මීගමුවේ නයිට් බසාර් එක ආකර්ෂනීය සහ විධිමත් ස්ථානයක් බවට පත් කරමු.

0
458

මේ වෙද්දී නත්තල් සහ අවුරුදු උත්සව සමය ආරම්භ වෙලා තියෙනවා. මේ උත්සව සමය වෙනුවෙන්ම මීගමුව නගරයේ සියලුම තරාතිරමේ ව්‍යාපාරික ආයතන, කඩ සාප්පු වෙනදටත් වඩා කලඑළි වෙලා සහ එයාලගේ වෙළෙඳ ප්‍රවර්ධන ප්‍රචාරක වැඩසටහන් ආදිය ආරම්භ කරලා තියෙනවා දැක ගන්න පුළුවන්.

මීගමුව නගරය ගත්තහම , මීගමුව කියලා කියන්නෙම මේ රටේ ප්‍රමුඛතම කතෝලික ජන ඝනත්වයක් සහිත කතෝලික පුරවරයක්.

මේ නිසාම මීගමුවේ වෙසෙන ජනතාව සහ මීගමුව අවට ගම් සහ නගර වලින් දහස් ගණනින් යුත් ජනතාව මීගමුව නගරයට මේ දිනවල එක්රොක් වෙනවා දැක ගන්න පුළුවන්.

විශේෂයෙන්ම ඇඳුම් පැළඳුම්, නත්තල් සැරසිලි, නිවසට අවශ්‍ය කරන බඩු බාහිරාදිය සහ කෑම බීම වගේ අත්‍යවශ්‍ය දේවල් මිලදී ගන්න දහස් සංඛ්‍යාත ජනකායක් මීගමුව නගරයට මේ දිනවල පැමිණෙමින් සිටිනවා.

විශේෂයෙන්ම මීගමුව නගරයට එලෙස පැමිණෙන බොහෝ දෙනෙක් අඩු මුදලට ඒ කියන්නේ අඩු මිල ගනන් යටතේ ඇඳුම් පැළඳුම් සහ බඩු බාහිරාදිය මිලදී ගන්න උනන්දු වෙන බව දැකගන්න පුළුවන්. ආන්න ඒ වගේ අඩු මිළ ගනන් යටතේ ඇඳුම් පැළඳුම් සහ බඩුබාහිරාදිය මිලදී ගන්න එන බොහෝ දෙනෙක් යන තැනක් තමයි මීගමුවේ සෙනසුරාදා දිනවල පවත්වනු ලබන රාත්‍රී වෙළඳ පොළ හෙවත් මීගමුව “නයිට් බසාර්” එක කියලා කියන්නේ. මේක සාමාන්‍යයෙන් පවත්වන්නේ සෙනසුරාදා දිනවල පමණක් වුවත්, මෙි නත්තල් අලුත් අවුරුදු කාලයටයි, ඒවගේම අප්‍රේල් මාසයේ තියෙන සිංහල සහ හින්දු අලුත් අවුරුදු කාලයටයි සතියක එක දිගට දින දෙක තුනකුත් පවත්වනවා. මේකට නයිට් බසාර් එක කියලා කිව්වට මේක සෙනසුරාද දවස්වල උදේ වරුවේ ඉඳලාම රාත්‍රී 9.00 පමණ වෙනතුරු පවත්වනවා. මේකට නයිට් බසාර් කියනවට වඩා මම යෝජනා කරන්නේ

” සැට(ර්)ඩේ බසාර් ” කිව්වා නම් වඩාත් උචිතයි කියලයි. .

ඒකට හේතු වෙන්නේ මේක රාත්‍රී කාලයේ නෙමෙයි පටන් ගන්නේ උදෑසන ඉඳලමයි. හරි නම් මේක මුළු රාත්‍රී කාලය පුරාම තිබිය යුතු බසාර් එකක් ඒත් මෙය රාත්‍රී 9.00 පමණ වෙද්දී අවසන් කරනවා.

