මීගමුවේ විසූ, ප්‍රථම ග්‍රැමෆෝන් ගායිකාව, ජීවන ගමනට සමුදෙයි.

0
285

WhatsApp Image 2025 06 04 at 23.05.12 cf0460ed
මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ , පළමු ග්‍රැමෆෝන් ගායිකාව ලෙස විරුදාවලීලත්, මීගමුව කට්ටුව ප්‍රදේශයේ විසූ ප්‍රවීණ කලාකාරීනි ග්‍රේටා ජෙනට් ද සිල්වා මහත්මිය වසර 99 ක් ආයු වළඳා පසුගිය 02 දින (02/06/2025) රාත්‍රී සිය දිවිසැරිය නිමා කළාය.

මෙරට ගීත සාහිත්‍ය තුළ විශේෂයෙන් සිංහල ග්‍රැමෆෝන් ගීත ක්ෂේත්‍රයේ ජීවමාන සාක්ෂිය බවට පත් වූයේද ඇයයි. 1926 වසරේ මැයි මස 06 වැනි දින මීගමුවෙි උපන් ඇය , මෙතෙක් ජීවත්ව සිටි ශ්‍රී ලාංකීය ගායිකාවන්ගේ ජ්‍යෙෂ්ඨතම ගායිකාව ලෙස ද හැඳින්විය හැකිය.
ශ්‍රී ලාංකීය ගීත ලෝලීන්ගේ අමානන්දයට පාත්‍ර වූ ” මුනි නන්දන සිරි පාද වඳිම් සමනල කන්දේ ” , සහ ” දුල් සල්වනේ ලකල් ” ආදී බුද්ධාලම්භන ප්‍රීතිය ජනිත කළ සුප්‍රසිද්ධ ගීත ගණනාවක්ම ඇය ශ්‍රී ලාංකේය ගීත ක්ෂේත්‍රයට දායාද කළාය. මීගමුව පුරවරයේ ඉපිද හැදී වැඩුණු ඇය කුඩා කාලයේ පටන්ම ගීත ගායනයට දස්කම් පෑ අතර පාසල් අධ්‍යාපනය ලබන සමයේදීම ඇය ගායනා තරඟවලට සහභාගී වී විවිධ වූ ජයග්‍රහණ රාශියක් අත්කර ගන්නට සමත් විය.
1938 වසරේ ලංකා ෆිල්ම් කොම්පැණි ග්‍රැමෆෝන් තැටියකට ( රේකෝඩයකට ) ඇයගේ මනමෝහනීය හඬ මුලින්ම තැටිගත විය. ” පානා මේ කුරුලන්ගේ ” සහ ” මෙරුන් වගේ සතර අතින් ” යන විරිදු ගීත එම රැකෝඩයේ පටිගත විය. ඒ අනුව එම විරිදු ගීත ශ්‍රී ලාංකීය ගායිකාවක විසින් මුලින්ම තැටිගත කළ විරිදූ ගීතය බවට පත්විය. එලෙසම එම වසරේදීම ” කොලොම්බියා ” නම් සුප්‍රසිද්ධ තැටි සමාගමේ ප්‍රධාන ගීත ප්‍රබන්ධකයා වු
යු.ඩී ප්‍රේරා මහතාගේ දැඩි පෙළඹවීම සහ උනන්දුව මත ග්‍රේටා ජෙනට් ද සිල්වා මහත්මිය එම සමාගමේ සන්නාම ගායිකාව ලෙස ගිවිසුම් ගත වුවාය. එහිදී ඇය කොලොම්බියා ලේබලය යටතේ තැටි 02 කට යුග ගී දෙකක් සහ කේවල ගී දෙකක් පටිගත කලාය. එහිදී ඇය සමඟ යුග ගී ගායනය සඳහා එක් වුයේ මෙරට අතිශය ජනප්‍රිය ගායකයකු කලාශූරි අල්හාජ් මොහිදීන් බෙග් මාස්ටර් සමඟයි. මොහිදීන් බෙග් මාස්ටර් සමඟ යුග ගීතයක් ගායනා කළ ප්‍රථම ගායිකාව වීමේ භාග්‍යයද ඒ අනුව ඇයට හිමි විය. කොලොම්බියා සමාගමෙි තැටි සඳහා සරල ගී පමණක් නොව, ශාස්ත්‍රීය ගීත , කපිරිඤ්ඤා ගීත ඇතුළු විවිධ ශෛලීන් වලින් යුත් ගීත ගායනයෙහි ඇය සුවිශේෂී සමත්කම් දැක්වීය.එය අති දක්ෂ ගායිකාවක සතු ප්‍රතිභාවක් ලෙසද හැඳින්විය හැක.
