මීගමුවේ සංචාරක ව්‍යාපාරය ගොඩදැමිය හැක්කේ කාටද ?

0
1195

 

මීට වසර ගණනාවකට පෙරදී නම් මීගමුව යනු මෙරටට ලොව නන් දෙසින් පැමිණෙන සංචාරකයන්ගේ ආකර්ශනීයම සංචාරක ගමනාන්තයක් බවට පත් වී තිබිණි . එහෙත් එම තත්ත්වය දැඩි වෙනසකට ලක් වී , අද වන විට මෙරටට පැමිණෙන බහුතරයක් විදෙස් සංචාරකයන්ගේන් මීගමුව ප්‍රදේශය වෙත තිබූ එම සුවිශේෂී ආකර්ෂණය විශාල ලෙස ගිලිහී යමින් තිබේ. මෙවන් තත්ත්වයක් තුළ මීගමුව ප්‍රදේශයෙන් ගිලිහී යන එම විදෙස් සංචාරක ආකර්ෂණය , යළිත් මීගමුව තුළ ස්ථාපිත කිරීමටත්, මීගමුව සංචාරක පුරවරය විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිත කිරීම සඳහාත් වර්තමාන රජය මෙන්ම නොයෙක් සංවිධාන ද මැදිහත්ව විවිධ වූ සංචාරක ප්‍රවර්ධන ව්‍යාපෘති සහ වැඩසටහන් ආදි දේ ඉදිරිපත් කරමින් ක්‍රියාවට නගමින් සිටි.
ඒ අනුව මීගමුව පුරවරයේ සංචාරක කර්මාන්තය හා සබැඳුණු සංචාරක ව්‍යාපාරය උදෙසාම ගොඩනැගුණු සහ සංවිධානය වු සංවිධාන අතරින් පැරණිම සහ සක්‍රීයම සංවිධානය ලෙස අවිවාදයෙන් පිළිගැනෙන නිගම්බෝ ටුවරිස්ට් ඇසෝසියේෂන් ( Negombo Tourist Association – NTA ) හෙවත් ” මීගමුව සංචාරක සංගමය ” පිළිබඳව සහ එහි කාර්යභාරයන් මෙන්ම එම සංගමයේ අනාගත අභිලාෂයන් පිළිබඳව කතාබහ කරන්නට තීරණය කළෙමු. ඒ සඳහා අප ආරාධනා කළේ මීගමුව සංචාරක සංගමයේ ගරු සභාපති ඒ.වර්ණකුමාර මහතාටයි. ඔහු දැනට දශකයකට වැඩි කාලයක් තිස්සේ මීගමුව සංචාරක කර්මාන්තය තුළ ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කරන අතර වසර දෙකහමාරක පමණ කාලයක් මෙම සංගමයේ සභාපතිවරයා ලෙස එම සංගමයේ අභිවෘද්ධිය මෙන්ම එම සංගමය මඟින් මීගමුව සංචාරක කර්මාන්තයේ දියුණුව වෙනුවෙන් විශාල වැඩ කටයුතු රාශියක් පෙර මෙන්ම වර්තමානයේදී ද සිදු කරමින් පවතී. එලෙසම වර්ණකුමාර මහතා මෙරට ප්‍රකට, ව්‍යාපාරිකයකු ද වන නිසාවෙන්ම මීගමුව තුළ සංචාරක ව්‍යාපාරයට පිවිසෙන්නට සිටින ආධුනික ව්‍යවසායකයින්ට ඔහුගෙන් ලද හැකි ව්‍යාපාරික අත්දැකීම් සහ පළපුරුදුකම්ද බොහෝමයක් ඇති නිසාවෙන් , ඔහු සමඟ
” මීපුර ” වෙබ් අඩවිය සිදු කළ “‘කතාබහ'” විශේෂාංගයේ සංක්ෂිප්ත සටහනක් පහත පල කර ඇත.

මම අහලා තියෙන විදිහට, ඔබ මීගමුවේ නොවන , මීගමුවේම කෙනෙක් .. පළමුවෙන්ම ඒ ගැන කෙටියෙන් සඳහන් කළොත් ?.

ඔව් ඒක ඇත්ත. මාතර, කඹුරුපිටියේ, ඊරියතොට කියන කුඩා ගම තමයි, මගේ ගම. මගේ පියා කුරුඳු වැනි සාම්ප්‍රදායික භෝග වගාව සමග බැඳුණු ව්‍යාපාරිකයෙක්. මගේ මව පලපුරුදු සහ පරිණත මැහුම් ගුරුවරියක්. හැබැයි ඇය ආදායමක් හෝ වැටුපක් බලාගෙන නෙමෙයි, එම වෘත්තිය කළේ. රැකියා නොමැති ඒ වගේම ආදායමක් නොමැති කාන්තාවන්ට ඇය ස්වේච්ඡාවෙන්ම තමයි මැහුම් ගෙතුම් ඉගැන්නුවේ. මගේ පවුලේ සහෝදරයන් 04 යි. තව සහෝදරියන් 04 යි . මම තමයි පවුලේම මැද දරුවා. මං මුලින්ම පාසල් ගියේ අපේ ගමේ ,ඒ කියන්නේ ඊරියතොට මහා විද්‍යාලයට. ඊට පසුව මම වලස්මුල්ල මහා විද්‍යාලයට ගියා. පසුව තමයි මට මීගමුවට එන්න සිද්ධ වුනේ වැඩිදුර අධ්‍යාපනය ලැබීම සඳහා. ඔය වයසෙදි මට හොඳට කතා කරන්න හැකියාවක් තිබුණා. මොකද මගේ මව මට හොඳට කතා කරන්න පුරුදු පුහුණු කරලා තිබුණා, ඒ වෙද්දි.. ඒ නිසා මට ඒ කාලේ හොඳ කථිකත්වයක් පිහිටලා තිබුණා. දැන් නම් මම මේ කාරණාව කියන්න බයවෙන්නේ නැහැ. ඔය වෙද්දි අර විශ්ව විද්‍යාලයට ගිය ළමයින්ට තිබුණනේ අර දේශපාලන පක්ෂයකින් පන්ති 05 ක් .කරන්න. අන්න ඒකට මාව එක්කගෙන ගිහිල්ලා පස්සේ, ඒ පන්තිවල උගන්නපු කරුණු කාරණා, ගම් වල ඉන්න විශ්වවිද්‍යාල වල ළමයින්ට කියලා දෙන්න මට සිද්ධ වුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි පසුව මාව හිර කඳවුරක දවස් 17ක් විතර වගේ කාලයක් මාව සිරගත කරගෙන දස වධ දීලා මගෙන් විවිධාකාරයේ ප්‍රශ්න කිරීම් කරලා, දැඩි කායික වේදනාවන්ට ලක්වුණා. ඉතින් ඔන්න ඔය ප්‍රශ්නෙත් යම් ආකාරයක බලපෑමක් වුනා, මීගමුවට එන්න.
මට වයස අවුරුදු 15 දී විතර වගේ තමයි මීගමුවට පැමිණෙන්නේ. මොකද මගේ ඥාති සහෝදරයෙක් හිටියා රාජිත ජී. දොළමුල්ල කියලා. ඔහු ලංකාවේ පරිගණක විද්‍යාව පිළිබඳව පුරෝගාමී විශේෂඥ උපදේශකවරයෙක්. ඔහු තමයි ලංකාවේ පළමුවෙනි පරිගණක පාසල ආරම්භ කෙරුවේ ඒ කියන්නේ ඔය ටෙක් ශ්‍රී ලංකා, අයි.ඩී.එම්. කියන ලංකාවේ පරිගණක අධ්‍යාපනයේ ජනප්‍රියත්වයට පත්වුණු ආයතනවලටත් කලින් තමයි මගේ මේ ඥාති සහෝදරයා එයාගේ පරිගණක පාසල පටන් ගත්තේ.