ඒකට හේතු කීපයකුත් තියෙනවා, රාත්‍රී කාලයේ මීගමුව නගරයෙන් ක්‍රියාත්මක වෙන හරි හමන් පොදු ප්‍රවාහන සේවාවන් නොමැති වීම නිසාත් මීගමුව නගරය තුල රාත්‍රී කාලයේ වෙනත් කඩ සාප්පු සහ අනෙකුත් ව්‍යාපාරික ආයතන විවෘතව නොතිබීම නිසාත් කොටින්ම කියනවා නම් මීගමුව නගරයට නයිට් ලයිෆ් එකක් නොමැති වීම නිසා, මේ නයිට් බසාර් එකත් රාත්‍රී 9.00 පමණ වෙද්දි අවසන් වෙනවා.

ඉතින් කොහොම වුනත් කවුරුත් මේක හඳුන්වන්නේ නයිට් බසාර් කියලනේ. අපිත් මේක ” නයිට් බසාර් ” කියලම හඳුන්වමු.

දැන් මේ නයිට් බසාර් එක ගැන විවිධ විවිධ මත පළ කරනවා මේ නගරයේ සහ නගරයට සම්බන්ධ විවිධ අය. සමහර අය කියන දෙයක් තමයි, මේක වෙනත් තැනකට අරන් යන්න ඕනේ කියලා. එහෙම අරන් යන්න ඕන තැන් ගැනත් විවිධ යෝජනා තියෙනවා. සමහර අය යෝජනා කරනවා මීගමුව නගරයට එහායින් ඇති ඒ කියන්නේ බස් නැවතුම්පොළට ආසන්නව තියෙන ” තැබෑරුම් වත්ත ” කියන මීගමුව මහා නගර සභාවට අයත් ඉඩමට මේක අරන් යන්න ඕනේ කියලා.

නමුත් ඒ ඉඩම නගරයට පිට තියෙන ස්ථානයක්. ඒ පැත්තට ජනතාව වැඩිය යන්නේ එන්නේ නැහැ. ඒ නිසා ඒ අදහස සාර්ථක නෑහැ කියලයි මම නම් හිතන්නේ
සාමාන්‍යයෙන් බසාර් එකක් කිව්වහම ලෝකේ වෙනත් රටවල ප්‍රසිද්ධ නගරවලත් බසාර් පවත්වනවා. එක්කෝ ග්‍රවුන්ඩ් එකක ඒ කියන්නේ පිට්ටනියක එහෙම නැත්නම් ස්ට්‍රීට් එකක ඒ කියන්නේ පාරක.

ඉතින් මීගමුව නගරයේ නයිට් බසාර් එක පිට්ටනියක පවත්වන්න අවශ්‍ය නම් අපිට තැබෑරුම් වත්ත කියන ස්ථානයටත් වඩා හොඳ තැනක් තියෙනවා. ඒ තමයි, මීගමුව නගර මධ්‍යයේ ඔරලෝසු කනුවට ආසන්නවම තියෙන “ලේටන් ග්‍රවුන්ඩ්” එක. එතැන මේ බස්ර් එක පවත්වන්න පුළුවන්.

ඒක ක්‍රීඩා පිටියක්. හැබැයි සෙනසුරාදා දිනවල පමනයිනේ මේ බසාර් එක පවත්වන්නේ. ඒක නිසා බලධාරීන්ට අවශ්‍ය නම් ඒ පිට්ටනියේ මේ නයිට් බසාර් එක පවත්වන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ මේ නයිට් බසාර් එක නගරයෙන් පිට නොයා නගරයේම පවත්වන්න පුළුවන් හොඳම තැන තමයි, මේ ලේටන් ග්‍රවුන්ඩ් එක. ජනතාව මෙතනට ඇදෙනවා.

නගරයෙන් පිටතට අරන් ගියොත් මේක සාර්ථක නෑහැ කියලයි මම හිතන්නේ. එහෙම නැතුව ස්ට්‍රීට් එකක ඒ කියන්නේ පාරක මේ බසාර් එක පවත්වනවා නම් ඒ සඳහා ගැලපෙනම පාර තමයි, දැන් නයිට් බසාර් එක පවත්වන පාර. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් මේ පාර හඳුන්වන්නේ දුම්රිය පොළ පාර එහෙම නැත්නම් ස්ටේෂන් පාර ( station road ) කියලා. හැබැයි මේකේ නියම නම ” ඩී.එස්. සේනානායක මාවත ” . සාන්ත ජෝසප් වීදියේ දුම්රිය හරස් මාර්ගය ගාව තියෙන ජුසේවාස් මිනිදුන්ගේ ප්‍රතිමාව ගාව ඉඳලා දුම්රියපළ අසල තියෙන බුද්ධ ප්‍රතිමාව දක්වා වූ කොටස තමයි මේ නමින් හඳුන්වන්නේ.

