මාරිස් 89 ආදී සිසු කණ්ඩායමෙන් මීගමුව රෝහලේ බාහිර රෝගීන්ට විවේක කලාපයක්’

0
753

WhatsApp Image 2025 08 12 at 03.02.08 aa89d97f

මීගමුව මරිස්ටෙල්ලා විද්‍යාලයේ 1989 ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින් මීගමුව රෝහලේ බාහිර රෝගී අංශයට (OPD) දිනපතා ප්‍රතිකාර ලබා ගැනීම පිණිස පැමිණෙන දහස් ගණනින් යුත් රෝගී ජනතාවට මෙතෙක් කාලයක් මහත් අඩුපාඩුවක්ව පැවති ” නිදහස් විවේක කලාපයක් ” හෙවත් රෙස්ට් එරියා එකක් නිර්මාණය කරදීමේ සද් කාර්යයකට මුල පුරා ඇත.
ඉතා නුදුරේදීම මීගමු රෝහලේ ස්ථාපිත වන ” ගරු ක්ලින්ටන් සහෝදර විවේකී සෙවන” නමින් නම් කර ඇති මෙම නිදහස් විවේකී කලාපය නිර්මාණය කර ස්ථාපිත කිරීම වෙනුවෙන් වන සමාරම්භක නිල උත්සවය පසුගිය 07 වන දින (07/08/2025) සවස මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයේදී පැවැත්විණි.

මෙම සමාරම්භක නිල උත්සවය සඳහා මාරිස් නිකායේ දකුණු ආසියානු ප්‍රාදේශියාධිපති නික්ලස් ප්‍රනාන්දු , මාරිස් නිකායේ සහායක භාණ්ඩාගාරික චාමර හෙට්ටිආරච්චි සහ එම විද්‍යාලීය ප්‍රාථමික අංශයේ හිටපු විදුහල්පති සේල්ස් ප්‍රනාන්දු යන ගරු සහෝදරුතුමන්ලා ද එලෙසම ගරු ක්ලින්ටන් පෙරේරා සහෝදරතුමන්ගේ ඥාතීන් පිරිසක් ඇතුළුව තවත් ආරාධිත අමුත්තන් පිරිසක් ද සහභාගි වූහ.

මරිස්ටෙල්ලා විද්‍යාලීය 1989 ආදි ශිෂ්‍ය කණ්ඩායම මෙම ව්‍යාපෘතිය සඳහා එම විද්‍යාලයේ වර්ෂ1979 -1989 දශකය තුළ එම විද්‍යාලයේ විදුහල්පති ධූරය දැරූ ගරු ක්ලින්ටන් පෙරේරා සහෝදර තුමාගේ නමින් විශේෂිත අරමුදලක් ද පිහිටුවා තිබේ. මේ වන විට 85 වන වියේ පසුවන එතුමන් රෝගාතුරව කල් ගෙවන අතර මෙහිදී මෙම සමාරම්භක නිල උත්සවයට පෙරාතුව මාරිස්ටෙල්ලා විද්‍යාලයේ විශ්‍රාමික හිටපු විදුහල්පති ගරු ක්ලින්ටන් පෙරේරා සහෝදරතුමන්ට සුවය සහ ශාන්තිය පතමින් විශේෂ අසිරි දිව්‍ය මෙහෙයක් ද පැවැත්විය. එම දිව්‍ය මෙහෙය පවත්වනු ලැබුවේ, සිදුව “සුපුවත් අරණ” දෙව්මැදුරේ , අධ්‍යක්ෂක සහ මාරිස්ටෙල්ලා විද්‍යාලීය ආදි ශිෂ්‍යයකු වන ගරු ඩැරල් කූඤ්ඤ පියතුමන් විසිනි.

මේ අනුව මීගමුව රෝහලේ පහත මාලයේ දිගින් හා පළලින් අඩි 25 ක් පමණ වන එනම් වර්ග අඩි 625 ක පමණ වපසරියකින් සමන්විත වන මෙම කලාපය තුළ සුවපහසු ආසන 135 ක් , විදුලි පංකා කිහිපයක්, පානය කිරීමට පිරිසිදු ජලය සකසන සහ එම පිරිසිදු ජලය ගබඩා කොට තැබෙන යන්ත්‍ර ( Water Dispensers ) කිහිපයක්, පුළුල් තිර රූපවාහිනී යන්ත්‍ර 02 ක් , එලෙසම බාහිර රෝගී අංශයේ වෛද්‍යවරුන් මුණගැසීමට ස්වයංක්‍රීයව අංකයන් ලබාදීමේ ක්‍රමවේදයක් සහ තමන්ට හිමි වී ඇති අංකය ප්‍රදර්ශනය කෙරෙන ඩිජිටල් අංක පුවරුවක්ද තවද විවේකීව සිට කියවීමට හරවත් කරුණු කාරණා අඩංගු පොත්පත් සඟරා ආදිය ඇති ස්ථානයක් එලෙසම කුඩා දරුවනට මව් කිරි ලබාදීම සඳහා විශේෂිතව සකසන ලද වෙනමම ස්ථානයක් ඇතුළු තවත් බොහෝ නවීන සහ තාක්ෂණික පහසුකම් වලින් මෙම කලාපය සමන්විත වනු ඇත. ඒ අනුව මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 07 කට අධික මුදලක් වැය වන බව මේ වනවිට ඇස්තමේන්තු කර තිබේ.

එමෙන්ම මෙම කණ්ඩායමේ අදී. ශිෂ්‍ය ආචාර්ය ඩී. එස්. පීරිස් මහතා, පැවසුවේ මීගමුව රෝහලේ බාහිර රෝගී අංශයට දෛනිකව ප්‍රතිකාර පතා පැමිණෙන දහස් ගණනින් යුත් රෝගීන්ට කායිකව මෙන්ම විශේෂයෙන්ම මානසිකව විවේකීව සිට නිදහස් මනසකින් යුතුව ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය පරිසරය රෝහල තුළම නිර්මාණය කිරිමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැන්වීමට තම ආදි ශිෂ්‍ය කණ්ඩායම උත්සුක වූ බවයි. එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ මානසිකව සුවපත් වන රෝගියෙකු ඉතා ඉක්මනින්ම කායිකවද සුවපත් කළ හැකි බවයි. ඒ නිසා මෙවැනි නිදහස් විවේකී කලාපයක් නිර්මාණය කිරීමට හැකිවීම උතුම් වූ සද් කාර්යයක් බවත් ,මෙම සද් කාර්යය තුළින් ගරු ක්ලින්ටන් පේරේරා සහෝදර තුමන් සදා අනුස්මරණීය තත්ත්වයට පත්වන බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මෙම ව්‍යාපෘතිය මෙහෙයවන මාරිස්ටෙල්ලා විද්‍යාලයේ 1989 ආදි ශිෂ්‍ය කණ්ඩායමේ සාමාජිකයකු වන ෂෙනාල් ප්‍රනාන්දු මහතා පැවසුවේ විද්‍යාලයේ ආදි ශිෂ්‍ය කණ්ඩායම් කිහිපයක්ද , එලෙසම විද්‍යාලයේ විශ්‍රාමික ගුරු සංගමය සහ ක්‍රීඩා කණ්ඩායම් කිහිපයක්ද තවත් ආදි ශිෂ්‍යයන් පිරිසක්ද මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍යමය වශයෙන් දායකත්වය ලබා දීමට කටයුතු කරන බවයි.WhatsApp Image 2025 08 12 at 03.02.05 e4c0479c WhatsApp Image 2025 08 12 at 03.02.09 cb7a8e53

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here