වාහන ආනයනය යළි ඇරඹුණත්, මීගමුවේ වාහන සේල් වලට තවමත් ලොකු බිස්නස් එකක් නැහැ , ….

0
483
Cars For Sale Stock Lot Row. Car Dealer Inventory

 

ගම්පහ , උඩුගම්පොළ, මිනුවන්ගොඩ ප්‍රදේශ මෙන්ම, නුවර පාරේ, කඩවත ,කිරිබත්ගොඩ සහ කැලණිය ආදී ප්‍රදේශවලින් පසු රථ වාහන අලෙවි කරන ස්ථාන හෙවත් කාර් රථ ඇතුළු වාහන සේල් සැලකිය යුතු ප්‍රමාණයක් ස්ථාපිත වී තිබුණේ මීගමුව ප්‍රදේශයේය. කුරණ සිට කොච්චිකඩේ දක්වා, හලාවත-කොළඹ ප්‍රධාන මාර්ගයේ දෙපස පිහිටි ඉඩකඩ සහිත ස්ථාන වල මෙරට නමගිය, සහ ප්‍රකට වාහන සෙල් ගණනාවක් මෙන්ම තවත් මධ්‍යම ප්‍රමාණයේ සහ සුළු පරිමානයේ වාහන සේල් ගණනාවක්ම මේ ප්‍රදේශය තුළ ස්ථාපිත වී තිබිණි.

මෙම වාහන සේල් වලින් දෛනිකව මිලියන ගණනක් ආදායම් ලැබූ අවස්ථාද පසුගිය කාලයේදී අසන්නට ලැබුණි. එය මීගමු ආර්ථිකයේ තවත් එක් ධනෝපායන මාර්ගයක් බවට ද පත් වී තිබිණි. එලෙසම මෙම වාහන සේල් ව්‍යාපාරය, සෘජු සහ වක්‍ර ආදායම් රැසකටම දායක වූ මීගමු තුළ ස්ථාපිත ව තිබුණු තවත් ප්‍රධාන ආදායම් මාර්ගයක් බවට ද පත් වී තිබිණි. එමෙන්ම මීගමුව තුළ ස්ථාපිත වී තිබුණු වාහන සේල් ව්‍යාපාරය විශාල ලාභයක් ලැබිය හැකි ව්‍යාපාරයක් බවට ද පසුගිය කාලය තුල පත් වී තිබිණි.

එහෙත් කොරෝනා වසංගතයත් ඉන් පසු ශ්‍රී ලංකාව දරුණු ආර්ථික කඩාවැටීමකට ගොදුරු වීමෙන් පසුව ඇති වූ අරගලයත්, ඉන්පසු ඇති වූ ආණ්ඩු පෙරළිය නිසාවෙන් මෙරටට රථ වාහන ආනයනය කිරීම වසර ගණනාවකට ඇණ හිට තිබිණි. ඒ කාලයේ මීගමුවේ ව්‍යාපාර කටයුතු කළ බොහෝ වාහන සෙල් හිමියන් එම ව්‍යාපාර කටයුතුවලින් ඉවත් වූ අවස්ථා ගණනාවක්ම දැකගත හැකි විය.

එමෙන්ම මීගමු ප්‍රදේශයේ බොහෝ වාහන සේල් අංගනවල කාර් රථ සහ වෙනත් වාහන වලින් හිස් ව තිබූ ආකාරය ද දැකගත හැකි විය. කොච්චිකඩේ, දළුවකොටුව ප්‍රදේශවලත් කුරණ ප්‍රදේශයේ සමහර ස්ථානවලත් පිහිටි වාහන සේල් අංගන ස්ථාපිත කර තිබූ ප්‍රදර්ශනාගාර තුල සපත්තු ,සෙරෙප්පු, සහ ගෘහ භාණ්ඩ ආදී සේල් පවත්වාගෙන ගිය ආකාරයද පසුගිය වසර වල ,විවිධ කාල වලදී දැකගත හැකි විය. ඒ නිසාම පසුගිය කාලයේ මීගමු ප්‍රදේශයට විශේෂිතව වැඩි ආදායමක් ලබා දුන් වාහන සේල් ව්‍යාපාරය දැඩි ලෙස කඩා වැටීමකට ලක්වී තිබිණි.

එහෙත් වසර ගණනාවකට පසු වර්තමාන ජන බලවේග ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු වාහන ආනයනය සඳහා නැවතත් අවසර හිමි වී තිබේ .ඒ් දැඩි බදු අයකිරීම් මෙන්ම දැඩි බදු කොන්දේසි සහ දැඩි මූල්‍ය නීති රීති , ගණනාවක් යටතේය. මේ වන විට පෙර මෙන් මහා පරිමාණයෙන් සිදු නොවූවත්, යම් ප්‍රමාණයකට මෙරටට කාර් ඇතුළු රථ වාහන ආනයනය කරමින් පවතී.