දැන් මේ ස්ට්‍රීට් එකේ ඒ කියන්නේ මේ පාරේ, මේ නයිට් බසාර් එක පවත්වන එකෙන්, වාසි සහ අවාසි කිහිපයක්ම තියෙනවා. මම හිතන විදිහට මීගමුව නගරය තුළ තියෙන මේ බසාර් එක පවත්වන්නට සුදුසුම පාර තමයි, මේ පාර. මොකද බස් රථවලින් හෝ දුම්රියෙන් හෝ ඇවිදින් ඇඳුම් පැළඳුම් සහ බඩු බාහිරාදිය මිලදී ගෙන ඉක්මනින් යන්න පුළුවන් මීගමුව නගරයේ තියෙන පහසුම ස්ථානය (පාර) තමයි මේක. මේ නයිට් බසාර් එකෙන් බඩුමුට්ටු ගන්න එන බොහෝ දෙනෙක් මේ අවට තියෙන කඩ සාප්පු වලටත් පැමිණිලා ගැවසිලා සමහර වෙලාවට ඒ කඩ සාප්පලිනුත් අවශ්‍ය බඩුමුට්ටු මිලදීගෙන යනවා අපි දැකල තියෙනවා. ඒ අතින් ගත්තාහම නයිට් බසාර් එක නිසා ඒ ව්‍යාපාරික ආයතනවලට සහ ඒ කඩ සාප්පු වලටත් යම් ආකාරයක වාසි සහගත තත්ත්වයක් ඇති වෙනවා. අනිත් එක තමයි විශේෂයෙන්ම දුප්පත් ජනතාවට ඇවිදිලා, තෝරලා බලලා, තමන්ගේ ඇතැති මුදලට වගේම අඩු මිල ගනන් යටතේ තමන්ට අවශ්‍ය බඩු බාහිරාදිය මිලදී ගන්න පුලුවන් මේ නයිට් බසාර් එකෙන්. ඒක ජනතාවට තියෙන ලොකුම වාසියක් සහ සහනයක් කියලයි මම හිතන්නේ. මම දන්න විදියට දුප්පත් අය විතරක් නෙමෙයි, සාමාන්‍ය ආදායමක් තියෙන යමක් කමක් ඇති අය පවා මේ නයිට් බසාර් එකට ඇවිත් එයාලගේ අවශ්‍යතාවයන් වලට අනුව අඩු මිල ගණන් යටතේ ඇඳුම් පැළඳුම් සහ වෙනත් බඩු බාහිරාදිය මිලදී ගන්නවා.

ඉතින් ඇත්තටම අඩු මුදලකට , අඩු මිල ගනන් වලට තමන්ට අවශ්‍ය ඇඳුම් පැළඳුම්, සපත්තු සෙරෙප්පු, නිවසට අවශ්‍ය දේවල්, කෑම බීම වගේ දේවල් පවා මිලදී ගන්න මේ ස්ථානයේදී හැකියාව තියෙනවා. ඇත්තෙන්ම කියනවා නම් මම නැවත නැවතත් කියනවා මේ නයිට් බසාර් එක විශාල සහනයක් ජනතාවට.

දැන් මේකේ තියෙන ප්‍රශ්නයක් තමයි, දුම්රියෙන් බැහැලා, තවත් බස් එකක් අරගෙන යන්ඩ එන කෙනෙකුට ඉතා ඉක්මනින් බස් නැවතුම් පලට යන්න තියෙන ඉක්මන් මාර්ගය තමයි, මේ පාර.නමුත් බසාර් එක පවත්වන කාලයේදී එහෙම දුම්රියෙන් බැහැලා තව බස් එකක යන්න එන කෙනෙකුට මේ පාරෙන් ඉක්මනින්ම බස් නැවතුම්පළට නම් යන්න නොහැකි තත්ත්වයකට පත්වෙනවා , බසාර් එක තියෙන දවස්වලට.

