සුරවීර ආරච්චිගේ ගිහාන් සුදීප නිශාන්ත නොහොත් ” ගිහාන් සුදීප ” යන නාමය අද වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ අතිශය ජනප්‍රියත්වයට සහ ජනාදරයට පත් වූ නාමයක් බවට පත්වී තිබේ. ක්‍රිකට් පුහුණුකරුවන් අතර දිදුලන නාමයක් බවට පත්ව ඇති ගිහාන් සුදීප මහතා මේ වන විට ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්ෂේත්‍රයට දක්ෂ ක්‍රීඩකයන් රැසක්ම දායාද කල ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩා පුහුණුකරුවෙකි.
විශේෂයෙන්ම වත්මන් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගවලදී ඕවර 50 සහ ඕවර 20 තරඟවලදී කැපී පෙනෙන දස්කම් පාමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා බවට පත් වු සහ, මේ වන විටත් ශ්‍රී ලංකා එක් දින සහ ඕවර 20 තරඟ වලට ක්‍රීඩා කරන දසුන් ශානක ගේ ක්‍රිකට් ක්‍රීඩා ජීවිතයේ ප්‍රධාන පුහුණුකරු බවට පත්වූයේ ගිහන් සුදීප මහතයි. එලෙසම ලොව අංක 01ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමක් ලෙස ප්‍රකට නවසීලන්ත ටෙස්ට් කන්ඩායමේ අවසන් ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකා ටෙස්ට් කන්ධයමට එක් වූ නවතම දඟපන්දු යවන්නා වූ නිශාන් පීරිස් ගේ ක්‍රිකට් ජීවිතයේද ප්‍රධාන ක්‍රිකට් ක්‍රීඩා පුහුණුකරුවා බවට පත්වූයේ ගිහන් සුදීප මහතායි.
එලෙසම ගිහාන් සුදීප මහතාගේ මගපෙන්වීමෙන් සහ පුහුණුකාරීත්වයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට දායාද වූ බොහෝ දක්ෂ ක්‍රීඩකයන් රැසක්ම මෙවන විට ලොව පුරා රටවල් කිහිපයකම ක්‍රිකට් ක්‍රීඩා කරති.
තවමත් මීගමුව ශාන්ත පීතර විද්‍යාලයේ ක්‍රිකට් ක්‍රීඩා පුහුණුකරු ලෙසින් නැගී එන පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයන්ට දස්කම් අතරට පැමිණීමට සිය විශේෂඥ පුහුණුව ලබාදීමට මහත් වෙහෙසක් ගෙන කටයුතු කරන ක්‍රිකට් ක්‍රීඩා පුහුණුකරුවකු ලෙසද ගිහාන් සුදීප ප්‍රකටය.
ඒ නිසාම මේ සුවිශේෂී ක්‍රිකට් පුහුණුකරු සමග ” මීපුර ” අප සිදුකළ කෙටි කතාබහ පහත පළ වේ.
ඔබ ගැන පෞද්ගලික තොරතුරු ටිකක් කිව්වොත් ?
මගේ ගම කටාන. දැන් ඉන්නේ බෝල්ලාගල. මගේ පියා ගුවන් හමුදාවේ. ඉන් පස්සේ සී.ටි.බී. එකේ වැඩ කෙරුවා. ඒ වගේම ඔහු දක්ෂ මළල ක්‍රීඩකයෙක්. මගේ මව නම් රැකියාවක් කෙරුවේ නෑ. මට ඉන්නවා වැඩිමල් සහෝදරයෙක් සහ බාල සහෝදරියක්. මගේ වැඩිමල් සහෝදරයා ඒ කියන්නේ, මගේ අයියා දිල්රුක් නිලන්ත මේ මීගමුව සාන්ත පීතර විද්‍යාලයේ ක්‍රීඩා විෂය භාර ගුරුවරයෙක් විදිහට සේවය කරනවා. මම පාසල් ගියේ මීගමුවේ ශාන්ත මරියා විද්‍යාලයට.මම පාසලේදී යොමුවුනේ මළල ක්‍රීඩාවට. ඉන් පස්සේ, මම පාසලෙන් තමයි ක්‍රිකට් ක්‍රීඩාවට මූලික අත්පොත් තැබුවේ .අපේ පාසලේ ක්‍රිකට් ක්‍රීඩාව නවත්තලා තිබිලා ආයෙත් ආරම්භ කළා..අපේ පුහුණුකරු වුනේ කටුනායක ගුවන් හමුදාවේ සිසිර කුමරසිංහ කියලා මහත්තයෙක්.එහෙම තමයි මම ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වෙන්නේ. එහෙම ගිහින් මම පාසලේ 19 න් පහළ කණ්ඩායමේ නායකයා බවටද පත්වුණා. මම ක්‍රිකට් ක්‍රීඩා සමාජ මට්ටමේ තරග වලට ක්‍රීඩා කලා. මගේ රැකියාව වුනේ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ.
