මේ දිනවල ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන ලෝක පැරා මළල ක්‍රීඩා තරගාවලියේ උස පැනීම සහ මීටර් 100 තරගය ඉසව් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන මීගමුව, පිටිපන බුද්ධික හේෂාන් ප්‍රනාන්දු තරුණයා මේ වසරේ උස පැනීමේ ලෝක පැරා මළල ක්‍රීඩා ශ්‍රේණි ගත කිරීම් වලින් ලෝකයෙන්ම දෙවන ස්ථානයට පත්ව ඇත.

එමෙන්ම ඔහු මේ වන විට ඉන්දියාවේ නව දිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි අනුස්මරණ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 2025 ලෝක පැරා මළල ක්‍රීඩා තරගාවලියේ උස පැනීමේ ක්‍රීඩා ඉසව්වට සහ මීටර් 100 කෙටිදුරු දීවිමේ ධාවන ඉසව්වට සහභාගි වී සිටී.
1996 ජූලි මස 01වෙනි දින උපන් හේෂාන් ධීවර රැකියාවේ නිරත ඔගස්ටින් ප්‍රනාන්දු සහ නිර්මලා ප්‍රනාන්දු යුවළගේ දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවන දරුවායි. උපතේදී විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු ලෙස උපන් ඔහු ක්‍රීඩාවට දැඩි ලෙස ඇලුම් කළ තරුණයෙකි.



ඔහු වඩාත්ම ප්‍රිය කළ සහ වැඩිපුර දක්ෂතාවයක් පෙන්නුවා ක්‍රීඩා ඉසව්ව බවට පත් වූයේ දුර පැනීම ඉසව්වයි. මේ වන විට වසර හතරක් තිස්සේ මෙරට පැරා මළල ක්‍රීඩා තරගාවලියේ දුර පැනීමේ ශූරයා බවට පත්ව සිටි. එමෙන්ම ඔහු ඊළඟට ප්‍රිය කළේ සහ දක්ෂතා දැක්වූයේ මීටර් 100 කෙටි දුර ධාවන ඉසව්ව සඳහායි . එම ඉසවිවෙන්ද ඔහු මේ වන විට මෙරට පැරා මළල ක්‍රීඩා තරගාවලියේදී එහි ශූරයා බවට පත්ව ඇත.


ඔහු පාසල් අධ්‍යාපනය ලැබුවේ මීගමුව ශාන්ත මරියා විද්‍යාලයෙනේ වන අතර අපොස උසස් පෙළ සඳහා ඔහු වාණිජ විෂය තෝරාගෙන එම විභාගය ඉහලින් සමත්ව වසර ගණනාවක් පුද්ගලික පාසලක සම්බන්ධීකරණ නිලධාරීයෙකු ලෙස රැකියාවකද නිරක වී තිබිණි. එහෙත් සිය ක්‍රීඩා කටයුතු නිසි ලෙස සිදු කර ගැනීමට නොහැකි වූ නිසා ඔහු එම රැකියාවෙන් ඉවත්ව පූර්ණ කාලීනව පැරා මළල ක්‍රීඩාව සඳහා යොමු වී තිබේ.
ඔහුට මුල සිටම ක්‍රීඩා පිළිබඳව උපදේශකත්වය ලබා දුන් ගුවන් හමුදාවේ මළල ක්‍රීඩා පුහුණුකරුවෙකු වු රෝහිත ප්‍රනාන්දු මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ සහ පුහුණුකාරත්වය මත ඔහු සිය ක්‍රීඩා කටයුතු මේ වන විට සිදු කරනු ලබයි.
මේ වසරේ එනම් 2025 රටවල් 56 ක ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් ඉන්දියාවේ පැවති ආසියානු පැරා මළල ක්‍රීඩා තරගාවලියේදී දුර පැනීමේ ඉසව්ව වෙනුවෙන් ඔහු දෙවන ස්ථානය දිනා ගනිමින් එම ඉසව්වේ රිදී පදක්කම ජයග්‍රහණය කළේය
මෙම තරගාවලියට පෙරාතුවද ඔහු, කොරියාවේ සහ චීනයේ පැවති පැරා මළල ක්‍රීඩා තරගාවලින් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් සුවිශේෂී ක්‍රීඩකයෙකු බවට පත්විය.
ඔහුගේ මීළඟ ඉලක්කය වන්නේ මේ දිනවල ඔහු සහභාගී වන ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 2025 ලෝක පැරා මළල ක්‍රීඩා තරඟාවලියෙන් දුර පැනීමේ ඉසව්වට සහ මීටර 100 කෙටි දුර දිවීමේ ධාවන ඉසව්වට රන් පදක්කම් ලබා ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දීමය.
එලෙසම ඔහුගේ ක්‍රීඩා දිවියේ ප්‍රධානතම ඉලක්කය බවට පත් වී ඇත්තේ 2028 වසරේ ඇමරිකාවේ, නිව්යෝර්ක් හිදී පැවැත්වෙන 2028 පැරා ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය නියෝජනය කරමින් , ඔහු සහභාගී වන සෑම ඉසව්වකටම රන් පදක්කම් ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකාවට මහත් වු කීර්තියක් අත්කරදීමටය
සිය ක්‍රීඩා කෞශල්‍ය තුළින් තම උපන් රටට ,තම ගම්පියස වූ මීගමු පුරවරයට මෙලෙස කීර්තියක් අත්කර දීමට තරග වදින මීගමුවේ පිටිපන, බුද්ධික හේෂාන් නම් මේ සුවිශේෂී සහ ධෛර්ය සම්පන්න තරුණයාට ශ්‍රී ලංකාව රනින් සරසන්නට හැකි වේවා යයි, ” මීපුර ” අපද මෙලෙස සුභ පැතුම් එක් කරමු.












