සීදූව විජය කුමාරතුංග අනුස්මරණ රෝහලේ ප්‍රතිකාර සේවාවන්හි වත්මන් තත්ත්වය සහ ඉදිරි සැලසුම් පිළිබඳව සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවක් අද (27) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී මෙම රෝහල මගින් සිදුකරනු ලබන අක්ෂි ප්‍රතිකාර සහ ශල්‍යකර්ම ඇතුළු සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන ලදී.
මෙහිදී රෝහලේ බාහිර රෝගී අංශය, දන්ත වෛද්‍ය ඒකකය සහ රසායනාගාර සේවා ඇතුළු අංශ ගණනාවක ක්‍රියාකාරීත්වය මෙන්ම පරිපාලන හා මූල්‍ය කටයුතු පිළිබඳවද අවධානය යොමු විය.
මෙම අවස්ථාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ අතිරේක ලේකම්වරුන් වන ජනක කිත්සිරි ගුණවර්ධන සහ චාමික ගමගේ යන මහත්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන විශේෂඥ වෛද්‍ය අර්ජුන තිලකරත්න සහ සමිද්ධි සමරකෝන් ප්‍රධාන මූල්‍ය නිලධාරී ජී.එස්. කරුණාරත්න මෙන්ම විජය කුමාරතුංග රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ගයාන් රණවීර ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සහ අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.











