මීගමුව , පිටිපන මා.ජයවීර කිවිඳානන් කලා භූෂණ සම්මානයෙන් පිදුම් ලබයි.

0
397

 

ශ්‍රී ලංකාවේ, කලා ක්ෂේත්‍රයේ උන්නතිය සහ ප්‍රගමනය වෙනුවෙන් කලා ක්ෂේත්‍රයට අති විශිෂ්ඨ සේවාවක් සිදුකල කලාකරුවන් ගෞරව බහුමානයෙන් ඇගයීම උදෙසා පිරිනමනු ලබන
“‘ කලා භූෂණ ” සම්මානයෙන් මීගමුව පිටිපන ප්‍රදේශයෙන් බිහිවූ ප්‍රතිභාපූර්ණ සාහිත්‍ය දරයකු ලෙස ප්‍රකට
” මාකස් ජයවීර ” නොහොත් පිටිපන, මා.ජයවීර කිවිඳානන් පසුගියදා පිදුම් ලැබීය.

IMG 20260114 WA0032
ඒ පසුගිය 12 වැනි සඳුදා දින කොළඹ අරලියගහ මන්දිරයේ , ශ්‍රවනාගාරයේ පැවති , 2025 කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙලේදීය. 40 වැනි වරට පවත්වනු ලැබූ මෙම සම්මාන උළෙල මෙවරත් සංවිධානය කර තිබුණේ ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයට අනුයුක්ත සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගිනි. මෙම සම්මාන උළෙල ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා , එහි නියෝජ්‍ය අමාත්‍ය මුනිර් මුලාෆර් මහතා සහ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා ඇතුළු ආරාධිතයින් පිරිසකගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර සංගීතය, නාට්‍ය, නර්තන,සාහිත්‍ය, චිත්‍ර සහ මූර්ති ඇතුළු තවත් කලා ක්ෂේත්‍ර ගණනාවක ,නිරත වූ මෙරට ප්‍රතිභාපූර්ණ සහ පරිණත කලාකරුවන් , කලාකාරිනියන් 200 දෙනෙකු මෙලස කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූහ.
ඒ අනුව මා. ජයවීර කිවිඳුන් , වසර 08 ක පමණ කාලයකට පසු මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළින් බිහි වු කලාභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ එකම කලාකරුවා ලෙසද හඳුන්වා දිය හැක.

IMG 20260114 WA0036
මීගමුව, පිටිපන ප්‍රදේශයේ ඉපිද , පිටිපන මහා විද්‍යාලයෙන් සිප් සතර හදාරමින්, එම විද්‍යාලය තුලින්ම ඔහු සිය ලේඛන කලාව ආරම්භ කර ඇති අතර ප්‍රකට වියතෙකු වු සිරිනස් බණ්ඩාර මහතාගේ ඇසුර ඔහුගේ සාහිත්‍ය දිවිය වෙනස් මඟකට යොමු කළේය.
එලෙසම ඔහු සඳලංකා පිරිවෙනෙන් බෞද්ධ අධ්‍යාපනයේ ඇසුරද ලබා ඇත.
මෙරට කතෝලික ජනතාවගේ ආදරණීය කවියා ලෙස ප්‍රකට පිටිපන මා. ජයවීර කවිඳු වසර 60 කට වැඩි කාලයක් සිය කවියෙන් ජනතාව ආමන්ත්‍රණය කරමින් සිය කවිය අවියක් කොට ගත් නිදහස් නොගැති කලාකරුවකු ලෙසද ප්‍රකටය.” සිරිලක කිතුනු කවියා” ලෙස වරෙක සම්මානයෙන් පවා පුදනු ලැබු අතර අදටත් සිරිලක කිතුණු කවියා ලෙස ඔහුව හැඳින්වීමට වැඩිදුර අටුවා ටීකා අවශ්‍ය නැත. නමුදු ඔහු කතෝලිකයන්ටම අයිති කවියකු නොව දුක් විඳින ජනතාව වෙනුවෙන් සිය පන්හිඳ හසුරුවන කවියෙකු ලෙසද හඳුන්වා දිය හැක.

