සිය කාර්ය මණ්ඩලයේ සේවයේ නියුතුව සිටි 21හැවිරිදි තරුණයෙකුට අමානුෂිකව පහර දිමේ සිද්ධියක් නිසා පසුගිය දිනවල මෙරට මහත් ආන්දෝලනයකට තුඩු දුන් ටීචර් අම්මා යන අනුවර්ත නාමයෙන් හැඳින්වූ හයේෂිකා ප්‍රනාන්දු නැමැති ශිෂ්‍යත්ව ටියුෂන් ගුරුවරිය පිළිබඳව නැවතත් සමාජය තුළ කතාබහකට ලක් වී තිබේ. එයට හේතු වන්නේ ඇය නැවතත් පෙර පරිදිම සිය ටියුෂන් පන්ති ආරම්භ කර තිබීම සහ ටියුෂන් පන්ති පදනම් කර ගනිමින් විවිධ වූ ප්‍රවර්ධන ප්‍රචාරක වැඩසටහන් දියත් කර තිබීම හේතුවෙනි.
හයේෂිකා ප්‍රනාන්දුගේ නැමැති මෙම ටියුෂන් ගුරුවරියගේ පහරදීමෙන් ඇයගේ අධ්‍යාපන ආයතනයේ සේවය කළ රිතික් ත්‍රිෂාල් නමැති එම තරුණයාගේ වෘෂණ කෝෂ ඇතුළු යටි බඩ ප්‍රදේශයට දරුනු සහ අමානුෂික පහර එල්ල වීමෙන් පළමුවෙන්ම මීගමුව රෝහලේ සහ, එලෙසම රාගම රෝහලේ ද, අවසානයේ කොළඹ ජාතික රෝහලේ ද ඔහුට ප්‍රතිකාර ලබන්නට සිදු විය.
එහිදී මෙම තරුණයට පහර දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ප්‍රධාන සැකකාරිය වන්නේ හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තියයි. නමුත් ඇයව අත්අඩංගුවට ගැනීමට පොලිසයට නොහැකි වූ අතර ඒ වෙනුවට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණේ ඇයගේ සැමියා සහ ඇයගේ අධ්‍යාපන ආයතනයේ කලමනාකාරවරයාවයි. පසුව හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තිය, අධිකරණයට භාර වූ අතර ඇයව සහ ඇගේ සැමියාද, එම අධ්‍යාපන, ආයතනයේ කළමනාකරු ද, එලෙසමමෙම තරුණයාට පහර දීමට අනුබල දුන් සහ එම පහරදීම වීඩියෝ ගත කළ තරුණයන් දෙදෙනෙකුටද අධිකරණයෙන් නිකුත් කළ ශරීර ඇප මත මුදා හරින ලදී.
ඒ අනුව එම නඩුව එළඹෙන සැප්තැම්බර් මාසයේ 17 වැනි (17/09) දින විභාගයට ගැනීමට නියමිතව ඇත
එමෙන්ම හයේෂිකා ප්‍රනාන්දු නැමැත්තියගේ පාර්ශවයෙන් මෙම තරුණයාට චෝදනාවක් එල්ල කර තිබුණු අතර එම චෝදනාව සඳහා කටාන පොලිසියෙන් ලද පැමිණිල්ලක් මත මීගමු මහේස්ත්‍රාත් අධිකරණයේ වෙනමම නඩුවක් විභාග වෙමින් පවතී. එනම් මෙම තරුණයාට එම පහර දීම සිදුවු දිනයේ ඔහු විසින් එම අධ්‍යාපන ආයතනයේ සේවයේ නියුතුව සිටින 24 හැවිරිදි තරුණියකට ලිංගික අතවරයක් කිරීමට යමේ සිද්ධියක් සම්බන්ධවයි. එම සිදුවීම සඳහා වෙනමම නඩු විභාගයක් සිදුවන අතර එහි වැඩිදුර විභාගය එළඹෙන ජූලි මස 16 වැනි (16/07) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග වීමට නියමිතව ඇත.
පසුගිය කාලයේදී වාර්තා වූයේ හයේෂිකා ප්‍රනාන්දු හෙවත් ටියුෂන් අම්මා නැවත පෙර පරිදි උපකාරක පන්ති සේවාවේ එනම් ටියුෂන් පන්ති සිදු නොකරන බවයි. එහෙත් මේ වන විට ඇය, ඇයගේ පූර්ව ප්‍රචාරක උපක්‍රම භාවිතා කරමින් සහ විවිධ ප්‍රචාරක ප්‍රවර්ධන කටයුතු විවිධ ජනමාධ්‍යන් ඔස්සේ භාවිතා කරමින් සිය නැතිවුනු ප්‍රතිරූපය නැවත ගොඩනඟා ගැනීමේ උත්සාහයක යෙදෙන බව පෙනෙන්නට තිබේ.
එලෙසම හයේෂිකා ප්‍රනාන්දු හෙවත් ටීචර් අම්මාගේ අමානුෂික ප්‍රහාරයකට ලක් වු යැයි කියන තරුණයාගේ කායික රෝගී තත්වයන් යම් ආකාරයකට සුවතාවයකට ලක් වී ඇතත් මේ වන විට ඔහු දැඩි මානසික කම්පනයකට හා මානසිකව දැඩි කඩාවැටීමකට ලක් වී ඇති බවද වැඩි දුරටත් වාර්තා විය.
පිටර් ප්‍රනාන්දු – කඳවල












