ඉන්දියාවේ නවදිල්ලි හි ඉන්දිරා ගාන්ධි අනුස්මරණ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී නිමාවට පත් වූ 2025 ලෝක පැරා මළල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 100 ධාවන ඉසව්ව සහ දුර පැනීමේ ඉසව්ව සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගි වූ මීගමුව පිටිපන, බුද්ධික හේෂාන් ප්‍රනාන්දු සමගින් ” මීපුර” වෙබ් අඩවිය සිදුකළ කතාබහක් පහත පළවේ..

ඔබ ගැන කෙටියෙන් විස්තර ටිකක් දැනගන්න කැමතියි ?
මම උපන්නේ 1996 ජූලි මස 01 වැනිදා . දැන් මගේ වයස අවුරුදු 29යි. මගේ පියා ඔගස්ටින් ප්‍රනාන්දු ඔහු ධීවර රැකියාවේ නිරත වෙනවා. ඒත් එක්කම මගේ මව නිර්මලා ප්‍රනාන්දු ,එයා නම් රැකියාවක් කරන්නේ නැහැ. මගේ පවුලේ තුන්දෙනයි. මට වැඩිමහල් අක්කා කෙනෙක් ඉන්නවා. මම පවුලේ දෙවැනි දරුවා.මට තව බාල මල්ලි කෙනෙක් ඉන්නවා. මම පාසල් ගියේ මීගමුව ශාන්ත මරියා විද්‍යාලයට. එහිදී මම උසස් පෙළ දක්වා අධ්‍යාපනය ලැබුවා. උසස් පෙළ විභාගයට මම වාණිජ විෂය ධාරාව යටතේ පෙනී සිටියා. උසස් පෙළ විභාගය හොඳින් සමත් වෙලා පසුව මම බෝපිටියේ පෞද්ගලික පාසලක සම්බන්ධීකාරකවරයෙකු ලෙස රැකියාවකුත් කළා . මගේ ක්‍රීඩා කටයුතු නිසි ලෙස කරගෙන යන්න බැරි නිසා පසුව මම ඒ රැකියාවෙන් අයින් වුනා. දැන් මම පූර්ණකාලීනව මළල ක්‍රීඩාවේ යෙදෙනවා.
ඔබ , ඔබේ ජීවිතයේ ප්‍රධානම බලාපොරොත්තුව එහෙම නැත්නම් ප්‍රධානතම ඉලක්කය බවට ක්‍රීඩාවම තෝරගන්න හේතු වුණේ ඇයි ?
මට ඇත්තටම ඕන වුණේ මේ ලෝකයට මේ රටට වෙනස්ම දෙයක් කරන්න. මගේ මේ ජීවිතය සාමාන්‍ය විදිහට ගත කරන්නේ නැතුව රටට විශේෂත්වයක් කරන්න ඕනා කියන උවමනාව මට එදා කාලේ ඉඳලම තිබුණා.ඉතින් මම ඒකට ක්‍රීඩාවම තෝරගත්තේ, මොකද කියනවනම් මම හිතනවා මගේ කුඩා කලේ ඉඳලාම මගේ ඇඟේ ඒ ක්‍රීඩාව කියන එක තිබුණා. ඒත් එක්කම ක්‍රීඩාව තුළින් තමයි මගේ අනාගතය සාර්ථක කරගන්න යම් ගමනක් යන්න පුළුවන් වෙන්නේ කියන එක මට නිතරම වගේ හිතුනා. මොකද ක්‍රීඩාව පැත්තෙන් ලොකු දෙයක් මට රට වෙනුවෙනුත් කරන්න පුළුවන් කියන විශ්වාසය පොඩි කාලේ ඉඳලම මට තිබුණා.