මේ කාලයේදීම ඇය කොළඹ, ගුවන් විදුලි සේවයේ ගීත ගායනා කිරීම සඳහාද යොමු විය.
මොහිදීන් බෙග් මාස්ටර් පමණක් නොව එස්.ඩී.ස්ටීවන් සිල්වා මාස්ටර්, එඩී ජයමාන්න, ස්ටැන්ලි මල්ලවාරච්චි, සහ වසන්තා සන්දනායක ආදී ගායික ගායිකාවන් සමඟ ගීත ගායනා කිරීමට වාසනාවන්ත වූ ග්‍රේටා ජෙනට් මහත්මිය කොලොම්බියා ග්‍රැමෆෝන් තැටි සඳහා ගීත 30 ක් පමණ ගායනා කර ඇත. ඇය විසින් ගායනා කළ ගීත බොහෝමයක් අදටත් සිංහල ගීත ප්‍රියකරන ගීත ලෝලීන් අතර ඉතා ප්‍රකටය.
1945 වසරේ සිය විවාහයෙන් පසු ඇය රැකෝඩ් සඳහා ගීත ගැයීමෙන් ඉවත් වු අතර 1950 වසර තෙක්ම ඇය ගුවන් විදුලි වැඩසටහන්වලට ගීත ගායනා කළාය. මීට වසර 10 කට පමණ පෙරාතුවද ගුවන් විදුලියේ ” පැරණි රසාංග ” වැඩසටහන තුළින් ඇය විසින් ගායනා කළ ගීත බොහෝමයක් ප්‍රචාරය විය.
පසුගිය මැයි මස 06 වැනි දින සිය ජීවන ගමනේ 99 වැනි ජන්ම දිනය සැමරූ ඇය දරුවන් 05 දෙනෙකුගේ ආදරණීය මවකි.WhatsApp Image 2025 06 04 at 23.06.54 05a6143f

සිය මධුර, මනෝහර,ළයාන්විත ගී හඬින් ශ්‍රී ලාංකේය ගීත රසික රසිකාවියන් පිනවු ග්‍රේටා ජෙනට් ද සිල්වා මහත්මියගේ දේහය, ඇයට ආදරය කරන, ඇගේ ගීත වලට පෙම් බැඳි රසික සහෘද ජනතාව වෙනුවෙන් මීගමුව, කට්ටුව , හලාවත පාරේ අංක.115 දරන ඇය මෙතෙක් කලක් නිහඬ ජීවිතයක් ගත කළ ඇගේ නිවසේ තැන්පත් කර ඇත.
ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට එනම් 05 වැනි (05/06/2025) බ්‍රහස්පතින්දා දින සවස 4.30 ට කට්ටුව පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.WhatsApp Image 2025 06 04 at 23.09.39 fd895e2d

((( තොරතුරු සහ ඡායාරූප ලබාදීමෙන් සහය වු මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරීනි ඩිලිෂියා මහත්මියට ස්තුතිය පළ කරමු.)))

ඡායාරූප -. සුජායිල් මුනිර්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here