මුස්ලිම් ජාතිකත්වය නියෝජන කරන ශ්‍රී ලාංකික ධාවන ශූරියක වන ෆාතිමා මේ ජගග්‍රහණය ලබා ගත්තේ ශ්‍රී ලංකාව සහ එහි සමස්ත ජාතිකත්වය නියෝජ්නය කරමිනි.ඒ අනුව මෙය ශ්‍රී ලාංකේය සමස්ත මුස්ලිම් ප්‍රජාවට අතිශය වැදගත් වනුයේ ඇය ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාවට අයිති යුවතියක වීම නිසා ය.නමුත් ඇය ජාත්‍යන්තරයේ දී සමස්ත ශ්‍රී ලංකාව මිස ශ්‍රී ලංකේය මුස්ලිම් ප්‍රජාව නියෝජනය කළේ නැත. මේ අතර සමස්ත ලංකා මුස්ලිම් ලීග් යොවුන් සම්මේලනය ( All Ceylon union of Muslim league youth front ) ද ෆාතිමා ගේ මෙම සුවිශේෂ ජයග්‍රහණය උදෙසා සිය උණුසුම් සුබ පැතුම් එක් කොට තිබේ.වත්මන් ගෝලීයකරන සංකල්ප හා සැසඳෙන නවීන සිතුම් පැතුම් හා ආකල්ප නියෝජනය කරන එම සම්මේලනයේ ජාතික සභාපති ඇම්.ඇන්.ඇම්. ෂාම් නවාස් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර තරඟ බිමේ ශ්‍රී ලංකාවේ නම රන් අකුරින් සනිටුහන් කිරීමට ෆාතිමා ලබා දුන් දායකත්වය ශ්‍රී ලාංකික මුස්ලිම් ප්‍රජාවටම අභිමානයක් එක් කළ බවකි.එමෙන්ම .මෙවැනි කීර්තියක් රටට රැගෙන ආ දිරිය දියණිය වෙනුවෙන් ඇයගේ ඉදිරි ක්‍රීඩා ගමන ශක්තිමත් කිරීමට මේ රටේ සියළු දෙනා එකතු විය යුතු බවත් එම සම්මේලනයේ ජාතික සභාපති වරයා පවසා තිබේ.එය අපි ද ඉත සිතින් අනුමත කරමු.

එමෙන්ම ශ්‍රී ලාංකේය මුස්ලිම් ප්‍රජාවේ මෙන්ම කන්ද උඩරට ජනතාව අතුරින් මතු වූ ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර කීර්තියක් ගෙන දුන් මෙම “නුවර කෙල්ල” සඳහා සියළු ජාති ආගම් නියෝජනය කරන පිරිස් එකතුව පසුගිය දා උණුසුම් පිළිගැනීමක් සංවිධානය කොට තිබිණ.එහි දී ඇය එසේ ප්‍රීති ඝෝෂා කරන පිරිස හමුවේ කළ ප්‍රකාශය අප ගේ නෙත් වලට තුටු කඳුළු එක් කරන්නකි.
“මුස්ලිම්, සිංහල, දෙමළ, බෞද්ධ, අපි හැමෝම එකමුතුව ඉන්නවා. මම ඉපදුණු දවසේ ඉඳන්ම හැදුනේ වැඩුණේ ඒගොල්ලොත් එක්ක. කරුණාකරලා වෙනත් විදිහකට අදහස් කරන පෝස්ට් ෂෙයාර් කරන්න එපා. අපේ ගමේ එහෙම ප්‍රශ්න නැහැ,” ඇය පැවසූ එම කතාවේ සත්‍යතාව කන්ද උඩරට එබඳු බහු විධ සංස්කෘතික වටපිටාවක ඉපිද සිංහල මාධ්‍යයෙන් පාසල් සේම සරසවි අධ්‍යාපනය ලබා සිංහල මාධ්‍යයෙන් උපාධි සුදුසුකමක් ලබා ගත් මම ද ඉත සිතින් අනුමත කරමි. නමුත් පසුගිය කාලය තුළ සමස්ත ඉස්ලාමීය ප්‍රජාව ඉලක්ක කර ගනිමින් පටු දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් දියත් කළ මුස්ලිම් විරෝධය පසු කලෙක ඇතැම් ජන මාධ්‍ය කරුවන් විසින් බඩ ගෝස්තරයක් කර ගත් අයුරු රහසක් නොවේ.