ඒත් එක්කම මට හිතුණා මම වගේ තවත් විශේෂ අවශ්‍යතා තියෙන අය අර මුළුගැන්විලා , ගෙවල් ඇතුලටම වෙලා ඉන්න අයට මාව දැකලා යමි දිරිගන්වීමක් පන්නරයක් මා තුළින් ලැබෙයි කියලත් මට ලොකු විශ්වාසයක් සහ බලාපොරොත්තුවකුත් තිබුණා. මොකද හුඟක් විශේෂ අවශ්‍යතා තියන අය හිතන්නේ අපි අසරණයි, අපි ආබාධිතයි කියන මානසික මට්ටමක තමයි ඉන්නේ. ඉතින් එහෙම අයට යම් දිරිගැන්වීමක් මම වගේ කෙනෙක් මේ ක්‍රීඩාව තුළ නියැලීමෙන් ලැබෙයි කියලා මම හිතුවා. ඒ අය මාව දැක්කහම පොඩි හරි වෙනසක් එයාලගේ ජීවිත තුළ ඇති වෙයි කියන බලාපොරොත්තුව මගේ හිතේ තියෙනවා. මොකද තව දෙයක් තමයි විශේෂ අවශ්‍යතා තියෙන අය සමාජයට එනවා අඩුයි මොකද මේ සමාජයෙනුත් සමහර අවස්ථා වල ඒ අයට යම් බලපෑම් ඇති වෙන අවස්ථාත් තියෙනවානේ. ඉතින් මෙහෙම දේවල් දැනගත්තහම ඒ අය මුළුගැන්විලා ඉන්නේ නැතුව අපිටත් මේ වගේ දේවල් කරන්න පුළුවන් කියලා එයාලටත් ඇත්තටම හිතිලා ඉදිරියට එන්න අවස්ථාවක් ලැබෙනවා කියන එකයි මම හිතන්නේ. අනිත් එක තමයි ඒ විශේෂ අවශ්‍යතා ඇති අයගේ දෙමව්පියන්ටත් හිතෙනවනේ අපේ දරුවන්වත් මේ වාගේ තත්ත්වයකට ගන්න පුළුවන් කියලා. එතකොට ඒ දෙමව්පියනුත් උත්සාහ කරනවා තමන්ගේ දරුවන් ඉදිරියට ගන්න යම් දෙයක් කරන්න.. ඒ කියන්නේ දෙමව්පියන්ගේ ඇසුත් ඇරෙනවා.. ඒ වගේ පණිවිඩයකුත් මට මේ සමාජයට දෙන්න ලොකු උවමනාවක් තිබුණා.. ඔන්න ඔය සියලු කරුණු කාරණා නිසා තමයි මම මගේ අනාගත ජීවිතය සඳහා ක්‍රීඩාව තෝරා ගත්තේ. ක්‍රීඩාවෙන් රටට යමක් කරන්න ඕන කියන්නේ මේ ජයග්‍රහණ ලබන්නම නෙමෙයි, මොකද විශේෂ අවශ්‍යතා තියෙන අය ක්‍රීඩාව වගේ දෙයක් තෝරාගෙන ඒ හරහා ඉදිරිපත්වීමම රටට යම් ආකාරයක ජයග්‍රහණයක් කියලයි මම නම් හිතන්නේ.
දැන් ඔබ මේ ක්‍රීඩාවට පිවිසීම හරහා ඔබ වැනි විශේෂ අවශ්‍යතා තියෙන අයගෙන් සහ ඒ අයගේ දෙමාපියන්ගෙන් ඔබට ලැබෙන ප්‍රතිචාරයන් කොහොමද ?
මට ඉතින් එහෙම කීපදෙනෙක්ම හම්බවෙලා කතාබහ කරලා තියෙනවා. විශේෂයෙන්ම විශේෂ අවශ්‍යතා තියෙන අයගේ දෙමව්පියනුත් සමහර අය මට කතා කරලා තියෙනවා. ඉතින් සමහර අය අහනවා ඔයාට කරදරයක් නැද්ද අපහසුතාවයක් නැද්ද, ඇඳුම් ඇඳ ගන්න ගියාම කරදරයි නේද , බස් වල යන්න එන්න ගියහම අමාරුයි නේද ? ඇත්තටම ගත්තොත් ඉතින් අපි වගේ අයට පොඩි පොඩි ගැටලු තියනවා. නැතුව නෙමෙයි. නමුත් කාලයක් තිස්සේ පුරුදු පුහුණු වුනහම ඒක එච්චර ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නෑහැ. අපහසුතාවයක් වුනත් ඒවා මගහැරෙනවා. දැන් මාව ගත්තාහම මගේ වැඩකටයුතු මට සාමාන්‍ය විදිහට කරගෙන යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අවශ්‍ය වෙන්නේ යම් දෙයකට කැපවීම පමණයි කියලයි මම නම් හිතන්නේ
ඔබ ක්‍රීඩාවන් සඳහා යොමු වුණු ආකාරය ගැන දැනගන්නත් කැමතියි.