කොහොමද එක පාරටම ඔබ මීගමුවේ සාන්ත පීතර විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු හැටියට පත් වෙන්නේ ?
මම ඒ වෙද්දි ක්‍රිකට් ක්‍රීඩා සමාජ තරඟ වලට සහභාගි වෙලා යම් නමක් හදාගෙන තිබුණා. ඒත් එක්කම මීගමුවේ හුඟ දෙනෙක් මාව දන්නවා ක්‍රිකට් ක්‍රීඩා කරනවා කියලා. අනික මගේ අයියානේ මේ පාසලේ ක්‍රීඩා ගුරුවරයා . ඔය අතරෙදි මේ පාසලේ ක්‍රිකට් පුහුණු කිරීම එතරම් හොඳ විදිහට සිදුවූනේ නැති නිසා කිහිප දෙනෙක්ම මාව ක්‍රිකට් පුහුණුව සඳහා යොමු කරන්න කියලා ඉල්ලීම් කරලා තිබුණා. ඔය විදිහට තමයි මම මේ පාසලේ ක්‍රිකට් පුහුණු කිරීම භාර ගත්තේ. ඒ අනුව මම 1991/1992 වසර දෙක ඉඳලා මම මේ පාසලෙන් ගිහිල්ලා ආයෙත් මේ පාසලේ ක්‍රිකට් පුහුණුකාරු විදිහට එන්නේ 2000 වසරෙදි . එතැන් සිට මම මේ පාසලේ තවම ක්‍රිකට් පුහුණුකරු විදිහට කටයුතු කරනවා.
දැන් මේ සාන්ත පීතර විද්‍යාලයේදී ඔබට එක එක ආකාරයේ ක්‍රීඩා කෞශල්‍යයන් තියෙන ක්‍රිකට් ක්‍රීඩකයෝ මුණ ගැහෙනවා.එහෙම ඔබට මුණගැහුණු එක ක්‍රීඩකයෙක් තමයි දසුන් ශානක කියන්නේ.
ඔබ කොහොමද දසුන් ශානකව දැක්කේ. ?

මම හුඟක් ම ටෙක්නික් එක, ඒ කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ තාක්ෂණික පැත්ත අනුගමනය කරන පුහුණුකරුවෙක්. නමුත් දසුන් ශානකට ඩිපෙන්ස් එක ඒ කියන්නේ ආරක්ෂාකාරී පියවර අනුගමනය කරමින් පන්දුවට පහර දීම කරන්න බැරිව හිටියේ, එයා මට හමු වුන මුල් කාලයේ. එයා හැමතිස්සේම විකට් එකෙන් ඉදිරියට පැමිණිලා වැරෙන් පහර දෙන එක තමයි කලේ . ඊට පස්සේ මම එයාට පුහුණුවීම් වලට එන්න එපා කිව්වා. ඒත් දසුන් ආයෙත් ආවා, පුහුණුවම් වලට. හැබැයි පුහුණුවීම් වල නිරත වෙද්දි මම දැක්කා එයාගේ ලොකු දක්ෂතාවයක් තිබුණා පන්දුවට වැරෙන් පහර දෙන්න. මම කොයිම වෙලාවකවත් ඒක නැවැත්තුවේ නෑහැ. සමහර වෙලාවට මම ඒක එදා නැවැත්තුවා නම්, අද දසුන් ශානක කියලා කෙනෙක් නැති වෙන්නත් පුළුවන් ක්‍රිකට් ක්‍රීඩාවට. මම දසුන්ව දැක්කේ ඕල් රවුන්ඩ්ර් ඒ කියන්නේ තුන් ඉරියව් දක්ෂතා තියෙන ක්‍රීඩකයෙක් කියලා. පන්දු යැවීමත් ඔහු හොඳින් කළා නමුත් ඔහුගේ අංක එක වුණේ පිතිකරණයයි. ඒ නිසා මට එයාගේ පිතිකරණයතුල නොතිබුණු අර ආරක්ෂාකාරී පියවර අනුගමනය කිරීම හෙවත් කඩුල්ල ආරක්ෂා කර ගනිමින් පන්දුවට පහර දීම