ඔවුන් විසින් රට පුරා පතුරුවන ලද මුස්ලිම් ජාතිකයන් අප රටේ ප්‍රධාන ජන කොටස වන සිංහල ජනගහණය පාලනය කිරීම පිණිස වඳ කොත්තු කෑමට දී කතුනට වඳ බ්‍රෙසියර් අන්දවා දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත වන ගැබිණියනට වඳ සැත්කම් කරන බවට “ජාතික” වශයෙන් ලේබල් ගසා ගත් පුවත් පත් වල ප්‍රධාන සිරස්තල මඟින් හුවා දැක්වෙන ලද්දේ ඒ අනුව ය.නමුත් එය ඉකුත් සමයේ සිදු වූ අප ජන සමාජයේ සැලකිය යුතු පිරිසක් ගොනාට ඇන්දවීමක් බව මේ වන විට මනාව පසක් වී තිබේ.එමෙන්ම ඊට දක්වන ප්‍රතිරෝධයක් ලෙස මුස්ලිම් සමාජයේ ඇතැම් පිරිස් ද ජාතික ඒකාබද්ධතාවයට හානි පමුණුවන ක්‍රියා නොකළ බවට සහතික වීමට අපට නොපුළුවන. නමුත් මේ වන විට එම මාධ්‍ය පවා අතිශය බංකොලොත් බවකට; පරිහානියකට පත්ව ඇති අයුරු ඕනෑම කෙනකුට පසුවෙන් නිරීක්ෂණය කළ හැක. මේ අතර. ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ක්‍රීඩිකා ෆාතිමා දියණිය ගේ මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් ද ඉතා සුළු පිරිසක් ඇය ඉස්ලාම් දහම තුළ සම්ප්‍රදායන් සහ මුස්ලිම් සංස්කෘතික පිළිවෙත් රැකීම පිළිබඳ සංකල්පය තේරුම් නොගෙන කටයුතු කොට ඇති බවක් පවසා තිබේ.විශේෂයෙන් ඇය දෑත් එක් කොට ආචාර කිරීම ඉස්ලාම් දහමට හා මුස්ලිම් සංස්කෘතියට පටහැනි බවට යම් පිරිසක් සමාජ මාධ්‍ය මඟින් කරුණු දක්වමින් සිටිති.ඔවුන් ගෙන් බොහොමයක් පසුගිය කාලයේ මුස්ලිම් කතුන් ගේ සාම්ප්‍රදායික ඇඳුමක් වන හිජාබය තහනම් කළ යුතු බවට හඬ නැඟූ පිරිසම වීමට බොහෝ දුරට ඉඩ ඇති බව අප ගේ වැටහීම ය.
ඉස්ලාමීය ඉගැන්වීම්වල මූලික පදනම ‘සුන්නාහ්’ සහ ‘හදීස්’ මත පදනම් වේ ‘සුන්නාහ් යනු මුහම්මද් (සල්) තුමාණන්ගේ ක්‍රියා, වචන සහ නිහඬ අනුමත කිරීම් වන අතර හදීස් යනු සුන්නාහ් වාර්තා කර ඇති ලිඛිත වාර්තා වේ.
ඉස්ලාමීය මූලික ඉගැන්වීම් ඇතුලත් පරමෝත්කෘෂ්ට ග්‍රන්ථය අල්-කුර්ආනය යනු අල්ලාහ් (දෙවියන්) විසින් මුහම්මද් (සල්) තුමාණන්ට පහළ කරන ලද සර්වකාලීන පණිවිඩය බව සියළු ඉස්ලාමිකයන් ගේ ඒකායන විශ්වාසයයි. ඒ අනුව අල්-කුර්ආනය ඉස්ලාමීය ජීවන රටාවේ මූලික නීති, විශ්වාසයන් සහ ආචාර ධර්ම අඩංගු පරමාදර්ශී මූලාශ්‍රයයි.