මම පාසල් යන කාලේ මළල ක්‍රීඩා සඳහා යොමු වුණේ නෑහැ. පාසලේදි මම තෝරගත්තේ පාපන්දු ක්‍රීඩාව. මම පාසලේ 15 න් පහළ සිට 18 න් පහළ දක්වා පාපන්දු කණ්ඩායම් වලට ක්‍රීඩා කළා.මම 18 න් පහළ කණ්ඩායමේ ඉන්න කාලේ දෙපාරක් අපි සමස්ත ලංකා පාසල් පාපන්දු අවසාන මහා තරඟය දක්වාම ගියා. එක් අවස්ථාවක අපි සමස්ත ලංකා පාසල් පාපන්දු තරගාවලියේ අනුශූරයන් බවට පත්වුණා. ඒ කොළඹ සහිරා විද්‍යාලය සමඟ ඒ සහිරා විද්‍යාලීය ක්‍රීඩාංගණයේම තිබුණු තරගයකදී. මම මැද පෙළ ක්‍රීඩා කරන ක්‍රීඩකයෙක්. මට මතක විදිහට මම ඒ වාරයේදී ගෝල් 03 ක් වාර්තා කළා. අපිට පැවරෙන්නේ අපේ ප්‍රතිවාදීන්ගේ ගෝල් කණුවට පන්දුව යොමු කිරීම සහ අපේ ගෝල් කණුවට ප්‍රතිවාදින්ගෙන් එන පන්දු ආරක්ෂා කිරීමේ කාර්යයයි.පාසලේදි මගේ මුල් පාපන්දු පුහුණුකරු වුණේ නිශාන්ත ප්‍රනාන්දු කියලා මහත්මයෙක්. ඊට පස්සේ මගේ පාපන්දු පුහුණුකරු බවට පත්වුනේ මීගමුවේ ජුපිටර් ක්‍රීඩා සමාජයේ නවා මාස්ටර්. . නවා මාස්ටර් එක්ක පුහුණුවීම් කරන කාලේ තමයි අපි , සමස්ත ලංකා පාසල් පාපන්දු තරගාවලියේ අනුශූරයන් බවට පත්වුණේ. ඒ 2015 වසරේ.
දැන් ඔබ ක්‍රීඩාවන්ට යොමු වීම පිළිබඳව ඔබේ මව්පියන්ගෙන් සහ ඔබේ පාසලෙන් ලැබුනු ප්‍රතිචාරය කෙබඳුද ?
මගේ මව පියා පවුලේ අය මාව සෑම විටම දිරිගැන්වුවා. මගේ පියා මගේ පිටුපසින්ම සිටිනවා . ඒ වගේම මගේ මව මට මේ ක්‍රීඩාව කරගෙන යද්දී අවශ්‍ය කෑම බීම හදලා දිලා මට ලොකු සහයෝගයක් ලබා දුන්නා. ඔවුන් මට කිසිම දවසක බලපෑමක් සිදු කළේ නෑහැ. මගේ පාසලෙනුත් මට සෑහෙන ලොකු සහයෝගයක් ලැබුණා.පාසලේ විදුහල්පති පියතුමා ඇතුළු ගුරුවර ගුරුවරියෝ වගේම මගේ පාසලේ යහළුවන්ගෙන් විශාල සහයක් ලැබුණා. ඔවුන් මා දෙස වෙනස් විදිහකට බැලුවේ නෑහැ. ඔවුන් මට සැලකුවේ , පාසලේ සාමාන්‍ය ළමයෙකුට සලකන විදිහටමයි. එහෙම ඒ අය මට සලකපු නිසා තමයි කිසිම ප්‍රශ්නයක් ගැටලුවක් නැතුව මට පාසලේ ඉගෙනීමේ කටයුතු සහ ක්‍රීඩා කටයුතු වුණත් කරගෙන යන්න පුළුවන් වුණේ.
දැන් ඔබ පාසලේදී යොමු වුණේ පාපන්දු ක්‍රීඩාවට. ඔබ පාසලේදී මළල ක්‍රීඩාවන්ට යොමු වෙන්නෙත් නැහැ. එතකොට කොහොමද ඔබ මේ මළල ක්‍රීඩා සඳහා යොමු වෙන්නේ ?
