ජනතාවගෙන් නගර සභාවට චෝදනා. ….
මිගමුව නගරයට අනන්‍ය සංකේතයක් බඳු වූ නගර මධ්‍යයේ ස්ථාපිත කර තිබෙන හෝරා ස්ථම්භය හෙවත් ඔරලෝසු කණුවේ ඇති විදුලි සම්බන්ධතාවය ලංකා විදුලිය සමාගම හෙවත් “ලෙකෝ” (LECO) ආයතනය මගින් දැනට දින කිහිපයක සිට විසන්ධි කර ඇතැයි වාර්තා වේ.
මීගමුව මහා නගර සභාව මඟින් එහි විදුලි බිල් මාස කිහිපයක සිට නොගෙවීම, මෙලෙස මෙම හෝරා ස්ථම්භය හෙවත් ඔරලෝසු කණුවේ විදුලිය විසන්ධි කිරීමට හේතු වී ඇතැයිද වැඩි දුරටත් වාර්තා වුණි.
මෙලෙස මෙහි විදුලි සම්බන්ධතාවය විසන්ධි වීමෙන් එහි සතර අතට පෙනෙන සේ සවිකර ඇති ඔරලෝසු හතරේම වෙලාව නතර වී ඇති ආකාරය දැකගත හැකිය.
එමෙන්ම විදුලි සම්බන්ධතාවය නොමැතිවීමෙන් රාත්‍රී කාලයට හෝරා ස්ථම්භය හෙවත් ඔරලෝසු කණුව ආලෝකමත් කළ විදුලි පහන් ද නොදැල් වී ඇති ආකාරයත්, එම තත්ත්වය තුළ එම ස්ථානය දැඩි අඳුරක ගිලී ඇති ආකාරයත් මේ දිනවල රාත්‍රී කාලයේමීගමුව නගරයට පැමිණෙන අයට දැක ගත හැකිය.
මේ වන විට සිංහල හා හින්දු අලුත් අවුරුදු නිමිත්තෙන් රාත්‍රී කාලයේදීද විශාල පාරිභෝගික පිරිසක් මීගමුව නගරයට පැමිණෙමින් සිටිති.
මෙවැනි උත්සව කාලයක නගර මධ්‍යයේ පිහිටි සහ, නගරයටම වේලාව දක්වන, සහ මීගමුව නගරයට අලංකාරය එක් කරන මේ මීගමුව නගරයේ අනන්‍ය සලකුණ වන මෙම හෝරා ස්ථම්භය හෙවත් ඔරලෝසු කණුව රාත්‍රී කාලයට අඳුරේ තැබීම, මීගමුව නගරයට පැමිණෙන ජනතාවගේ දැඩි අප්‍රසාදයට හා දෝෂ දර්ෂණයට ලක්වී තිබේ.
හිටපු නාගරික කොමසාරිස්වරිය විසින් මෙම හෝරා ස්ථම්භය හෙවත් ඔරලෝසු කණුව පිරිසකර කර නවීකරණය කල අතර එය නිසි ලෙස පවත්වාගෙන යෑමට හා එය නිසි ලෙස නඩත්තු කිරීමටත් වර්තමාන මීගමුව නගර සභා පාලනය අසමත් වී ඇති බව බොහෝ දෙනෙකුගේ අදහස වී තිබේ.
එනිසා මීගමුව මහා නගර සභා පාලනයේ වගකීම හා යුතුකම වන්නේ මීගමු නගර මධ්‍යයේ පිහිටි , මීගමුව නගරයටම අනන්‍ය සංකේතයක් බඳු වූ මෙම හෝරා ස්ථම්භය හෙවත් ඔරලෝසු කණුවේ විසන්ධි කර ඇති විදුලි සම්බන්ධතාවය නැවත ලබා ගැනීමට කටයුතු කර,එහි වේලාව නතර වී ඇති ඔරලෝසු සතර සක්‍රීයකර, අඳුරේ ඇති මෙම හෝරා ස්ථම්භය හෙවත් ඔරලෝසු කණුව ආලෝකමත් කිරීමයි.