යම් ආකාරයකින් නිවැරදි තත්ත්වයකට ගෙන එන්න පුළුවන් වුණා. මොනවා කරන්නත් කඩුල්ල ආරක්ෂා කරගැනීමනේ අත්‍යවශ්‍යම දේ. දසුන් ශානක කියන්නේත් අර සනත් ජයසූරියගේ සාම්පලයේම පන්දුවට වැරෙන් පහර දෙන ක්‍රීඩකයෙක්. එහෙම තමයි මම මූලිකවම දසුන් ශානකව හඳුනාගත්තේ. ඒවගේම ඔහුගේ තිබුණ හොඳ නායකත්වයේ ගුණාංග. ඒ සියලුම දේවල් ඔහුට බලපාන්න ඇති පසුකාලීනව.
හැබැයි දැන් ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳ පන්දු යවන්නෙක්. ?
ඔව්, ඔහු එදා ඉදලම හොඳ පන්දු යවන්නෙක්. අපි එයා හඳුනා ගත්තේ වේග පන්දු යවන්නෙක් විදියට . හැබැයි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ඔහු ස්ලෝ මීඩයම් බෝලර් කෙනෙක් ඒ කියන්නේ මඳ වේග පන්දු යවන්නෙක්. මොකද ඔහු පැයට කිලෝ මීටර් 125 ක 130 ක වේගයෙන් පන්දු යවන්නෙක්. දැන් අපිට ඕක, වේග පන්දු යැවීමක් වුණාට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර 135 ට 140 ට වැඩි වෙන්න ඕනේ. එතකොට තමයි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ වේග පන්දු යවන්නෙක් කියලා හඳුන්වන්නේ. අන්න ඒ නිසයි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියදී දසුන් ශානකව මඳ වේග පන්දු යවන්නෙක් විදියට හඳුන්වන්නේ.
එතකොට ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු යවන්නෙක් විදිහට වඩාත් ප්‍රසිද්ධියට පත් වුණු නිශාන් පීරිස් ගේ ක්‍රිකට් පුහුණුකරු බවට පත්වුණේ ඔබ.
ඔබ කොහොමද නිශාන් පිරිස්ව හඳුනගත්තේ ?.
නිශාන් පීරිස්ව මට හමු වෙද්දී එයා මට මතක විදිහට 13න් පහළ කණ්ඩායමේ රයිට් ආර්ම් ලෙග් ස්පින් බෝලර් කෙනෙක් ඒ කියන්නේ දකුණත් පා දඟ පන්දු යවන්නෙක්. මම කෙරුවේ ඔහුව රයිට් ආර්ම් ඕෆ් ස්පින් බෝලර් කෙනෙක් කෙරුවා එක අපි සිංහලෙන් කියනවා නම් දකුණත් පිට දඟ පන්දු යවන්නෙක් බවට පත් කෙරුවා, එයා පන්දු යවනකොට ඕෆ් ස්ටම්ප් එකේ කෙටිලා ඇතුලට එන විදියට තමයි පන්දු යවන්නේ. .මුත්තය්යා මුරලිදරන් පන්දු යවන ක්‍රමවේදය, ඒ ක්‍රමය තමයි මම නිශාන්ගේ හැදුවේ. මම ඒ ගැන නිශාන්ට කිව්වම ඒ කියන්නේ මේ ඉරියව්ව වෙනස් කළ යුතුයි කියලා කිව්වාහම නිශාන් ඒකට කැමති වුණා . අර පරණ විදිහට එයා පන්දු යැව්වනම් එයාට සමහර වෙලාවට අද ශ්‍රී ලංකා කණ්ඩායමේ තැනක් නොලැබෙන්නත් ඉඩ තිබුණා.