ඉස්ලාම් දහම තුළ, සම්ප්‍රදායන් යනුවෙන් අදහස් වන්නේ, ප්‍රධාන වශයෙන්, මුහම්මද් (සල්) තුමාණන් අනුගමනය කළ ආගමික පිළිවෙත් සහ ආචාර ධර්ම රැකීමයි.ආගමික පිළිවෙත් සම්පූර්ණ කිරීම: ඉස්ලාමයේ මූලික බල කනු වන නමස්කාරය (සලාතය), උපවාසය (සෞම්), දානය (සකාත්) සහ හජ් වන්දනාව වැනි දේ අල්- කුර්ආනයේ විස්තර කර ඇතත්, ඒවා කළ යුතු නිවැරදි ආකාරය මුළුමනින්ම උගන්වන්නේ සුන්නාහ් මගිනි.
නමුත් ඉහත සඳන් ෆාතිමා දියණිය ගේ සුවිශිෂ්ට ජය මුල් කොට ඇය ඉස්ලාම් දහමට පිටු පෑ ඇතැයි පවසන පිරිස් එසේ කරනුයේ ඉස්ලාම් දහම පිළිබඳව මළ පොතේ අකුරක් වත් නොදැන බව අතිශයින් පැහැදිලි ය.
ඉස්ලාම් දහම දේශීය සංස්කෘතීන් සහ සිරිත් විරිත් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්නේ නැත. ඉස්ලාමීය නීතියේ (ශරියාවේ) මූලික මූලධර්මවලට පටහැනි නොවන තාක් කල්, දේශීය සිරිත් විරිත් අනුගමනය කිරීමට ඉස්ලාම් භක්තිකයනට අවසර ඇත. ඒ අනුව දේශීය වශයෙන් ජන සම්මත ආචාර සමාචාර විධි මුස්ලිම් ජාතිකයන්ට අකැප නොවේ.
ඉස්ලාම් දහම දේශීය සම්ප්‍රදායන් අනුමත කිරීමේදී ඒවා අල්ලාහ් ට හවුල් කිරීම (ෂිර්ක්) වැනි මූලික ඉස්ලාමීය විශ්වාසයන්ට පටහැනි නොවිය යුතු බවට හා ඒවා අසාධාරණය, අශිෂ්ටත්වය හෝ හානිකර මට්ටමට පත් නොවිය යුතු බව ඉස්ලාමීය ඉගැන්වීම ය. ශ්‍රී ලාංකේය කෙටි දුර ධාවන ක්‍රීඩිකා ෆාතිමා ෂෆියා යමික් දියණිය ගේ පවුල් පසුබිම ද එම සීමාව තුළ ස්ථාපිත වූවක් බව පෙනේ. 2024 ජන සංගණය අනුව සමස්ත ශ්‍රී ලාංකේය ජනගහණයෙන් 10.5%ක් යෝනක හා මුස්ලිම් ජාතිකයෝ වෙති. ශ්‍රී ලාංකේය මැලේ ජාතිකයන් ද ඉස්ලාම් දහම අදහන නිසා අප රටේ ඉස්ලාමික ජන ප්‍රතිශතය 10.7%කි. නමුත් ඔවුන් ගෙන් සැලකිය යුතු පිරිසක් තම ජාතිකත්වය හා ආගම පොදු සමාජය හමුවේ ප්‍රදර්ශනය නොකරති.නව ලිබරල්වාදී ගෝලීය සංකල්ප මත දිවි ගෙවන මුස්ලිම් යොවුන් ප්‍රජාව ඒ අතුරින් කැපී පෙනෙයි.
එමෙන්ම මේ වන විට ශ්‍රී ලංකාවට මුස්ලිම් ප්‍රජාව නියෝනය කෙරන ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩිකාවක හිමි වූයේ ද ඔවුන් ඉස්ලාම් දහම කෙසේ වෙතත් මුස්ලිම් සංස්කෘතියේ එන සාම්ප්‍රදායිකතවය දැඩිව ග්‍රහණය කර නොගැනීම නිසා ය.ඒ අනුව එම කටයුතු උදෙසා අල්ලාහ් (දෙවියන්) විසින් මුහම්මද් (සල්) තුමාණන්ට පහළ කරන ලද සර්වකාලීන පණිවිඩය වන අල්-කුර්ආනය මඟින් ඔවුනට යම් අවකාශයක් ලබා දී තිබේ.තත්වය එසේ නම් නුතනයේ ප්‍රචලිත අවවහරකට අනුව කිව හොත් එය “වෙන කාටවත් පාන් ද ?”කියා විමසීමට ද යමකුට බැරිකමක් නැත.
ෆාතිමා හලල්දීන්
|
|