එහෙම ඇවිල්ලා මම ඇතුළත් වුනේ මීගමුව ශාන්ත පීතර විද්‍යාලයට. සාමාන්‍ය පෙළ සමත් වෙලා, ශාන්ත පීතර විද්‍යාලයේම තමයි මම උසස් පෙළට පෙනී සිටියේ . උසස් පෙළට මම පෙනී සිටියේ බයෝ සයන්ස් ඒ කියන්නේ ජීව විද්‍යා අංශයෙන්.ඉතින් අපේ පාසලේ උසස් පෙළ ජීව විද්‍යා අංශයයි, ගණිත අංශයයි එක ළඟ තමයි තිබුණේ. ඉතින් අපේ කණ්ඩායම බොහොම විනෝදකාමී කණ්ඩායමක් තමයි හිටියේ. ඔය සන්ෂයින් එකේ රොෂාන් වගේ විනෝදයට සහ කලාවට හුඟක් ඇල්මක් තිබුණු අය තමයි හිටියේ. ඉතින් බොහෝම විනෝද බර ,කලාකාමී ජීවිතයක් තමයි අපි ඒ කාලේ පාසලේ ගත කෙරුවේ. අපි එහෙම විනෝදයට බරව හිටියට අධ්‍යාපනය ලබාගැනීම අතපසු කළේ නැහැ. ඉතින් උසස් පෙළ විභාගයට පෙනී සිටලා මම ව්‍යාපාර පැත්තට යොමු වුණා.

මාව දැන් ව්‍යාපාරිකයෙක් විදිහට තමයි මීගමුවේ හුඟ දෙනෙක් හඳුනන්නේ. මම දැන් විවාහකයි. මගේ බිරිඳත් මගේ ව්‍යාපාර කටයුතුවල හවුල්කාරියක් විදිහට කටයුතු කරනවා . ඒවගේම මගේ වැඩිමහල් දියණිය වෛද්‍යවරියක්. ඇය ඕස්ට්‍රේලියාවේ සේවය කරන්නේ. මගේ බාල පුතුත් ව්‍යාපාර කළමනාකරණ හා ව්‍යාපාර අධ්‍යයනය යන විෂය ධාරාව යටතේ විශ්වවිද්‍යාලයක උපාධි පාඨමාලාවක් හදාරමින් සිටිනවා.

ඔබ කොහොමද, උසස් පෙළ අධ්‍යාපනය ලබන කාලෙම වගේ, මේ ව්‍යාපාර කටයුතු වලට යොමු වෙන්නේ. ?
අර මම මුලදී සඳහන් කරපු පරිගණක විද්‍යා උපදේශකවරයෙක් වුනු රාජිත ජී. දොළමුල්ල කියන මගේ ඥාති සහෝදරයා ගාවට ආවා කැලණි ටයර් සංස්ථාවේ ,අලෙවි කළමනාකාරවරයා සහ ඔහුගේ දියණිය, පරිගණක විද්‍යාව ඉගෙන ගන්න. ඒ පාඨමාලාව ඉවරවෙලා සහතිකය පිරිනමන අවස්ථාවේදී ඔහු මගේ ඥාති සහෝදරයාට දුන්නා තෑග්ගක් හැටියට මිගමුව ප්‍රදේශයේ කැලණි ටයර් ඒජන්සියක් කරගෙන යන්න අවසර පත්‍රයක්. ඒ අනුව 1985 මගේ ඥාති සහෝදරයා මේක ටයර් අලෙවි සැලක් විදිහට මීගමුව ,කොප්පරා හන්දියේ ,එයාගේ වෙන කට්ටියක් යොදාගෙන ආරම්භ කරනවා. මොකද එයා පරිගණක උපදේශකයෙක් විදිහට කටයුතු කෙරුවට එයා ඒ වෙද්දි මුදල් අමාත්‍යංශයේ ස්ථිර රැකියාවක් කළ අයෙක් නිසා ඔහුට මේ ව්‍යාපාර කටයුතුවලට යොමු වෙන්න වෙලාවක් තිබුණේ නැහැ. නමුත් ඔහු ඒ ටයර් අලෙවි සැල භාරදුන් කට්ටිය ඒක හරියට කරගෙන ගියේ නැහැ.ඉතින් පසුව ඒක විකුණන්න පත්තරේ දැන්වීමක් දානවා. එදා මම මගේ ඥාති සහෝදරයාගේ ගෙදර ආවා දෛවෝපතගත සිදුවීමක් විදිහට. ඉතින් එදා අයිය මට ඒක ගැන බලන්න කිව්වා. එදාම මම ඒ ටයර් අලවිසල බලන්න ගිහිල්ලා එදාම මම තීරණය කරා , මම මේ ටයර් අලවිසල කරගෙන යනවා, කියලා. ඉතින් පොඩි ප්‍රශ්නයකුත් තිබුණා අධ්‍යාපනය ලබන කාලෙම කොහොමද මේ ව්‍යාපාර කටයුතු මට කරගෙන යන්න පුළුවන් වෙයිද කියලා. නමුත් මට දැඩි ස්ථිර අධිෂ්ඨානයක් තිබුණා මම මේක කොහොම හරි කරනවා කියලා. ඒක තමයි මම ව්‍යාපාරවලට යොමු වීමේ පළමු අවස්ථාව බවට පත්වුණේ.

ඉන්පසුව ඔබේ ව්‍යාපාර ක්ෂේත්‍රය තවත් පුළුල් වෙනවා නේද ?.