එහෙම ඔය පාරෙන් පයින් යන එන අයට ඒක විශාල අවහිරයක් වෙනවා. ඉතින් එහෙම ඉක්මනින්ම දුම්රිය පලේ ඉඳලා බස් නැවතුම්පළට යන්න තියෙන අනිත් පාර තමයි ඔරලෝසු කනුව හරහා යන එක. නමුත් ඉක්මනින් යන්න අවශ්‍ය වෙන කෙනෙකුට ඒක විශාල වටයක්.
අනෙක් ප්‍රශ්නය තමයි, මේ නයිට් බසාර් එක ගත්තහම කිසිම පිළිවෙලක් නැති අවිධිමත් නයිට් බසාර් එකක් මේක. මොකද මෙතනදි සිදු වෙන්නේ, මේක නගර සභාව විසින් මේ පාර නයිට් බසාර් එකක් හැටියට පවත්වාගෙන යන්නට පුද්ගලයෙකුට බදු දෙනවා.

එතකොට ඒ පුද්ගලයා තමයි මේක පවත්වාගෙන යන්නේ. ඒ ටෙන්ඩර් ගන්න පුද්ගලයගේ බලාපොරොත්තුව තමයි, තියෙන ඉඩ ප්‍රමාණය ඇතුලේ වැඩි වෙළෙන්දන් පිරිසකට වෙළෙඳාම් කරන්න ඉඩ ලබාදීම. වෙළෙන්දන් වැඩි වෙන තරමට තමයි එයාලට වැඩි ආදායමක් ලැබෙන්නේ. ඒක සාමාන්‍ය දෙයක්. එතකොට නගර සභාවට තියෙන වාසිය තමයි මේක පුද්ගලයෙකුට ඒ කියන්නේ වෙනත් පාර්ශවයකට බදු දීමෙන් ලැබෙන ආදායම ස්ථිර ආදායමක් විදිහට තමයි ලැබෙන්නේ. මොකද වෙළෙන්දන් අඩු වුනත් වැඩි වුනත්, ටෙන්ඩර්කරුට ඒ නියමිත ගාස්තුව නගර සභාවට ගෙවන්න සිදුවෙනවා. එතකොට නගර සභාවට ඒ ලැබෙන ආදායම ස්ථිර ආදායමක්. එලෙස ඍජුවම නගර සභාවට ඒ ආදායම ලැබුනහම, ඒ ආදායම නගර සභාවට ස්ථිරව ලැබෙන ආදායමක් විදිහට එකතු කරගන්න පුළුවන්. දැන් වෙනත් පාර්ශවයකට ඒ කියන්නේ ටෙන්ඩර්කරුවෙකුට මේ අවස්ථාව නොදී නගර සභාවම සෘජුව මේ වෙළෙන්දන්ගෙන් මුදල් එකතු කිරීමේ කාර්යය කරන්න ගියොත්, නගර සභාවට ලැබෙන ඒ ආදායම ස්ථිර ආදායමක් විදිහට අපට හඳුන්වන්න බැහැ. සමහර වෙලාවට ආදායම වැඩිවෙන්නත් පුළුවන් ආදායම් අඩුවෙන්නත් පුළුවන්. එතකොට ඒක නගර සභාවේ අයවැයට ස්ථීර ආදායමක් ලෙස පෙන්නන්න බැහැ. නගර සභාව මේ වැඩේ කරන්න ගියොත් ඒක ස්ථිර ආදායමක් බවට පත්වෙන්නේ නැහැ. ඒ නිසා නගර සභාව පසුගිය කාලයේ කිව්වේ ඒක නිසා අපි මේක පිටස්තර කෙනෙකුට බදු දීමක් සිදු කරනවා කියලා. හැබැයි ඒ පසුගිය කාලයේදි නගර සභාව මේ නයිට් බසාර් එක පෞද්ගලික හිතවත්කම් මත බදු දිලා , මේකට එන වෙළදුන්ගෙන් අයථා විදිහට මුදල් අය කරලා තිබුණා කියලා වාර්තා වුණා.

