මීගමුව නගරයේ වීදි සුනඛ ගහනය පිළිබඳව ඔබ පළ කර ඇති අදහස් කෙරෙහි අපගේ අවධානය යොමු විය. විශේෂයෙන්ම සංචාරක කලාපයක් ලෙස මීගමුව පිරිසිදුව සහ සුරක්ෂිතව තබා ගැනීමේ අවශ්‍යතාවය අපද පිළිගන්නා නමුත්, ඔබ යෝජනා කරන “කඩිනම් මැදිහත්වීම” යන්නෙන් සතුන් විනාශ කිරීම හෝ ඉවත් කිරීම වැනි යල් පැන ගිය ක්‍රමවේද අදහස් කරන්නේ නම්, එය ඉතා අදූරදර්ශී සහ ප්‍රායෝගික නොවන ප්‍රවේශයකි.
වීදි සුනඛ ගැටළුවට ඇති එකම සහ සාර්ථකම විසඳුම CNVR (Catch, Neuter, Vaccinate, Release) හෙවත් සතුන් අල්ලා, වන්ධ්‍යාකරණය කර, එන්නත් ලබා දී නැවත මුදා හැරීමයි. මේ වන විට මීගමුව සහ ගම්පහ දිස්ත්‍රික්කය පුරා ඩෝග්ස්ටර් පදනම (Dogstar Foundation) මගින් මෙම කාර්යය අතිසාර්ථකව සිදු කරමින් පවතී.
වත්මන් ක්‍රියාදාමය සහ සත්‍ය තත්වය:
• විද්‍යාත්මක පාලනය: ඩෝග්ස්ටර් පදනම මගින් මසකට වන්ධ්‍යාකරණ වැඩසටහන් 60ක් (දිනකට දෙක බැගින්) පවත්වමින් සත්ව ගහනය මානුෂීයව පාලනය කිරීමට කැපවී සිටී.
• සෞඛ්‍ය ආරක්ෂාව: සැත්කම් සිදුකරන සෑම සතෙකුටම ජලභීතිකා මෙන්ම Tricat, Rabies, DHPL වැනි අත්‍යවශ්‍ය සියලුම එන්නත් ලබා දෙනු ලැබේ. ඔබ පවසන ජලභීතිකා අවදානම අවම කිරීමට ඇති එකම විද්‍යාත්මක මග මෙයයි.
• ප්‍රජා වගකීම: වීදි සුනඛ ගැටළුව උග්‍ර වීමට බලපාන ප්‍රධානතම හේතුව වන්නේ මහජනතාවගේ වගකීම් විරහිත භාවයයි. නිවෙස්වල වෙසෙන පිරිමි සතුන් වන්ධ්‍යාකරණයට මැලි වීම, පූසන් වන්ධ්‍යාකරණය කිරීම “පවක්” ලෙස සලකා මඟහැරීම වැනි කරුණු නිසා බෝවන සතුන් පසුව පාරට, පන්සලට හෝ කුණු ගොඩට දැමීමෙන් මෙම ගහනය වැඩි වේ.
අපගේ ප්‍රතිචාරය:
ඔබ වැනි පුද්ගලයින් සමාජය තුළ අනියත බියක් ඇති කරමින්, සතුන්ගේ ජීවිත අනතුරේ හෙළීමට උත්සාහ කිරීම කණගාටුවට කරුණකි. වීදි සුනඛ ගැටළුව විසඳීමට අවශ්‍ය වන්නේ සතුන් මැරීම නොව, වගකීම් සහගත ලෙස සතුන් හදාවඩා ගැනීම සහ ක්‍රියාත්මක වන වන්ධ්‍යාකරණ වැඩසටහන් වලට සහය දීමයි.
වීදි සතුන් සම්බන්ධයෙන් නීතිමය මැදිහත්වීමක් අවශ්‍ය වන්නේ නම්, එය කළ යුත්තේ සතුන් පාරට දමන සහ වන්ධ්‍යාකරණයට විරුද්ධ වන පුද්ගලයින්ට එරෙහිවය. ඔවුන් මෙම ගැටළුවේ සැබෑ පුරෝගාමීන් වන අතර, ඔබ වැනි අයගේ මෙවැනි අදූරදර්ශී ප්‍රකාශයන් එම වැරදි ක්‍රියාවලට තවදුරටත් අනුබල දීමක් පමණි.
එබැවින්, පදනම් විරහිත චෝදනා නගනවා වෙනුවට, ඩෝග්ස්ටර් පදනම වැනි ආයතන මගින් සිදුකරන මානුෂීය ගහන පාලන වැඩපිළිවෙලට සහය වන ලෙසත්, මහජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටිමු
Danushka Manoj
Sachini S. JayasingheDhanushka Manoj
Rehan Samarakone
Rayhana Jay
Samadi Batcho











