මීගමුව රෝහලත් මාරිස්ටෙල්ලා විද්‍යාලයත් අතර මැද ඇති අතුරු පාර එනමි ” මුදලිඳු මෙන්ඩිස් මාවත” රථ වාහන නවතා තැබෙන විශේෂයෙන්ම යතුරුපැදි නවතා තබන ස්ථානයක් බවට පත් වී තිබෙන්නේ දැනට බොහෝ කලක සිටය. රෝහලේ සිටින නේවාසික රෝගීන් බැලීමට එන බොහෝ පිරිසකගේ සහ සමහර අවස්ථාවලදී බාහිර රෝගී අංශයට සහ සායන වලට ප්‍රතිකාර පිණිස පැමිණෙන රෝගීන් සහ ඔවුන් සමග පැමිණෙන බොහෝ පිරිසකගේ ත්‍රීරෝද රථ, යතුරුපැදි බොහෝමයක්ම නවතා තැබෙන්නේ මෙම අතුරු පාරේය.
එලෙසම බොහෝ අවස්ථාවලදී මාරිස්ටෙල්ලා විද්‍යාලයට පැමිණෙන සිසු දරුවන්ගේ දෙමාපියන් සහ භාරකරුවන් ද සමහර අවස්ථාවලදී මෙම අතුරු පාරේ සිය යතුරු පැදි හා ත්‍රී රෝද රථ නවතා තිබෙන අවස්ථාද නැතුවම නොවේ. මෙලෙස මෙම අතුරුපාර යතුරුපැදි හා ත්‍රීරෝද රථ නවතා තැබීම හේතුවෙන් එම අතුරු පාරේ වෙසෙන ජනතාවට සිය නිවාස වෙත යෑමට, ඒමට නොහැකි වන අවස්ථාවන්ට මුහුණ දීමට සිදුවන බවට එම ප්‍රදේශවාසීන් මීගමු රථවාහන පොලිසියටත් ,මහා නගර සභාවටත් එලෙසම මීගමු රෝහලේ වගකිවයුතු නිලධාරීන්ටත් පැමිණිලි කර තිබිණි. ඒ අනුව මීගමුව රථවාහන පොලිසියේ උපදෙස් මත කැඳවා තිබූ
” මීගමුව රථවාහන කමිටුව” මගින් පැවැත් වූ රැස්වීමකදී මීගමුව නගර සභා බලධාරීන් විසින් ප්‍රකාශ කර තිබුණේ, එම අතුරු පාරේ වෙසෙන ජනතාව මුහුණ දෙන ගැටලු නිසා එම අතුරු පාර රථවාහන , හෝ යතුරුපැදි නවතා තැබීම සඳහා වෙන් නොකරන බවයි. ඒ අනුව මහා නගර සභාවෙන් හෝ නගර සභාවේ අනුමැතියෙන් ලබාදෙන ටෙන්ඩරයක් මගින් වෙනත් කණ්ඩායමකට හෝ මෙම අතුරු පාර රථ ගාලක් ලෙස පවත්වාගෙන යාමට ලබා නොදෙන බවද එවකට වගකීව යුතුව සිටි නගර සභා බලධාරීන්, එම කමිටු රැස්වීමේදී පවසා තිබිණි.
එලෙසම එම අතුරු පාරේන් මීගමු රෝහලේ පිටුපස වෙනමම රෝහලට පිවිසීම සඳහා ගේට්ටුවක් ඇති බවත්, හදිසි අවස්ථාවකදී හෝ කාර්යබහුල අවස්ථාවකදී වෛද්‍යවරුන්ගේ රථවාහනත්, රෝහලේ සුව සේවා කටයුතු සඳහා ගෙනඑනු ලබන බඩු බාහිර ආදිය ප්‍රවාහනය කරන ලොරි රථ ආදිය රෝහල් පරිශ්‍රයට පිවිසීම සඳහා මෙම අතුරු පාර භාවිතා කරන නිසාත් එහි පිටස්තර පුද්ගලයන්ගේ යතුරුපැදි හා වෙනත් වාහන නවතා තැබීමට අවසර දිය නොහැකි බවත් එම කමිටු රැස්වීමේදී තීරණය වී තිබේ.
