මීගමුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අඩුවක් . … ලාදුරු සහ මී උණ රෝග ව්‍යාප්තියේ වැඩිවීමක් …

0
513

ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ වර්ධනයක් පෙන්නුම් කරන බවත්, එහෙත් මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කලාපය තුළ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම සාර්ථකව පාලනය කර ඇති. බවත් වැඩ බලන මීගමුව ,සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී , වෛද්‍ය රුවන් පෙරේරා මහතා පැවසීය.

නමුත් ඔහු පවසන්නේ මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපයට මායිම් වන කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කලාපය මෙතෙක් මීගමුව කලාපයට අවදානම් කලාපයක් බවට පත් නොවූවත් කටාන කලාපය මේ වන විට අවධානම්කාරී ප්‍රදේශයක් බවට පත්ව ඇති නිසා, මීගමුව කලාපය තුළද ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම කෙරෙහි එම කටාන කලාපය තුලින් යම් බලපෑමක් ඇති විය හැකි බවයි.

ඒ පිළිබඳව දැඩි අවධානයකින් පසු විය යුතු බව වෛද්‍ය රුවන් පෙරේරා මහතා ප්‍රකාශ කලේය.

මීගමුව , සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ,වෛද්‍ය රුවන් පෙරේරා මහතා මේ අදහස් පළ කළේ පසුගිය 28 වැනි දින (28/01/2026) මීගමුව, හින්දු සංස්කෘතික ශාලාවේ පැවැති මේ වසරේ ප්‍රථම මීගමුව සංවර්ධන කමිටු රැස්වීමේදී පසුගිය වසරේ එනම් 2025 වසරේ මීගමුව කලාපය තුළ බෝවන රෝග සම්බන්ධයෙන් , විස්තර සමාලෝචන වාර්තාවක් ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

ලාදුරු රෝග ව්‍යාප්තියේ වැඩිවීමක්..

මෙහිදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, වෛද්‍ය රුවන් පෙරේරා මහතා , ලාදුරු රෝගය සම්බන්ධයෙන්ද විශේෂ දැනුම් දීමක් කළේය. එහිදී ඔහු පැවසුවේ මීගමුව කලාපය තුළ, ලාදුරු රෝගය ව්‍යාප්තවීම වළක්වාලීම සඳහා මෙතෙක් යම් ආකාරයක පාලනයක් සිදුකළත් පසුගිය වසරේ ලාදුරු රෝගය ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් ගැටළුවකාරී තත්ත්වයකට මුහුණ දුන් බවයි .ඒ අනුව ලාදුරු රෝගය වැළඳුනු අයගේ වැඩිවීමක් දක්නට ලැබුනු බවත් විශේෂයෙන්ම ලාදුරු රෝගය වැළඳුණු කුඩා දරුවන් දෙදෙනෙක් වාර්තා වු බවත්, ඔහු මෙහිදී සඳහන් කළේය. එනිසා මෙතෙක් ලාදුරු රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සිදු කරනු ලැබූ වැඩසටහන් වලට මේ තත්ත්වය යම් බාධාවක් වන බවත් ඔහු ප්‍රකාශ කළේය. ඒ නිසා ඉදිරි කාලයේ ලාදුරු රෝගය ව්‍යාප්ත වීම කෙරෙහි දැනට වඩා වැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, ලාදුරු රෝගී තත්වය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා දැනට වඩා ඉදිරි කාලය තුළ ඒ සඳහා සක්‍රීය වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවත් ඔහු පැවසීය.

මී උණ රෝග ව්‍යාප්තියේද වැඩිවීමක්. ..

එලෙසම මීගමුව කලාපය තුළ සෞඛ්‍ය තත්ත්වය සමාලෝචන වාර්තාව ඉදිරිපත් කරමින් වෛද්‍ය රුවන් පෙරේරා මහතා මෙහිදී විශේෂයෙන් මී උණ රෝගී තත්ත්වය ව්‍යාප්ත වීම පිළිබඳව ද අනාවරණය කළේය. ඔහු පැවසුවේ මීට පෙර වතා කීහිපයකදීම පෙන්වා දුන් පරිදි මී උණ රෝගය ව්‍යාප්ත වීමේ යම් ප්‍රවණතාවක් තිබූ බවයි.

ඒ අනුව මේ වසරේ මී උණ රෝගය ව්‍යාප්තවීම වැඩි වූ බවත්, ඒ සඳහා පසුගිය කාලයේ ඇති වූ ගංවතුර ප්‍රධාන වශයෙන් බලපෑ බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.

නමුත් ඔහු පෙන්වා දුන්නේ ගංවතුර තත්ත්වය පැමිණීමත් සමග, මී උණ රෝගය ව්‍යාප්ත වීමද ඊට සමගාමීව වැඩිවන බව කලින් සිටම දැන සිටි බවත් ඒ සඳහා පෙර සූදානමක් ලෙස මෙම තත්ත්වය වාර්තාවූ පළමු දවසේ සිටම “ඩොක්ස්සයික්ලීන් “පෙති බෙදා දිම ආරම්භ කළ බවත්, කෙසේ වෙතත් ගංවතුර ඇතිවීමත් සමග රෝගය ව්‍යාප්ත වීම වැඩි විය හැකි බවට කළ උපකල්පනය පරිදි මීගමුව කලාපය තුල මී උණ රෝගී තත්වයේ ව්‍යාප්තිය වැඩි වූ බවත් ඒ අනුව මී උණ රෝගීන් 38 දෙනෙකු වාර්තා වූ අතර , ඒ අතරින් කිසිදු මරණයක් හෝ සංකූලතාවයක් වාර්තා නොවූ බවද වෛද්‍ය රුවන් පෙරේරා මහතා සඳහන් කළේය.

ඔහු මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නේ
” ඩොක්ස්සයික්ලීන් ” පෙති ලබාදීම තුලින් පමණක් මී උණ රෝගය ව්‍යාප්ත වීම වැළැක්විය නොහැකි බවත් මී උණ රෝගය බරපතල් වීම වැළැක්වීම පමණක් එම පෙති ලබාදීම මගින් සිදුවන බවත්ය. තවද මීගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, වෛද්‍ය රුවන් පෙරේරා මහතා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කලේ මෙම පෙති 11000 කට ආසන්න ප්‍රමාණයක් පළමු අදියර ලෙස ලබා දුන් බවත්, ඒ නිසා මී උණ රෝගය ව්‍යාප්තවීම හරහා සිදුවූ බලපෑම ඒ තුළින් වළක්වා ගත හැකි වූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here