මම, උසස් පෙළ කරන කාලයේ පාසලේ 18 න් පහල පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩා කරනකොට මම දවසක් ගියා ගම්පහ ශ්‍රී බෝධි ක්‍රීඩාංගණයට, පාපන්දු පුහුණුවීම් කටයුතු සඳහා. ඒක ධාවන පථයක් එහෙම තියෙන ලොකු ක්‍රීඩාංගනයක්. ඔතන හිටියා මළල ක්‍රීඩා පුහුනුව ලබන කට්ටියකුත්. එත් එක්කම පැරා මළල ක්‍රීඩා කරන පිරිසකුත් ඔතන ඉඳලා තියෙනවා. එතකොට මම එතන පාපන්දු පුහුණුවීම් ලබනවා දැකලා, විශේෂයෙන් මම දුවනවා පනිනවා දැකලා,පසුව එතන හිටපු අයියලා දෙන්නෙක් මට කතා කළා. ඒ අයියලා දෙන්නා ශ්‍රී ලංකා යුද හමුදාවේ කොමාන්ඩෝ රෙජිමේන්තුවේ පැරා මළල ක්‍රීඩා කරන වීරසිංහ සහ ජයලත් කියන අයියලා දෙන්නෙක්.එක්කෙනෙකුගේ ඇසට වෙඩි වැදිලා අනිත් කෙනාගේ දණහිසට වෙඩි වැදිලා. ඉතින් මේ දෙන්නා මට පැරා මළල ක්‍රීඩා ගැන ගොඩක් දැනුවත් කළා. විශේෂයෙන්ම මේ පැරා මළල ක්‍රීඩාවේ පසුබිම ගැන හොඳට මට පැහැදිලි කරලා දුන්නා. එයාල මට කිව්වා අපිට මෙහෙම ලොකු ශරීරික ගැටලු තියාගෙනත් අපි මේ ක්‍රීඩාව කරගෙන යනවා. ඉතිං අපිට වඩා හොඳට ඉන්න ඔයාට මේක හොඳින් කරගන්න පුළුවන්. එහෙම වුනොත් ඔයාට හොඳ ලොකු ගමනක් අනාගතයේදී යන්න පුළුවන් කියන එක එයාලා මට විස්තර කරලා දුන්නා. ඊට පස්සේ එයාලගේ දුරකථන අංකත් මට දුන්නා. ඉතින් මම එයාලට කිව්වා මම මේ දවස්වල උසස් පෙළ විභාගයට සූදානම් වෙනවා කියලා, මම මේ ගැන කල්පනා කරලා පසුව කෝල් කරන්නම් කියලත් කිව්වා. කොහොම හරි මම උසස් පෙළ විභාගය ඉවර වෙලා එයාලට කතා කෙරුවා.එයාල මට හඳුන්වා දුන්නා එයාලගේ පුහුණුකරුව. ඔහු තමයි ගුවන් හමුදාවේ දක්ෂ මළල ක්‍රීඩා පුහුණුකරුවෙක් වුනු රෝහිත ප්‍රනාන්දු මහතා. ඔහු තමයි එදා සිට අද දක්වාම මගේ පුහුණුකරු. වීරසිංහ අයියාගෙයි ජයලත් අයියාගෙයි මුණ ගැසීම තමයි මගේ ක්‍රීඩා ජීවිතය වෙනත් දිසාවකට අරගෙන ගිය හැරුවුම් ලක්ෂය බවට පත් වුණේ. ඇත්තටම ඒ දෙන්නා තමයි මම මේ තත්වෙට ගෙනාවේ සහ මේ පැරා මළල ක්‍රීඩාවට මාව යොමු කළේ.
එතකොට කවුද ඔබව මීටර 100 ධාවන ඉසව්වට සහ දුර පැනීමේ ඉසව්වට යොමු කළේ ?
පැරා මළල ක්‍රීඩාවේදී මගේ පුහුණුකරු වුනු රෝහිත ප්‍රනාන්දු සර් මාව මුලින්ම පුරුදු පුහුණු කෙරුවේ මීටර් 400 ධාවන ඉසව්වට. මම ඒ ඉසව්ව සඳහා පුරුදු පුහුණු වුනාට ඒ ඉසව්වෙන් තරඟ වලට සහභාගි වුණේ නෑහැ.එහෙම ටික කාලයක් යනකොට මගේ වේගය වැඩිදියුණු වේගෙන එද්දි රෝහිත සර් ම තමයි මාව මීටර් 100 ධාවන ඉසව්වට සහ දුර පැනීම ඉසව්වට යොමු වෙන්න කියලා කිව්වේ.
ඔබ සහභාගි වුණු ක්‍රීඩා තරග සහ ලබාගත් ජයග්‍රහණ ගැනත් කෙටියෙන් සඳහන් කළොත් ?
