(03.00 pm) සරත් බර්නාඩ් වෙල්ගම කියන්නේ දශක ගණනාවක් ගුරුවරයෙකු ලෙස මෙන්ම ප්‍රතිපත්තිගරුක වාමාංශිකයෙකු ලෙස සිය ජිවන භූමිකාව පවත්වාගෙන ගිය අයෙක්.අදටත් ඔහු විශ්‍රාමිකයන්ගේ සංගමයේ වඩාත් ශක්තිමත් කරන්න සිය දශක ගණනාවක අත්දැකිම් හරහා කටයුතු කරමින් සිටින අයෙක්.
හැබැයි අපි කව්රුත් ඔහුව හැදුන්වුයේ වෙල්ගම සර් කියල.කව්රුත් දන්නේ.ස.බ වෙල්ගම කියල.
ස.බ දක්ෂ ලේඛකයෙක් ඔහුටම ආවේනික කවි ආරටකටද හිමිකම් කියන්නෙක් .
මිගමුවේ කලක් ඉතාමත් ශක්තිමක්ව ක්‍රියාත්මක වු සිවිල් පුරවැසි එකතුව සේ තිබුන මිගමු සහයෝගිතා කමිටුවේ ලේකම් ධුරය දැරුවේද ඔහුයි.
පහත පළවෙන්නේ මිගමුව ගැන ඔහු සමගින් කළ සාකච්ජාවක සංෂිප්ත සටහන්.
මීගමුව නගරය සහ නගරයට ආශ්‍රිත ප්‍රදේශ වලට කානු පද්ධතියක්
අද මීගමුව නගරයේ සහ නගරය අවට ප්‍රදේශවල කානු පද්ධතිය තමයි ප්‍රධාන වශයෙන්ම නැවත සැකසිය යුත්තේ කියලයි මම හිතන්නේ. අද මේ නගරයේ ප්‍රධාන පාරවල් වල වාගේම සමහර අතුරු පාරවල් වල දෙපැත්තේ තියෙන කානු පද්ධති ලස්සනට හදලා තිබුනට වර්ෂා අවස්ථාවකදී ඒවායින් නිසි විදිහට වැසි ජලය ගලාගෙන යන්නේ නෑහැ. බොහෝ විට එම කානු වලින් වැසි ජලය පිටාර යනවා. ඒ කියන්නේ කානු විධිමත් සහ ක්‍රමවත් ආකාරයකට සැලසුම් කරලා නෙමෙයි හදලා තියෙන්නේ. ඒක නිසයි මම කිව්වේ කානු පද්ධති තිබුණට වැඩක් නෑහැ , ජලය නිසි ලෙස ඒවායින් ගලා බහින්නේ නැත්නම්. ඒ නිසා මීගමුව නගරයේ අනිත් හැම දෙයක්ම දියුණු කරනවා වගේම නගරයේ සහ නගරයේ අවට පාරවල්වල සැලසුම් සහගතව ක්‍රමවත් සහ විධිමත් විදිහට නැවත වරක් නිසි කානු පද්ධතියක් ගොඩනැගිය හැකි නම් ඒක මීගමුව නගරයට කරන විශාල යහපත් කාර්යයක් කියලයි මා විශ්වාස කරන්නේ.