ඉතින් අපි දන්නෙ නැහැ කොහොමද එහෙම සිදු වුණේ කියලා. ඉතින් මම හිතන විදිහට නගර සභාවටත් මේකේ වගකීමක් තියෙනවා හරි විදිහට මේක කරනවා නම්, ඒ කියන්නේ සෙනසුරාදා දිනවල ඒ අවශ්‍ය වෙළෙඳුන්ට, තාවකාලිකව කූඩාරම් සකස් කරලා දිය යුතුයි. හැබැයි එහෙම ක්‍රමවේදයක් නැති නිසා, ඒ වෙළඳුන් තමන්ට අවැසි විදිහට ඉබාගාතේ, කිසිදු පිළිවෙලක් සහ විධිමත්භාවයක් නොමැතිව කූඩාරම් වැනි කඩ මේ පාර පුරාම, ඉදි කරගන්නවා, එයාලගේ වෙළඳාම් කටයුතු කරන්න. අනිත් එක තමයි, ඔහොම සැලසුමක් නැතුව කූඩාරම් හදද්දි මම දැකලා තියෙනවා මේ පාරේ සාමාන්‍ය ප්‍රමාණයේ යකඩ කූඤ්ඤ ගහනවා. අර තාර පාරේ තාර ගැලවෙන්නම, පාර හරහා මේ කූඩාරම් ඉදිකරද්දී ඒ කූඤ්ඤ ගහලා තියෙනවා අපි දැකලා තියෙනවා. ඒකෙන් වෙන්නේ පාරේ තාර ගැලවිලා පාර අබලං වෙනවා . අන්තිමට මේ පාර හදන්න වෙන්නෙත් නගර සභාවට හරි රජයට හරි . ඒක බොහෝම වැරදි සහගත ක්‍රියාවක්. ඒවගේම ඒක වැරදි ආදර්ශයක්.
ඒ වගේම තමයි මේක දැන් සෙනසුරාදා රාත්‍රී 9.00 ය වෙද්දි අවසන් කරලා, පහුවෙනිදා උදේ වෙද්දි මේ පාර ඒ කියන්නේ මේ පාර පිහිටි සම්පූර්ණ ප්‍රදේශයම හරියට අපි අර වචනෙන් කියනවා නම්
” යකාගේ මළ සොහොන ” වගේ. ඒ පාර විතරක් නෙමෙයි, එ ප්‍රදේශයම ගන්න දෙයක් නැති වෙනවා.කඩදාසි කාඩ්බෝඩ් පොලිතින් ෂොපින් බෑග්, ප්ලාස්ටික් කැලි වගේ දේවල් වලින් අපවිත්‍ර වෙනවා. ඉතින් නගර සභාවට පුළුවන්, මේකට අවශ්‍ය නීති රීති දාලා, ඔන්න අපි ඔයාලට වෙළඳාම් කරන්න අවශ්‍ය විදිහට කූඩාරම් ඒ කියන්නේ තාවකාලික හට්ස් හදලා දෙනවා, මෙච්චරක් අපි කුලිය ගන්නවා,

ඉතින් මේකේ වෙළදම් කරලා අවසන් වෙලා යනකොට මේ පාර සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය සුද්ද පවිත්‍ර කරලා යන්න ඕනා කියලා නීති රීති පද්ධතියක් හදන්න පුළුවන්.දැන් මේක සුද්ද පවිත්‍ර කරන්න වෙන්නෙත් නගර සභාවටම තමයි. පාර කැඩුනාම හදන්න වෙන්නෙත් බොහෝ වෙලාවට නගර සභාවටම තමයි.ඉතින් මේකේ පිළිවෙලක් නෑහැ. ඒ වාගේම කිසිම විධිමත්භාවයක් නෑහැ. ඉතින් මේක පිළිවෙලකට විධිමත්ව ලස්සනට කරන්න නම් නීති රීති දාලා කොන්දේසි පනවලා මේ කාර්යය කළ යුතුයි.