දැන් ඔය විදිහට ගත්තහම ඔබගේ පුහුණුකාරීත්වයෙන් බිහිවුණු එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමේ තැනක් නොලැබිච්ච හැබැයි දක්ෂතා වලින් දෙවෙනි නොවන ක්‍රිකට් ක්‍රීඩකයෝ කොතරම් ප්‍රමාණයක් ඉන්නව ඇත්ද ?
ඇත්තටම කියනවානම් ඉතින් සෑහෙන ක්‍රීඩකයන් ප්‍රමාණයක් මගේන් බිහිවෙලා තියෙනවා මේ වෙද්දි ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ක්‍රිකට් සමාජ වලට තරග කරන ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයෝ හතර දෙනෙක් ඉන්නවා . එයාල සාමාන්‍යයෙන් මාසිකව රුපියල් මිලියනයකට වඩා වැඩි මුදලක් උපයා ගන්නවා. දැන් ඔය නිශාන් පීරිස්ගේ අයියා නිමන්ත පීරිස් .එයත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට තේරෙන්න හිටපු ක්‍රීඩකයෙක්. නමුත් එයා කොළඹ ලොකු පාසලකට ගියා. ඒ නිසා එයාට ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුල්වෙන්න බැරිව ගියා. මෙහේ වගේ පාසල් කණ්ඩායමක ක්‍රීඩා කරලා දක්ෂතා පෙන්නුවාම කොළඹ ලොකු පාසල් වලින් එයාලට එහෙ එන්න කියනවා. වතාවත් දෙකක් අසාර්ථක වුනාම එයාලා කපලා දාලා වෙන ළමයිව ඒ පාසලේ කණ්ඩායම් වලට ගන්නවා. නමුත් අපි එහෙම කපලා දාන්නේ නෑ. එයා වතාවත් දෙකක් අසාර්ථක වුණා කියලා අපි එයාව පුළුවන් තරම් තව පුහුණු කරලා ,එයාගෙ දක්ෂතා අතරට අපි එයාලව අරන් එනවා. ඔය ලොකු පාසල් වල ඒවා කෙරෙන්නේ නෑ. මෙහේ දක්ෂතා පෙන්නපු හුඟක් අයට වුණේ ඔය දේ තමයි. ඉතින් ගොඩක් දක්ෂතා තියෙන සිය ගණනක් ක්‍රිකට් ක්‍රීඩකයෝ මගේ පුහුණුකාරීත්වයෙන් මේ වෙද්දි බිහිවෙලා ඇති ..
අද අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දීලා තියෙන යම් ආකාරයක මෙි අවාසනාවන්ත තත්ත්වය ගැන ක්‍රිකට් පුහුණුකරුවෙක් හැටියට ඔබේ අදහස මොකක්ද ?
ඔව් දැන් අපේ රටේ ඉතින් ගොඩක් ප්‍රශ්න තියෙනවා ක්‍රීඩාවට. මොකද අපේ ක්‍රීඩාවත් අද වෙද්දි දේශපාලනීකරණය වෙලානේ. දැන් ඉන්දියාවේ එහෙම නෑනේ. එහේ ක්‍රීකට් පරිපාලනයට ඒ තනතුරු වලට එන්නෙත් ක්‍රිකට් ක්‍රීඩා කරපු දක්ෂයෝ. එහේ කිසිම භේදයක් නෑ එක කොඩියක් යටතේ ක්‍රිකට් ක්‍රීඩා කරනවා. අපේ රටේ ඉතින් ගොඩක් ප්‍රශ්න තියෙනවා ඔය ප්‍රශ්න මගහැර ගත්තොත් ජයග්‍රහන අත් කරගන්න පුළුවන්.මොකද අපේ ක්‍රීඩකයෝ දක්ෂයි.ඉතින් නියමිත ක්‍රමවේදයක් යටතේ ක්‍රීඩාව හරියට ස්වාධීනව කරගෙන යාම තමයි අත්‍යවශ්‍ය වෙන්නේ.
ඔබ මේ වෙද්දි මීගමුව, සාන්ත පීතර විද්‍යාලයේ සහ ශාන්ත ජෝසප් විද්‍යාලයේ ක්‍රිකට් පුහුණු ඇකඩමි පවත්වාගෙන යනවා. ඒ පිළිබඳව කෙටියෙන් විස්තර කළොත් ?
