කටාන ප්‍රාදේශීය සභාවේ අරමුදල් වැය කරමින් සිදුකරන මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳව කටාන ප්‍රාදේශීය සභා සභාපතිනි නිෂානි ඉරේෂා මහත්මිය විසින් පෙබරවාරි මස මහා සභාවට යෝජනාවක් ඉදිරිපත් කළාය . එහිදී එම යෝජනාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමේදී සභාවේ ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ සභිකවරු අතර දැඩි උණුසුම් වාග් ප්‍රහාර හුවමාරු වුහ. එම උණුසුම් වාග් ප්‍රහාර අතරතුරේදී සභාපතිනියගේ අණකිරීම් සහ විධානයන්ටද නතු නොවෙමින් එම යෝජනාවට පක්ෂව සහ ඊට එරෙහිව පක්ෂ විපක්ෂ සභිකවරුන් කිහිපදෙනකුම සභාවේ එකවර නැගී සිටීමින් අදහස් දැක්වු ආකාරය දැකගත හැකි විය.
පසුගිය 24 වැනි දින (24/02/2026) පෙරවරුවේ පෙබරවාරි මාසයට අදාළ මහා සභා රැස්වීම, කටාන ප්‍රාදේශීය සභා ප්‍රධාන ශාලාවේ පැවති අවස්ථාවේදී මෙම උණුසුම්කාරී තත්ත්වය ඇතිවිය.
මෙහිදී විපක්ෂයේ , හෙවත් ස්වාධීන කණ්ඩායමේ උපුල් ප්‍රියන්ත (මංජුල) සභිකයා විසින් ප්‍රශ්න කලේ කටාන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කඳවල කොට්ඨාශයේ ” සූරිය මාවත” ට යා වන අඩි 8 ක පළලින් යුත් කුඩා මාර්ගයක් ඒ.බී සී අඟල් 06 ක ප්‍රමාණයක් සහ කොන්ක්‍රීට් අඟල් 06 ක ප්‍රමාණයක්ද අතුරා එම කුඩා මාර්ගය කොන්ක්‍රීට් කර සංවර්ධන කිරීමට දෙකෝටි තිස් හතර ලක්ෂයකට අධික මුදලක් වැය කර ඇත්තේ කෙලෙසකද ? කියාය. එවැනි කුඩා මාර්ගයකට එතරම් විශාල මුදලක් වැය කිරීම පිළිබඳව මෙහිදී ඔහු සභාපතිනිය ඇතුළු ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්න කලේය. ඉන් පසුව නැගී සිටි ආණ්ඩු පක්ෂයේ සේන මුණසිංහ, අජන්ත පණ්ඩිතරත්න, ඇතුළු තවත් සභිකවරුන් කිහිප දෙනෙකුම ඊට එරෙහිව සහ කටාන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ සංවර්ධනය කරන සහ සංවර්ධනය කළ යුතු මාර්ග සම්බන්ධයෙන් අදහස් දැක්වූහ.
එලෙසම විපක්ෂයේ හෙවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසේල නිරෝෂන් සභිකවරයා නැගී සිටිමින් ප්‍රකාශ කළේ සභා අරමුදල් වැය කරමින් සිදු කරනු ලබන සුළු පරිමාණ මාර්ග සංවර්ධනය කිරීම් සඳහා ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරු හෙවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ බලවතුන් පවා කැඳවා විවෘත කිරීම් හා කතා පැවැත්වීම් ආදී කටයුතු පිළිබඳව ඔහු විවේචනාත්මකව අදහස් ඉදිරිපත් කලේය. ඉන්පසු ආණ්ඩු පක්ෂයේ සභිකවරුන් කීහිපදෙනෙකුද ඊට එරෙහිව අදහස් දැක්වූ අතර එහිදී ඔවුන් ප්‍රකාශ කළේ පෙර ආණ්ඩු කාලවලදී කොන්ක්‍රීට් කර හෝ කාපට් අතුරා මාර්ග සංවර්ධනය කර පසුගිය ආණ්ඩු වල හිටපු දේශපාලන බලවතුන්ගේ ඡායාරූප හා නම් ප්‍රදර්ශනය කල ආකාරයයි. ඒ අනුව ආණ්ඩු පක්ෂ සභිකවරුන් මෙහිදී එවන් සිද්ධීන් කිහිපයක්ද සිහිපත් කළහ.