IMG 20260114 WA0036
1985 වසරේදී ඓතිහාසික පාස්කු සමරු කලාපය නිර්මාණය කිරීම, 1988 ස්වාමිදරුවාණෝ පාස්කු සමරු කලාපය නිර්මාණය කිරීම සහ ඥානාර්ථ ප්‍රදීපය පුවත්පතට වසර 150 ක් පිරීම නිමිත්තෙන් නිර්මාණය කළ ” පහන් වී පහණක් ” නිර්මාණය ජනගත කිරීම, එලෙසම 2017 වසරේ “ගොල්ගොතාවේ වැලපීම” නමින් මෙරට ප්‍රථම වතාවට නූතන පසන් ලතෝනි නිර්මාණය එළිදැක්වීම සහ 2022 වසරේ මෙරට පළමුවරට පඬිවර ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමා වෙනුවෙන් නිර්මාණය වූ උපහාර ගීය නිර්මාණය කිරීම ඇතුළු කළා කටයුතු රාශියක් මා.ජයවීර කිවිඳු විසින් මෙරට කතෝලික සාහිත්‍ය වෙනුවෙන් සිදු කර තිබේ.
තවද පරිසරයට බෙහෙවින් පෙම් බඳින දැඩි පරිසරහිතකාමියෙකු වන මා. ජයවීර කිවිඳු විසින් මෙරට කලපුවක් වෙනුවෙන් නිර්මාණය කළ එකම කලපු ගීතය වන , මීගමුව කලපු උදාන ගීය 1993 වසරේදී නිර්මාණය කර තිබේ. එලෙසම මීගමු මහා නගර සභාව වෙනුවෙන් සුසැදි
” මීපුර උදාන ගීය ” ඔහුගේ පන්හිදෙන් නිර්මාණය වූ තවත් සුවිශේෂී නිර්මාණයකි. මෙලෙස කවිය සිය සරල දිවිපෙවිතේම එක් අංගයක් බවට පත්කර ගත් මා. ජයවීර කිවිඳු සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ ප්‍රබල සාමාජිකයෙකි.

IMG 20260114 WA0035
සංස්කෘතික කටයුතුභාර නිලධාරීනි ඩිලිෂා මහත්මිය සමඟ

ඔහුට මෙම කලා භූෂණ සම්මානය ප්‍රදානය කළ අවස්ථාවට ඔහු සමඟින් මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, සංස්කෘතික කටයුතු භාර නිලධාරිනී, ඩිලීෂියා මහත්මියද සහභාගි විය.

මීගමුව පුරවරයට පමණක් නොව මෙරට කිතුනු සාහිත්‍යයට අභිමානයක් සහ ගෞරවයක් එක් කරමින්, තවමත් නිරන්තරයෙන් සක්‍රීයව තම කලා කටයුතු නිර්මාණයන්හී නිරත වන මේ නිහඬ සහ අව්‍යාජ කලාකරුවානන්ට තව තවත් දේශීය කලාකෙත වින්දනීය නිර්මාණයන්ගෙන් පෝෂණය කිරීමට චිරාත් කලක් ,ශක්තිය ධෛර්යය ලැබේවා යැයි
“” මීපුර “‘ අපද මෙලෙස උණුසුම් සුභ පැතුමන් ගෙන එන්නෙමු .

((( මෙම සටහන සඳහා විස්තර සහ ඡායාරූප ලබාදීමෙන් දැක්වූ සහයෝගයට , මීගමුව සංස්කෘතික කටයුතු භාර නිලධාරිනී දිලීෂියා මහත්මියටත්, මීගමුව, පිටිපන පාස්කු නාට්‍ය අධ්‍යක්ෂක , ඉංග්‍රීසි භාෂා කථිකාචාර්ය මෙරිල් පීරිස් මහතාටත් අපගේ ස්තූතිය පිරිනමමු. )))

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here