ඉන්පසු මම මේ ටයර් අලෙවිසල කරන අතරතුරම අරුණසිරි ට්‍රේඩින් කම්පැනියේ අධිපති අරුණසිරි මුදලාලිත් එක්ක එකතුවෙලා, අත් ට්‍රැක්ටර් වොෂින් මැෂින් වගේ විදුලි උපකරණ සහ වෙනත් විදුලිමය භාණ්ඩ අලෙවි කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කලා. එයා ලංකාවට ගෙන්වන අත් ට්‍රැක්ටර් සහ විදුලි උපකරණ වගේ බඩු භාණ්ඩ මම තොග පිටින් මිලදී අරගෙන ඇඹිලිපිටිය, සූරියවැව වගේ වගේ ඈත ගොවි ගම්මාන වලට අරගෙන ගිහිල්ලා ගොවි සංවිධාන හරහා ගොවි ජනතාවට ගෙවීමේ ක්‍රමයට ලබාදෙනවා එතකොට ඒ මට ලැබෙනවා වගේ ලාභයක් ගොවි සංවිධානයටත් මම ලබා දෙනවා. ඒකෙන් මම වගේම ඒ ගොවි සංවිධානවලටත් යම් ආදායමක් ලැබෙනවා ඒක මම ලබන තෘප්තියක් .මම ලබනවා වගේ ලාභයක් සමාජයටත් මගේ ව්‍යාපාරය තුළින් ලැබෙනවා . එතකොට ඒකෙන් ඒ ගොවි සංවිධානයත් ශක්තිමත් වෙනවා. ඊට පස්සේ ජාලින් මෝටර් සයිකල් අලෙවී කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරනවා. ඔය වගේ රටේ ප්‍රමුඛ වෙලේ ව්‍යාපාරිකයෝ සහ ජනප්‍රිය වෙළඳ ආයතන සමග අපි ව්‍යාපාර පටන් ගත්තා.එහෙම වෙද්දි අපේ මේ ව්‍යාපාර කටයුතු තවත් පුළුල් වුනා.මොකද මේ ටයර් අලෙවි සැලත් එක්ක මම ගොඩක් පාරිභෝගිකයොත් එක්ක සම්බන්ධ වුණා. එයාලට හොඳ සේවාවක් ලබා දෙන අතරේ පුළුවන් උපරිම සහන ටිකක් දීලා අපි කරන ඒ පාරිභෝගික සේවාවන් වෙනුවෙන් ඒ පාරිභෝගික ජනතාවගෙන් හොඳ ප්‍රතිචාර අපිට ලැබුණා. ඉතින් ඔන්න ඔය හේතු නිසා තමයි ගොඩක් ව්‍යාපාරිකයන් අපිත් එක්ක සම්බන්ධ වෙලා ව්‍යාපාර කටයුතු ආරම්භ කරන්න පටන් ගත්තේ.
මම සෑම වෙලාවකම ව්‍යාපාරයක් කරද්දී, ව්‍යාපාරයට මාත් සමඟ සම්බන්ධ වෙලා ඉන්නවා නම් හවුල්කරුවෙකුට, ඔහුටත් මට වගේම ලාභයක් ඒ ව්‍යාපාරය තුළින් ලැබෙන විදිහට තමයි මම කටයුතු කරන්නේ. ඒ වගේමයි අපි ළඟට එන පාරිභෝගිකයා පිළිබඳවත් අපි වැඩිපුරම හිතන්න ඕනේ. එයා ගෙවන මුදලට අපිට ලබා දෙන්න පුළුවන් ඉහළම සේවාව අපි ලබාදිය යුතුයි. ඒ වගේමයි අපි සලසන සේවාවට අමතරව තවත් අපට වෙනත් පහසුකම් සහ සේවා සලසන්න පුළුවන්නම්, අපි ළඟට එන පාරිභෝගිකයන් වෙනුවෙන් ඒ සෑම පහසුකමක් සහ සේවාවක්ම අපිට පුළුවන් උපරිම විදිහට කරලා දෙන්න ඕනේ.. එතකොට තමයි අපි විශේෂ ව්‍යාපාරිකයෙක් බවට පත්වෙන්නේ. එහෙම තමයි සමාජය තුළ අපි කැපී පෙනෙන සහ නැතිවම බැරි ව්‍යාපාරිකයකු බවට පත්වෙන්නේ. එහෙම ව්‍යාපාරිකයන් සොයාගෙන පරිභෝගිකයෝ කොහේ හිටියත් එනවා. ලාභයට වඩා අපි කරන සේවාව වඩා වැදගත් වෙන්න ඕනි. ඒ නිසා ඕනෑම ව්‍යාපාරික ක්ෂේත්‍රයට පිවිසෙන ඕනෑම ව්‍යාපාරිකයෙකුට මේ දේ හරියට කළොත් ඔහුගේ ව්‍යාපාරය ඉතා ඉක්මනින් දියුණු කරගෙන සාර්ථක ව්‍යාපාරිකයකු බවට පත්වෙන්න පුළුවන් වෙනවා. හැම වෙලාවෙම බලන්න ඕනේ පාරිභෝගිකයා මොන අන්දමින්ද සතුටු කරන්න පුළුවන් කියන එක සොයන්න. දැන් විශේෂයෙන්ම කියනවා නම් ටයර් එකකට හුලං ගහන්ඩ අපි ළඟට එන පාරිභෝගිකයා, ඊළඟට අපි ළඟට එන්නේ ටයර් එකක් සල්ලිවලට අරගෙන දාගන්න, ඊට පස්සේ අපි පටන් ගත්තා වාහන වලට බැටරි දාන්න, ඊට පස්සේ වාහන අලුත් වැඩියා කරන වැඩෙත් අපි පටන් ගත්තා.ඊට පස්සේ මම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ රක්ෂණ නියෝජිතකම අරගෙන මගේ ළඟට එන වාහන අනතුරු වලට ලක් වුණු වාහන අලුත් වැඩියා කිරීම කරන්න පටන් ගත්තා. අපි එහෙම පටන් අරගෙන ඒ පළමු වසරේම ලංකාවෙි හොඳම රක්ෂණ විශිෂ්ටයන් පරාජය කරලා හොඳම රක්ෂණ නියෝජිතයා හැටියට සම්මානයට පවා පාත්‍ර වුණා. ඉතින් ඒකයි මං කියන්නේ අපි ව්‍යාපාරයක් කරනකොට ඒක හොඳින් සැලසුම් කරන්න ඕනා. ඔය අතරෙදි මම ඉදිකිරීම අංශයට යොමු වුනා. තව රථ වාහන කුලී පදනම මත ලබා දීමේ සේවාව ඒ කියන්නේ ” රෙන් ට් අ කාර් සර්විස් ” කියන ඒ සේවාව ආරම්භ කළා.. ඔය දැන් එක්තරා රක්ෂන ආයතනයක් කරනවනේ “” ඔන් ද ස්පොට් “” (on the spot) කියලා ක්‍රමයක්. ඒක පටන් ගන්න වසර හතරකට කලින් තමයි මම මගේන් රක්ෂණය ලබාගන්න වාහන හිමියන්ගේ වාහන අනතුරකට ලක් වුනොත් ඒ වෙනුවට වාහනයක් ඒ පාරිභෝගිකයන්ට ලබාදීමේ සේවාව ආරම්භ කෙරුවේ. ඔය ඔන් ද ස්පොට් කියන වචනේ නැති වුනත්, මගේ රෙන්ට් අ කාර් සර්විස් එකෙන් වාහනයක් සපයලා දිලා, අපි එයාගේ අනතුරට ලකුණු වාහනෙත් හදලා දෙනවා .අපි ඒ විදිහට ඒ සේවාව කරගෙන ගියා.. ඉතින් පාරිභෝගිකයන්ට ලාබයි මගෙන් රක්ෂණයක් ගන්න එක. එයාට ගොඩක් වාසි සහගතයි. ඉතින් ඕක කටින් කට ප්‍රචාර වෙලා ගිහින්, ඒ ව්‍යාපාරය සෑහෙන ශක්තිමත් වුණා ඒ වගේම සෑහෙන දියුණු තත්ත්වයට පත්වුණා. මම මේ ව්‍යාපාරික ජීවිතයේදී හොඳින්ම අත් දැක්ක දෙයක් තමයි , හොඳින් සැලසුම් කරලා කරන ව්‍යාපාර ඉක්මනින් සහ හොඳින් දියුණු වෙනවා කියන දේ.a4443fe5 12aa 43ad bb51 13209c3731d7

කොයිඩ් වසංගත කාලයේදී අප රට තුළ ඔබේ නමත් වැඩිපුරම කියවෙනවා ඇහුණා. අපේ රටේ කොයිඩ් වසංගතය හා ඔබේ නම අතර ඇතිවුණු ඒ සම්බන්ධතාවය මොකක්ද ?