ඔව් දැන් මම මේ ශාන්ත පීතර විද්‍යාලයේ 13න් පහළ, 15:න් පහළ, 17 ක් පහල 19 පහළ කණ්ඩායම් වල මම ක්‍රිකට් පුහුණුකරු ලෙස කටයුතු කරනවා. දැන් සාන්ත පීතර විද්‍යාලයේ 13 න් පහළ කණ්ඩායමේ ළමයි 30ක් විතර පුහුණු වෙනවා.15 න් පහල කණ්ඩායමේ ළමුන්
15 ත් 20 ත් අතර ප්‍රමාණයක් ඉන්නවා. 17 න් පහල කණ්ඩායමේ 20 ක් විතර ළමුන් ඉන්නවා. 19 පහළ කණ්ඩායමේ මේ සියල්ලන්ගේම කලවමක් තියෙන්නේ. ඉතින් මේවල ඉන්නවා හොඳ දක්ෂ දරුවෝ. තව ටිකක් පහසුකම් වැඩි කර ගන්න පුළුවන්නම් තවත් දක්ෂ දරුවෝ ගණනාවක් මීගමෙන් බිහි කරගන්න අපිට පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා.
දැන් ඔබ පුහුණු කරපු ක්‍රිකට් ක්‍රීඩකයෝ අතරින් එක් සුවිශේෂී ක්‍රීඩකයෙක්, ඒ කියන්නේ ඔබේ හොඳම ගෝලයෙක්ව ඔබ, ඔබේ සහායක පුහුණුකරුවකු හැටියට පත් කරගෙන ඉන්නවා. ඔහු පිළිබඳව යම් විස්තරයක් අපට කිව්වොත් ?.

ඔව්, ඔබ ඔය කියන්නේ මගේ හොඳම ගෝලයෙක් වන මීගමුව, කටුවපිටිය ප්‍රදේශයේ ලසිත් නිසල්ක ගැන. ඔහු විශ්ව විද්‍යාලයට යන්න පුළුවන් ලොකු දක්ෂතා වලින් හෙබි දරුවෙක්. නමුත් ඔහු විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමු නොවී ක්‍රිකට් ක්‍රීඩාවට ඇල්මක් දැක්වුවා ඉතින් ඔහු මේ විදිහට ක්‍රිකට් ක්‍රීඩාවටම යොමු වෙලා තියෙන්නේ. ඉතින් එයාගේ පියාත් ක්‍රිකට් ක්‍රීඩාවට ඉතාම ඇලුම් කරන පුද්ගලයෙක්. ඔහුගේත් ක්‍රිකට් කණ්ඩායමක් තියෙනවා. ඔහුගේ පියා තමයි ඒ ක්‍රිකට් කණ්ඩායම මෙහෙවන්නේ. ඒ ක්‍රිකට් කණ්ඩායමත් ලංකාවේ ක්‍රීඩා සමාජ තරග වලට එහෙම සහභාගි වෙලා ලොකු ජයග්‍රහණ එහෙම ලබාගෙන තියෙනවා. ඒ නිසා මම නම් හිතන්නේ ලසිත් නිසල්කට ඔහුගේ පියාගෙන්ම වෙන්නැති මේ ක්‍රිකට් ක්‍රීඩාව ඇඟටම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔහු මගේ පුහුණුවීම් කටයුතුවලදී මට ලොකු සහයක් ලබා දෙනවා. මොකද ඔහු ළඟ තියෙන තාක්ෂණික ක්‍රම උපායන් සහ මා ළඟ තියෙන තාක්ෂණික ක්‍රම උපායන් එක හා සමානයි. ඉතින් ඔහු වැනි සහායකයෙක් එක්ක වැඩ කිරීම මට හරි ලෙහෙසියක්.මොකද වෙනත් පිට කෙනෙකු සහායකයෙක් කරගත්තාම බොහෝවිට අපිට ගැටෙන්න තියෙන අවස්ථාව වැඩියි. නමුත් ඔහු සමග මම වැඩ කරද්දී එහෙම ගැටෙන්න අවශ්‍ය වෙන්නේ නෑ. මොකද ඔහු මම කියන දේ කරන නිසා. ඔහුත් මේ ශාන්ත පීතර විද්‍යාලයේම ඉගෙනුම ලැබූ සිසුවෙක්. ඔහු ලංකාවෙම හොඳම පිතිකරු බවටත් පත්වුනා. එක් අවස්ථාවක. මට මතක විදිහට ඩිවිෂන් -02 පන්තියේ ඔහු හොඳම පිතිකරු බවට පත්වුණා. ඇත්තටම ඔහුට හොඳ අනාගතයක් තියෙන ක්‍රිකට් ක්‍රීඩකයෙක්.
