සහෝදර සිංහල ජනතාව වෙත…

0
68

තෛයිට්ටි ප්‍රදේශයේ ඉදි කර ඇති තිස්ස විහාරය ඉදිරිපිට සාමකාමී ලෙස උද්ඝෝෂණයක යෙදෙන දෙමළ ජනයා අද පොසොන් පොහොය දාත් එහි සාමකාමීව රැස්ව සිටිති. ඔවුන් පවසන්නේ සිංහල බෞද්ධ ජනතාව සමග ඔවුන්ට කිසිදු ප්‍රශ්නයක් නැති බවත්, විහාරස්ථානය ඉදි කිරීම සඳහා බලහත්කාරයෙන් අත්පත් කරගත් තම ඉඩම් අහිමි වීමේ අයුක්තියට එරෙහි වීමට පමණක් තමන් මෙහි රැස්ව සිටින බවත් ය.

ඔවුන් විසින් මෙහි පැමිණෙන සිංහල ජනතාව වෙත නිකුත් කිරීමට මෙම අත්පත්‍රිකාව නිකුත් කර තිබිණි.

_____________________________________________________

සහෝදර සිංහල ජනතාව වෙත,

උතුරු නැගෙනහිර පාරම්පරික දෙමළ ජනතාව වන අපි, අපගේ සහෝදර සිංහල බෞද්ධ ජනතාවගේ විරුද්ධවාදීන් නොවෙමු. බුදු දහම සමඟ අපගේ සම්බන්ධතාවය ඈත ඉතිහාසය දක්වා දිව යයි. එහෙත් අපේ අභිලාෂ පිළිනොගත් දකුණේ පාලකයෝ අප සිංහල ජාතියට සහ බෞද්ධ ආගමට විරුද්ධවාදීන් ලෙස නිරූපණය කරමින්, උතුරු නැගෙනහිර ජීවත් වන දෙමළ ජනයා වන අප සහ අපගේ අරගල පිළිබඳව වැරදි චිත්‍රයක් ඔබ තුළ ඇති කිරීමට ඉතිහාසය පුරා ක්‍රියා කළහ.

2009 වර්ෂයේ පැවති අවසාන යුද්ධයේදී අපගේ ජන සමාජයට සිදුවූ විනාශය සහ පීඩාව අතිමහත් ය. ඉන්පසුව වුව ද ශ්‍රී ලංකා රාජ්‍ය විසින් සිදු කරන දෙමළ ජනයාට එරෙහි පීඩාව මේවන තෙක් නතර වී නොමැත. අපගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම ඉන් එකකි.

මිලිටරීකරණය හරහා යාපනය තෛයිට්ටි හි අපගේ පෞද්ගලික ඉඩම් තුළ ‘තිස්ස විහාරය’ නමින් බෞද්ධ පන්සලක් ඉදි කර පරම්පරා ගණනක් ජීවත් වූ අපගේ ඉඩම් අපට අහිමි කර අපව මානසික හා ශාරීරික පීඩාවට ඇද දමා ඇත. එම සිදුවීමට වගකිව යුත්තන් එහි කරුණු විකෘති කර ඔබව අපට එරෙහි වීමට පොළඹවා ඇත.

මේ තත්වය තුළ අපගේ සහෝදර සිංහල ජනයා වන ඔබ පහත කරුණු අවබෝධ කරගත යුතු බවට අපි විශ්වාස කරමු.

* තෛයිට්ටි හි තිස්ස විහාරය සඳහා ඉඩමක් තිබියදී, එම ඉඩමේ විහාරය ඉදි නොකර, ඒ වෙනුවට පෞද්ගලික ඉඩම්වල විහාරය ඉදිකර ඇත්තේ ඇයි?

* වන්දනාමාන කිරීමට බෞද්ධ ජනතාව නොමැති ස්ථානයක මෙම විහාරය ඉදිකර ඇත්තේ ඇයි?

* හමුදා සෙබළුන් තම රාජකාරිවලින් පරිබාහිරව කටයුතු කරමින් විහාරය ඉදිකිරීමට යෙදවූයේ ඇයි?

* හමුදා රෙගුලාසි සහ ගොඩනැගිලි ඉදිකිරීම සඳහා රජයේ පරිපාලන රෙගුලාසි උල්ලංඝනය කරමින් හමුදා සෙබළුන් විහාරස්ථානය ඉදි කළේ කෙසේද?

* හමුදාවේ සංකේත භාවිතා කරමින් විහාරය නම් කර ඇත්තේ ඇයි?

* නීති විරෝධී ලෙස ඉදිකරන ලද විහාරය වටා ඇති දෙමළ ජනතාවට අයත් තවත් අක්කර ගණනක ඉඩම් අත්පත් කර ගැනීමට උත්සාහ කරන්නේ ඇයි?

මෙවැනි ප්‍රශ්නවලට මෙතෙක් කිසිදු දේශපාලන නායකත්වයක් හෝ බෞද්ධ ආගමික ප්‍රධානියකු අපට පිළිගත හැකි පිළිතුරක් ලබා දී නොමැත. එසේ පිළිතුරු දීමට නොහැකි වී ඇත්තේ මෙම විහාරය මානව ධර්මයට, යුක්ති ධර්මයට සහ බුද්ධ ධර්මයට පවා එරෙහිව ඉදිකර ඇති බැවිනි.

බුද්ධාගමේ නාමයෙන් ඔබව මෙහි ගෙනැවිත් ඇත්තේ බුද්ධාගම ආරක්‍ෂා කිරීමට නොවන අතර, එය ජාතීන් අතර වාර්ගික ගැටුමක් ඇති කිරීමේ උත්සාහයකි.

අපි බුද්ධාගමට හෝ සිංහල ජනතාවට විරුද්ධ නොවන බව නැවත වරක් ප්‍රකාශ කරන අතර, බෞද්ධ ධර්මය පදනම් කරගෙන අපගේ අව්‍යාජ සහ නීත්‍යානුකූල ඉල්ලීමට සවන් දෙන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු.

ස්තූතියි

තෛයිට්ටි තිස්ස විහාරය සඳහා බලහත්කාරයෙන් අත්පත් කරගත් ඉඩම්වල හිමිකරුවන්.

(Avathi ෆේස්බුක් පිටුවෙන්)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here