මම රූපවාහිනීය නරඹන කොට මම දැක්කා, ලෝකයේ රටවල් වල සෑම තරාතිරමකම ජනයා මේ කොයිඩ් වසංගය පැමිණායින් පසුව තැන තැන මියගිය ආකාරය. පසුකාලයේදී අපේ රටේත් එහෙම තත්ත්වයක් ඇති වුනානේ. එතනදි මම කල්පනා කරලා බැලුවා මේ වගේ රටේ විව්‍යසනයක් , අර්බුදයක් පවතින වෙලාවක මේ වෙනුවෙන් මට මොකක්ද කරන්න පුළුවන් කියලා. මම සෑහෙන වෛද්‍යවරුන් පිරිසකට කතා කෙරුවා. ඒ අය කැමැති වුණා , කොයිඩ් රෝගයට ගොදුරු වුන අයට ප්‍රතිකාර කරන්න. හැබැයි මට රෝහලක් නෑහැ. අන්න එතනදි මට යමක් කල්පනා වුනා. ඒ අනුව මම ඒ වෙද්දි , මීගමුව ප්‍රදේශයේ සංචාරකයෝ නැතිව, ඒවගේම විවිධ පාඩු ලබලා, සහ හරිහැටි කරගෙන යන්න බැරුව වහලා තිබුණු සංචාරක හෝටල් කිහිපයක් තිබුණා. ඒවල හිටපු සේවකයන්ට පඩි ගෙවා ගන්න විදිහක් නැතුව ලයිට් බිල් ගෙවා ගන්න විදිහක් නැතුව, එහෙම තිබුණු හෝටල් 21 මම හඳුනාගෙන ඒ හෝටල් හිමියන්ට කතා කරපුවහම එයාලා මගේ යෝජනාවට කැමති වුනා. ඒ අනුව අපි මිගමුව ප්‍රදේශයේ හෝටල් 21 ක් අරගෙන කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන කොවිඩ් රෝහල් ආරම්භ කෙරුවා. ඒ කියන්නේ හෝටලයකින් ලැබිය යුතු අංග සම්පූර්ණ ඒ පහසුකම් ලබා දීලා, ඒ කියන්නේ හෝටලයකින් දෙන කෑම බීම, වායු සමනය කරපු කාමර පහසුකම්, විශේෂයෙන්ම වෛද්‍යවරයෙකුගේ භාරයේ තබාගෙන ඒ රෝගී තත්ත්වයන්ට ප්‍රතිකාර වගේ දේවල් ඒ කොවිඩ් රෝගීන්ට සපයලා දිලා ඒ අයගේ ජීවිතය මම මැදිහත් වෙලා සුරක්ෂිත කෙරුවා. මේ වැඩේ ඇත්තටම මම ලාභ ලබන්නම කරපු දෙයක් නෙවෙයි. මොකද මගේ දියණිය ඒ වෙද්දි වෛද්‍යවරියක් වෙන්න අධ්‍යාපනය ලබමින් හිටියේ. මට අවශ්‍ය වුණා ඒ වෙනුවෙන් රෝහලක් ස්ථාපිත කරන්න, ඒකත් ඉලක්ක කරගෙන තමයි මම මේ වැඩේ පටන් ගත්තේ. ඒකයි මම කිව්වේ මම මේ වැඩේ කෙරුවේ ලාභ උපයන්න නෙමෙයි කියලා. අපි මේ වැඩේ කරන මුල් කාලයේ රෝගියෙකුගෙන් දිනකට ගත්තේ රුපියල් 8000ක් වැනි සුළු මුදලක් මොකද ඒ වෙද්දී ලංකාවේ තිබුණු අනෙකුත් පෞද්ගලික රෝහල් වල කොවිඩ් රෝගියෙකුගෙන් දිනකට රුපියල් 25,000 ට වැඩි මුදලක් ලබා ගනිද්දී, අපි හෝටල්වල තිබුණු පහසුකම් කෑම බීම වෛද්‍ය ප්‍රතිකාර මේ සේරම දීලා ගත්තෙ රුපියල් 8000 ක් වැනි මුදලක්. මෙතනදි මට තව දෙයක් කියන්න ඕනේ. මේ හෝටල්වල ප්‍රතිකාර ලබපු කොයිඩ් රෝගීන්ට බටහිර වෛද්‍යවරැන්ගෙන් වෛද්‍ය ප්‍රතිකාර ලැබුණත් ඒ ප්‍රතිකාර සමඟින් අපි මෙරට දේශීය ආයුර්වේද ප්‍රතිකාර පවා ලබා දුන්නා ඒත් එක්කම, අපි අදහන බුදු දහම ඒ රෝගියාගේ මනස ශක්තිමත් කරන්න, විශේෂයෙන්ම රෝගියෙකුගේ මානසික සුවතාවය වැඩි වර්ධනය කරන්න, අපි මේ අපේ රෝහල්වලදී කටයුතු කෙරුවා. උදාහරණයක් හැටියට කිව්වොත් අපි රෝගීන්ට පානය කිරීමට පවා ලබා දුන්නේ පිරිත් පැන් මිශ්‍රිත පිරිසිදු පානීය ජලය. ඒ වාගේ දේවල් වලින් රෝගියාගේ මනස සෑහෙන ශක්තිමත් වුණා. බුදු දහම තුළ කියනවා මනස සුවපත් නම් කය ඉක්මනින්ම සුවපත් වෙනවා කියලා. අපි අපේ රෝහල්වලදී කෙරුවේ කායිකව ප්‍රතිකාර ලබා දෙනවා වගේම රෝගියාගේ මනස සුවපත් කරමින් ශක්තිමත් කිරීමයි. පිරිත් පැන් කියන්නේ මං හිතනවා විශාල බලයක් තියෙන දෙයක්. ඉතින් ඒ විශ්වීය ශක්තිය මම මෙතනදි රෝගීන් සුවපත් කරන්න වාගේම ඒ අයගේ මනස ශක්තිමත් කරන්න, භාවිතා කෙරුවා . මම විශ්වාස කරනවා. ඉතින් අන්තිමේදී මම ගැන සෑහෙන දෙනෙක් මේ රටේ කතා කරන්න පටන් ගත්තා. මේ රටේ විතරක් නෙමෙයි පිටරටවල් වල පවා. විශේෂයෙන්ම චීන ජාතිකයන් 400ක් පමණ අපි එකවර අපේ රෝහල්වල තියලා ඒ අයගේ ජීවිත සුරක්ෂා කෙරුවා. අපේ රෝහල්වල ප්‍රතිකර ලබා ගත්ත කිසිම රෝගියෙක් මිය ගියේ නැහැ. අන්තිමට ඒක වාර්තාවකුත් වුනා. ඉතින් මම රටට සේවයක් කෙරුවා වගේම,අර පාඩු ලබමින් හිටපු හෝටල් හිමියන්ටත් හොඳ ආදායමක් ලබා දුන්නා. බොහෝ දෙනෙක් මේ වැඩේදී මට සෑහෙන්න ස්තූති කෙරුවා, ප්‍රශංසා කෙරුවා.086f8299 3cdd 4cc1 b5c4 9420230a9492

ඔබ පසුකාලීනව මීගමුවේ සංචාරක ක්ෂේත්‍රය තුල ව්‍යාපාරිකයෙකු බවට පත් වුණත්, ඔබ මීගමුව සංචාරක සංගමයේ සභාපති ධුරයට පත්වෙන්නේ යම් අහඹු සිදුවීමකින් කියලයි මම අහලා තියෙන්නේ. ඒක සත්‍යයක්ද ?.

එකේ යම් සත්‍යතාවයක් තියෙනවා. හැබැයි ඔය ” මීගමුව සංචාරක සංගමය ” පිහිටුවාගෙන තියෙන්නේ 2006 වර්ෂයේ විතර වගේ කාලයේදී. මම ඕකට සම්බන්ධ වෙලා, 2023 වසරේ. එක සිද්ධවුනේ හරි අහඹු විදිහකට ඒ කියන්නේ කොවිඩ් වසංගතය වෙලාවෙදි මීගමුවේ බොහොමයක් ව්‍යාපාර කඩා වැටුනා. හැබැයි කොයිඩ් වසංගතය වෙලාවේදි පවා අපේ ව්‍යාපාර දියුණු වුණා. ඉතින් ඒක දැනගත්තු එක්තරා බැංකුවකින් මට එන්න කියලා තිබුණා , ව්‍යාපාරිකයෙකු හැටියට ඒ අත්දැකීම් ගැන අදහස් දැක්වීමකට. ඔය අදහස් දක්වන තැන හිටියා ,මීගමුව සංචාරක සංගමයේ එවකට සංවිධායකවරයා ඒ කියන්නේ මාර්ෂල් මහත්තයා, එයා මට පෞද්ගලිකව කතා කරලා කිව්වා,අපිත් මේ වෙලාවේ ලොකු ප්‍රශ්න කරදර ගැටලු රැසකට මුහුණ දීලා ඉන්නේ. පුළුවන් නම් අපිට උදව්වක් හැටියට ඇවිත්, ඔයාගේ අලුත් අදහස් තියෙනවා නම් ඒවත් අරගෙන, අපේ මේ සංගමය නැවත වරක් සක්‍රීය කරලා දෙන්න කියලාා.මම ඉතින් එකපාරට මේකට කැමති වුණේ නෑහැ. ඊට පස්සේ පිරිසක් ඇවිල්ලා මගේ නිවසට, එතනදි එයාලා මට කිව්වා, කොවිඩ් වසංගතය තිබුණු කාලයේ අපේ හෝටල්වලට ලොකු ආදායමක් ලබා දීලා, අපිට හොඳ ආදායමක් අරං දුන්න වගේම අපිට ව්‍යාපාරික වශයෙන් නැගී හිටින්න ඒ අවශ්‍ය උපදෙස් සහ ඒ දැනුම ඒ වගේම මේ සංගමය නැවත සක්‍රීය කර ගැනීමට අවශ්‍ය අවශ්‍ය නායකත්වය දෙන්න කියලා ඉතින් සෑහෙන කාලයක් හිතලා බලලා තමයි මම මීගමුව ,සංචාරක සංගමයේ සභාපති ධුරයේ වැඩ භාර ගත්තේ. ඒ 2023 වසරේ මාර්තු මස 12 වැනිදා . ඒ අනුව ගත්තහම මම මේ සභාපති ධූරයේ වැඩ භාර අරගෙන මේ වෙද්දි වසර දෙකහමාරක් පමණ වෙනවා.

මේ වන විට ,මීගමුව තුළ සංචාරක කර්මාන්තය යම් ආකාරයකට කඩා වැටීමට ලක්වෙලා තියෙනවා. එතකොට රජය සහ වෙනත් පෞද්ගලික සංවිධාන පවා අද වන විට මීගමුවේ සංචාරක කර්මාන්තය නංවන්න, එය ප්‍රවර්ධනය කරන්න, ආදී කටයුතු වලට සැලසුම් සකස් කරනවා, වැඩසටහන් කරනවා අපි දැකලා තියෙනවා. එහෙත් අද රජයේ ආයතනවල බොහෝ උසස් නිලධාරීන් සහ මීගමුවේ වගකිවයුතු රාජ නිලධාරීන් ඇතුළු බොහෝ දෙනෙක් කියන්නේ මීගමුවේ සංචාරක කර්මාන්තය නංවන්න, එහි ප්‍රවර්ධනය සඳහා වැඩිපුරම කටයුතු කරන පුද්ගලයා වෙන්නේ ඔබ කියලය,. ඇත්තටම ඇයි මේ කාරණාවලදී ඔබව වැඩිපුරම මීගමුව තුළ කැපී පෙනෙන්නේ ?.