වැසි ජලය එක් රැස් කරන ස්ථානයක්
හැබැයි ඔතනදි තව ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා . අද අපි හැමෝම දන්න දෙයක් තමයි මීගමුව කියලා කියන්නේ මුහුදු මට්ටමට වඩා පහලින් පිහිටා ඇති භූමි ප්‍රදේශයක් සහිත නගරයක් එතකොට එවැනි අවස්ථාවක කානු පද්ධති හදලා, ඒ කානු පද්ධති වලින්ම පමණක් මුළුමනින්ම වැසි ජලය හා අප ජලය මීගමුවේ කලපුවට මුදා හරින්න පුළුවන් කියලා මම හිතන්නේ නෑහැ. මීට දශක ගණනාවකට කලින් නම් ඔය සම්බන්ධව ඉතාම හොඳ යෝජනාවක් ආවා, මීගමුවේ කානු පද්ධති යොදා ගෙන කරන්න බැරි , ඔය වැඩේ වෙනත් ක්‍රමවේදයකට කරමු කියලා. ඒ ක්‍රමවේදය තමයි විශේෂයෙන්ම මීගමුව නගරය තුල හා නගරය ආශ්‍රිතව එකතුවෙන වැසි ජලය කානු පද්ධති හරහා , එක තැනකට රැස් කරලා, ඒක විශාල මහා පරිමාණ ටැංකියක්, වෙන්නත් පුළුවන්, ඒ වගේ ස්ථානයක් එහෙම නැත්නම්, ජලය එකතු කරන ස්ථානයක් ස්ථාපිත කරලා ඒ ජලය පසුව කලපුවට පොම්ප කරලා මුදා හරින වැඩපිළිවෙලක්. මෙතනදී යෝජනා වුනා.හැබැයි ඒ යෝජනාවේ තිබුනේ වැසි ජලය පමණයි. නගරයේ හෝටල් , වෙනත් ආයතන සහ නිවාස වලින් එකතු වෙන අප ජලය ගැන මේ වැඩපිළිවෙළ ඇතුළේ යෝජනා වුණේ නැහැ. මේ යෝජනාව ඇතුලේ කතා වුනේ වැසි ජලය පමණයි. මේක දැන් සෑහෙන කාලෙකට කලින් තමයි යෝජනා වුනේ . මට දින වකවානු නම් මතක නැහැ. මම අහලා තියෙනවා ඔය වගේ මුහුදු මට්ටමට වඩා පහලින් පිහිටි සමහර රටවල් වල මේ ක්‍රමය අනුගමනය කරනවා, කියලා. ඒ කියන්නේ ජලය එක් තැනකට එක්රැස් කරලා ඒ ස්ථානයේ සිට එක්කෝ මුහුදට හරි කලපුවකට නැත්නම් ඇළ මාර්ගයකට හරි පොම්ප කරනවා, මේ ක්‍රමය මුහුදු මට්ටමට වඩා පහළින් පිහිටි රටවල්වල අප ජලය, වැසි ජලය මුදා හරින්න යොදාගන්න පුළුවන් ඉතාම සාර්ථක ක්‍රමවේදයක්. මම හිතනවා මේ ක්‍රමය මීගමුව නගරයටත් වඩා සුදුසුයි කියලා.
මීගමුවේ මාර්ග පද්ධතියේ ප්‍රමිතිය සහ විධිමත්භාවය
අනිත් එක මීගමුවේ පාරවල් වල ප්‍රමිතිය සහ විධිමත්භාවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. දැන් උදාහරණයක් හැටියට මීගමුව තලාදුව පාර ගත්තොත්, ගල්කන්ද හංදියේ ඉඳලා මීගමුව නගරයට යන්න තියෙන පහසුම පාර ඒක. ඒ පාරේ පළල අඩි 20 යි. නමුත් පාරේ තාර පටිය එහෙම නැත්නම් මේ පාරේ තාර දාපු ප්‍රමාණයේ පලල අඩි 10 යි. එතකොට දෙපැත්තෙන් තව අඩි 05 බැගින් පළල තව අඩි 10 ක් තියෙනවා. ඒ දෙපැත්තේ අඩි 05 ගානේ තියෙන කොටස් 02 කේ තමයි ලයිට් කණු, ටෙලිෆෝන් කණු හිටවලා තියෙන්නේ . එක ප්‍රශ්නයක් තමයි පාරේ නියම පළල නෑහැ. අනිත් එක පාරේ හිටවලා තියෙන ලයිට් කණු ටෙලිෆෝන් කණු නිසි ක්‍රමයක් සහ විධිමත්භාවයක් නෑ. කිසිම පිළිවෙලක් නෑහැ. අන්න ඒක නිසා මම යෝජනා කරනවා , මීගමුව නගරයේ සහ නගරය අවට තියෙන ප්‍රධාන පාරවල් ඇතුළු සියලු පාරවල් ගැන නිසි සොයා බැලීමක් කරලා, ඒ පාරවල් වල තියෙන්න ඕන නියම ඒ පළල නියම ප්‍රමාණයෙන් තියලා, ඒ වගේම ලයිට් කණු, ටෙලිෆෝන් කණු නියම විධිමත්භාවයකට ක්‍රමවත්භාවයකට ස්ථාපිත කළොත් නගරයට විශාල පිළිවෙලක් හැදෙනවා ,ඒ වගේම රථ වාහන ගමනාගමනයේදී ඒක විශාල පහසුවක් වෙනවා. ඒ වගේමයි නගරයේ අලංකරණයටත් ඒක විශාල හේතුවක් වෙනවා. අනිත් එක තමයි එහෙම පිළිවෙලකට පාරවල් තියෙද්දි ඒ පාරවල් වලින් ගමන් කරන රථ වාහන හිමියෝ. යතුරුපැදිකරුවෝ පාපැදිකරුවෝ සහ පයින් යන එන අය පවා ක්‍රමවත්ව යම් නිදහසකින් ඒ පාරවල් වල යන්න එන්න ලැබෙනවා. ඒ නිසා මම යෝජනා කරනවා මීගමුවේ පාරවල් ගැන අලුතින් විමර්ශනයක් කළ යුතුයි, ඒ වගේම ඒවා අලුතින් සැකසිය යුතුයි කියලා.