දැන් මේ රටේ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව යම් ආකාරයකට කඩා වැටීමකට ලක්වෙලා තියෙනවා දැන් ගත්තොත් මේ ශාන්ත පීතර විද්‍යාලයට ක්‍රිකට් ක්‍රීඩාව පුහුණුවීමට නිසි පහසුකම් නෑහැ.. ඉතින් මේ පාසල් ක්‍රීඩාව දියුණු මට්ටමකට ගෙන එන්න ඔබේ අදහස් මොනවද.?
ඉදිරියේදී රජයේ පාසල් වැටෙනවා මොකද දන්නවද අපි කියමුකෝ අපිට ළමයෙක් ගන්න අමාරුයි. මොකද අර නීතිරීති ගොඩක් වැඩියි.ඒ වගේම පෞද්ගලික සහ අර්ධ අර්ධ රජයේ ඒ කියන්නේ සෙමි ගවර්මන්ට් පාසල් වලට එයාලට කැමති ළමයෙක්ව ගන්න පුළුවන්. මුදල් වියදම් කරන්න පුළුවන් නිසා. ඒ දේ කරගන්න පුළුවන්.පහසුකම් වුනත් ඕන තරම් තියෙනවා. අද මේ වෙනකොට අපිට හොඳ බැට් එකක් නැතුව ඉන්නේ.හරිහමන් බැට් නැතිව අපිට තරග වලට ක්‍රීඩා කරන්න වෙලා තියෙන්නේ. දැන් දසුන් ශානක අපිට බැට් දෙකක් දෙන්නම් කිව්වා . හොඳ බැට් එකක් සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂය පනිනවා. හොඳ ලෙදර් බෝලයක් සාමාන්‍යයෙන් රුපියල් 10,000 ත් 15,000 ත් අතර වගේ ගානක් වෙනවා. ග්ලවුස් , පෑඩ්, නී ගාර්ඩ් ඔය වගේ දේවල් අරගෙන ක්‍රීඩකයෙකුට හොඳ බැට් එකක් එහෙම දීලා පිට්ටනියට යවද්දි රුපියල් 150,000 ත් 200,000 අතර ගානක් වැයවෙනවා. අපි ඉතින් අවමයෙන් කරගෙන යනවා. ඉතින් අපිට ලොකුම ප්‍රශ්නෙ තියෙන්නේ දක්ෂතා තියෙන ළමයින්ව අපට ගන්න විදිහක් නෑ. හැබැයි අර මම කලින් කියාපු අර පාසල් ඒ වගේ දක්ෂතා තියෙන ළමයි අර ගන්නවා.
ඉතින් දක්ෂයෝ ගොඩක් ඒ පාසල් වල ඉන්නවා. ඉතින් පහසුකම් අතින් අපිට අඩුයි වගේම, හොඳ දක්ෂතා තියෙන ක්‍රීඩකයොත් අපිට නැති ප්‍රශ්නනේ තමයි තියෙන්නේ. සමහර පාසල් තියෙනවා සල්ලිත් තියෙනවා පාසලක් ලොකුයි නමුත් ක්‍රිකට් ක්‍රීඩාවට වියදම් කරන්නේ නැහැ. සමහර පාසල් වල ඉන්න විදුහල්පතිවරුන්ට උවමනාවක් නෑ හොඳ පුහුණුකරුවෙකුට වැටුපක් දීලා ඒ පාසලේ ක්‍රිකට් ක්‍රීඩාව නන්වන්න වුවමනාවක් නැති ප්‍රශ්නෙත් තියෙනවා.සමහර පාසල් තියෙනවා, වියදම් අඩුවෙන් වැය වෙන ක්‍රීඩා වලට තමයි මුල් තැනක් දෙන්නේ.ක්‍රිකට් ක්‍රීඩාව කරන්නේ නෑ මොකද මේකට ටිකක් වියදම් කරන්න වෙන නිසා.