එමෙන්ම මේ කාර්යභාරයන් අධීක්ෂණය කරන්න, නගර සභකාර්යය අධීක්ෂකවරු කීපදෙනෙක්ව යොදවන්නත් අවශ්‍යයි.
ඇත්තටම ගත්තොත් මේ නයිට් බසාර් එක නිසා වැඩිම කරදරයක් තියෙන කෙනෙක් තමයි මේ මම. මොකද මගේ ව්‍යාපාරක ස්ථානයත් මේ ආසන්නයේම පිහිටීම නිසා , මගේ ව්‍යාපාරික ස්ථානය ළඟම තමයි මේ බසාර් එකට එන බොහෝමයක් ත්‍රී රෝද රථ සහ යතුරුපැදී ගෙනල්ලා නවත්තවලා තියලා යන්.නේ අපිට ඒක විශාල කරදරයක් .නමුත් අපි ඒ කරදරේ විඳගෙන, ඉවසගෙන ඉන්නවා, මොකද ඔය නයිට් බසාර් එක පවත්වන්නේ සතියකට එක දවසක් නිසා. අනිත් එක මේ නයිට් බසාර් එකෙන් සෑහෙන දෙනකුට විශාල ප්‍රයෝජනයක් අත් වෙනවා , ඒ වගේම මේ නයිට් බසාර් එක නිසා වෙළඳුන් විශාල ප්‍රමාණයක් රැකෙනවා. ඉතින් අපි ඒ වෙළඳුන් දෙසත් මධ්‍යස්ථව සහ සාධාරණව බැලිය යුතුයි. ඒ වගේම වෙළඳුන් එයාලගේ කුඩා ලොරි රථ ත්‍රී රෝද රථ වගේ ඒ වාහන තවත් බොහෝ දෙනෙක් නවතා තබන්නේ දුම්රියපළ ළඟමයි.

දුම්රියපළ කියන්නේ රජයේ ආයතනයක්. ඒ ළඟම වාහන නතර කරන්න අවසර තියෙනවද නැද්ද කියන එක ගැන මම නම් දන්නේ නැහැ. එහෙම නවතා තබන වාහන සඳහා යම් මුදලක් අය කරනවාද නැද්ද, අය කරනවා නම් කවුද ඒ ආදායම් ලබාගන්නේ කියන එකවත් ඉතින් අපි දන්නේ නැහැ, ඒ කටයුතු කොහොමද සිදු වෙන්නේ කියන එක ගැන නම් මම දැනුවත් නැහැ.
අනෙක් ප්‍රශ්නය තමයි ,දැන් මේ නයිට් බසාර් එක පවත්වාගෙන යන මේ පාරේ සීමාවන් තියෙනවනේ.

නමුත් සමහර වෙළදුන් මේ සීමාවල් පන්නලා, සීමාවෙන් එපිටටත් ඒ කියන්නේ අපේ ව්‍යාපාරික ස්ථාන වලට තියෙන ඉඩ ප්‍රමාණයේත් විශේෂයෙන්ම දුම්රිය පොළ අවහිර වෙන විදියට, දුම්රිය පොළට පැමිණීමට අවහිරවන ආකාරයටත් වෙළඳාම් කටයුතු කරනවා. ඉතින් බොහෝ විට අපි ඒ වගේ අවස්ථාවලදී වැඩිය මොකුත් කියන්ඩ යන්නේ, අපි කියන්නේ අපිට යන්න, එන්න ඉඩ තියලා ඔයාලාගේ වෙළඳාම් කටයුතු කරගන්න කියලා, පමණයි .. මොකද බොහෝ වෙලාවට මේ වෙළඳාම් කටයුතු කරන්නේ අහිංසක දුප්පත් මිනිස්සු.

ඉතිං ඒ අයට යම් මුදලක් හොයා ගන්න අපිත් අවස්ථාවක් දිය යුතුයිනේ. අනිත් එක සතියකට එක දවසක් නිසා මේ සෑම පීඩාවක් කරදරයක්ම අපි විඳගන්නවා. මොකද අර මම මීට ප්‍රථමව කිව්වා වගේ මීගමු නගරයේ ඉන්න ව්‍යාපාරිකයෝ විදිහට අපි ඒ පොඩි වෙළෙන්ඳන් දිහාත් සාධාරණව බැලිය යුතුයි.

