මීගමුව, මරිස්ටෙල්ලා විද්‍යාලීය ආදී ශිෂ්‍යයන් විසින් පසුගිය 12 වැනි ( 12/07/2025 ) සෙනසුරාදා දින පෙරවරුවේ මීගමු වෙරළ තිරය පිරිසිදුකිරිමේ සහ පවිත්‍ර කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් පවත්වන ලදී. මෙම වැඩසටහන මීගමුව, ඒත්තුකාල වෙරළ උද්‍යාන පරිශ්‍රයේදී ආරම්භ කලේය. මාරිස්ටල්ලා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරන “”මාරිස් මෝටර් රැලේ -2025″” (MMR-2025) තරගයට සමගාමීව මේ වසරේ පවත්වනු ලබන “නිගම්බෝ ටුගෙද(ර්) පෙස්ටීවල් 2025″ වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් ලෙස මීගමු මුහුදු වෙරළ පිරිසිදු කිරීමේ සහ පවිත්‍ර කිරීමේ මෙම ශ්‍රමදාන වැඩසටහනද පැවැත්වුණි.
පෙරදා ” බ්‍රවුන්ස් බීච් ” හෙවත් දුඹුරු පැහැති වෙරළ ලෙස මෙරට මෙන්ම ලොව බොහෝ රටවල ප්‍රකට වු සහ මීගමු පුරවරයට අනන්‍ය සලකුණක් බවට පත්වූ මනරම් මීගමු මුහුදු වෙරළ තීරය අද වන විට අපිරිසිදු සහ අපවිත්‍ර අසුන්දර වෙරළ තීරයක් බවට පත්වී තිබේ.

මෙම ශ්‍රමදාන වැඩසටහන ආරම්භ කිරීමට පෙරතුව මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා ප්‍රකාශ කළේ මෙවැනි ආකාරයේ ශ්‍රමදාන පවත්වමින් අපවිත්‍ර වූ මෙම වෙරල තිරය ශුද්ධ පවිත්‍රකිරීම ඉතා අගනා යහපත් කාර්යයක් බවයි. එලෙසම ඔහු සඳහන් කළේ මෙවැනි ශ්‍රමදාන වැඩසටහන් පැවැත්වීමත් සමගම මිනිස් ක්‍රියාකාරකම් කෙරෙහි බලපාන ආකල්පමය වෙනසක් අප මනස තුළින්ම ඇතිකර ගත යුතු බවයි. විශේෂයෙන්ම අප පරිහරණය කරන ප්ලාස්ටික් පොලතින් වැනි ද්‍රව්‍යයන් විධිමත් ලෙස පරිසරයට බැහැර කළ යුතු ආකාරය පිළිබඳව හැදියාවක් මෙන්ම විනයක් අප මනස තුළ ස්වයංව ඇති කර ගත යුතු බව ද නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා වැඩිදුරටත් එහිදී සඳහන් කළේය.


ගත වූ කාලය තුල විවිධ වූ අනීතික මිනිස් ක්‍රියාකාරකම් සහ පාලකයන්ගේ අමනෝඥ අදූරදර්ශී සැලසුම් හමුවේ මීගමුවේ සුන්දර වෙරළ අපිරිසිදු වී අපවිත්‍ර වී තිබේ. මෙලෙස අපවිත්‍ර වූ, හා අපිරිසිදු වූ මීගමු වෙරළ පවිත්‍රකර , පිරිසිදුකර සුන්දර වෙරල තීරයක් බවට පත් කිරීමේ ප්‍රථම අදියර ලෙස මීගමු පුරවරයේදී ප්‍රථම වතාවට ඔබත්, මමත් ,වෙරළත් ” ( YOU , ME , & THE BEACH ) යන තේමාව මුල් කරගනිමින් මීගමු වෙරළ පවිත්‍ර කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් මේ ආකාරයෙන් පැවැත්වීමට කටයුතු සංවිධානය කළ බව මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ධම්මික ප්‍රනාන්දු මහතා පැවසීය.
මෙම ශ්‍රමදාන වැඩසටහනට සහයෝගය දැක්වීමටත් එය අධීක්ෂණය කිරීම සඳහාත් මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා, නියෝජ්‍ය නගරාධිපති චාමර ප්‍රනාන්දු මහතා, මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මිය ඇතුළු ආරාධිත අමුත්තන් පිරිසක් සහභාගි වූහ.

මෙම ශ්‍රමදාන වැඩසටහන සඳහා මාරිස්ටෙල්ලා විද්‍යාලයේ ආදි සිසුන් මෙන්ම මීගමුව සංචාරක වෘත්තිකයන්ගේ සංගමය, මීගමුව රොටරි සමාජය, ශ්‍රී ලංකා බාල දක්ෂ ව්‍යාපාරය ඇතුළු සමිති සමාගම් සහ ස්වේච්ඡා සංවිධාන වල සාමාජික සාමාජිකාවන් මෙන්ම මීගමුව මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ සේවක සේවිකාවන් ද ඇතුළුව විශාල පිරිසක් මෙම ශ්‍රමදාන වැඩසටහන සඳහා සහභාගි වූහ.
මේ අනුව නිගම්බෝ ටුගෙද(ර්) ෆෙස්ටීවල් 2025 වැඩසටහන යටතේ මීගමුව ජැටිය , මීගමු කලපුව සහ ඓතිහාසික ලන්දේසි කොටුව පවිත්‍ර කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක්ද ඉකුත් 05 වැනි දින (05/07/2025) මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය මගින් සංවිධානය කර තිබිණි.