නගරයේ සනීපාරක්ෂක පහසුකම්
මීගමුව නගරයට යන එන සැමටම තදින්ම දැනෙන ප්‍රශ්නයක් තමයි, මීගමුව නගරයේ පොදු වැසිකිලි නොමැති වීම. මේක මීගමුව නගරයට යන එන විදේශ සංචාරකයන්ට විතරක් නෙමෙයි, මීගමුවට යන එන සාමාන්‍ය මෙරට ජනතාවටත් දැනෙන ලොකු අඩුපාඩුවක්.. මේ ප්‍රශ්නයට නම් විසඳුමක් ඉතා ඉක්මනින්ම අවශ්‍යයි කියලයි මට හිතෙන්නේ. දැන් සෑහෙන කාලයක් තිස්සේ ඉඳලා මේ ප්‍රශ්නයට නිසි විසඳුමක් ලබා දීලා නැහැ. එක්කෝ නගර සභාව හරි, නැත්නම් වෙනත් රජයේ ආයතනයක් හරි, එහෙමත් නැත්නම් රජය මැදිහත් වෙලා පෞද්ගලික ආයතනයක් හරි මේ නගරයේ සෞඛ්‍ය ආරක්ෂිත පොදු වැසිකිලි නොමැති වීමේ ප්‍රශ්නයට කඩිනමින් විසඳුමක් ලබාදිය යුතුයි. ඒ කියන්නේ ඉතා ඉක්මනින්ම මීගමුව නගරයේ තෝරාගත් ස්ථාන කිහිපයකම පොදු මහජන වැසිකිලි පද්ධති ස්ථාපිත කළ යුතුයි ඒ වගේම ඒවා අඛන්ඩව පවත්වාගෙන යා යුතුයි. ඒවගේම ඒවා රජයේ ආයතනයක් හරහා අධීක්ෂණය කළ යුතුයි කියලත් මා යෝජනා කරනවා. මෙය මීගමුව නගරයට ආදායමක් ලැබිය හැකි ආකාරයට ද සකසා ගත යුතුයි. මෙය එක අතකින් සේවාවක්. හොඳ මහජන සේවාවක් ලබාදී යම් ආදායමක් රජය විසින් උපයා ගත්තට ඒකේ කිසිම ගැටළුවක් මම නම් දකින්නේ නෑහැ. ඒ නිසා මම යෝජනා කරන්නේ ඉතා ඉක්මනින් මේ පොදු අවශ්‍යතාවය සඳහා කඩිනම් පියවර ගත යුතුයි.