මීගමුවේ සමහර ව්‍යාපාරික ස්ථානවල වෙළඳාම් කරන දේවල්ම තමයි, මේ නයිට් බසාර් එකට එන්නෙත්. ඉතින් එයාලට කඩ කුලී නැහැ, ව්‍යාපාරික බදු, සේවක පඩි නඩි නැති නිසා නයිට් බසර් එකේ වෙළඳුන් ඉතා අඩු මිලකට ඇඳුම් පැළඳුම් සහ බඩුබහිරාදිය අලෙවි කරනවා. ඉතින් බොහෝ දෙනෙක් කැමතියි අඩුවට රෙදි පිළි ඇතුළු බඩුමුට්ටු දෙනවා නම්. මොකද අපේ රටේ තියෙන මේ ආර්ථික තත්ත්වයත් එක්ක මිල අඩුවට ඇඳුම් පැළඳුම් සහ බඩුබාහිරාදිය මිලදී ගන්න කවුරුත් කැමතියි. අනිත් එක තමයි මම අර මීට ප්‍රථමයෙන්ම කිව්වා වගේ මේ පවතින ආර්ථික තත්ත්වයත් එක්ක ජනතාවට එලෙස අඩුවට බඩු බාහිරාදිය මිලදී ගන්ඩ තියෙනවා නම්, ඒවා මිලදී ගන්ඩ අපි ඉඩ සැලසිය යුතුයි. ඒක ඒ පාරිභෝගික ජනතාවට තියෙන අයිතියක් , ඒ අයිතියට කිසිවක් අපිට කරන්න බැහැ. නමුත් සමහර කොටසක් ඉන්නවා අර ස්ථිර වෙළඳ ආයතනයකට එහෙම නැත්නම් ස්ථිර කඩ සාප්පුවකට ඇවිල්ලා ප්‍රසිද්ධ සන්නාම ඒ කියන්නේ බ්‍රෑන්ඩඩ් බඩු මුට්ටු මිලදී ගන්නවා. නමුත් ඉතින් සමාජයේ වැඩිපුරම ඉන්නේ, බස් එකේ, යතුරුපැදියේ, ත්‍රී රෝද රථයයේ
හෝ පාපැදියේ ඇවිල්ලා අඩු මිලකට ඇඳුම් පැළඳුම් සහ වෙනත් බඩු බාහිරාදිය මිලදී ගන්න එන පිරිසකුයි.

දැන් සමහර අයගේ මතයක් තියෙනවා මේ නයිට් බසාර් ස්ථාවර තැනකට අරන් ගිහිල්ලා ඒක දිනපතාම පවත්වන්න අවශ්‍යයි කියලා. නමුත් දැනටමත් මීගමුවට එහෙම දිනපතා පොළක් තියනවනේ. මීගමුවේ සාප්පු සංකීර්ණය පිටුපස තියෙන දිනපතා පොළ එහෙම නැත්නම් ඩේලි ෆෙයා(ර්) ( Daily Fair ) එකක්. .රෙදි පිළි, නිමි ඇඳුම්, ප්ලාස්ටික් බඩු ඇතුළු නිවසට අවශ්‍ය කරන බඩු බාහිරාදිය ඒ දිනපතා පොලේ තියෙනවා. ඉතින් දිනපතා පොලටත් දවස ගානේ විශාල පාරිභෝගික පිරිසක් ගිහින් ඒ අවශ්‍ය බඩුමුට්ටු මිලදී ගන්නවා.ඉතින් නයිට් බසාර් එකක් කියලා කියන්නේ, ඩේලි ෆෙයා(ර්)
එකකට නෙමෙයි. ඒක වෙනයි. මේක වෙනයි. ඉතින් මම හිතන විදිහට මීගමුව නගරයට ඩේලි ෆෙයා(ර්) 02ක් අවශ්‍ය වෙන්නේ නැහැ.

මීගමුව නගරයේ සෙනසුරාදා දිනවල පවත්වන මේ නයිටි බසාර් එක අවට නගර සහ ගම් වල ඉතාම ප්‍රසිද්ධ නයිට්‍ බසාර් එකක්. මේක මීගමුවෙි ජනතාවට විතරක් නෙවෙයි, අවට නගර සහ ගම්වල වෙසෙන දහස් සංඛ්‍යාත ජනතාවටත් විශාල ප්‍රයෝජනයක් තියෙන නයිට්‍ බසාර් එකක්. ඒක නිසා මේක පිළිවෙලක් ඇතිව විධිමත් ස්ථානයක් බවට පත් කළ යුතුයි. ඒ සඳහා මම මීගමුව මහා නගර සභාවට යෝජනා කරන්නේ , මෙහි පිලිවෙල සහ විධිමත්බව ඇති කරන්න ටෙන්ඩර් කරුට විතරක් භාර දීලා හරියන්නෙ නෑහැ. නගර සභාව මූලික වෙලා, සහ නගර සභාවේ පුර්ණ අධීක්ෂණය යටතේ ඔය පාරේ දෙපැත්තේ වෙළෙඳුන්ට වෙළඳාම් කරන්න, සැලසුමකට අනුව තාවකාලික කූඩාරම් ඒ කියන්නේ හට්ස් ඉදිකර දිය යුතුයි.ඒක වැඩිපුරම දැනෙන්නේ වර්ෂා දිනවලට. වර්ෂා දිනවලදී දැන් ඔය නයිට් බසාර් එක පවත්වන විදිහට, වෙළෙන්දොත් තෙමෙනවා, විකුණන්න තියෙන බඩු බාහිරාදියත් තෙමෙනවා, ඒ වගේම ඒවා මිලදී ගන්ඩ එන පාරිභෝගික ජනතාවත් තෙමෙනවා.