මම ඉස්සෙල්ලාම පැරා ක්‍රීඩා තරගාවලියකට සහභාගි වුණේ 2017 වසරේ එතකොට මට වයස අවුරුදු 20 ක් විතර වගේ ඇති. මම නියෝජනය කළේ කැලණිය ඉසුරු කියන ක්‍රීඩා සමාජය. මේ තරගාවලියේ මම සහභාගි වුණේ මීටර 100 ධාවන ඉසව්වට පමණයි. නමුත් ඒකෙදි මට ඒ ඉසව්වට හරි ස්ථානයක් දිනාගන්න බැරුව ගියා. මට මතක විදිහට මට ලැබුණේ ඉසව්ව සඳහා 05 වෙනි ස්ථානය. ඊට පස්සේ මම සහභාගි වුණේ 2018 වසරේ ජාතික පැරා මළල ක්‍රීඩා තරගාවලියට.ඒකෙදි මම දුර පැනීමේ ඉසව්වෙන් ප්‍රථම ස්ථානය ලැබුණා ඒ කියන්නේ රන් පදක්කම ලැබුණා. ඒකෙදි මම මීටර් 100 ධාවන ඉසව්වට සහභාගි වුණේ නෑහැ. ඔය අතරෙදි මට අවස්ථාවක් ලැබුණා කොරියාවේ පැරා මළල ක්‍රීඩා පුහුණු කඳවුරකට සහභාගි වෙන්න. එතනිනුත් මට හොඳ පන්නරයක් ලැබුණා. ඊට පස්සේ මම ලංකාවේ පවත්වපු පැරා මළල ක්‍රීඩා තරඟ වලට සහභාගි වුණා. ඉන්පස්සේ මම 2025 ඒ කියන්නේ මේ වසරේ මුල් කාලේ මම සහභාගී වුණා ඉන්දියාවේ පවත්වපු ලෝක පැරා මළල ක්‍රීඩා ශ්‍රේණිගත කිරීමේ තරගාවලියට. ඒකෙදි මම දුර පැනීමේ ඉසව්වෙන් දෙවන ස්ථානයට පත්වෙලා රිදී පදක්කම දිනා ගත්තා. මීටර් 100 ධාවන ඉසවිවට සහභාගි වුණාත්, මට ඒකේ ලැබුණේ 04:වෙනි ස්ථානය. ඒත් එක්කම මම හිතන්නේ පැරා මළල ක්‍රීඩා තරගාවලිවලදී දුර පැනීම ඉසව්ව සඳහා මෙරට උපරිම වාර්තාව තියෙන්නේ මට. ඒ වාර්තාවේ මගේ දුර ප්‍රමාණය සඳහන් වෙන්නේ මීටර 06.80.
හැබැයි ඉතින් ලංකාවේ සහභාගි වන තරඟ හරහා ලබන ජයග්‍රහණ ජාත්‍යන්තරව ගත්තහම එතරම් වලංගුභාවයක් නැහැ මම දන්න විදිහට. ජාත්‍යන්තර ගත්තහම ඒක වෙනම පැලැට් ෆෝර්ම් එකක් ඒ කියන්නේ ඒක වෙනමම තලයක තමයි තියෙන්නේ. ලංකාවේ ඇතුලේ පවත්වන තරගාවලීන් වෙනුවෙන් ගන්න ජයග්‍රහණ ලෝක මට්ටමින් එන ශ්‍රේණිගත කිරීම් වලට අදාළම වෙන්නේ නැහැ.
ඉන්දියාවේදී පැවති පසුගියදා නිමාවට පත්වුණු 2025 ලෝක පැරා මළල ක්‍රීඩා තරගාවලියේදී ලංකාවේ සමස්ත ජනතාව වගේම විශේෂයෙන් මීගමුව පිටිපන ඔබේ ආදරණීය ජනතාව බලාපොරොත්තු සහගතව බලාගෙන හිටියා ඔබට පදක්කමක් ජයග්‍රහනය කරන්න හැකි වේවි කියලා. ඇත්තටම ඒ තරගාවලියේදී ඔබට මොකද වුණේ ?
එම තරගාවලියේදී මීටර් 100 ධාවන ඉසව්ව සඳහා මූලික තරඟ 03 ක් තිබ්බා . ඒ තරග වලින් හොඳම දෙන්නා ඒ කියන්නේ පළමුවැනි සහ දෙවැනි ස්ථාන ගන්න දෙන්නා බැගින් හය දෙනෙකු අවසාන තරගයට තෝරගත්තා. ඒත් එක්කම හොඳම කාලය වාර්තා කරපු තව දෙන්නෙක්වත් අවසාන තරඟයට තෝරගත්තා . ඉතින් මම මූලික තරඟ වල එක දෙක යන ස්ථානවල හිටියෙත් නැහැ. මට හොඳම කාලය පෙන්නපු දෙන්නට ඇතුල් වෙන්නත් බැරුව ගියා. ඒ නිසා තමා මට එහි අවසාන තරගයට සහභාගි වෙන්නට අවස්ථාවක් ලැබුණේ නැත්තේ.
