ලෝක ළමා දිනය සහ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් 

0
447

සෑම වසරකම ඔක්තෝබර් මාසයේ පළමු (01/10) දිනට යෙදෙන” ලෝක ළමා දිනය ” සමරන අප, . අපගේ හදවත් තුළ විශේෂ ස්ථානයක් හිමි වන්නේ, ආදරය, රැකවරණය සහ අවබෝධය වඩාත් අවශ්‍ය කරන විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට ය. ඔවුන්ගේ ලෝකය වර්ණවත් කිරීමටත්, ඔවුන්ට සමාජයේ පූර්ණ සාමාජිකයන් ලෙස ජීවත් වීමට අවශ්‍ය මග පෙන්වීම ලබා දීමටත් අප සැමගේ අවධානය සහ කැපවීම අත්‍යවශ්‍ය වේ. එවන් වූ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් පිළිබඳව තැබෙන සටහනකි මේ.

අපගේ සමාජයේ විශේෂ ස්ථානයක් හිමි වන පිරිසක් සිටිති. ඔවුන් නම්, විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ය. ඔවුන්ගේ ලෝකය සාමාන්‍ය දරුවන්ට වඩා වෙනස් විය හැකි වුවත්, ඔවුන් තුළ ද අසීමිත හැකියාවන්, සිහින සහ අපේක්ෂාවන් පවතී. මෙම දරුවන්ට නිරන්තරයෙන්ම අවශ්‍ය වන්නේ අප ඔවුන් කෙරෙහි දක්වනව සෙනෙහස, නොමඳ සහයෝගය සහ අප ඔවුන් කෙරෙහි දක්වන අවබෝධයයි.

WhatsApp Image 2025 10 01 at 14.00.36 ef37b918

විශේෂ අවශ්‍යතා ඇති දරුවන් යනු ???

විශේෂ අවශ්‍යතා යනු විවිධ දේ විය හැකිය. ඇතැම් දරුවන් ශාරීරික ආබාධවලින් පෙළෙන අතර, තවත් සමහර දරුවන්ට මානසික, සංවර්ධන හෝ ඉගෙනීමේ දුෂ්කරතා තිබිය හැකිය. ඔවුන් මුහුණ දෙන අභියෝගයන් බොහොමයකි. සමාජයේ ඇති වැරදි ආකල්ප, අධ්‍යාපන අවස්ථා වල සීමාවන්, සහ ප්‍රමාණවත් පහසුකම් නොමැතිකම ඒ අතර ප්‍රධාන වේ. මෙම අභියෝගයන් හමුවේ ඔවුන්ට ශක්තියක් වීමට අප සියලු දෙනාටම හැකියාව තිබේ.

විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දීම අතිශයින් වැදගත් ය. මන්ද ඔවුන්ගේ හැකියාවන් හඳුනාගෙන, ඒවාට සරිලන පරිදි ඉගෙනුම් ක්‍රමවේදයන් භාවිතා කිරීමෙන් ඔවුන්ට සමාජය තුළ අනෙකුත් සෙසු සාමාන්‍ය දරුවන් මෙන් අනාගතය සාර්ථක කර ගැනීමට හැකියාව ලැබේ. පාසල් තුළ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා විශේෂිත සම්පත් මධ්‍යස්ථාන සහ පුහුණු ගුරුවරුන් සිටීම අත්‍යවශ්‍ය වේ. එපමණක් නොව, සාමාන්‍ය පාසල් තුළ ද ඔවුන්ට ඉගෙනීමට අවස්ථා ලබා දීමෙන් සමාජයේ අනෙකුත් දරුවන් සමඟ සුහදව කටයුතු කිරීමට ඔවුන්ට හැකියාව ලැබේ.

images 1

විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් සමාජ වගකීම්

රජය, රාජ්‍ය නොවන සංවිධාන, සහ පවුල් ලෙසත් පොදුවේ ගත් කල අප සමාජය තුළ අප සැමගේම වගකීම වන්නේ මෙම දරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීම සහ ඔවුන්ගේ ජීවිත යහපත් කිරීමට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමයි. ඔවුන්ට සෞඛ්‍ය පහසුකම්, පුනරුත්ථාපන සේවා, සහ සමාජානුයෝජනයට එනම් සාමාන්‍ය දරුවන් මෙන් සමාජයට එකතු වීමට අවශ්‍ය අවස්ථා ලබා දිය යුතුය. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් යනු සමාජයට බරක් නොවන බවත්, ඔවුන්ට ද සමාජයේ යහපත් පැවැත්මට සහ සමාජ ප්‍රගමනයට විශාල දායකත්වයක් ලබා දිය හැකි බවත් අප විසින් තේරුම් ගත යුතුය.