දැන් මේ තියෙන වාතාවරණය තුල ඇත්තටම මේ පාසල් ක්‍රිකට් වලින් පසුගිය කාලේ වගේ දක්ෂයෝ බිහි වෙනවද ?.
දැන් පාසල් ක්‍රිකට් වලදී දිස්ත්‍රික් තරග වලට සිදුවන පුහුණු වීම්වලදී අපිට කියනවා හොඳ අය තෝරලා එවන්න කියලා. අපි එහෙම තෝරලා යැව්වත් ඒ අයත් පස්සේ වෙනමම තොරනවා. ඒ කියන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයට අනුයුක්ත පාසල් ක්‍රිකට් සංගමය සහ. ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය. ඒ දෙගොල්ලෝ එක්කහු වෙලා තමයි එතනදි අපි තෝරලා යවපු අයව ආයෙත් එයාල තෝරන්නේ. ඉතින් එයාල තෝරලා ඒ වසරේ තියෙන තරග වලට ඉදිරිපත් වෙන්න කණ්ඩායමක් තෝරාගන්නවා. ඔතනදී ඉතින් අසාධාරණකම් එහෙමත් සිද්ධ වෙනවා.දැන් මගේ පුතාට අසාධාරණයක් වුණා. එයා ගම්පහ දික්ස්ත්‍රික් කණ්ඩායමේ උප නායකයා.
ඒ කියන්නේ මේ දිස්ත්‍රික්කයේ කලාප තුනක් තියෙනවා, එකක් වත්තල පැත්තේ අනිත් එක ගම්පහ පැත්තේ අනිත් එක මීගමුව පැත්තේ. එයා පාසල් ක්‍රිකට් ක්‍රීඩා කරන කාලයේ අවුරුද්දකට විකට් 80 ක් විතර ගන්නවා.සුපිරි පන්දු යවන්නෙක්. පළවෙනි තරඟයේ එක ඕවරයයි දෙන්නේ. ඒකෙදි එයා විකට් එකක් ගන්නවා.එතනින් එහා තරඟ වල එයාට පන්දු යවන්න දෙන්නේ නෑ. ඊට පස්සේ දෙන්නේ අවසාන පන්දුවාරය. ඒ තරඟය තරගය වැටුණේ වෙල්යාලගේ, ෂෙවෝන් ඩැනයෙල්ලා වගේ දක්ෂ අයත් එක්ක. එතනදි මගේ පුතා විකට් හතරක් ගන්නවා. පළමුවෙනි තරඟයයි, අවසාන තරඟයයි විතරයි. එයාට ලැබුණේ. පළමුවැනි තරඟයේ එක ඕවරයයි, අවසාන තරඟයේ ඕවර් කීපයක්ම දෙනවා මොකද ප්‍රතිවාදින් හොඳට ගහනවනේ. එතන වෙන ප්‍රශ්නයක් ඒ පුහුණුකරු තරඟය පවත්වන්නත් කලින්ම ක්‍රීඩකයෝ දෙන්නෙත් තෝරලා . ඉතින් එහෙම අය හිටියොත් අර දක්ෂයන්ට අවස්ථාව නැතුව යනවා. හැබැයි ඉතින් හැමෝමත් එහෙම නෑ. ඉතින් ඔය වගේ සිදුවීම් වුන නිසා මගේ පුතා ක්‍රිකට් ක්‍රීඩාව අතහැරියා.. දැන් එයා ගුවන්තොටුපළේ රැකියාවක් කරනවා. එක ලොකු අපරාධයක් හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක් එයා. දැන් හිතන්නකෝ මමත් ඔය ගම්පහ ක්‍රිකට් එකේ විධායක සභාවේත් ඉඳලා තමයි මගේ පුතාට මේ දේ වෙන්නේ. දැන් මම පුහුණුකරු විදිහට එද්දි මගේ තීරණය තමයි දක්ෂයෙක් නොවුනහොත් මගේ පුතාටත් මම තැනක් දෙන්නේ නෑ කියන එක. ඒක තමයි මගේ නියමය.