ඒ වගේම දුර පැනිමේ ඉසව්වෙන් එදා දවසේ වාර්තා කරන්න හැකි වුණේ මට මීටර 6.70 දුරක්. මොකද ඒ ඉසව්වේ මම තරග කෙරුවේ ජාත්‍යන්තර මට්ටමේ හසල අත්දැකීම් පළපුරුද්දක් තිබුණු පැරා දුර පැනිමේ ප්‍රවීණ ක්‍රීඩකයොත් එක්ක.. ඒකේ පළමු ස්ථානය ලැබුනේ කියුබාවට, දෙවන ස්ථානය රුසියාව , තුන්වන ස්ථානය චීනය, හතරවෙනි ස්ථානය උස්බෙකිස්තාන් පස්වන ස්ථානය ක්‍රොයේෂියාව, හය වැනි ස්ථානය ඉන්දියාව. හත්වැනි ස්ථානය මම. අට වෙනි ස්ථානයත් ආයෙත් ඉන්දියාවට. ඔය විදිහට තමයි ඒ තරග ප්‍රතිඵල ආවේ. මම හිතන්නේ මීටර් 6.70 එදා දවසේ මගේ හොඳම උපරිම දුර ප්‍රමාණයයි. දැන් ඒ තරඟයේ පළවෙනියා වාර්තා කළ ප්‍රමාණයත්, මම වාර්තා කළ දුර ප්‍රමාණයත් අතර වෙනස තියෙනවා සෙන්ටි මීටර් 70 ක පමණ දුර ප්‍රමාණයක්. ඒ කියන්නේ මීටර භාගයකට ආසන්න ප්‍රමාණයක් ,ඒ කියන්නේ කකුලෙන් ගත්තොත් අඩි දෙකක විතර වගේ දුර ප්‍රමාණයක්. දැන් මම ඒ අමතර දුර ප්‍රමාණය හදාගන්න එක තමයි ඊළඟට කරන පුහුණු වීම්වලදී වැඩියෙන්ම අවධානය යොමු කරන්නේ. ඒ සඳහා මම ඉතා ඉක්මනින්ම ආයෙත් පුහුණුවීම් පටන් ගන්න සූදානම් වෙලා තමයි මම මේ ඉන්නේ.
මේ තරගාවලියේදී ඔබට ලැබුණු අත්දැකීම් කොයි වගේද ?
මේක මගේ තුන්වන ජාත්‍යන්තර තරගාවලිය. ඇත්තටම මම මුලින්ම ජාත්‍යන්තර තරගාවලියකට කියලා සහභාගි වුණේ ආසියානු පැරා මළල ක්‍රීඩා තරගාවලියට. ඊට පස්සේ ලෝක ශ්‍රේණිගත කිරීමේ පැරා මළල ක්‍රීඩා තරගාවලියට සහභාගි වුණා ඊට පස්සේ ගිය ජාත්‍යන්තර තරගාවලිය තමයි මේක. දැන් අර ලෝක ශ්‍රේණිගත කිරීමේ තරඟවලින් මෙතරම් රටවල් ප්‍රමාණයක් සහභාගි වෙන්නෙ නෑ. හැබැයි මේ තරගාවලියේදී ලෝකයේ සියළුම රටවල් නියෝජනය කරමින් ක්‍රීඩකයෝ සහභාගි වෙනවා. තරගාවලිය හරියට කිව්වොත් පැරා ඔලිම්පික් තරගාවලියට සමානයි. පැරා ඔලිම්පික් තරගාවලියට එන ක්‍රීඩකයෝ හැමදෙනාම වගේ මේකටත් එනවා. ඇත්තෙන්ම කියනවනම් මේ දෙකේ නම විතරයි වෙනස් වෙන්නේ.
දැන් ඔබ වැනි මලල ක්‍රීඩා වේ නිරත වන ක්‍රීඩකයෙකුට, මේ ක්‍රීඩාව තුළ නියැලෙන්න ඒ වගේම ශරීර සුවතාවය සහ ජවය පවත්වාගෙන යන්න විශාල අමතර මුදලක් වැය වෙනවා ඇතැයි අපි විශ්වාස කරනවා.කවුද ඔබට මේ සඳහා සහයෝගය ලබා දෙන්නේ ?