එනිසා පාරේ දෙපැත්තේ ක්‍රමානුකූලව හට්ස් ඉදිකරලා, පාර මැද්දේ අඩි 04 විතර වගේ ඉඩක් ජනතාවට එහාට මෙහාට යන්න එන්න ඉඩ හැරිය යුතුයි. එතකොට පයින් ඇවිදගෙන යන අයට කරදරයක් නැතුව, වැඩි තදබදයක් නැතුව ඒ අවශ්‍ය බඩු භාණ්ඩ මිලදී ගන්න , යන්න එන්න පුළුවන් වෙනවා.

ඒ වගේම නයිට් බසාර් එක අවසාන වූ පසු මේ පාර ඇතුළු ඒ ප්‍රදේශය සුද්ද පවිත්‍ර කිරීම පවා නගර සභාව මැදිහත්ව ඉතා ඉක්මනින්ම සිදු කළ යුතුයි කියලත් මා යෝජනා කරනවා. අනිත් එක තමයි මේ පාරේ වෙළෙඳාම් කරන්න පුළුවන් සීමාවන් ගැන අනිවාර්යෙන්ම වෙළඳුන්ව දැනුවත් කළ යුතුයි. මම මෙතැනදී යෝජනා කරන්නේ ඒ සීමාවන් නීති රීති පද්ධතියකට ගොනු කළ යුතුයි. උදාහරණයක් විදිහට කිව්වොත් දැන් දුම්රිය පොළ අසල තියෙනවා, බුද්ධ ප්‍රතිමාවක් සහ බෝ ගසක්.ඒක වටා සුදු යකඩ බැටක්ද නිර්මාණය කරලා තියෙනවා. බොහෝ අය ඔතනට ඇවිල්ලා වැඳුම් පිදුම් පවා කරනවා. හැමදාම හවසට එතන පිරිත් සජ්ඣායනයන් පවා ශබ්ද විකාශන යන්ත්‍ර දාලා විකාශනය කරනවා. දැන් නයිට් බසාර් දවසට එතනට ගිහින් බැලුවොත් පෙනෙයි, ඒ බෝධිය ළඟ විකුණන්න ගෙනා ආ පාපිසි ආදිය එල්ලලා ඒ බුදු කුටියත් වෙළඳාම් කරන තැනක් බවට පත්කරගෙන. ඉතින් ඒ වගේ දේවල් හරි අශෝභනයි.

ඒ වගේ තැන්වලට එලෙස සිදුවීම අගෞරවයක්. මෙන්න මෙවැනි තත්ත්වයන් සිදු නොවීමට නගර සභාව වග බලා ගත යුතුයි. ටෙන්ඩර්කරුගෙන් මුදල් විතරක් අරගෙන සිටීම නොවෙයි නගර සභාවේ කාර්යභාරය වෙන්නේ. එනිසා මහා නගර සභාව මේ නයිට් බසාර් එකේ කාර්යභාරයන් වලට සහ නයිට් බසාර් එක පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දී නගර සභාවේ පූර්ණ අධීක්ෂණය ල සිදු කළ යුතුයි කියා මා යෝජනා කරනවා.
ඉතින් අවසාන වශයෙනුත් කියන්න තියෙන්නේ, මේ නයිට් බසාර් එක කියලා කියන්නේ එක් ආකාරයකින් මීගමුවට සම්පතක්. ඉතින් මෙය රැක ගත යුතුයි. ඒ නිසා මීගමුවේ නයිට් බසාර් එක සියලු පාර්ශවයන් එකතු වී ආකර්ශනීය සහ විධිමත් ස්ථානයක් බවට පත් කර ගත යුතුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here