනු ලබන ආහාර ගාස්තු සංශෝධනය කිරීමට කථානායකවරයාගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු සභා කමිටුව තීරණය කර ඇති බව නිව්ස්වයර් වෙබ් අඩවිය වාර්තා කර තිබුණි.
පසුගිය 20 වනදා පාර්ලිමේන්තුවේ පැවති කමිටු රැස්වීමේදී මෙම සංශෝධනය අවසන් කරන ලදී. 2025 ජූලි 1 වන දින සිට බලපැවැත්වෙන නව තීරණයට අනුව, විධායක මට්ටමේ නිලධාරීන්ගෙන් මසකට රු. 3,000 ක් (පෙර රු. 4,000) අය කරනු ලබන අතර, විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් මසකට රු. 2,000 ක් (රු. 2,500 සිට අඩු කරන ලදී) අය කෙරේ.
මූලික මිලකරණ ව්‍යුහය මැයි 23 වන දින රැස්වීමේදී තීරණය කර ඇති අතර එය 2025 ජුනි 1 වන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබුණි. කෙසේ වෙතත්, කාර්ය මණ්ඩල අභියාචනා මත පදනම්ව අනුපාත නැවත ඇගයීමට ලක් කරන ලදී.
මේ අතර මන්ත්‍රීවරුන්ගේ රියදුරන්, පොලිස් නිලධාරීන්, ජනාධිපතිවරයාගේ/අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරීන් සහ පාර්ලිමේන්තු ආපනශාලාව භාවිතා කරන මාධ්‍යවේදීන් සඳහා ආහාර මිල ගණන් නොවෙනස්ව පවතින බව ද කමිටුව තීරණය කර තිබුණ බවද එම පුවතේ වැඩිදුරටත් සඳහන්ය. .