දැන් අපිට ක්‍රීඩා අමාත්‍යංශය හරහා නම් ගෙවීමක් කරනවා. ඒ වගේම තරගාවලිවලට යන්න අවශ්‍ය ගුවන් ටිකට් පත් ආදියටත් ක්‍රීඩා අමාත්‍යංශයෙන් ප්‍රතිපාදන ලැබෙනවා. නමුත් ඉතින් ඊට එහා ගිය ලොකු ලොකු වියදම් ටිකක් තියෙනවා. මම නෑ කියලා කියන්නේ නෑ මොකද ඒකට හේතුව. මම වගේ ක්‍රීඩකයෙකුට අමතර ශක්තිය අවශ්‍යයි. ඒ වගේ අවස්ථාවක මට කැලරි වැඩි ප්‍රමාණයක් තියෙන අධිපෝෂිත ආහාර පාන වගේ දේවල් ගන්න සිද්ධ වෙනවා ඒ වගේම මගේ ශරීර සුවතාවය රඳවාගන්නට යම් යම් දේවල් කරන්නට , යම් වියදමක් දරන්නත් සිද්ධ වෙනවා. මගේ මව සහ පියා ඒවගේම පවුලේ අය ලොකු සහයෝගයක් දක්වනවා. විශේෂයෙන්ම මගේ පියා ධීවර වෘත්තියේ ඉන්නේ. ඔහු මගේ පිටුපසින් ඉඳගෙන මාව උනන්දු කරමින්, මට විශාල ශක්තියක් ලබා දෙනවා. ඒ වගේම මගේ මව මට අවශ්‍ය වෙන ඒ කෑම බීම අවශ්‍ය විදිහට හදලා දීලා මට විශාල ශක්තියක් වෙලා තියෙනවා මගේ මේ ක්‍රීඩා ජීවිතයට . ඉතින් පවුලේ අයගෙන් ලැබෙන ඒ සහය , උපකාරය නිසා තමයි මම අද මේ ක්‍රීඩා කටයුතු හොඳින් කරගෙන යන්නේ. එහෙම නැතුව මට වෙනත් ආකාරයක දීමනාවන් ආදී මොනවක්වත් නම් තාම ලැබෙන්නේ නෑහැ.
ඔබ මේ පැරා මළල ක්‍රීඩාව තුළ නියැළීම හරහා ඔබේ අනාගත ඉලක්කයන් පිළිබඳවද දැනගන්න කැමතියි ?
ඔව් දැන් මගේ එකම ඉලක්කය බවට පත්වෙලා තියෙන්නේ 2028 වසරේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් හී පැවැත්වෙන පැරා මළල ක්‍රීඩා ඔලිම්පික් තරගාවලිය නියෝජනය කරමින් එයින් ප්‍රථම ස්ථාන හිමි කර ගනිමින් ලංකාවට රන් පදක්කමක් හෝ දෙකක් ජයග්‍රහණය කිරීම. ඒ සඳහා මට ඔලිම්පික් පරිසාදන මට්ටම පවත්වා ගත යුතුයි. 2028 පැරා ඔලිම්පික් වෙනකල් .තව ජාත්‍යන්තර තරගාවලී කිහිපයක්මත් පැවැත්වෙනවා. ඒවට සහභාගී වෙලා ජයග්‍රහණ අත් කරගෙන ඔලිම්පික් පරිසාදන මට්ටම පවත්වාගන්න තමයි මම මූලිකවම බලාපොරොත්තු වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මම බලාපොරොත්තු වෙන්නේ ලංකාවට පැරා ඔලිම්පික් පදක්කමක් අරගෙන මගේ රටට මගේ ගමට කීර්තියක් අත්කර දීම තමයි දැන් මාගේ ප්‍රධාන අරමුණ සහ බලාපොරොත්තුව වෙන්නේ.
ඒත් එක්කම මට අවශ්‍යයි මම වගේම ඉන්න විශේෂ අවශ්‍යතා තියන අයට එයාලට යම් ආදර්ශයක් වෙන්න. විශේෂ අවශ්‍යතාවයන් ඇති අය කියලා කොන් වෙන්න හොඳ නෑ අපිටත් මේ ලෝකය තුළ යමක් කරන්න පුළුවන් කියන ඒ ආදර්ශය ඒ කියන්නේ අපිටත් බැරි දෙයක් නෑහැ. ඕනෑම දෙයක් අපිටත් කරන්න පුළුවන් කියන මතය එයාලට ආදර්ශයක් විදිහට දෙන්න මම ගොඩක් උත්සාහ කරනවා.
ඒත් එක්කම මම බලාපොරොත්තු වෙනවා කවද හරි දවසක ඒ විශේෂ අවශ්‍යතා ඇති අනිකුත් අය වෙනුවෙන් ක්‍රීඩාව පැත්තෙන් හෝ කළමනාකරණය වැනි විෂයන් සම්බන්ධව උපදේශකවරයෙක් විදිහට යම් දැනුමක් ලබා දෙන්න මට විශාල උවමනාවක් තියෙනවා. ඒක ක්‍රීඩාව පැත්තෙන් වෙන්නත් පුළුවන්, අධ්‍යාපනික පැත්තෙන් වෙන්නත් පුළුවන්. ඒ සඳහා මට තව ඒ පිළිබඳව පුහුණුව සහ අධ්‍යාපනය අවශ්‍යයි කියලයි මම හිතන්නේ. ඒ සඳහා මට තව කාලයක් තියෙනවා. ඉතින් මම මගේ උපරිමයෙන් මගේ ඒ අරමුණ වෙනුවෙන් ඒ කාලය ප්‍රයෝජනයට ගන්න බලාපොරොත්තු වෙනවා.