ඒක මෙහෙමයි . තමන් මොන දේ කළත් තමන්ගේ හදවතින්ම ඒකට ලොකු උවමනාවක් තිබිය යුතු වෙනවා.. මොකද මගේ හදවතේම තියෙන සිතුවිල්ලක් තමයි, මම මේ වගේ ලොකු ව්‍යාපාරිකයෙක් වුනේ මේ මීගමුව කියන ගම නිසයි. මොකද මේ ගමේ ජනතාව මගේ ව්‍යාපාරවල පාරිභෝගිකයා බවට පත්වුණා, ඒ නිසා තමයි මම විශාල මුදලක් හම්බ කරගත්තේ. ඒ නිසා මම මේ මීගමුවේ ජනතාවට යමක් කළ යුතුයි කියන යහපත් සිතුවිල්ල මගේ හදවත තුළින්ම ඇතිවුනා. මගේ මව නිතරම කියාපු දෙයක් තමයි, තමාගෙන් සමාජයට යහපත් දෙයක් විය යුතුයි කියලා. ඉතින් ඒ අනුව මාව ව්‍යපාරිකයෙක් බවට පත් කරපු මේ මීගමු ජනතාවට මේ සමාජයට වන්දි ගෙවිය යුතුයි කියන ඒ අවංක හැඟීම මගේ හදවත තුළම කිඳා බැහැපු සිතුවිල්ලක්. මං හිතනවා මම ඒ දේ තමයි අවංකවම කරන්නේ. මොකද මගේ ව්‍යාපාරය තුළ මේ අය පාරිභෝගියෝ බවට පත්වුනා විතරක් නෙවෙයි. මගේ ව්‍යාපාරය ප්‍රවර්ධනය කරගන්න එක මේ රටට විතරක් සීමා නොවී පිටරටවල් වලට පවා මගේ ව්‍යාපාර පිළිබඳව ප්‍රචාරය කරන්න මේ මීගමු ජනතාව තමයි මට විශාල සහයෝගයක් ලබා දුන්නේ. ඉතින් මීගමු ජනතාව තමයි මගේ ව්‍යාපාරයේ කොටස්කරුවන් බවට පත්වුණේ. අන්න ඒ දේට මගේ කෘතගුණපුරක සැලකීමක් තියෙනවා හදවතින්ම. ඒ සිතුවිල්ල පෙරදැරි කරගෙන කරන කටයුතුවලදී සමහර වෙලාවට සමාජයට මාව කැපිලා පේනවා වෙන්න පුළුවන්. නමුත් මම නම් කැපිලා පේන්න ඕනේ කියලා හිතාගෙන කවදාක්වත් වැඩ කරලා නැහැ. නමුත් අවංක උවමනාවකින්, යමක් කැපවෙලා කෙරුවොත්, ඒ පුද්ගලයව සමාජයේ අනිත් පුද්ගලයන් අතර නිතැතින්ම කැපිලා පේනවා.

දැන් අද වෙද්දි මෙරට සංචාරක කර්මාන්තයේ මෙතෙක් කලක් තිබුණු සාම්ප්‍රදායික ක්‍රමයට වඩා එහි නව ප්‍රවණතාවයන් ඒ කියන්නේ අලුත් ත්‍රෙන්ඩ්ස් කිහිපයක්ම ඇතිවෙලා තියෙනවා. අර ලොකු හෝටල් වෙනුවට කුඩා කුඩා හෝටල් වලට ,ඒ වගේම ස්ට්‍රීට් ෆුඩ්ස් හෙවත් විදී ආහාර රටාවකට, මෙරටට එන බොහෝ සංචාරකයෝ හුරු වෙලා ඉන්නවා. ඒ වගේම අද ඓතිහාසික ස්ථාන සහ නගර බලන්න එන සංචාරකයන්ට වඩා අද සොබාදහමේ අසිරිය විඳින්න එන සංචාරකයන් වැඩි වෙලා තියෙනවා. එතකොට මීගමුව පුරවරය මේ අලුත් සංචාරක ප්‍රවණතාවයට සූදානම් කියා ඔබ හිතනවද ?

අවංකවම කිව්වොත් අපේ මේ මීගමු පුරවරයේ සංචාරක කර්මාන්තය තුල නියැලෙන බොහෝ ව්‍යාපාරිකයන් ඒ වගේ දේකට සූදානමක් තිබුණේ නෑහැ. ඇත්තටම කියනවා නම් ලංකාවේ වෙනත් ප්‍රදේශ ගත්තහම ඇල්ල , ගාල්ල නිලාවේලි සහ ආරුගම්බේ වගේ ප්‍රදේශ ඒ අලුත් ප්‍රවණතා වලට අනුකූලව එයාලගේ සංචාරක කර්මාන්තය නිර්මාණය කරගත්තා. මීගමුවේ සංචාරක කර්මාන්තය තුළ ඉන්න ව්‍යාපාරිකයන් බැලුවේ අර සාම්ප්‍රදායික මට්ටමටම කොන්ක්‍රීට් ඇල්මිනියම් ගහලා හෝටල් හදාගෙන සාම්ප්‍රදායික මට්ටමෙන්ම මේ සංචාරක කර්මාන්තය තුළ නියැලෙන්න. හැබැයි ඒ වෙද්දි ලෝකේ වෙනත් රට රටවල ඉන්න සංචාරකයෝ එයාලගේ අවශ්‍යතාවයන්, ප්‍රවණතාවයන්, සහ අලුත් අදහස දහස් අනුව තමයි එයාලා ලෝකේ රටවල් වල සංචාරය කරන්නේ. බොහෝ වෙලාවට අපි දකින දෙයක් තමයි දැන් එන විදේශ සංචාරකයෝ යමක් බලලා එහි අසිරිය විඳිනවාට වඩා, එයාල බොහෝ විට පෙළඹෙන්නේ, අසිරිය විඳින ගමන්ම එය සිය අත්දැකීමක් බවට පත්කර එය තමාගේ ජීවිතයට එක් කරගෙන එයින් යම් සතුටක් ලබන්න. උදාහරණයක් හැටියට කිව්වොත් දැන් එන සංචාරකයෝ බොහොමයක් කැමති ලංකාවේ ගෙදරක කන බොන විදිහට ස්වභාවික දේවල් කන්න බොන්න,එහෙම නැත්නම් සොබා දහමේ අසිරිය සමඟ ඔය දිය ඇල්ලක් ළඟ, මුහුදු වෙරළ අයිනේ, ඒ වගේම ගහක් උඩ හදපු, තැනක නවාතැන් ගන්න … ඒ වගේ දේවල් වලට හුඟක් අද සංචාරකයෝ කැමතියි. ලංකාවේ බොහෝ හෝටල් හිමියන් පවා මේ වෙද්දි මේ අලුත් ප්‍රවණතාවන් තුළ තමන්ගේ නිර්මාණශීලත්වය භාවිතා කරලා ඒ සංචාරකයන්ට අවශ්‍ය නව ප්‍රවණතාවයන් නිර්මාණය කරන්න පෙළඹිලා තියෙනවා අපි දැකලා තියෙනවා. නමුත් අපේ මීගමු ප්‍රදේශය තුළ හෝටල් ක්ෂේත්‍රයේ ඉන්න ව්‍යාපාරිකයෝ ඒ වගේ නිර්මාණශීලී අදහස් සහ සංකල්ප මත තම සංචාරක ව්‍යාපාර කටයුතු කරන්න පෙළඹුණේ නෑහැ කියලයි මම විශ්වාස කරන්නේ. ඒකට මීගමුවේ අපි පමා වැඩි වුණා කියලත් මට හිතනවා.
මං හිතන්නේ මීගමුවට ඓතිහාසික මෙන්ම පාරිසරික වශයෙන් වැදගත්ම ලස්සන මුහුදු වෙරළක්, මනරම් කලපුවක්, ඒ වගේම හැමිල්ටන් ඇල ආදී ස්වභාවික සහ පාරිසරික වශයෙන් වැදගත් දායාද රැසක් තියෙනවා .ඒවගේම ඉපැරණි පල්ලි පන්සල්, ඒ වගේම අපේ ලන්දේසි කොටුව, මේ වගේ ගොඩක් ඓතිහාසික ස්ථානත් අපිට තියෙනවා. මේ වගේ වටිනා කියන ස්ථාන රැසක් අපට තියාගෙන අර නව ප්‍රවණතාවයන්ට අනුගත වෙන්න විශාල පමාවක් අපේ අතින් සිදුවුණා, .මම අර මුල්දිත් කිව්වේ අපි හැම දෙයක්ම සැලසුම් සහගතව සිදු කළ යුතුයි. සැලසුමක් නැතුව ගියොත් අපිට සාර්ථකත්වයක් ලබන්න බැහැ. ඕනෑම දෙයක් කරද්දි සැලසුම් කරන්න අසමත් වීම, අසමත් වෙන්න සැලසුම් කිරීමයි. ඒ කියන්නේ ” fail to plan, you are making a plan to fail ”
නමුත් අපි හිතනවා ඉදිරි කාලය අපි ඒ සඳහා අලුත් වැඩසටහන් ව්‍යාපෘති ගණනාවක් මේ වෙද්දි සැලසුම් කරලා තියෙනවා, විශේෂයෙන්ම සංචාරක අමාත්‍යංශය සහ සංචාරක මණ්ඩලයද ඒ වගේම අනෙකුත් රජය ආයතනත් ඒ සඳහා විශාල සහයෝගයක් ලබා දීලා තියෙනවා. ඉදිරියේදී මීගමුව එම නව ප්‍රවණතා සමගින් සංචාරක කර්මාන්තය තුළ නියැලෙයි කියලා දැඩි විශ්වාසයක් මා තුළ තියෙනවා.