එහෙත් මෑතක සිට ” මුදලිඳු මෙන්ඩිස් මාවත” නැමැති මෙම අතුරු පාරේ විශේෂයෙන්ම රෝහලට පැමිණෙන අයගේ ත්‍රී රෝද රථ සහ යතුරුපැදි වැඩි වශයෙන් නවතා තැබීම නිරන්තරයෙන් සිදුවන බවත්, ඒ නිසා වෛද්‍යවරුන්ගේ වාහන සහ රෝහලට බඩුබාහිරාදිය රැගෙන එන වාහන වලට එම අතුරුපාර ඔස්සේ ගොස් රෝහල් පරිශ්‍රය දක්වා ධාවනය කිරීමට නොහැකි වී ඇති අවස්ථාවන් මෑත කාලීනව සුලභ වී ඇතැයි ද වාර්තා වේ.
. මේ පිළිබඳව මීගමුව රෝහලේ වෛද්‍යවරුන් පිරිසක් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙකුම අප වෙබ් අඩවිය වෙත දුරකථන ඇමතුම් පවා ලබා දෙමින් ප්‍රකාශ කර සිටියේ මේ පිළිබඳව වගකිය යුත්තන් දැනුවත් කර මේ සඳහා යම් විසඳුමක් ලබාදීමට උත්සුක වන ලෙසයි.
මේ පිළිබඳව මීගමු රෝහල් සංවර්ධන කමිටුවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ තමන් දන්නා පරිදි මෙම අතුරු පාර රථවාහන හා යතුරුපැදි නවතා තැබීම සඳහා මෙම අතුරු පාර අයත් මීගමු මහ නගර සභාවෙන් කිසිදු බාහිර කණ්ඩායමකට හෝ එය මෙතෙක් නිත්‍යානුකූලව භාර දීමක් සිදු කර නොමැති බවයි
මේ පිළිබඳව අප මීගමුව නාගරික කොමසාරිස් නුවණී සුදුසිංහ මහත්මියගෙන් කරන ලද විමසීමකදී ඇය ප්‍රකාශ කළේ මීගමුවේ රථවාහන පොලිසිය මගින් පැවැත් වූ රථවාහන කමිටු රැස්වීමක් සඳහා කොමසාරිස්වරිය ලෙස තමාද සහභාගී වූ අවස්ථාවක මෙම අතුරු පාරේ යතුරු පැදි හා ත්‍රීරෝද රථ නවතා යාම නිසා එම පාරේ වෙසෙන ජනතාවටත් රෝහලේ වෛද්‍යවරුන්ටත් සිදුවන බාධාවන් පිළිබඳව රථ වාහන පොලිසිය මගින් සිදුකළ දීර්ඝ කරුණු දැක්වීම පිළිබඳව තමන්ද දැනුවත්ව සිටින බව ඇය ප්‍රකාශ කළාය. ඒ අනුව එම කමිටු රැස්වීමේදී පවා නගර සභාවේ ස්ථාවරය බවට පත්වී තිබුණේ එම අතුරු පාර වාහන නවතා තබන ස්ථානයක් බවට පත් නොකිරීමට බවත් තමන් දන්නා පරිදි නගර සභාව මඟින් එවන් තීරණයක් මෙම අතුරුපාර සම්බන්ධයෙන් මෙතෙක් ගෙන නොමැති බව, තමන් එහිදී ප්‍රකාශ කළ බවද කොමසාරිස්වරිය පැවසීය . ඒ අනුව අප වෙත ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ රෝහලේ වෛද්‍යවරුන්ට මෙම අතුරු පාරේ ත්‍රිරෝද රථ සහ යතුරු පැදි නවතා තබා යාම නිසා යම් අපහසුතාවයකට හා ගැටළුවකට පත් වන්නටම සිදුවේ නම් තමන් ඒ පිළිබඳව ඉක්මනින්ම සොයා බලන බවයි.
මේ පිළිබඳව මීගමුව පොලිස් ස්ථානයේ රථවාහන පොලිසියේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කුලරත්න මහතා ගෙන් කරන ලද විමසීමකදී ඔහු සඳහන් කළේ තමන් මෙම රථවාහන පොලිස් අංශයේ සේවයට පැමිණයේ දින කිහිපයකට පෙරාතුව බවයි. ඒ තමන් මේ ස්ථානය පිළිබඳව විමර්ශනය කර, එම ස්ථානයේ ඇතිවී ඇති එම තත්ත්වය පිළිබඳව සොයා බලා, එලෙස රෝහලේ වෛද්‍යවරුන්ට සහ එම අතුරු පාරේ නිවැසි ජනතාවට ගැටලුවක් වේ නම් එම තත්වය විසදාලීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඔහු ප්‍රකාශ කළේය .












