” මල්ලිකා කැෆේ සහ බනිස් පොලිටික්ස් මීගමුව මහසභාවටත් ??

0
755


අද දින (06/11/2025) පෙරවරුවේ මීගමුව මහා නගර සභාවේදී නොවැම්බර් මාසයට අදාල මාසික මහා සභා රැස්වීම පැවැත්විණි. එහිදී මහා සභාවට අදාළව ගෙනා ආ එකම නා. මන්ත්‍රී යෝජනාව ඉදිරිපත් කර තිබුණේ නියෝජ්‍ය නගරාධිපති චාමර ප්‍රනාන්දු විසිනි. එම යෝජනාව මෙසේය …

පරිසරයට සිදුවන හානිය වළක්වා ගැනීම හා නගර අලංකරණයට ඇතිවන බාධා මගහරවා ගැනීම අරමුණු කර ගනිමින් පරිසර හිතකාමී නොවන හා නොදිරන ද්‍රව්‍ය භාවිතයට විකල්පයක් මෙන්ම, සභාවේ ආදායම් උත්පාදනය කිරීමේ ප්‍රභවයක් ලෙස මීගමුව මහා නගර සභා බල ප්‍රදේශයේ , නගර සභා භූමිය ඇතුළු තවත් හඳුනාගත් ස්ථාන කීහිපයක ඩිජිටල් දැන්වීම් පුවරු සකස් කර සභාවේ අධීක්ෂණය යටතේ ස්ථාපිත කළ යුතු ය.

මෙම යෝජනාව ඉදිරිපත් කරමින් නියෝජ්‍ය නගරාධිපතිවරයා ප්‍රකාශ කළේ මීගමුව වැනි සුවිශේෂී නගරයක තවමත් අත්පත්‍රිකා හෙවත් හෑන්ඩ් බිල්, පෝස්ටර් වැනි පරිසර හිතකාමී නොවන දේවල් භාවිතාවෙන් නගරය අපවිත්‍ර වන බවත්, එය නගරයේ අලංකරණයට බාධාවක් වී ඇති බවත් ය. ඒ නිසා නගරයේ ජනතාවට ආකර්ෂණය වන ස්ථාන කිහිපයක් තෝරාගෙන නගර සභාවේ අධීක්ෂණය යටතේ ඩිජිටල් දැන්වීම් පුවරු පහක් පමණ නගරයේ ස්ථාපිත කිරීම මගින් නගර සභාවට යම් ආදායමක් ද ලබාගත හැකි බවද ඔහු මෙම යෝජනාව ඉදිරිපත් කරමින් සභාවේ අවධානයට ලක් කළේය . ඒ අනුව නියෝජ්‍ය නාගරාධිපතිවරයා පැවසුවේ තමා ඉදිරිපත් කළ මෙම යෝජනාව ඉතාම කාලෝචිත යෝජනාවක් බවයි.

සමාජ මාධ්‍ය සහ වෙබ් අතර ⁣වෙනස නොදන්නා මන්ත්‍රිවරයෙක්  ..

මෙහිදී නැගී සිටි ආණ්ඩු පක්ෂයේ (ජනබලවේග) නාගරික මන්ත්‍රී මොහාන් අබේසේකර සභාවට ප්‍රකාශ කළේ මේ ඉතාම වටිනා සහ කාලෝචිත යෝජනාවක් බවයි. එමෙන්ම ඒ අවස්ථාවේදී ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙවැනි හොඳ ව්‍යාපෘති ගෙන එද්දී ඒවායේ අඩුපාඩු පිළිබඳව පමණක් බලන පිරිසක් සිටිනා බවයි. එම තත්ත්වයන් අප විසින් ගණන් නොගත යුතු තත්ත්වයක් බවද ඔහු එහිදී පැවසීය. නමුත් ඔහු පවසන්නේ එවැනි දේ සමාජ මාධ්‍ය හරහා පිරිසක් ප්‍රචාරය කරන බවයි. ඒ අනුව ඔහු ප්‍රකාශ කළේ ඊයේ රාත්‍රියේද එවැනි දෙයක් පලකර ඇති බවයි. ඒ අනුව ඔහු පැවසුවේ ඊයේ රාත්‍රියේ
” මල්ලිකා කැෆේ සහ මීගමුවේ බනිස් ” යනුවෙන් පුවතක් එක්තරා සමාජ මාධ්‍යයක් තුළ පලකර ඇති බවයි. ඔහු පවසන්නේ මෙයි න් කියැවෙන්නේ අප විසින් මේ සභාවේ අහිංසක කම්කරුවන්ට නගර සභාවේ ද වියදමක් නැතිව බනිස් ගෙඩියක් සහ කැෆේ එකක් ලබා දෙන එක බවයි. එය මාසිකව රුපියල් 50000ක පමණ වියදමක් බවත් ප්‍රකාශ කළ ඔහු ඒ පිළිබඳව තවත් විස්තර කරමින් ප්‍රකාශ කිරීමට යාමේදී නගරාධිපති රොබට් හින්කෙන්ද මොහාන් අබේසේකර නාගරික මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශයට බාධා කරමින් ප්‍රකාශ කළේ
” මන්ත්‍රීතුමා මේ යෝජනාවට අදාළව කතා කරන්න . නැතිනම් අපේ සභාව න්‍යාය පත්‍රයෙන් පිට යනවා ” යනුවෙන් පැවසීය.

ඉන්පසුවද මොහාන් අබේසේකර නගරික මන්ත්‍රීවරයා පවසා සිටියේ අප මේ යෝජනාව කරන්නට යද්දි ද, සාමාන්‍යයෙන් මීගමුවේ හොඳ දෙයක් කරන්න යද්දි බාධා පැමිණිය හැකි බවයි.. එහිදීද නැවත නගරාධිපති රොබට් හීන්කෙන්ද මොහාන් අබේසේකර නාගරික මන්ත්‍රීවරයා ඇතුළු සභාවට ප්‍රකාශ කලේ සමාජ මාධ්‍යවල පලවන දේ ගැන ගණන් ගන්න එපා යනුවෙනි.

කොහෙද යන්නේ මල්ලේ පොල් ..

ඉන් පසුවද සභාව ආමන්ත්‍රණයට අවතීර්ණ වූ මොහාන්  අබේසේකර මන්ත්‍රීවරයා මාධ්‍යවේදීන් යැයි කියාගන්නා පිරිසක් … යනුවෙන් ප්‍රකාශ කිරීමේදී නගරාධිපති රොබට් හීන්කෙන්ද  ප්‍රකාශ කළේ “මන්ත්‍රීතුමා නියෝජ්‍ය නගරාධිපතිතුමාගේ යෝජනාවට අදාළව පමණක් අදහස් දක්වන්න ” යනුවෙනි.

කෙසේ වෙතත් මෙහිදී මොහාන් අබේසේකර නාගරික මන්ත්‍රීවරයාට සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය අඛණ්ඩව ඉදිරියට කරගෙන යාමට නගරාධිපති රොබට් හීන්කෙන්ද ගෙන් එල්ල වූ බාධා කිරීම් නිසා නොහැකි විය. ඒ අනුව නා.මන්ත්‍රීවරයා සිය කතාව අවසන් කරමින් ප්‍රකාශ කළේ නියෝජ්‍ය නගරාධිපතිවරයා ගෙනා ආ මෙම යෝජනාව ඉතාම කාලෝචිත යෝජනාවක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here