ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවට අනුයුක්ත, මීගමුව ප්‍රජා විශෝධන කාර්යාලය මගින් සංවිධානය කළ සරුංගල් තරඟයක් අද (10/09/2025) උදෑසනදී මීගමුව වෙරළ උද්‍යාන පරිශ්‍රයේදී පැවැත්විණි.
” ගගන සරණ ඉඳුවර රූ ” ලෙස නම්කර ඇති මෙම සරුංගල් තරඟය අද උදෑසන සිට සවස 2.00 දක්වා පැවැත්වේ.මේ සඳහා සහභාගි වීමට නියමිත වූයේ මීගමුව, ප්‍රජා විශෝධන කාර්යාලය මගින් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රජා විශෝධන කාර්යාලවල නියෝගලාභීන් ට පමනි. එලෙස නියෝගලාභීන් සහ ඔවුන්ගේ පවුල් සාමාජිකයන් සම්බන්ධ කර ගනිමින් ප්‍රජා විශෝධනලාභීන්ගේ නිර්මාණාත්මක චින්තනයන් සේම ඔවුන්ගේ නිර්මාණාත්මක කලා කුසලතාවයන් සංවර්ධනය කිරීම සහ එළිමහන් ක්‍රියාකාරකම් වලින් ඔවුන්ගේ ආතතී කළමනාකරණය ( Stress Management ) කර ගැනීම, මෙම සරුංගල් තරඟය පැවැත්වීමේ මූලික අරමුණ වී තිබුණි.


මෙහි ආරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිතයන් ලෙස බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ ප්‍රජා විශෝධන නිලධාරී, තිස්ස කුමාර , මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවාරච්චි සහ කටාන සහකාර ප්‍රාදේශීය ලේකම්, නිලූෂ ද සිල්වා යන මහත්ම මහත්මාවීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

වර්ෂ 1996 අංක 46 දරණ ප්‍රජා පාදක විශෝධන පනත යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේදී මහේස්ත්‍රාත් අධිකරණවල ගරු මහේස්ත්‍රාත්වරුන් විසින් ප්‍රජාපාදක නියෝග නිකුත් කරනු ලබයි. ඒ අනුව මෙරට මහේස්ත්‍රාත් අධිකරණවල ක්‍රියාත්මක වන ප්‍රජා විශෝධන කාර්යාල මගින්,වයස අවුරුදු 18 ට වැඩි , සුළු වැරදි වලට ලක් වු එනම් මත්ද්‍රව්‍ය වැරදිකරුවන් , නීති විරෝධී සූදු ක්‍රීඩාවල නිරතවුවන් සහ රථවාහන වැරදිවලට ලක් වූවන් වැනි සුළු වරදි සිදු කල අය වෙනුවෙන් බන්ධනාගාරගත කිරීමක් , අත්හිටවූ සිර දඬුවමක්, සහ දඩ මුදලක් අය කිරීම වෙනුවට මෙම ප්‍රජා විශෝධන නියෝග නිකුත් කරනු ලබයි. එලෙස නියෝග නිකුත් කරනු ලැබූ අයට මෙම වැඩසටහන යටතේ තම නිවෙස් වලම රැඳී සිටිමින් තම පවුලේ සාමාජික සාමාජිකාවන් සමඟ එක්ව වාසය කරමින් පුනරුත්ථාපනය කිරීම, විශෝධනය කිරීම සහ ඔවුන්ව වෛද්‍ය ප්‍රතිකාර හා උපදේශන සේවා වලට යොමු කිරීම මෙම මධ්‍යස්ථාන තුළින් සිදුවේ.
ඒ අනුව , මීගමුව අධිකරණ සංකීර්ණයේ ස්ථාපිතව ඇති මීගමුව, ප්‍රජා විශෝධන කාර්යාලය මගින් එලෙස නියෝග ලැබ පුනරුත්ථාපන වන 300 කට අධික පිරිසක් සිටින බවත් , එම පිරිසෙන් 100 කට අධික ප්‍රමාණයක්ම
” අයිස් ” නමැති මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවු සුළු වැරදිකරුවන් බවද මෙහිදී වැඩිදුරටත් වාර්තා වුණි.

මීගමුව, ප්‍රජා විශෝධන කාර්යාලයේ ,ප්‍රජා විශෝධන නිලධාරීනියන් වන දීපශිකා කරුණාතිලක සහ රුවනි නානායක්කාර යන මහත්මීන්ගේ සංකල්පනාවක් මත මීගමුවේදී ප්‍රථම වතාවට සංවිධානය කළ මෙම සරුංගල් තරඟයට ඉදිරිපත් කළ සරුංගල් අතරින් ,
නිර්මාණාත්මක සරුංගලය, විචිත්‍රවත් සරුංගලය සහ හොඳම මුදුන් කිරීමේ සරුංගලය යන කාණ්ඩ යටතේ තෝරා ගන්නා සරුංගල් සඳහා තරඟය අවසානයේ වටිනා ත්‍යාග පිරිනැමීමටද කටයුතු යොදා ඇත.
මෙම තරඟය පිළිබඳව අදහස් දක්වමින් මීගමුව, ප්‍රජා විශෝධන නිලධාරිනී, දීපශිකා කරුණාතිලක මහත්මිය සඳහන් කළේ , මීගමුව, ප්‍රජා විශෝධන මධ්‍යස්ථානය මගින්, මෙම විශෝධන නියෝග ලාභීන්ව උපදේශන වැඩසටහන්,වෛද්‍ය ප්‍රතිකාර සහ උපදේශන සේවාවන් වලට මෙන්ම අධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් වලටද නිරන්තරයෙන් යොමු කරන බවයි. එහෙත් එවැනි ඒකාකාරී වැඩසටහන් වලටම පමණක් නොව මෙවැනි එළිමහනේ පවත්වන කලා හැකියාව ඔප් නන්වන වැඩසටහන්වලටද ඔවුන්ව යොමු කර ඔවුන්ට වෙනස් අත්දැකීමක් ලබාදීමේ අරමුණ පෙරදැරි කරගෙන මෙම තරඟය මෙලෙස සංවිධානය කළ බව පැවසීය.
ඒ අනුව මෙම සරුංගල් තරඟය සඳහා ප්‍රජා විශෝධන නියෝග ලාභීන් 50 දෙනකු පමණ විවිධ ආකාරයේ, විවිධ ප්‍රමාණවලින් සහ විවිධ හැඩයන්ගෙන් යුත් අලංකාර ලෙස නිර්මාණය කළ සරුංගල් තරඟය සඳහා ඉදිරිපත් කර තිබිණි. තවද මෙම තරඟය නැරඹීම සඳහා එම ප්‍රජා විශෝධන නියෝගලාභින්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා නිලධාරිනියන් පිරිසක්ද සහභාගි වූහ.