බස් නැවතුම්පොළ
කෝටි ගණනක විශාල මුදලක් වැය කර ඉදිකළ මීගමුවේ තෙමහල් බස් පර්යන්ත ගොඩනැගිල්ලට අද අත්වී ඇති ඉරණම ඉතාම ඛේදනීයයි. පහල තිබෙන බස් නැවතුම්පොළ ඇරෙන්නට, එහි දෙවන
මහල තෙවන මහල අද වන විට කිසිදු ප්‍රයෝජනයක් ගත නොහැකි ලෙස විනාශ මුඛයට යමින් තිබෙනවා. විශේෂයෙන්ම පහුගිය කාලයේ දෙවන මහලේ නම් කඩ කිහිපයක් විවෘත වෙලා තිබුණා. නමුත් මේ වෙද්දි ඒ දෙවන මහලෙත් එක කඩයක්වත් නෑ කියලා තමයි ආරංචි වුණේ. ඒත් එක්කම මේක ඉහළම මහල ඒ කියන්නේ තෙවන මහල වවුලන්ගේ පරවියන්ගේ රජ දහනක් වෙලා තියෙනවා කියලත් ආරංචි වුණා. ඉතින් මේක විශාල අපරාධයක්. මේවා හදන්න වැය කරලා තියෙන්නේ මහජන බදු මුදල්. ඒක නිසා මේ ගොඩනැගිල්ල , විශේෂයෙන් මේකේ දෙවන මහල හා තෙවන මහල කිසියම් ප්‍රයෝජනවත් කාර්යයකට යෙදවීම අත්‍යවශ්‍ය දෙයක්. ඒ සඳහා මෙතරම් කාලයක් ගත වීමත් විශාල පමාවක් කියලයි මම හිතන්නේ. ඉතින් මේ වැය කරපු විශාල මුදල් කන්දරාවට යම් හෙැ් වටිනාකමක් දෙන්න නම් මේ ගොඩනැගිල්ලෙන් කිසියම් හෝ ප්‍රයෝජනයක් ලබා ගත යුතුයි. ඒ සඳහා පරිණත පුද්ගලයෝ සහ ඒ පිළිබඳව ඉන්න විශේෂඥ දැනුම තියෙන අයව සම්බන්ධ කරගෙන ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් යොදාගෙන මේ ගොඩනැගිල්ලෙන් උපරිම ප්‍රයෝජනයක් ලබාගත යුතුයි. නැත්නම් මේකට වැය කරපු අතිවිශාල මුදල් කන්දරාව අපතේ ගියා වගේ වෙනවා . ඉතා ඉක්මනින්ම මේ සඳහා වැඩපිළිවෙළක් යොදනවා නම්, ඒක මේ නගරයට කරන්න පුළුවන් ලොකු සේවාවක් කියලයි මට හිතෙන්නේ.
මීගමුවේ ක්‍රීඩාපිටි
දැන් මීගමුවට තියෙන තවත් ලොකුම ප්‍රශ්නයක් තමයි මේ මීගමුවේ තියෙන ක්‍රීඩා පිට්ටනි කළමනාකරණය කිරීම.ඒ කියන්නේ දැන් සංගීත සංදර්ශන සැණකෙළි වගේ දේවල් පවත්වන්නේ රාත්‍රී කාලයට. එතකොට රාත්‍රී කාලයට පවත්වන සංගීත සංදර්ශන, සැණකෙළි වගේ දේවල් පැවැත්විය යුත්තේ අවට නිවාසවල ජීවත්වෙන ජනතාවට කරදරයක්, අපහසුතාවයක් නොවෙන පරිදි. නමුත් අද ප්‍රශ්නය වෙලා තියෙන්නේ සැණකෙළි වලට සංගීත සංදර්ශනවලට පිට්ටනි ලබාදීමේදී අදාළ බලධාරීන් නිවාසවල ජීවත් වෙන ජනතාව ගැන කිසිදු සැලකීමක් නොමැති බව ඉතා හොඳින්ම පෙනෙන්නට තියෙන කාරණයක්.
උදාහරණයක් හැටියට කිව්වොත් දැන් කඩොල්කැලේ ක්‍රීඩා පිට්ටනිය ලබා දෙනවා , රාත්‍රී කාලයට පැවැත්වෙන සංගීත සංදර්ශන සහ සැණකෙළි වලට . ඒ ක්‍රීඩා පිටිය අවට මම දන්න තරමින් නිවාස 3000 කට වැඩිය තියෙනවා. මහා පරිමාණ නිවාස සංකීර්ණ පවා ඔය කඩොල්කැලේ ප්‍රදේශයේ ස්ථාපිත වෙලා තියෙනවා. ඒ වගේම කඩොල්කැලේ ප්‍රදේශයේ ඔය පිට්ටනියට ආසන්නව දේවස්ථාන තියෙනවා, ඒ වගේම බෞද්ධ විහාරස්ථානයක් තියෙනවා. ඉතිං ඒ ප්‍රදේශයේ ජනතාවට මේ කඩොල්කැලේ ක්‍රීඩා පිට්ටනියේ රාත්‍රී