මට ඔබෙන් අහන්න තව විශේෂිත ප්‍රශ්නයක් තියෙනවා මොකද ඔබ එදා ඉදලම කියන තවත් එක කාරණයක් තමයි මීගමුවේ සංචාරක කර්මාන්තය සාර්ථක කර ගන්න නම්, ධීවර කර්මාන්තයද ඊට අනුගත විය යුතුයි කියලා. හැබැයි මීගමුවේ තවත් බොහෝ දෙනෙක් මේ මතයට එකඟ නැහැ. ඒ අය කියන්නේ මීගමුවේ සංචාරක කර්මාන්තය කරගෙන යන්න බෑ මේ ධීවර කර්මාන්තය නිසා කියලා. මේ අදහස් දෙක අතර දැඩි ඝට්ටනයක් තියෙනවා. ඇත්තටම මීගමුවේ සංචාරක කර්මාන්තය කරන්න ඔබ කියන විදියට ධීවර කර්මාන්තයත් අවශ්‍යම ද ?

මෙහෙමයි අපේ හැම වැඩක්ම තීරණය වෙන්නේ මමත්වය මත. මේ හැමදේම හැම වැඩේම මම මම මම. මගේ මගේ මගේ කියන හැඟීමෙන් තමයි වැඩ කරලා තියෙන්නේ හැමතිස්සේම. අන්න ඒ නිසා අපිට උදව්වට ඉන්න, අපිට සහයෝගයට ඉන්න, අපිට ප්‍රයෝජනයට ඉන්න පිරිසක්ව අපි අමතක කරලා තියෙනවා.ඒක තමයි අද වෙලා තියෙන්නේ.ධීවර කර්මාන්තය සහ ධීවර ජනතාව නැතුව මීගමුවේ සංචාරක කර්මාන්තය පුබුදුවන්න බෑ කියන එක මම දැකලා තියෙන දෙයක්. මොකද ධීවර ජනතාවගේ කියන්නේ බොහොම අහිංසක එයාලගේ වෙනම සංස්කෘතියක් තියෙන ජන කොට්ඨාසයක්. ඒ අයට හරියට සලකලා බලලා , ඒ අය එක්ක එකමුතුව මේ ගමන යන්න පුළුවන්නම් ,අන්න ඒ ගමනෙදි අපිට විශාල ලෙස අපේ මේ මීගමුවේ සංචාරක ව්‍යාපාරය ගොඩනගන්න අපිට පුළුවන්.දැන් ධීවර ජනතාව පැත්තකට කරලා, ඒ අයට සලකන්නේ නැති තාක් කල් , ඒ අය අපිට සහයෝගය දෙන්නෙ නෑහැ. ඒ කියන්නේ ධීවර ජනතාව අමතක කරලා මේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න ගියාට එක සාර්ථක නොවෙන්න හේතුව ධීවරයා අමතක කරලා ගිය එක.. එතකොට සංචාරක කලාපය තුළ ධීවරයාගේ කිසිම පැහැදීමක්, සතුටක් නෑහැ. ධීවරයා සංචාරක ව්‍යාපාරයේ දැක්කේ හතුරෙක් විදිහට. සංචාරක කර්මාන්තය තුළ ඉන්න ව්‍යාපාරිකයා ධීවරයාව දැක්කෙත් සතුරෙක් විදිහට. ඉතින් මම කියන්නේ ධීවර කර්මාන්තය ධීවරයා සමග එක්ව ගමනක් ගියොත් තමයි , මීගමුවේ සංචාරක කර්මාන්තය මීට වඩා දියුණු තත්ත්වයකට ගේන්න පුළුවන් වෙන්නේ.

බොහෝ අය කියන විදියට ඔතන ප්‍රායෝගික ප්‍රශ්නයක් තියෙනවා නේද?

ධීවරයන්ගේ නිවාස ඔය වෙරල ආශ්‍රිතව තියෙනකොට ,ධීවර ජනතාව අල්ලන් එන මාළු සහ ඒ සඳහා භාවිතා කරන දැල් ආම්පන්න වගේ දේවල්, ඔය වෙරළේ තියෙනකොට, ඒවා සංචාරක කර්මාන්තය කරගෙන යන්න ඇත්තටම අපහසුතාවයක් බාධාවක් වෙනවා නේද ?

IMG 20251110 WA0007
වර්ණකුමාර මහතා සිය බිරිඳ සමඟ

ඕක තමයි සතුරු සිතිවිලි කියන්නේ..දැන් මෙහෙම හිතන්නකෝ. ඔබ කෑම මේසයකට යනවා. ඔතන තියෙනවා රසවත් සුවඳ හමන විවිධ පාටින් යුතු අලුත්ම කෑම බීම. හැබැයි ඔය කෑම ටික කාල පොඩි වෙලාවක් යනකොට කටට දාලා එළියට දැම්මහම අපි ඒකට කෑම කියලද කියන්නේ . නෑ අපි ඒකට කියන්නේ වමනේ කියලා. ඔය කෑම්බීම ටික කුස ඇතුලට ගිහිල්ලා පැය තුන හතරක් ගියහම ඕක පහළට පහළට පහළට යද්දී ඒවා අසූ චී වෙනවා. අපි ඒ කෑම බීම කනකොට සුවඳ ගහන්න කට්ටියත් එක්ක එකට එකතු වෙලා කන්නේ බොන්නේ. ඒත් අපි ඒවා එළියට පිට කරන්නේ දොරවල් වහගෙන , තමාගේම නහයත් වහගෙන තමයි ඒවා ඒවා පිට කරන්නේ.
ඉතින් අපිත් මාළු කනවා. මාළු ගඳක් කියලා දෙයක් නැහැ. ඒවට ක්‍රමවේද තියෙනවා. ක්‍රමවේද භාවිතා කරන්න ඕනා. මම එදා ඉදලම කියපු දෙයක් තමයි මීගමුවේ සංචාරක කර්මාන්තය දියුණු කරද්දී ධීවරයාව අනිවාර්යයෙන්ම නගා සිටවිය යුතුයි. ඒක හරියට අර අපේ අතේ ඇඟිලි පහ එකට තියෙනවා වගේ. ධීවර ජනතාවගේ ගැටළු ටික හඳුනාගෙන ඒවාට විසඳුම් ලබා දීලා, ඒ අයගේ අවශ්‍යතා සපුරාලා දෙන්න පුළුවන් නම් අපිට, ඒ අයගේ සහයෝගයත් ඇතිව මීගමුවේ සංචාරක කර්මාන්තය මීට වඩා අපිට දියුණු තත්ත්වයකට ගන්න පුළුවන්.ඒ ගැන මට ලොකු විශ්වාසයක් තියෙනවා.IMG 20251110 WA0003 IMG 20251110 WA0004