ඉන් අනතුරුව විපක්‍ෂය නියෝජනය කරන සභිකවරුන් කිහිප දෙනෙකුම ප්‍රකාශ කළේ පෙර ආණ්ඩු කාලයන්හී සංවර්ධන වැඩ සිදුකළ කොන්ත්‍රාත්කරුවන් හොරුන් ලෙස හැඳින්වූ බවත්, මේ වනවිට එම කොන්ත්‍රාත්කරුවන්වම වත්මන් පාලකයන් ද ළඟ තබාගෙන ඔවුන් මේ වන විට හොඳ අය ලෙස හඳුන්වා දෙන බවයි. එලෙසම විපක්ෂ සභිකවරුන් මෙහිදී නැගූ චෝදනාවක් වූයේ වර්තමාන ජන බලවේග පාලනය පැමිණියේ හැම කාර්යයක්ම විධිමත්භාවයෙන් සිදු කරන බවට ප්‍රකාශ කරමින් වුවත් මේ වනවිට ඔවුන් විසින් සිදු කරන සියලු කාර්යයන් අවිධිමත්ව සිදු කරන බවයි..
ඉන්පසුවද ආණ්ඩු පක්ෂ සභිකවරුන් කිහිප දෙනෙකුම ඊට ප්‍රතිවිරුද්ධව අදහස් ප්‍රකාශ කළ අතර එහිදී සභාවේ විශාල කාලගෝට්ටියක් ඇති විය.
සභාපතිනිය විසින් මේ අවස්ථාවේදී සභාව පාලනය කිරීමට කෙතරම් උත්සාහ ගත්තද පක්ෂ විපක්ෂ බොහෝ සභිකයන් සභාපතිනියගේ අණකිරීම් හා විධානයන්ට නතු නොවී දිගින් දිගටම සභාව තුළ එකිනෙකාට එරෙහිව වාග් ප්‍රහාර එල්ල කරගන්නා ආකාරය දැක ගත හැකි විය.
කෙසේ වෙතත් මෙහිදී සභාපතිනිය ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සභිකවරුන්ගෙන් ප්‍රශ්න කළේ “” මේ විදිහට මරාගන්න ගියොත් අපි මේ සභාවේ වැඩ කටයුතු මහජන නියෝජිතයින් ලෙස ඉදිරියට ගෙනයන්නේ කෙසේදැයි “” කියාය.. ඒ අනුව දැඩි පරිශ්‍රමයකින් සහ සභාපතිනියගේ දීර්ඝ අදහස් දැක්වීමකින් අනතුරුව සභාව යම්තාක් දුරකට පාලනය කරගත හැකි තත්ත්වයකට පත්විය.
ඒ අනුව අවසානයේ සභාපතිනිය විසින් ප්‍රකාශ කළේ කඳවල, සූරිය මාවතට යා වන කුඩා මාර්ගය ඒ.බී.සී. දමා කොන්ක්‍රීට් කර ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියේ ( ආර්.ඩී.ඒ.) අරමුදල් වලින් බවයි. එලෙසම එය අඩි 08 ක් නොව අඩි 10 ක් පළලින් යුත් පාරක් බවත්, එම මාර්ගය සංවර්ධනය කිරීමේදී කටාන ප්‍රාදේශීය සභාවේ කිසිදු මුදල් වැයවීමක් සිදු කර නොමැති බවත්, එම මාර්ගය සංවර්ධනය කිරීම සඳහා තෝරා ගෙන ඇත්තේ ද මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් විසින්ම බවත්, ඇය එහිදී අවධාරණය කළාය.
සභාපතිනි ,නිෂානි ඉරේෂා

අසේල නිරෝෂන් (ශ්‍රීලනිප)

උපුල් ප්‍රියන්ත (ස්වාධීන)