කාලයේ පවත්වන සංගීත සංදර්ශන, සැණකෙළි නිසා මොන තරම් කරදරයකට අපහසුතාවකට ලක්වෙනවා ඇත්ද ?.. ඇත්තෙන්ම කියනවා නම් රාත්‍රී කාලයේ පැවැත්වෙන සංගීත සංදර්ශන , සැණකෙළි වගේ දේවල් පැවැත්විය යුත්තේ, මීගමුව කොටුව පිට්ටනියේ. මොකද ඒවා රාත්‍රී කාලයේ පවත්වන නිසා ඒ අවට නිවාස එතරම් සංඛ්‍යාවක් නෑහැ. එක පැත්තකින් මහා මුහුද, තව පැත්තකින් උසාවිය, ඒවා රාත්‍රියට වැඩ කරන තැන් නෙමේයි. ඊට එහා පැත්තෙන් තවත් ආයතන කිහිපයක් තියෙනවා. තවත් පැත්තකින් තානායම තියෙනවා. ඉතින් කාටත් කරදරයක් නැතුව රාත්‍රී කාලයේ පවත්වන සංගීත සංදර්ශන, සැණකෙළි වගේ දේවල් මීගමුව කොටුව පිට්ටනියේ පවත්වන්න පුළුවන්. ඒත් එක්කම කොටුව පිට්ටනිය අවට තියෙන මුහුදු වෙරළ තීරයත් ඔය කරවල වේලන වැඩ වලින් නිදහස් කළ යුතුයි. ඔය කොටුව පිට්ටනිය , පැරණි තානායම ආශ්‍රිත ඒ මුහුදු වෙරළ තිරය නිදහස් පරිසරයක් පැවතියහොත් මීගමුවේ ජනතාවට විවේකීව ගත කරන්න පුළුවන් නිදහස් කලාපයක් බවට පත් කර ගත හැකියි. එහෙම වුනොත් මීගමුවේ ජනතාවට නිදහසේ ඇවිදලා, ඔය කොටුව පිට්ටනියේ තියෙන සැණකෙළියක්, සංගීත සංදර්ශනයක් නරඹලා, රාත්‍රී කාලයේ පවා ටිකක් නිදහසේ කාලය ගත කරන්න පුළුවන් පරිසරයක් ඒ ප්‍රදේශයේ නිර්මාණය කරගන්න පුළුවන්. මේ සඳහා බලධාරීන් මැදිහත්ව කටයුතු කරයි කියලා මා විශ්වාස කරනවා. එතකොට කඩොල්කැලේ ක්‍රීඩා පිට්ටනිය ලබාදෙන්න පුළුවන් දහවල් කාලයේ පවත්වන ක්‍රීඩා තරග, ප්‍රදර්ශන වගේ වැඩසටහන් වලට. ඉතින් මේ හැම දෙයක්ම කළ යුත්තේ ජනතාවට කිසිදු කරදරයක් අපහසුතාවයක් නොවන පරිදි. ඒ නිසා බුද්ධිමත්ව හිතලා තීන්දු තීරණ ගැනීම පමණයි බලධාරීන්ට කළ යුතුව තිබෙන්නේ. ඒ නිසා මීගමුවේ ක්‍රීඩා පිට්ටනී කළමනාකරණය කිරීම සහ වෙන් කිරීම ඉතාමත් කල්පනාකාරීව , පවත්වනු ලබන වැඩසටහන් අනුව සහ ඒවා පවත්වන වෙලාවල් අනුව ක්‍රීඩා පිට්ටනි වෙන්කර දිය යුතු කියලයි මම යෝජනා කරන්නේ.
නගර පාලනය
මීගමුව නගරය පාලනය කරන ප්‍රධානතම ආයතනය තමයි මහා නගර සභාව. එතකොට මහා නගර සභාව තමයි රජයේ අනෙකුත් ආයතන පෞද්ගලික අංශය එකට එකතු කරගෙන, ජනතාවගේ ද සහභාගිත්වයෙන් මේ නගරය සංවර්ධනය සිදු කළ යුත්තේ සහ ඒ සිදු කළ සංවර්ධනය පවත්වාගෙන යා යුත්තේ . එතකොට ඒ සංවර්ධනය විද්‍යාත්මක සංවර්ධනයක් විය යුතුයි. ඒ කියන්නේ විද්‍යාත්මක සැලසුමක් ඇතිව තමයි, මහා නගර සභාව ක්‍රියාත්මක විය යුත්තේ. එතකොට ඒ ආයතන, අදාල පුද්ගලයෝ, ඒ අදාළ නිලධාරීන් ඇතුළු සියලු කණ්ඩායම් එකතු වෙලා කරන විධිමත් සාකච්ඡාවකින් අනතුරුව තමයි මේ සෑම දෙයක්ම සිදුවිය යුත්තේ. එසේ වුවහොත් පමණයි, මේ නගරයට සිදුකරන සංවර්ධනය සාර්ථක සංවර්ධන කාර්යභාරයක් බවට පත් වන්නේ කියලයි මම හිතන්නේ.