දැන් මම අවසාන වශයෙන් අහන්න කැමතියි ක්‍රිකට් ක්‍රීඩාව වෙනත් ක්‍රීඩාවලින් වෙනස් වෙනවා මොකද දැන් දරුවෙක්ව සමාජයට මුදා හරිද්දී, ඒ දරුවන් මේ සමාජය තුළ කොහොමද ජීවත් වෙන්න ඕනේ කියන ප්‍රශ්නයට නිසි පිළිතුරක් මේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ නිරත වීමෙන් ලැබෙන බව අහලා තියෙනවා, ඇත්තටම ඒක කොහොමද සිද්ධ වෙන්නේ ?.
ක්‍රිකට් ක්‍රීඩාවේදී පන්දු යැවීමේදී පිතිකරණයේදීත් මනා ඉවසීමක් සහ දැඩි මානසික ඒකාග්‍රතාවයක් තියෙන්න ඕනේ.දැන් ඉවසීම සහ මානසික ඒකාග්‍රතාවය හරියට පවත්වාගෙන යන කෙනෙකුට ක්‍රීඩාවෙන් විතරක් නෙවෙයි අධ්‍යාපන කටයුතුවලදී පවා හරියට ඒ වැඩ කටයුතු කරගන්න පුළුවන් වෙනවා.දැන් ඉගෙන ගන්න බැරි කෙනෙක් ක්‍රීඩාව කලාට ක්‍රීඩාවේ මැදට ගියාම ඒක හරියට කරගන්න බැරුව යනවා.මොකද එයාට තාක්ෂණික පැත්ත ගැන නිසි දැනුවත්භාවයක් නැහැ නමුත් එයාට යමක් අවස්ථානුකූලව තේරුම් ගන්න පුළුවන් මානසික ශක්තියක් තියෙන්න ඕනේ. නැත්නම් ඔහුට තේරුම් ගන්න බැරි වෙනවා මම පහර දෙන්න ඕන පන්දුව මොකක්ද පහර නොදෙන්න ඕන පන්දුව මොකක්ද කියන එක.ඉගෙන ගන්නත් යමක් අවබෝධ කර ගැනීමේ ශක්තියක් තියෙන්න ඕනේ. එහෙමප අයත් එක්ක වැඩ කරන්න අපිට හරි ලෙහෙසියි .
අනික මේ ක්‍රීඩාව තුළ නියැලීමෙන් විනයක් ඇතිවෙනවා. විනය නැත්තම් ක්‍රිකට් ක්‍රීඩාව කරන්න බෑ මොකද මේක මහත්වරුන්ගේ ක්‍රීඩාව නේ. මේකෙදි තමන්ගේ ප්‍රතිවාදයට ඒවගේම ගුරුවරුන්ට ගරු කරලා කතා කරන්න ඕන.ක්‍රිකට් කියන්නේ විනයත් සමග යන ක්‍රීඩාවක්.අනිත් ක්‍රීඩාවන් එක්ක සාපේක්ෂකව ගත්තහම ක්‍රිකට් ක්‍රීඩාවේදී විනය තත්ත්වය වැඩියි.
මෙන්න මේ විනය නිසා සමාජය තුළ ඔහුට ජීවත් විය ක්‍රමය ඔහුට හදාගන්න පුළුවන් වෙනවා.. ක්‍රිකට් ක්‍රීඩාව කරන කෙනා වැටෙන්නේ නෑ..ජයග්‍රහණයත් පරාජයත් දරා ගැනීමේ දැඩි ශක්තියක් හැකියාවක් ඔහුට තියෙනවා.මොකද ඔහුට ඉවසීම තියෙන්න ඕන පැය ගානනක කරන ක්‍රීඩාවක් ක්‍රිකට් කියන්නේ. මේක විනාඩි 05 කින් 10 කන් ඉවර වෙන ක්‍රීඩාවක් නෙමෙයි. ඒක නිසයි මම කිව්වේ ක්‍රිකට් ක්‍රීඩාව තුළ නිසි විදිහට නිරත සමාජය තුළ යහපත්ව ජීවත් විය හැකි පුරවැසියෙක් නිර්මාණය කරනවා.
,
