මීගමුව, පිටිපන ඔබේ ගම. ඔබ හැම තිස්සේම බොහොම ප්‍රසාදයෙන් කතා කරනවා. ඔබේ ගම ගැන ඔබට මොනවද කියන්න තියෙන්නේ ?
ඇත්තටම මම මගේ ගම ඒ කියන්නේ පිටිපන ගම ගැන මම ගොඩක් සතුටු වෙනවා ගමේ ඉන්නේ වැඩිපුරම මගේ නෑදෑයෝ . ඒ අය වගේම මගේ හිතවතුන් පවා මට බොහොම ආදරෙයි. හැමෝම මාව ආදරයෙන් පිළිගත්තා. ඒ හැමෝටම මගේ විශේෂ ආදරය, ගෞරවය ස්තුතිය මම මේ අවස්ථාවේදී පුද කරනවා.
ඒ වගේමයි මට මීගමුව ප්‍රදේශයෙන්ම ලැබුණා පුදුමාකාර විදිහේ ප්‍රතිචාර. මීගමුවේ ගොඩක් අය මාව දන්නවා ඉතින් ඒ අය මට ගොඩක් හොඳ ප්‍රතිචාර දක්වනවා ඒ අය මාගේ දක්ෂතාවය ගොඩක්ම අගය කරනවා. ඒ වගේම මීගමුවේ ගොඩක් අය මා ගැන සතුටු වෙනවා කියලත් මම දන්නවා. ඉතිං මීගමුවේ අයයි, පිටිපන මගේ ගමේ අයයි ඉන්දියාවේ ඉඳලා මම එද්දි මාව ඉතාම උණුසුම්ව, සහ ආදරයෙන් පිළිගත්තා. එයාලා සියලු දෙනාම හොඳට ඒ අවස්ථාව සංවිධානය කරලා තිබුණා. විශේෂයෙන්ම පිටිපන අපේ දේවස්ථානයේ මීසම් පාලක පියතුමා ඇතුළු මීසම් සංඝයටත් මගේ හෘදයාංගම ස්තුතියි මේ අවස්ථාවේදී පුදකර සිටිනවා.
අවසාන වශයෙන් , මේ විශේෂ අවශ්‍යතා ඇති අය වෙනුවෙන් , ඔබට දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද ?.
මම කියන්නේ විශේෂ අවශ්‍යතා තියෙන අය කියලා සමාජය අපි දිහා බැලුවට, අපි එහෙම විශේෂ අවශ්‍යතාවයන් තියෙන අය, අපි මේ සමාජයේ අනෙක් අයට වඩා වෙනස් අය කියලා කවදාවත්ම අපි හිතන්න යන්න හොඳ නැහැ. අපිත් සාමාන්‍යය මනුෂ්‍යයෝ විදිහට සමාජයේ ජීවත් වෙන්න ඕනේ . අපි උත්සාහ ගන්න ඕන අපේ වැඩ හැම තිස්සේම පුළුවන් තරම් අපිම කරගන්න. අපිට ඕනම දෙයක් පුළුවන් කියලා හිතුවොත් අපිට ඕනම දෙයක් කරන්න පුළුවන්. ඒක සමහර වෙලාවට සමාජයේ අනිත් අය කරන විදිහට වඩා වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපිට ඕනෑම දෙයක් කරන්න පුළුවන් කියලා තමයි අපි හිතන්න ඕනේ. බාහිරින් හා භෞතිකමය විදිහට බැලුවොත් අපිට අඩුපාඩුවක් තියනවා කියලා අපි මානසිකව වැටුනොත් තමයි අපිට ප්‍රශ්නේ වෙන්නේ. ඒක නිසා මම කියන්නේ , ප්‍රශ්න තියෙනවා තමා, නමුත් ඒ ප්‍රශ්න ගැන එතරම්ම හිතන්න යන්නේ නැතුව තමන්ගේ ගමන තමුන්ව විශ්වාස කරලා ඉදිරියට යන්න පුළුවන්නම් ප්‍රශ්නයක් වෙන්නේම නැහැ. මුලින්ම තමන් තමන් ගැන ධනාත්මකව හිතන්න ඕනේ ඒ වගේම තමන් තමන් ගැන විශ්වාසය තියාගන්න ඕනේ. තමන් තමන්ට පුළුවන් කියලා හැම තිස්සේම හිතන්න ඕනේ.වෙන කිසිම දෙයක් නෑ තමන්ට ගොඩ යන්න තියෙන්නේ තමන්ම විහින්ම තමයි, කියන එක හැමතිස්සේම මතක තියාගෙන ජීවත් වුනොත් අපිට දිනන්න පුළුවන්. අපිට කළ නොහැක්කක් නැත. කියන පණිවිඩය තමයි, අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ .. ..