ඒ නිසාම කාර් රථ ඇතුළු විශේෂයෙන්ම
එස් යු වී (SUV) රථ මේ වන විට මීගමුවේ වාහන සෙල් තුල අලෙවිය සඳහා ප්‍රදර්ශනාත්මකව තබා ඇති ආකාරය දක්නට ලැබේ. මීගමුවේ දැනට ව්‍යාපාර කටයුතු කරමින් සිටින බොහෝ වාහන සේල් වල සුසුකි වැගන් ආර් කාර් රථද ටොයොටා, යාරිස්, ටොයොටා , ⁣රෙයිස් මෙන්ම හොන්ඩා වෙසල්ස් වැනි එස් යු වී , රථ ද වැඩි වශයෙන් අලෙවියට තබා ඇති ආකාරය දැකගත හැකිය. මේ වන විට මීගමුවේ වාහන සේල් ආයතනයක ජපානයේ 2023-2024 වසරේ නිෂාපාදිත සුසුකී වැගන් ආර්, රීකන්ඩිෂන් කාර් රථයක් රුපියල් මිලියන 10 ත් 11 ත් පමණ වන මීල ගණනකට මිල කර ඇති අතර 2023-2024 වර්ෂ වල නිෂ්පාදිත රීකන්ඩිෂන් වර්ගයේ ටොයොටා, යාරිස්, රථයක් රුපියල් මිලියන 11 සිට වැඩි වන පරිදි මිල කර ඇත. එලෙසම 2023-2024 ටොයොටා , ⁣රෙයිස් වර්ගයේ රීකන්ඩිෂන් තත්ත්වයේ රථයක් රුපියල් මිලියන 12.5 සිට වැඩිවන පරිදි මිල කර ඇතැයිද දැන ගන්නට ලැබේ. එලෙසම මෙරට ඉතා ජනප්‍රිය එස් යු වී රථයක් ලෙස පිළිගැනෙන හොන්ඩා වෙසල්ස් 2023-2024 රීකන්ඩිෂන් තත්ත්වයේ රථයක් රුපියල් මිලියන 22 සිට 26 දක්වා අතර මිලකට මිලකර ඇතැයිද වාර්තා වේ . රීකන්ඩිෂන් හෙවත් පාවිච්චි කරන ලද රථ වාහන වල මෙන්ම පාවිච්චි නොකල බ්‍රෑන්ඩ් නිව් තත්ත්වයේ වාහනවල මිල ගනන් ද දිනෙන් දින සහ මොඩල්ස් අනුව වෙනස් වීමට හැකි බවද වාර්තා වේ.

පෙර වසර වලට වඩා සාපේක්ෂව ගත් කල වාහන ආනයනයේදී දැඩි බදු අය කිරීම් සහ දැඩි බදු කොන්දේසි හේතුවෙන්ද එමෙන්ම මූල්‍ය නීති රීති සහ වෙනත් අතිරේක වියදම් අධික වීම නිසාද කාර් රථවල හා එස් යු වී රථවල මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් තිබේ. මේ නිසා මීගමුවේ වාහන සේල් ආයතන වලට පෙර වසර වල මෙන් සැලකිය යුතු ආදායමක් නොලැබෙන බව ද වාහන සේල් හිමියන් වැඩි දෙනෙකු ප්‍රකාශ කරති.

එලෙසම රථවාහන වෙළඳාමේ සම්බන්ධීකාරකවරුන් ලෙස කටයුතු කරන බ්‍රොකර්වරුන් පවසන්නේ වර්තමානයේදී වාහන සේල් වලින් කාර් රථ ඇතුළු වෙනත් වාහන මිලදී ගන්නවාට වඩා අන්තර්ජාලය ඔස්සේ ජපනයේ පැවැත්වෙන වාහන වෙන්දේසි වලට සෘජුවම සම්බන්ධ වී අවශ්‍ය වාහනය තෝරා , මෙරටට ආනයනය කිරීමෙන් මිලියනයක දෙකක පමන ලාභයක් ලබාගත හැකි බවයි. මේ නිසා බොහෝ දෙනකු අන්තර්ජාලය ඔස්සේ ජපානයෙන් සෘජුවම වාහන ආනයනය කිරීමට පෙළඹී සිටින නිසා මීගමුවේ පමණක් නොව වෙනත් ප්‍රදේශවල ඇති වාහන සේල් වලටද පෙර වසරවල මෙන් තමන්ට ලාභදායකව, තම ව්‍යාපාර කටයුතු කරගෙන යෑමට නොහැකි වී ඇති බවද වැඩිදුරටත් දැනගන්නට ලැබුණි…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here