මීගමුවේ විශේෂ අවශ්‍යතා ඇති දරුවන්.

මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය කුල, එනම් මීගමුවේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශයේ වයස අවුරුදු 18 සම්පූර්ණ වන විශේෂ අවශ්‍යතා ඇති දරුවන් 25 දෙනෙකු පමණ ලියාපදිංචිව සිටින බව ට වාර්තාවුණි . මෙලෙස ලියාපදිංචි වී ඇති මේ සෑම දරුවෙකුටම ඔවුන්ගේ වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් සහ ඔවුන්ගේ වෙනත් අවශ්‍යතා වෙනුවෙන් රුපියල් 10, 000 ක මුදලක් , මාසික දීමනාවක් ලෙස ලබාදීම සිදුකෙරේ. එලෙසම පාසල් අධ්‍යාපනය ලබන හෝ වෙනත් වෘත්තීය පාඨමාලාවක් හදාරන දරුවෙකුට එක් වරක් පමණක් ලබා දෙන රුපියල් 15,000 ක විශේෂ දීමනාවක්ද හිමි වේ.

මේ වන විට වාර්තා වන පරිදි මීගමුව ප්‍රාදේශී ලේකම් කොට්ඨාශය තුළ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සිව් දෙනකු පමණ පාසල් අධ්‍යාපනය ලබන අතර තවත් දරුවන් හය දෙනෙකු පමණ විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් මීගමුව කොට්ඨාශය තුළ ස්ථාපිත කර ඇති විශේෂ සුරැකුම් සහ ඉගෙනුම් මධ්‍යස්ථාන වල ඉගෙනීම් කටයුතුවල නිරත වන බවද වාර්තාවේ. මේ අනුව මීගමුව තුළ ඇති රජයේ පාසල් වන මීගමුව ශාන්ත පීතර සහ අල් ෆලාල් වැනි පාසල් තුල විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට පාසලේ අනෙකුත් දරුවන් මෙන්, සාමාන්‍ය පරිදි සිය අධ්‍යාපන කටයුතු කරගෙන යෑම සඳහා මේ වන විට පහසුකම් හිමිවී තිබේ. එම කාර්යභාරය සඳහා විශේෂිත ගුරුවරුන් කිහිප දෙනෙකුම සේවයේ යෙදී සිටින බවද වැඩිදුරටත් වාර්තා වුණි. තවද මීගමු පුරවරය තුළ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් විශේෂ සුරැකුම් සහ ඉගැන්වීම් මධ්‍යස්ථාන කිහිපයක් ම ඇති අතර දළුවකොටුව ප්‍රදේශයේ නිසංසල මධ්‍යස්ථානය, මීගමුව පොරුතොට පාරේ පිහිටි අල් ජනාහ් මධ්‍යස්ථානය අතර ප්‍රධාන වේ.. තවත් එවැනි මධ්‍යස්ථාන කිහිපයක්ම මීගමුව සහ මීගමු ප්‍රදේශයට නුදුරින් ස්ථාපිත වී තිබේ. මෙම මධ්‍යස්ථාන තුළින් ද විශේෂ අවශ්‍යතා ඇති දරුවන් සැක බලාගැනීම සහ සුවිශේෂී ක්‍රමවේද යටතේ සිය ඉගැන්වීම් කටයුතු සිදු කර ගැනීමට ද මෙම මධ්‍යස්ථාන හරහා මෙම දරුවන්ට අවස්ථාව උදාවී තිබේ.

එලෙසම මීගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ ලියාපදිංචි විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ගේ දෙමාපියන් සහ එම භාරකාරුවන් එක්වී ගොඩනගාගෙන ඇති ” ස්වශක්ති ” සංවිධානය හරහා විශේෂ අවශ්‍යතා ඇති දරුවන්ට සුවිශේෂී ක්‍රියාකාරකම් රැසක් තුළින් ඔවුන්ගේ ආරක්ෂාව සහ ඔවුන්ගේ ඉගැනිමේ කාර්යයන් උදෙසා විශාල සේවාවක් සිදු කරනු ලබයි.

( මේ පිළිබඳව තවත් වැඩි විස්තර මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශයෙන් විමසිය හැක. )

විශේෂ අවශ්‍යතා ඇති දරුවන් ද අපගේ සමාජයේ අනිවාර්ය අංගයක් බව අප සිහියේ තබා ගත යුතුය. ඔවුන්ට ආදරය, ගෞරවය සහ සම අවස්ථා ලබා දීමෙන් අපට වඩාත් මානුෂීය සහ සංවේදී සමාජයක් ගොඩනැගිය හැකිය. ඔවුන්ගේ සිනහව, දක්ෂතා සහ නොපසුබට උත්සාහය අප සැමටම සැබැවින්ම ආදර්ශයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here