මම මේ වෙද්දි ව්‍යාපෘති යෝජනා ගණනාවක් ඉදිරිපත් කරලා තියෙනවා. එයින් එක ව්‍යාපෘති යෝජනාවක් තමයි ධීවර ගම්මානයක් ඇති කළ යුතුයි කියන එක. ඒ සඳහා මම යෝජනා කරලා තියෙනවා ,දැනට මීගමුවේ කැලි කසල දාන , කොච්චිකඩේ නගරයට ආසන්නව තියෙනවා, ඕවිටියා වත්ත කියලා භූමියක්. ඒක ටිකක් විශාල ඉඩමක්. ඒකේ අපි ධීවර ගම්මානයක් ඇති කෙරුවොත්. එතකොට එතන කැලි කසල ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනත් එහෙම්මම සිදුවෙද්දී, එම කලිකසල වලින් යම් බලශක්තියක් නිපදවන්න පුළුවන්. ඒ බලශක්තිය තුළින් ධීවර නිෂ්පාදන ඒ කියන්නේ කරවල වේලන්න, තව මත්ස්‍ය නිෂ්පාදන කර්මාන්තශාලා බිහිකරන්න, වගේ තවත් නිෂ්පාදන ක්‍රියාවලින් රාශියක් මේ ධීවර ගම්මාන තුළ බිහි කරන්න පුළුවන්, එක් පැත්තකින් එය අපේ රටට විදේශ විනිමය ගෙන එන ස්ථානයක් බවට පත් කරගන්නත් පුළුවන්. එතකොට ධීවර ජනතාවගේ ජීවනෝපායන් මාර්ග සහ ඒ අයගේ දෛනික ජීවිතය යම් සැලසුමකට අනුව මේ ධීවර ගම්මානය තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ ධීවර ගම්මානයේ ඒ ධීවර ජන ජීවිතය සහ ඒ නිෂ්පාදන ක්‍රියාවලිය ඒ ආකාරයෙන් සැලසුමකට පිළිවෙලකට අනුව සිදුවෙද්දි , ක්‍රමවත් විධිමත් ධීවර ගම්මානයක් බලන්න එන , නිරීක්ෂණය කරන්න එන විදේශ සංචාරකයන්ගේ ප්‍රමාණයත් වැඩි වෙනවා. ඒ වගේ එන සංචාරකයන්ගේනි යම් මුදලක් අයකර ගෙන එම ධීවර ජනතාවගේ සුභ සාධනය වෙනුවෙන් සහ එම ධීවර ගම්මානයේ කටයුතු කළමනාකරණය වෙනුවෙන් විය පැහැදම් කරන්නත් පුළුවන්.

අනිත් එක තමයි ධීවර ජනතාව සතුව තියෙනවා එයාලටම ආවේනික වෙච්ච ආහාර සංස්කෘතියක්., දැන් අපි දන්නවා ධීවර ජනතාව කෑමට මාළු හදද්දි වර්ග ගණනාවකටම හදන ක්‍රමවේද එයාල ගාව තියෙනවා. ඒකම සමහර වෙලාවට ඒ එයාලටම ආවේණික වෙච්ච ක්‍රමවේද. ඒවට ගන්න තුන පහ වර්ග, ඒ තුනපහ හදාගන්න විදිහ, ඒ තුන පහ මිශ්‍ර කරලා ඒ, කෑමට දාන ක්‍රමවේද එහෙම එකිනෙකට එකිනෙකට වෙනස්. මෙන්න මේ වෙනස සහ ඒ ආහාර සංස්කෘතිය වගේ දේවල් අපිට මේ සංචාරක ක්ෂේත්‍රය තුළ ප්‍රවර්ධනය කරන්න ඒ කියන්නේ මාර්කට් කරන්න පුළුවන්. බොහෝ විදේශ සංචාරකයෝ කැමති ඒ වගේ අලුත් දේවල් වලට. දැන් මම ඒ ව්‍යාපෘතියෙන් යෝජනා කරපු ධීවර ගම්මානය තුළ ඒ වගේ සාම්ප්‍රදායික ධීවර සංස්කෘතියත් එක්ක බැඳුණු ආහාර අලෙවි කරන ආපනශාලා ඒ කියන්නේ සී-ෆුඩ්ස් රෙස්ට්ටුරන්ට්ස් කීහිපයකුත් මම එකේ යෝජනා කරලා තියෙනවා.
ඉතින් මේවා සැලසුම් කරලා ක්‍රියාවට නැගීම පමණයි සිදුකළ යුත්තේ. මේ වගේ අලුත් අදහස් වලින් තමයි අපිට මේ හැමෝගෙම උදව් ලබාගෙන ඒ අයගේ සහයෝගයක් ලබාගෙන මේ සංචාරක කර්මාන්තය මීගමුව තුළ ගැටළුවක් නැතුව පවත්වාගෙන යන්නට හැකි වෙන්නේ. මම හිතන්නේ හැම දේකටම අලුත් අදහස් අලුත් සැලසුම් අවශ්‍යයි කියලයි.4a45ea66 5d18 4109 b7e4 303279f71c92

දැන් ඔබ ඉදිරිපත් කරලා තියෙනවා එතකොට ධීවර ගම්මානයක් මේ සංචාරක ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය වන ඒක ව්‍යාපෘතියක් විදියට. ඔය වගේ තව මොනවද ඔබ යෝජනා කල ව්‍යාපෘති ?

අනිත් එක තමයි මේ ලන්දේසි කොටුව. මේක අපිට තියෙන ඓතිහාසිකම වටිනාමක් සහිත ස්ථානයක්. මම ඒ සඳහාත් යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා මේ ඒ කොටුවේ තියෙන හිරගෙදර , දැනට දළුපත එළිමහන් සිරකඳවුර ආශ්‍රිත ප්‍රදේශයේ තවත් විශාල භූමි ප්‍රදේශයක් තියෙනවා භූමි ප්‍රදේශය තුළ මේ හිරගෙදර අපට ස්ථාපිත කරන්න පුළුවන් . එහෙම වුනොත් මේ කොටුව නිදහස් වෙනවා නිදහස් වුනොත් ඒ කොටුව සහ ඒ ආශ්‍රිත ප්‍රදේශයේ තියෙන ගොඩනැගිලි වගේ දේවල් අපට සංරක්ෂණය කරලා, ඒවා තුළ සංචාරක නැරඹුම් මධ්‍යස්ථාන වගේ දේවල් ඇති කරන්න අපට පුළුවන් වෙනවා. ඒ වගේමයි අපිට තියෙනවා තවත් ඓතිහාසික ස්ථානයක් . ඒ තමයි අපේ පැරණි තානායම ඕල්ඩ් රෙස්ට් හවුස් එක. එංගලන්තයේ රැජිණ පවා නවාතැන් ගත්තු සුවිශේෂී ඓතිහාසික ස්ථානයක් එතන . ඒක සංරක්ෂණය කරලා ඒවා සංචාරක ආකර්ෂණය ඇති කරන ස්ථානයක් බවට පත් කරගන්නත් පුළුවන්. හැබැයි එතන තියෙන ප්‍රශ්නේ තමයි , ඒ තානායම අවට සිදුවන කරවල වේලීම වගේ කටයුතු එතනින් ඉවත් කළ යුතුයි. එහෙම ඉවත් කරලා එතන ඒ වෙරළ තිරය පිරිසිදුව තබා ගත යුතුයි. ඒක නිසයි මම කිව්වේ කරවල වේලීම වගේ දේවල් අපි අර යෝජනා කරපු ධීවර ගම්මානය තුළ ස්ථාපිත කරන්න පුළුවන්. මේ හැම දේකම පිළිවෙලක් හා විධිමත් බවක් තිබිය යුතුයි මම මුලින්ම කිව්වේ ඒකයි.
ඒ වගේම අපි යෝජනා කෙරුවා මීගමු කලපුවේ වෝටර් ස්පෝර්ට් නොහොත් ජල ක්‍රීඩා ව්‍යාපෘතියක්. ඒක ඇත්තටම ජල ක්‍රීඩා සංකීර්ණයක්. ඒ වගේම හැමිල්ටන් ඇල සුද්ද පවිත්‍ර කරලා ,ඒකේ පරිසර හිතකාමී බෝට්ටු සවාරි වගේ දේවල්, ඒත් එක්කම දෙපස කඩ සාප්පු වගේ ස්ථාන ස්ථාපිත කිරීම වගේ ව්‍යාපෘතිත් අපි ඉදිරිපත් කරලා තියෙනවා

අනිත් එක තමයි සංචාරකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල අඩුපාඩුවක් පවතින සංචාරක පොලිසියට ස්ථිර ගොඩනැගිල්ලක් ලබාගැනීම. අපේ ඒ ව්‍යාපෘතිය දැන් සෑහෙන දුරකට සාර්ථක වෙලා තිබෙනවා. ඒක දැන් ක්‍රියාත්මක මට්ටමේ පවතිනවා. අපි බලාපොරොත්තු වෙනවා සංචාරකයන්ගේ ආරක්ෂාව සම්බන්ධව පොලිස් නිලධාරීන් ඒ සඳහා වැඩිපුර ප්‍රමාණයක් යොදා ගන්න වැඩපිළිවෙලක් මෙන්ම මුහුදේ දිය නෑම සඳහා එන දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සම්බන්ධව කටයුතු කරන ලයිෆ් ගාර්ඩ්ස්ලා හෙවත් ජීවිත ආරක්ෂක භටයන් පිරිස වැඩි කරගන්නත් අපි මේ වෙද්දි යෝජනා සහ විශේෂිත ව්‍යාපෘති ඉදිරිපත් කරලා තියෙනවා
තවත් වෙරලාශ්‍රීත පරිසරය අලංකරන ව්‍යාපෘති වගේම ජනතාවට නිදහසේ සුවසේ ඇවිල්ලා මුහුදු වෙරළේ අසිරිය විඳින්න පුළුවන් වෙන විදිහට පරිසරය සකස් කරන ව්‍යාපෘති කිහිපයක්ද අපි මේ වෙද්දි යෝජනා කරලා තියෙනවා.
මීගමුවට පැමිණෙන සංචාරකයන්ට බලන්න කරන්න බොහෝ සංවේදී පරිසර ස්ථාන වගේම ඓතිහාසික ස්ථාන ගණනාවක් තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපි ඒවා සේරම වහගෙන ඉන්නේ. අපි ඒවා උලුප්පලා පෙන්නලා නැහැ. අන්න ඒ දේවල් උලුප්පලා අරගෙන, නව ප්‍රවණතා අනුව මේ මීගමුවේ සංචාරක ව්‍යාපාරය නන්වන්න, ශක්තිමත් කරන්න සහ ප්‍රවර්ධනය කරන්න අපට පුළුවන්. මේ සියලුම දේවල් සිදු කරන්න පුළුවන් වෙන්නේ අපි සැලසුම් සහගතව වැඩ කළොත් පමණයි. මේ සඳහා රජය දේශපාලන අධිකාරිය රාජ්‍ය ආයතන වල සියලුම වගකිවයුතු නිලධාරීන් නිලධාරිනියන් වගේම හෝටල් හිමියන්,සහ නගරයේ සියලු ත්‍රීවීල් සංගම් සිට සෑම තරාතිරමකම සියලු සංවිධාන සංගම් සහ ආයතන එකමුතුව වැඩ කෙරුවොත් මම හිතනවා ඉතා ඉක්මනින්ම කඩාවැටීමකට ලක්වෙලා තියෙන මේ මීගමුවේ සංචාරක කර්මාන්තය ඉතා ඉක්මනින්ම අපිට නගා හිටවන්න පුළුවන් වගේම, මීගමුව ලෝකයේ ප්‍රධානතම සංචාරක මරමස්ථානයක් මෙන්ම ආකර්ශනීයම සංචාරක ගමනාන්තයක් බවට පත්කරගන්නට අපට හැකි වෙනවා.e0f77cf4 28d7 457b 88d1 cbc333384a05

අවසාන වශයෙන් මම, ඔබගෙන් අහන්න කැමතියි, ඔබ මේ වැඩිපුරම කතා කරන දෙයක් තමයි මේ එකමුතුකම. ඇයි ඔබ එකමුතුකම ගැන වැඩිපුරම කතා කරන්නේ ?

මං ඒක හැමතිස්සෙම කියන්නේ සෑම දේකටම එකමුතුකම අවශ්‍යයි. අපේ විවිධ අදහස් තියෙන්න පුළුවන්. හැබැයි අපේ පරමාර්ථය එකයි නම්, එතන අපේ එකමුතුකම තියෙනවා නම්, ඒ පරමාර්ථය සාක්ෂාත් කරගන්න එක, යථාර්ථයක් කරගන්න එක අසීරු දෙයක් නෙවෙයි. මම හැමතිස්සේම කියන දෙයක් තමයි “මිනිමුතු, ගජමුතු, පරදන එකමුතු” කියන වදන . මේක හරිහැටි අපි තේරුම් ගත යුතුයි. දැන් උදාහරණයක් හැටියට කිව්වොත් අද අපි මේ මීගමුවට පත්වෙලා ඉන්න ගරු නගරාධිපතිතුමා ඇතුළු යළිත් මන්ත්‍රී මණ්ඩලය ඉතාමත් හොඳ අවබෝධයකින් වැඩ කටයුතු කරන්න පුළුවන් පිරිසක් කියන එක අපි කවුරුත් දන්න දෙයක්. හැබැයි සමහර වෙලාවල් වලදී මේ එක්ස්පර්ට්ලා එහෙම නැත්නම් විශේෂඥයෝ වාගේ කියාගන්න පිරිසක් ඒ අය වෙතට ගිහිල්ලා වැඩක් කරන්න යද්දි , බොරු කේළම් කියලා අර සිද්ධ වෙන්න යන වැඩේ සම්පූර්ණයෙන්ම නතර කරලා කඩාකප්පල් කරන පිරිසකුත් ඉන්නවා. හැබැයි ඒ අය කියන්නෙත් අපි මේ මීගමු නගරය වෙනුවෙන් සංචාරක කර්මාන්තය වෙනුවෙන් අපි යම් වැඩක් කරනවා කියලා. ඇත්තටම එයාලා කරන වැඩක් නෑහැ. එයාලා බොහෝ වෙලාවට ඉන්නේ එයාලගේ පෞද්ගලික පරමාර්ථ අදහස් මුදුන්පත් කරගන්න මිසක්, මේ නගරයට මේ සංචාරක කර්මාන්තයට, මීගමුවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට වැඩක් කරන්න නෙවෙයි. එයාලගේ ක්‍රියා කලාපයන් දිහා බලපුවහම ඒක හොඳට පෙනෙන දෙයක්. එයාලා බොහෝ වෙලාවට දේශපාලන අධිකාරියේ බලවතුන් සහ වගකිවයුතු රාජ්‍ය නිලධාරීන්ව භාවිතා කරන්නේ එයාලගේ පෞද්ගලික පරමාර්ථ වෙනුවෙන් පමණයි, කියලයි මම නම් කියන්නේ. එයාලගේ පරමාර්ථත් එකයි නම්, අපෙත් පරමාර්ථත් එකයි නම් , ඇයි එයාලට බැරි එකමුතු වෙලා වැඩ කරන්න. ආයේ වෙන වෙනම ගිහිල්ලා වැඩ කරන්න අවශ්‍යතාවයක් නෑහැ.
ඉතින් මං කියන්නේ මීගමු නගරයේ සංචාරක කර්මාන්තය විතරක් නෙවෙයි, ඕනෑම පොදු ප්‍රශ්නයකදී, දේශපාලන අධිකාරිය, රාජ්‍ය ආයතන නිලධාරීන් සිවිල් සංවිධාන හා සංගම්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන්, සිවිල් සමාජය සහ ධීවර ප්‍රජාව ඇතුළු සියලුම පොදු ජනතාව එකට ඒකරාශී වෙලා එකමුතුකමින් කටයුතු කළහොත් මීගමුව සාර්ථක සංවර්ධිත නගරයක් බවට පත් කරගන්න හැකිවෙනවා, මගේ පෞද්ගලික ප්‍රාර්ථනයත් එයයි. ඉතින් එය ඉක්මනින්ම ඉටුවේවි කියලා තමයි මම පෞද්ගලිකව බලාපොරොත්තුව වෙන්නේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here